කඹුරුපිටියේ විරෝධතාවකට පහර දීමක්.. මාලිමාවට චෝදනා…

කඹුරුපිටියේ විරෝධතාවකට පහර දීමක්.. මාලිමාවට චෝදනා…


කඹුරුපිටියේ විරෝධතාවකට පහර දීමක්.. මාලිමාවට චෝදනා…

(02.02.2025 – 14:16 +0530 – lankacnews.com)

කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කළ හිටපු සභාපතිවරු සහ හිටපු මන්ත්‍රීවරු පිරිසක් මාතර කඹුරුපිටිය ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරියේ අද (02) විරෝධතාවක් පැවැත්වූව.

ඒ ඉහළ ගිය බඩු මිල අඩු නොවීම සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගෙනයි.

විරෝධතාව සිදු කරන අතරතුර එම ස්ථානයට පැමිණි ‘ජාතික ජන බලවේගය’ට සහය දක්වන පිරිසක් ඊට විරෝධය පල කිරීම මත උණුසුම් තත්වයක් ඇති විය.

+

+

+


ටයර් ආනයනය ගැන මත ගැටුමක් – දේශීය නිෂ්පාදකයන්ගේ ඉල්ලීමට ආනයනකරුවන්ගෙන් පිළිතුරු

(02.02.2025 – 15:46 +0530 – hirunews.lk/sinhala)

ටයර් ආනයනය නතර කරන ලෙස දේශීය නිෂ්පාදන සමාගම් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පසුගියදා වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සහ දේශීය ටයර් නිෂ්පාදකයින් අතර පැවැත්වුණා.

එහිදී ඔවුන් ඉල්ලා සිටියේ රට තුළ දේශීය නිෂ්පාදිත ටයර් තිබියදී, ටයර් ආනයනය කිරීමෙන් විශාල සංචිත ප්‍රමාණයක් රටෙන් පිටවන බවයි.

පාරිභෝගිකයින්ට සහනදායී මිලට උසස් තත්ත්වයෙන් යුතු දේශීය ටයර් ලබා දීම සිය අරමුණ බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් ටයර් ආනයනකරුවන් පෙන්වා දෙන්නේ ටයර් ආනයනය අත් හිටුවීම තුළින් තරගකාරිත්වය පහළ යෑම හමුවේ ටයරයක මිල ඉහළ යෑමක් සිදුවිය හැකි බවයි.

ටයර් ආනයනය නැවැත්වීම තුළින් දේශීය ටයර් නිෂ්පාදනයේ වර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බවයි ආර්ථික විශ්ලේශකයින්ගේ මතය වී ඇත්තේ බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසා සිටියේ මෙවැනි අදහසක් :

“දේශීය කර්මාන්ත නගා සිටුවීමට අවශ්‍යයි; නමුත් ඒක කරන්න පුළුවන් වැරදිම ක්‍රමය තමයි ආනයන තහනමෙන් දේශීය කර්මාන්ත නගා සිටුවන්න හිතන එක. ඒකෙන් සිදුවෙන්නේ හැම කෙනාටම විපතක්. දේශීය කර්මාන්ත නගා සිටුවන්න ආනයනික බදු වැඩි කරාට පස්සේ ඒකෙන් දේශීය කර්මාන්තත් කඩාගෙන වැටෙනවා. මොකද තරගකාරිත්වයක් නැති නිසා. ඔවුන් තරගකාරිත්වයෙන් මිදිලා බදු ඉහළ යෑම නිසා ඒ මත වාසියක් ලබා ගැනීමෙන් සිදුවෙන්නේ තවතවත් ඔවුන් ලෝකයත් එක්ක තරග කරන්න බැරි එක. ඒකෙන් දේශීය කර්මාන්ත කඩාගෙන වැටෙනවා. පාරිභෝගිකයන්ට විශාල මිලක් ගෙවන්න වෙනවා. ටයර්වලට විශේෂ තීරු බද්දක් දැම්මොත් ටයර්වල මිල වැඩිවෙනවා” ෴


වනඅලි මත්කර වීඩියෝගත කිරීමේ තවත් ජාවාරමක්

(02.02.2025 – 15:40 +0530 – hirunews.lk/sinhala)

බුත්තල – කතරගම මාර්ගයේ සිටින වනඅලි, ප්‍රචණ්ඩත්වයට පත් කිරීම සඳහා ඇතැම් පිරිස් කංසා මිශ්‍ර ආහාර ලබාදෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

අප වර්තාකරු සදහන් කළේ වනඅලි පහර දීම් හේතුවෙන් පසුගිය දෙසැම්බර් මාසයේ ද මේ මාර්ගයේ ගමන්ගත් කාන්තාවක් මරණයට පත්ව ඇති බවයි.

