ඉන්දියන් ඇල්ටෝ මෝටර් රථයක මිල රු. ලක්ෂ 65 යි; පළමු වාහන නැව පෙබරවාරි අග දිවයිනට
ඉන්දියන් ඇල්ටෝ මෝටර් රථයක මිල රු. ලක්ෂ 65 යි; පළමු වාහන නැව පෙබරවාරි අග දිවයිනට
(08.02.2025 – 21:31 +0530 – hirunews.lk/sinhala)
ඉන්දීය ඇල්ටෝ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 65 ක් පමණ වනු ඇති බව ‘ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය’ පවසනවා.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ ‘හිරු ප්‍රවෘත්ති’ සමග සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමග මෙරටට ආනයනය කෙරෙන පළමු වාහන තොගය මේ මස අවසන් වීමට පෙර දිවයිනට ළඟාවීමට නියමිත බවයි.
එහිදී, ඔහු සඳහන් කළේ 95% පමණ මේ වනවිට වාහන ආනයනය කිරීමට කටයුතු ආරම්භ කර ඇති බවයි.
එ අනුව, ඇක්වා වර්ගයේ මෝටර් රථයක් රු. ලක්ෂ 135 ක් පමණත්, වෙසල් වර්ගයේ රථයක් රු. ලක්ෂ 200 ක් පමණ දක්වාත් මිල ඉහළ යා හැකි බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම, ජපන් ඇල්ටෝ රථයක් රු. ලක්ෂ 75 ක් පමණත්, ඉන්දීය ඇල්ටෝ රථයක් රු. ලක්ෂ 65 ක් පමණත් විය හැකි බවයි ‘හිරු ප්‍රවෘත්ති’ සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ.
මේ අතර, මෙම මස 25 සහ 27 කාලයේදී නව වාහන රැගත් නෞකාවක් දිවයිනට ළඟාවීමට නියමිත බව ‘ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ’ සභාපති ප්‍රසාද් මානගේ අද (08) මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළා.
එම වීඩියෝව පහතින් :
සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න :
+
+
‘සෞන්දර්ය විෂයයන්’ සහ ‘සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය’ විෂය නිර්දේශවලින් ඉවත් කරනවා ද?
(08.02.2025 – 17:04 +0530 – hirunews.lk/sinhala)
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් කිසිසේත් ‘සෞන්දර්ය විෂයයන්’ සහ ‘සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය’ ඉවත් නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
2026 සිට ක්‍රියාත්මක කරන ‘නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ’ පිළිබඳ දැනුවත් කිරීම හා අදහස් ලබා ගැනීම සම්බන්ධයෙන් ‘අධ්‍යාපන අමාත්‍යංශය’, ‘ජාතික අධ්‍යාපන ආයතනය’, ‘විභාග දෙපාර්තමේන්තුව’ යන අයතනයන්හි නිලධාරීන් සහ ‘ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති කමිටු නියෝජිතයින්’ පිරිසක් සමග අද (08) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා.
අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා මගහරවා ගනිමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන ආකාරය සහ මේ වනවිට ඒ වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
විෂයමාලා ප්‍රතිශෝධනය සහ විෂය අන්තර්ගතය, අධ්‍යාපන හා පාසල්වල සිදුවිය යුතු යටිතල පහසුකම් සංවර්ධනය, ගුරු පුහුණුව සහ ආකල්ප සංවර්ධනය, අධ්‍යාපන, ක්ෂේත්‍රයේ සිදු විය යුතු වෘත්තීය සංවර්ධනය, ඇගයීම් ක්‍රමවේද ප්‍රතිසංස්කරණය, අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී පුර්ව ළමාවිය සංවර්ධනය, ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීයික අධ්‍යාපනය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපනය යන අංශවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු ආකාරය පිලිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර පූර්ව ළමාවිය 1 ශ්‍රේණිය සිට 6 ශ්‍රේණිය දක්වාත්, 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වාත් 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත් අධ්‍යාපනයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිලිබඳව ‘ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්’ මෙහිදී කරුණු පැහැදිළි කර තිබෙනවා.
