සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ලකෑ කල්ලියක් සොයා විමර්ශන
(03.02.2025 – 14:50 +0530 – hirunews.lk/sinhala)
පිහි, කිනිසි රැගත් පිරිසක් රාත්‍රී කාලයේ සම්බාහන මධ්‍යස්ථානයකට ඇතුළු වී එහි කළමනාකරු බියගන්වා ලාච්චුවේ තිබූ සහ සම්බාන සේවයේ යෙදී සිටි කාන්තාවන් 4 දෙනෙකුගේ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබෙනවා.
කොල්ලකරුවන් විසින් ලාච්චුවේ තිබූ සහ කාන්තාවන් සිව් දෙනකුගේ, මුදල් රුපියල් 577,000 ක්, රුපියල් 350,000 ක් වටිනා රන් ආභරණ කොල්ලකා පලා ගිය බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.
එම ආයතනයේ මුදල් අයකැමිවරයා සිදුකළ පැමිණිල්ලකට අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.
අනුරාධපුර, දහයියාගම, පුබුදුපුර මාර්ගයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයටයි මෙම මන්නා පිහි, කිනිසි අතැති කොල්ල කල්ලිය පැමිණ ඇත්තේ.
එම කල්ලියේ පුද්ගලයන් හතර දෙනෙකු (4) සිට තිබෙන බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴
ගාල්ල ජාතික රෝහලේ ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රය අක්‍රිය වෙලා මාසයයි
(03.02.2025 – 11:28 +0530 – hirunews.lk/sinhala)
හෘදය ආශ්‍රිත රෝගවලදි කපාට අවහිර වී තිබේ දැයි නිශ්චය කර ගැනීම සඳහා සිදු කරන (Angiogram) ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රය මාසයක (1) පමණ කාලයක සිට අක්‍රීය තත්ත්වයේ තිබෙනවා.
ගාල්ල ජාතික රෝහලට එම පරීක්ෂණ කටයුත්ත සිදුකර ගැනීමට පැමිණෙන රෝගීන්ට එම පරීක්ෂණ නොහැකිවීමෙන් තම ජීවිත මරණය අබියස දැඩි අවදානමකට ලක්ව ඇති බවයි රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් පවසන්නේ.
මෙම පරික්ෂාව සඳහා සායන රෝගීන්ට දැනට දිගු පෝලිමක් තිබෙන බවත් ඔවුන්ට මේ සඳහා දින ලබාදෙනු ලබන්නේ ලබන වසරේ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම යන්ත්‍රය අක්‍රිය වීම හේතුවෙන් මෙම පරීක්ෂාව සඳහා දින ලබාගත් රෝගීන්ට පවා එය සිදුකර ගැනීමට නොහැකිව දැඩි ජීවිත අවදානමකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
පෞද්ගලික වෛද්‍ය අංශයෙන් මෙම පරීක්ෂණය සිදුකර ගැනීමට විශාල මුදලක් වැය කළ යුතුව ඇති හෙයින් මෙම අසරණ රෝගීන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම යන්ත්‍රය හැකි ඉක්මනින් යථා තත්වයට පත්කර තම පරීක්ෂණ සිදුකර ගැනීමට හැකි පරිසරයක් ගාල්ල ජාතික රෝහලේ ඇති කරන ලෙසයි.
මේ වන විටත් මෙම යන්ත්‍ර අක්‍රිය වීමෙන් හෘදය ආශ්‍රිතව රෝග ඇති ඉතා විශාල පිරිසකගේ ජීවිත දැඩි අවදානමකට පත්ව ඇතැයි ඔවුහු පවසන්නේ.
දකුණු පළාතේ ගාල්ල, මාතර හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලට අමතරව පිට පළාත්වල රෝගීන් රැසක් ද මේ හේතුවෙන් අවදානමකට ලක්ව තිබෙනවා.