බුත්තල – කතරගම මාර්ගයේ වනඅලි රථ වාහනවලට පහර දීම හේතුවෙන් පසුගිය කාලය පුරා පුද්ගලයින් අට දෙනෙකු (8) මිය ගොස් තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ youtube නාලිකා පවත්වාගෙන යන පිරිස්, වනඅලි ප්‍රචණ්ඩත්වයට පත් කිරීම සඳහා කංසා මිශ්‍රකර වට්ටක්කා, පත්තක්කා වැනි ආහාර ලබාදෙන බවයි.

ඒවා ආහාරයට ගැනීමෙන් මත් වී ප්‍රචණ්ඩත්වයට පත්වන වනඅලි, මෙම මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට රුදුරු ලෙස පහර දුන් සිදුවීම් ද පසුගිය කාලයේ වාර්තා වුණා.

අප වාර්තාකරු පවසන්නේ, වනඅලින්ගේ පහරදීම්වලින් අසරණ වී දිව යන ජනතාවගේ වීඩියෝ දර්ශන විදෙස් රටවලට විකිණීමේ ජාවාරමක් ද මේ වනවිට සිදුවන බවයි.

එම එක් වීඩියෝවක් සඳහා රුපියල් 15,000 ක් වැනි මුදලක් youtube ක්‍රියාකරුවන් ලබාගන්නා බව ද වාර්තා වනවා.

බුත්තල හා මොණරාගල ප්‍රදේශවල ජීවත්වන එම youtube ක්‍රියාකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී වනජීවී නිලධාරීන්ට ද තර්ජන එල්ල වන බවත් අප වාර්තාකරු සඳහන් කළා.

+


ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් කල් දැමූ උතුරු මැද පළාත් සාමාන්‍ය පෙල වාර විභාග හෙට (03) ඇරඹේ

(02.02.2025 – 18:46 +0530 – hirunews.lk/sinhala)

උතුරු මැද පළාතේ සාමාන්‍ය පෙල වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවිම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ එම විභාගය හෙට (03) සිට ලබන 16 වනදා දක්වා යළි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට සදහන් කළේ, බුද්ධ ධර්මය සහ දෙමළ භාෂාව හැර අනිකුත් සියලුම විෂයයන් හෙට (03) සිට ලබන 16 වනදා දක්වා පැවැත්වෙන බවයි.

එමෙන්ම, මෙවර වාර විභාගයේ ප්‍රශ්ණ පත්‍ර උතුරු මැද පළාතේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල රදවා තබා විභාග දිනයේදී අදාළ විදුහල්පතිවරුන් වෙත ලබාදීමට නියමිතයි.

ඊට අමතරව අදාළ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබාදී ඇති බවයි උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට සදහන් කළේ ෴


77 වන නිදහස් දින සමරු උළෙල : සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ දැනුම්දීමක්

(02.02.2025 – 17:08 +0530 – hirunews.lk/sinhala)

77 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් මේ මස 01 වනදා සිට 07 වනදා දක්වා සතියක කාලයක් රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය එසවීමට සහ ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, හෙට (03) සහ අනිද්දා (04) යන දෙදින තුළ පමණක් රාජ්‍ය ආයතනවල ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමටයි රජය සැලසුම්කර ඇත්තේ.

ඊට අදාල උපදෙස් පත්‍රිකා මාලාවක් රාජ්‍ය පරිපාලන, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශය විසින් සියලුම ආයතන ප්‍රධානීන් වෙත යොමු කර තිබෙනවා ෴


ගෙවත්තට විසකුරු සර්පයෙක් ආවොත් කරන්න ඕනේ දේ

(02.02.2025 – 16:21 +0530 – hirunews.lk/sinhala)

සර්පයෙකු දෂ්ඨ කළවිට එම සර්පයා ද රැගෙන රෝහලට යාම නොකළ යුත්තක් බව, ‘ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සර්ප දෂ්ඨනය පිළිබඳව විශේෂඥ කමිටුව’ පවසනවා.

ඇතැමුන් සර්පයෙකු දුටු විට කලබල වී සර්පයාට හානි කිරීමට පෙළඹෙන අතර, නිවසකට සර්පයෙකු පැමිණියහොත් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ‘හිරු ප්‍රවෘත්ති’ සොයා බැලීමක් කළා.

නිවසකට හෝ ගෙවත්තට සර්පයෙකු පැමිණි විට ස්වේච්ඡාවෙන් එම සර්පයින් ඉවත් කරන තරුණයෙකු හෝමාගමින් අපට හමු වූයේ මේ අතරතුරයි.

‘බාසුරු’ මෙලෙස සර්පයින් අල්ලන හේතුව කුමක්ද?

ගෙවල්වලට එන සත්තු තමයි මම අල්ලන්නේ.. එම සතුන් පසුව සුදුසු පරිසරයකට මුදා හරිනවා.

නිවසේ වත්තේ සිටින අවස්ථාවක සර්ප දෂ්ඨනයක් සිදු වන්න පුළුවන් ඒ අවස්ථාවේ කුමක්ද කළ යුත්තේ?