‘Transform education, transform Sri Lanka’ තේමා කරගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම කෙරෙහි මෙහිදී සියලු දෙනාගේ එකඟතාවය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සහ අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා ෴
කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර, පිළිස්සූ හිටපු හමුදා සෙබලෙකු අත්අඩංගුවට
(08.02.2025 – 17:08 +0530 – hirunews.lk/sinhala)
මුදල් හා දේපළ සොරා ගැනීම සදහා නිවසකට ඇතුළු වී එහි සිටි කාන්තාවකගේ ගෙළ කපා ඝාතනය කර පසුව සිරුර පුළුස්සා දමා, පළා ගොස් සිටි සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු කලකට පෙර යුද හමුදාවෙන් පලාගොස් රාගම, තලගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවට අනාවරණ වූ බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු පසුගිය 05 වනදා එම ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී 76 හැවිරිදි එහි හිමිකාරියගේ ගෙල කපා ඝාතනය කර පසුව, සිරුරට ගිනි තබා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
පසුව අත්අඩංගුවට ගත් ඔහු ‘දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු’ බවයි අනාවරණ වී ඇත්තේ.
අධිකරණයේ විභාග වන නඩු කටයුතුවලට අවශ්‍ය මුදල් සොයා ගැනීම සදහා ඔහු මෙලෙස සොරකමේ නිරත වී ඇති බව ද අනාවරණය වී තිබෙනවා ෴
පියෙකුගෙන් දියණියට හා බිරිඳට තියුණු ආයුධ ප්‍රහාරයක්
(08.02.2025 – 17:41 +0530 – hirunews.lk/sinhala)
පියෙකු විසින් සිය දියණියට හා බිරිඳට එල්ලවුනු තියුණු ආයුධ ප්‍රහාරයක් නිසා බිරිඳ මියගොස් ඇතැයි පොලීසිය පවසනවා.
ඊයේ (7) දහවල් සිදු වූ මෙම පහරදීමෙන් තුවාල ලැබූ දෙදෙනාම (2) පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙන අතර, එහිදී බිරිඳ මියගොස් තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 50 ක් වූ කල්අඩිය, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මෙම සිදුවීම පුත්තලම, හස්ථිපුර ප්‍රදේශයෙන් වාර්තා වන බවයි පොලිසිය පවසන්නේ.
පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
සැකකරු පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි ෴
රා තැබෑරුමක ඇතිවු ගැටුමකින් පූද්ගලයෙකු (1) මරුට
(08.02.2025 – 17:50 +0530 – hirunews.lk/sinhala)
බලංගොඩ නගරයේ රා තැබැරුමකදි පුද්ගලයන් දෙදෙනෙකු (2) අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පහර දීම හේතුවෙන් බරපතල තුවාල ලබා බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය පැවසුවේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙකු (1) බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
බලංගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා ෴
පාසලේ නියෝජ්‍ය විදුහල්පති පැහැරගෙන ගොස් ගුටි දුන් ගුරුවරයෙකු සහ බිරිඳ අත්අඩංගුවට
(08.02.2025 – 20:08 +0530 – hirunews.lk/sinhala)
බියගම පොලිස් වසම තුළ පිහිටි පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු පැහැර ගෙන ගොස් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේම සේවය කරන ගුරුවරයෙකු සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සියඹලාපේ ප්‍රදේශයේ විහාරස්ථානයක් ආසන්නයේදී අදාළ නියෝජ්‍ය විදුහල්පතිවරයාව බලහත්කාරයෙන් ජීප් රථයකට නංවාගෙන ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් පහරදීමේ මෙම සිද්ධිය සිදුව ඇත්තේ, පසුගිය 04 වනදායි.