මේ අතර ජාතික රෝහලක් ලෙස උසස් කර ඇති ගාල්ල ජාතික රෝහලට පැමිණෙන හෘද රෝගීන්ට සහ දැනට පොරොත්තු ලේඛනවල සිටින රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු කඩිනම් කිරිම සඳහා අක්‍රිය ව් ඇති ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රය ප්‍රමාණවත් නොවන බවත් පවතින තදබදය අවම කර එම කටයුතු සමාන්‍ය ලෙස පවත්වාගෙන යෑම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු තවත් ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රයක අවශ්‍යතාවයද දැඩිව මතුව ඇති බව ගාල්ල ජාතික රෝහලේ සේවයේ නිරත සෞඛ්‍ය අංශ පවසන්නේ ෴
අද (03) සහ හෙට (04) රාජ්‍ය ආයතන විදුලියෙන් ආලෝක කිරීමේ තීරණය අවලංගුයි
(03.02.2025 – 13:56 +0530 – hirunews.lk/sinhala)
77 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව සියලු රාජ්‍ය ආයතනවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගිය මස 10 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය සංශෝධනය කර තිබෙනවා.
එම චක්‍රලේඛයේ දැක්වුණේ පෙබරවාරි මස 01 වැනිදා සිට 07 වැනිදා දක්වා වූ කාලය තුළ සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ඔසවා තබන ලෙසයි.
එමෙන්ම පෙබරවාරි මස 03 සහ 04 යන දෙදින සියලු රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමට පියවර ගන්නා ලෙසත් දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අද පැවසුවේ රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් අලංකාරවත් කිරීම අවලංගු කිරීමට තීරණය කළ බවයි.
විදුලිය අරපිරිමැස්ම සහ විදුලි අලංකරණය සඳහා වැයවන පිරිවැය සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළැඹි බව එම අමාත්‍යාංශය සඳහන් කළා.
මේ අතර, නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට (04) දිනයේදී රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව සලසා ඇති බවත්, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම අමුත්තන් පෙන්වීම දිවයිනේ සියලු බන්ධනාගාර තුළදී කරන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මේ අතර, 77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ඊයේ (02) රාත්‍රියේදී නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණා.
ඒ, අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.
නිදහස් දින සැමරුමට සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ ප්‍රකාශ කළා.
+
විදෙස් කාන්තාවක් මියගිය කොල්ලුපිටිය ලැගුම් හල තාවකාලිකව වසා දමන්නැයි අධිකරණ නියෝගයක්
(03.02.2025 – 15:33 +0530 – hirunews.lk/sinhala)
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය 24 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාව නවාතැන් ගෙන සිටි කොල්ලුපිටියේ ලැගුම්හල වසා තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඊට අදාල ඉදිරි පරීක්ෂණ සිදු කර රැඳී සිටීමේ යෝග්‍යතාවය වාර්ථා කිරීමක් සිදු කරන තෙක් එම ලැගුම් හල වසා තබන ලෙස දැනුම් දෙමින් එම නියෝගය ලබා දි ඇති බවයි ‘හිරු අධිකරණ වාර්තාකරු’ සඳහන් කළේ.
එහිදි වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොල්ලුපිටිය පොලීසිය කොටුව අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ දන්වා සිටියේ ඇගේ කාමරයේම නවාතැන් ගෙන සිටි තවත් ජර්මානු ජාතික යුවළක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි තරුණියක්.
මියගිය බ්‍රිතාන්‍ය කාන්තාව සහ ජර්මන් ජාතික යුවළට හදිසියේ ඇතිවූ වමනය යෑමේ තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම සිද්ධියට ආහාර විෂවීමක් හේතු වූවාද එසේත් නොමැති නම් මෙය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරනවා.
මෙම විදේශීය ජාතිකයන් තිදෙනා (3) නවාතැන් ගත් කාමරයට යාබද කාමරයට පසුගිය ජනවාරි 30 වැනි දා මකුණන් මර්ධනය යොදා ගන්නා ‘ෆොස්ෆින්’ නමැති රසායනිකය යොදා ධූමායනය කර ඇති බව ද වාර්තා වනවා.