පසුව ඒ සම්බන්ධයෙන් බියගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, අදාළ අඹුසැමි යුවල ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
37 සහ 32 වන වයස්වල පසුවන ඔවුන් සියඹලාපේ ප්‍රදේශයේම පදිංචි කරුවන්.
මෙම පැහැර ගැනීම පැරණි අමනාපයක් මත සිදුකර ඇති බවටයි දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ෴
හානි වූ නිවාසවලට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන්දි ලබා ගත් ආකාරය ගැන විමර්ශනයක්
(08.02.2025 – 21:10 +0530 – hirunews.lk/sinhala)
පසුගිය අරගල සමයේ හානි වූ නිවාසවලට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්දි ලබා ගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව ‘ප්ලාස්ටික් ශල්‍ය ප්‍රතිකාර ඒකකය’ විවෘත කිරීමේ අවස්ථාවට අද (08) එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
එම උත්සවය අද (08) පෙරවරුවේ පැවැත්වුණේ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්.
මෙම ‘ප්ලාස්ටික් ශෛල්‍ය වෛද්‍ය ඒකකය’ දානපතියකුගේ පෞද්ගලික ධන පරිත්‍යාගයකින් ඉදිකර තිබීම විශේෂත්වයක්.
එම උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් අරගල සමයේ ගිනි තැබීම් සහ පහරදීම්වලින් හානි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ලබාදී ඇති වන්දි තක්සේරු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.
+
පන්නල වෙඩි තැබීමක් – කාන්තාවකට සහ පිරිමියෙකුට බරපතළ තුවාල
(08.02.2025 – 23:21 +0530 – hirunews.lk/sinhala)
පන්නල, කර්මාන්තපුරය ආසන්න ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති අතර, තුවාල ලැබූ කාන්තාවක සහ පිරිමියෙකු රෝහල්ගත කර තිබෙනවා.
තුවාල ලැබූ ඔවුන් දෙදෙනා (2) සඳලංකාව රෝහලට ඇතුලත් කර ඇති අතර, බරපතළ තත්ත්වයේ පසුවූ බැවින් කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴
‘අර්ථසාධක අරමුදල’ට නව සාමාජිකයන් ලියාපදිංචිය සිදුවන්නේ මෙහෙමයි
(08.02.2025 – 20:56 +0530 – sinhala.adaderana.lk)
‘සේවක අර්ථසාධක අරමුදල’ යටතේ නව සාමාජිකයන් ලියාපදිංචිය සම්බන්ධයෙන් කම්කරු කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, ඍජුවම සේවකයන් කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු නොකොට එක් එක් ආයතන මට්මින් A හා H පත්‍රිකා අදාළ කම්කරු කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසය.
2025 ජනවාරි 27 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙය ක්‍රියාත්මක වන බව කම්කරු කාර්යාලය නිවේදනය කරයි.
සේවකයෙකු සේවයට බැඳුණු දින සිට දින 30 ක කාලසීමාවක් තුළ දී එම සේවකයා ‘සේවක අර්ථසාධක අරමුදල’ යටතේ ලියාපදිංචිය අනිවාර්යය කිරීම සඳහා 2021.10.12 දිනැති නියෝග මඟින් නව නීතිමය විධිවිධාන හඳුන්වා දී තිබේ.
ඒ අනුව 2024 ඔක්තෝම්බර් මස සිට සාමාජික ලියාපදිංචියට අදාළ නව ක්‍රමවේදය යටතේ සේවකයෙකු ලියාපදිංචි කිරීම දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබූ අතර සියලුම කම්කරු කාර්යාලයන්හි එම තොරතුරු පද්ධතිය ස්ථාපිත කිරීම 2024 දෙසැම්බර් මස සම්පූර්ණ කරන ලදී.