එම රසායනිකය යෙදීමෙන් පසු පැය 72 ක කාලයක් කාමරය වසා තිබිය යුතු බැවින් එම කාමරය වසා තිබූ බව ද පැවසෙනවා.
එම රසායනවල විෂ වීමක් මත මේ තත්ත්වය හටගන්නට ඇති බවද සැකයක් පවතිනවා.
මේ මරණය වාර්තා වීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදාළ හෝටලයට ගොස් ආහාර වර්ගවල යම් විෂක් තිබුණේ ද යන්න පිළිබඳ සෙවීමට හෝටලයට මුද්‍රා තබා ඇති අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ද පරීක්ෂණ කටයුතු ආරම්භ කළා.
පොලිසිය පවසන්නේ තරුණියගේ මරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මගින් ඇගේ ඥාතීන් දැනුම්වත් කළ බවයි.
කොළඹ අලුත්කඩේ අංක 2 වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් මියගිය කාන්තාව සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර තිබෙනවා.
පසුව රජයේ රසපරීක්ෂකවරයා අද (03) අදාළ නවාතැන්පළ වෙත ගොස් පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතයි.
මෙම සිද්ධිය පෙරේදා (01) දා සවස සිදුවී තිබෙන අතර කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත ලියනගේ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂණ මනතුංගගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් වසන්ත (3264), පොලිස් කොස්තාපල්වරුන් වන ජයසිංහ (102027), සුදීර (77429) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴
අතුරුදන් වූ තරුණයෙකු සොයා ගැනීම සඳහා පොලිසියෙන් මහජන සහාය පතයි
(03.02.2025 – 16:50 +0530 – hirunews.lk/sinhala)
පසුගිය 17 වනදා සිට තම පුත්‍රයා අතුරුදන් වී ඇති බවට ඔහුගේ පියා විසින් කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත්කරමින් පොලිසිය පවසන්නේ, මෙම තරුණයා පිළිබඳ තොරතුරක් ඇත්නම් වහාම පොලිසිය දැනුවත් කරන ලෙසයි.
‘පොල්වත්ත ගොල්ලගේ නවොද් ගිම්හාන්’ නම් මෙම තරුණයා වයස අවුරුදු 29 ක මහදෙණිය, එළුවාවල, දෙනිපිටියාය ලිපිනයේ පදිංචිව සිටි අයෙක්.
අඩි 05 අඟල් 05 ක් පමණ උස, කොණ්ඩය කොටට කපා ඇති මෙම තරුණයා රැවුල වවා ඇති පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ.
මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
- මූලස්ථාන පොලිස් පරීක්ෂක පොලිස් ස්ථානය කළුතර දකුණ 071 859 1691
- ස්ථානාධිපති අපරාධ විමර්ශන අංශය, පොලිස් ස්ථානය කළුතර දකුණ 071 859 4360
+
හිනිදුම ත්‍රිත්ව (3) ඝාතනයට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
(03.02.2025 – 17:45 +0530 – hirunews.lk/sinhala)
හිනිදුම, පනංගල, නවාතැන් පොලක ඉකුත්දා සිදුවු ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ‘තවලම ප්‍රාදේශීය සභාවේ’ හිටපු සභිකයෙකු අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු හිටපු අමාත්‍යවරයෙකුගේ හිනිදුම ආසනයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කළ අයෙක්.
හිනිදුම පනාගල ප්‍රදේශයේ අවන්හලක් තුළදී එහි හිමිකරු ඇතුළු තිදෙනකු (3) ඝාතනය කර ඇත්තේ විදෙස්ගතව සිටින පාතාල නායකයකු වන ‘කරන්දෙණිය සුද්දා’ දුන් කොන්ත්‍රාත්තුවක් මත බවට අනාවරණය වෙමින් ඇතැයි විමර්ශන කණ්ඩායම් පවසනවා.
මේ අතර ඝාතනයට ලක්වූ අවන්හල් හිමිකරු ‘පොලිස් විශේෂ කාර්ය බළකායේ ඔත්තුකරුවකු’ ලෙස කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.