‘සේවක අර්ථසාධක අරමුදල’ යටතේ සේවකයෙකු බඳවා ගෙන ප්‍රථම මාසය තුළදී ම සේවකයා ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමත් සමඟ එතෙක් සේවකයන් ලියාපදිංචි කර නොතිබූ ආයතන මඟින් සේවකයන් විශාල සංඛ්‍යාවකගේ ලියාපදිංචියට අදාළ ඉල්ලීම් කම්කරු කාර්යාලයන් වෙත ඉදිරිපත් වීම සිදුවිය.
ඉහත තත්වය සැලකිල්ලට ගෙන ජනවාරි 27 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැක්වෙන කම්කරු කාර්යාල බල ප්‍රදේශවල පිහිටි ආයතන මඟින් නව ලියාපදිංචියට අදාළව අයදුම්පත් භාරගැනීම එක් එක් ආයතන මඟින් පමණක් සිදු කිරීම අපේක්ෂා කරන බව කම්කරු කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව, සේවකයන් තනි තනි වශයෙන් කාර්යාල වෙත පැමිණීම වෙනුවට කම්කරු දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙනු ලබන නියමිත දිනයක දී හා නියමිත වේලාවක දී අදාළ සේවකයා නියමිත කම්කරු කාර්යාලය වෙත යොමු කිරීම සිදු කරන මෙන් ඉල්ලා සිටී.
- උතුරු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය (කොළඹ 11, 12, 13, 14, 15 ප්‍රදේශ සහ කැලණිය සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)
- මැද කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය (කොළඹ 07, 08, 09, 10 ප්‍රදේශ සහ කොලොන්නාව සහ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)
- නැගෙනහිර කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය (කොළඹ 03, 04, 05 ප්‍රදේශ සහ කඩුවෙල සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)
- බටහිර කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය (කොළඹ 06 ප්‍රදේශය සහ දෙහිවල සහ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)
- දකුණු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය (කොළඹ 01, 02 ප්‍රදේශ සහ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශය)
මේ අනුව නැවත දැනුම් දෙන තුරු සේවකයන් ඍජුවම කම්කරු කාර්යාල වෙත යොමු නොකිරීමට කටයුතු කරන ලෙසත් අදාළ ආයතන මඟින් පමණක් A හා H පත්‍රිකා අදාළ කම්කරු කාර්යාල වෙත භාරදීමට කටයුතු කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටින බව කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කරයි ෴
DigiLocker සහ UPI ගැන පැහැදිලි කරයි
(08.02.2025 – 13:39 +0530 – sinhala.adaderana.lk)
වඩාත් පහසු සේවාවන් ලබාගැනීම සඳහා ඉදිරියේදී මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ද ‘ඩිජිටල් හැඳුනුම්පතක්’ ලබාදීමට කටයුතු සැලසුම් කරන බව ‘ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක’ ආචාර්ය හාන්ස් විජේසූරිය පවසයි.
කොළඹදී ඊයේ (07) පැවති BIMSTEC ඩිජිටල් සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
සැමට සමෘද්ධිය සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් ගොඩනැගීම යන්න තේමා කරගත් BIMSTEC ඩිජිටල් සමුළුව කොළඹදී පැවැත්වුණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ‘සන්තෝෂ් ජා’ ඇතුළු විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ද එක්විය.
මෙහිදී ඩිජිටල් ආර්ථිකය ගොඩනැංවීම සහ රාජ්‍ය සංවර්ධනය යන මාතෘකා පුළුල්ව සාකච්ඡා කෙරුණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා :
“ශ්‍රී ලංකාව තුළ DigiLocker ක්‍රියාවලිය හඳුන්වාදීමට සාකච්ඡා සිදුකරගෙන යනවා. UPI ක්‍රියාවලියත් පුළුල් කිරීමට අපි බලාපොරොත්තුවෙනවා.”
“ගෙවීම් සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් ලෙස ශ්‍රී ලංකා රජය හඳුන්වාදුන් GovPay ක්‍රමයට අපි සුබ පතනවා.”
+
නීතිපතිවරයාගේ තීරණ වෙනුවෙන් නීතිඥ සංගමය පෙරට එයි
(08.02.2025 – 11:41 +0530 – sinhala.adaderana.lk)
නීතිපති පාරින්ද රණසිංහගේ තීරණය සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කර තිබේ.
නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ අනුර බී. මැද්දෙගොඩ සහ ලේකම් චතුර ඒ. ගල්හේන යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමුකර ඇත.
උපුටාගැනීම…..
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අංක B 92/2009 දරන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු (3) නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ තීරණයක් සමාලෝචනය කිරීමට අමාත්‍ය මණ්ඩලය සලකා බලනු ඇති බවට ජනමාධ්‍ය වාර්තා පිළිබඳව නීතිඥ සංගමය දැඩි අවධානය යොමුකර තිබේ.
නීතිපතිවරයා මහජන ක්‍රියාකාරිකයකු වන අතර, එබැවින් ඔහුගේ තීරණ සම්බන්ධයෙන් මහජනතාවට වගකිව යුතු වුවද, අපරාධ කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා අර්ධ අධිකරණමය කාර්යභාරයක් ඉටුකරන බව සැළකිල්ලට ගත යුතුය.
එබැවින්, විමර්ශන අධිකාරිය විසින් ඔහුට ඉදිරිපත් කර ඇති තොරතුරු මත පදනම්ව සැකකරුවකුට චෝදනා එල්ල කළ යුතුද ? නැද්ද ? යන්න තීරණය කිරීමට නීතිපතිවරයාට සිදුවේ. එසේ කිරීමෙන්, එවැනි කරුණු නීතියෙන් පිළිගත හැකිද යන්න සහ එවැනි කරුණු මත පදනම්ව, වරදකරුවකු වීමේ සාධාරණ අපේක්ෂාවක් තිබේද යන්න සලකාබැලීමට ඔහුට අවශ්‍ය වනු ඇත.
නීතිපතිවරයාගේ තීරණ සමාලෝචනයට ලක්කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. එවැනි සමාලෝචනයක් රිට් අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමෙන් හෝ මූලික අයිතිවාසිකම් අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමෙන් කළ හැකිය. එබැවින්, සැකකරුවකු නිදහස් කිරීමට හෝ නඩු පැවරීමට ගන්නා ඕනෑම තීරණයක් නීතියට අනුව ඉහළ අධිකරණය විසින් සමාලෝචනයට යටත් වෙයි.
අපරාධ කාරණා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ තීරණ අමාත්‍ය මණ්ඩලය ඇතුළු දේශපාලන බලධාරීන් විසින් සමාලෝචනය නොකළ යුතු බව නීතිඥ සංගමය දැඩි ලෙස විශ්වාස කරයි. මන්ද එය නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය වන නීතිපති කාර්යාලයේ ස්වාධීනත්වයට හානිකරන බැවිනි.
ඕනෑම රාජ්‍ය ක්‍රියාකාරිකයකු විසින් ගනු ලබන තීරණ පිළිබඳ මහජන විවාදය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය අංගයක් වන අතර, මෙම ක්‍රියාකාරිකයින්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ද ඒ හා සමානව වැදගත් වේ. අධිකරණ නිලධාරීන්ට සහ අර්ධ අධිකරණ නිලධාරීන්ට නීතියට අනුව තීරණ ගැනීමට සිදුවන බව තේරුම් ගත යුතු අතර, එය සමහර විට ජනප්‍රිය මතය පිළිබිඹු නොකළ හැකිය.
එබැවින්, නීතිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදුනොවන බව සහතික කරන ලෙස ඉල්ලා සිටින අතර, නීතිපති කාර්යාලය ඇතුළු ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය ඔබතුමා විසින් දිගටම ආරක්ෂා කරනු ඇතැයි අපි විශ්වාස කරමු, එය අපේ රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