ඔහුට ‘කරන්දෙණිය සුද්දා’ විසින් අවස්ථා කිහිපයකදීම අනතුරු හඟවා ඇති බවත් හෙළිවී තිබෙනවා.
ඉකුත් (30) වැනිදා රාත්‍රි 11 ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී.56 ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර තිබෙනවා.
එහිදී හිනිදුම, මහා බෝධිවත්ත පදිංචි ‘දිසාරා ගෙස්ට් හවුස් හිමිකරු වන පි.ඩබ්ලිව්.ඩී. ඉඳුනිල් සමන් කුමාර’ (55), බටපොල නාමල් සෙවණ පදිංචි එස්.එම්. නෙවිල් (34) සහ හිනිදුම උතුර නැවතිමුල්ල පදිංචි චතුරංග කුමාර බටගොඩ (39) යන තිදෙනා (3) මියගොස් තිබූ බවයි පොලිසිය පැවසුවේ.
ඝාතන සිදුවූ ස්ථානයේ තිබී ටී-56 උණ්ඩ කොපු 28 ක් පොලිසිය විසින් සොයාගෙන තිබුණා.
මෙම ප්‍රහාරයෙන් මියගිය එක් පුද්ගලයකු විදේශ රැකියාවක් සඳහා යෑමට රුපියල් 1,500,000 ක මුදලක් මෙම ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිටි තවත් අයකුට ලබාදී තිබූ බවයි පොලිසිය පවසන්නේ.
මුදල් ලබා ගත්තද රැකියාව ලැබී නැති අතර, මෙම මුදල් ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන ලෙස කළ දැනුම් දීමකට අනුව මුදල් ලබාදුන් පුද්ගලයා එදින අවන්හල වෙත පැමිණ තිබෙනවා.
පසුගිය කාලසීමාව පුරාම ගාල්ල ඇල්පිටිය ඇතුළු ඒ අවට ප්‍රදේශ ගණනාවක සිදු වූ මිනිස් ඝාතනවලින් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත්තේ ‘කරන්දෙණියේ සුද්දා’ නමැති පාතාල නායකයාගේ නියෝග මත බවයි හෙළිව ඇත්තේ.
වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 54, 29 හා 34 වැනි වියේ පසුවන හිනිදුම සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
මෙම ත්‍රිත්ව (3) ඝාතනයේ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 07 ක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ ෴
මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජයපාලගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
(03.02.2025 – 13:20 +0530 – hirunews.lk/sinhala)
මහජන ආරක්ෂක අමාත්‍යය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් පෙත්සම ඉදිරිපත් කළා.
එහි වග උත්තර කරු ලෙස අමාත්‍ය ආනන්ද විජේපාල , පාර්ලිමේන්තු මහලේකම් සහ නීතිපතිවරයා නම්කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ වග උත්තරකර ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉකුත් නොවැම්බර් මස 18 වනදා පත්කරන ලද බවයි.
පසුව ඉකුත් දෙසැම්බර් මස 10 වන දා නිකුත් වූ සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් ආනන්ද විජේපාල ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත් කර තිබෙන බව වාර්තා කර තිබූ බවත් පෙත්සමේ සඳහන් වෙනවා.
පසුව මේ පිළිබඳව තමා තොරතුරු දැනගැනීමේ වන යටතේ ඉල්ලීමක් කළ අතර එහිදී අමාත්‍ය ආනන්ද විජේපාල ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත්කර තිබෙන බව තහවුරු කරගත් බවත් පෙත්සම්කරු සඳහන් කළා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවයේ නිරත අයකු පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොලබන බව දක්වා ඇතැයි පෙත්සම්කරු ප්‍රකාශ කර සිටිනවා.
ජනාධිපතිවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා යනු රාජ්‍ය තනතුරක් යැයි පෙන්වා දෙන පෙත්සන්කරු ඒ අනුව එවැනි තනතුරක් දරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට අමාත්‍ය ආනන්ද විජේපාලට සුදුසුකමක් නොමැති බවත් කියා සිටියා.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ආනන්ද විජේපාල අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුකොට ඔහුගේ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අසුන් ගැනීම හා පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
එසේම ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