දෂ්ඨනය සිදුවූ පුද්ගලයා එහෙ මෙහෙ ඇවිදීම හොඳ නැහැ.. ළඟම රජයේ රෝහලකට යා යුතුයි.. ගොඩක් අය කාපු සර්පයා රැගෙන එනවා, එය කරන්න එපා, එය ප්‍රතිකාරවලට ප්‍රශ්නයක් නෙවෙයි.. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සර්ප දෂ්ඨනය පිළිබඳව විශේෂඥ කමිටුව රෝගියාට ප්‍රතිකාර කළ යුතු ආකාරය ලබා දී තිබෙනවා.. ඕනෑම කෙනෙකුට අපේ කමිටුව සමඟ සම්බන්ධ විය හැකියි.. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සර්ප දෂ්ඨනය පිළිබඳව විශේෂඥ කමිටුව මේ සියලු දේවල් කරන්නේ ගරු සේවයක් විදිහට සලකලා.. එයට මුදලක් අය කරන්නේ නැහැ..

+


විදෙස් තරුණියගේ මරණයට හේතුව ?

(02.02.2025 – 19:36 +0530 – sinhala.adaderana.lk)

කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන් පොළක නවාතැන් ගෙන සිටි විදේශීය කාන්තාවක් හදිසියේ අසනීප වී අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණි.

විෂ වායුවක් ආඝ්‍රහණය වීම මෙම මරණයට හේතුව බවට මේ වන විට සැක පළවී ඇත.

කොල්ලුපිටිය, මුහන්දිරම් මාර්ගයේ පිහිටි අදාළ නවාතැන්පොළේ කාමරයක වයස අවුරුදු 30 ක ජර්මානු ජාතිකයෙකු, අවුරුදු 27 ක ජර්මානු තරුණියක් සහ 24 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් නවාතැන් ගෙන සිට තිබේ.

ඊයේ (01) පෙරවරුවේ මෙම විදේශිකයින් තිදෙනාට (3) වමනය සහ ක්ලාන්තය වැනි රෝගී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ජර්මානු ජාතික යුවළ ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මේ අතරතුර ඊයේ (01) පස්වරු 07:30 ට පමණ 24 හැවිරිදි එංගලන්ත ජාතික තරුණියගේ ද රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළද එහිදි ඇය ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජර්මානු ජාතික යුවළ ද හදිසි ප්‍රතිකාර අංශයට මාරු කර ඇති අතර, එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

පසුගිය ජනවාරි 30 වනදා, අදාළ විදේශිකයින් තිදෙනා (3) නවතැන් ගත් කාමරයට යාබද කාමරයක් දින 3 ක් සඳහා මකුණන් මර්දනයට යොදාගන්නා ‘ෆොස්ෆීන්’ නමැති වායුව යොදා ගනිමින් ධූමායනය කර තිබුණි.

ජීවිතක්ෂයට පත් 24 හැවිරිදි බ්‍රිතාන්‍ය තරුණියගේ දේහය මේ වනවිට ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඇයගේ පවුලේ ඥාතීන්ව දැනුවත් කර ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය පිළිබඳ විමර්ශන සඳහා රජයේ රසපරීක්ෂක නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ද කැඳවා තිබේ.

මේ අතර, මෙම සිද්ධියෙන් පසු අදාළ නවාතැන් පොළේ සිටි විදේශිකයින් පිරිසක් ඉන් ඉවත්ව යන ආකාරයද දක්නට ලැබුණි.

+++

කොල්ලුපිටියේ ලැගුම්හලේ අබිරහස් මරණය ගැන තොරතුරු රැසක් එළියට

(02.02.2025 – 19:57 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටියේ ලැගුම්හලක සිටි 24 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවක් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

ඇගේ කාමරයේම නවාතැන් ගෙන සිටි තවත් ජර්මානු ජාතික අඹුසැමි යුවළක් ද රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් කාන්තාවගේ තත්ත්වය ද බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

සිද්ධියට හේතුව විෂ වායුවක් ආඝ්‍රාණය වීමක් ද නැතහොත් ආහාර විෂවීමක් ද යන්න සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කොල්ලුපිටිය ආර්.ඒ. ද මැල් මාවතේ පිහිටි ලැගුම්හලකට විදෙස් ජාතිකයින් තිදෙනෙකු (3) පැමිණ තිබුණේ පසුගිය 30 වැනිදායි.

එම විදෙස් ජාතිකයින් අතර 30 හැවිරිදි ජර්මානු ජාතිකයෙක්, ඔහුගේ 27 හැවිරිදි බිරිඳ සහ 24 හැවිරිදි වියේ පසුවන තවත් එංගලන්ත ජාතික කාන්තාවක් ද සිට තිබෙනවා.

31 වැනිදා ද එම විදෙස් ජාතිකයින් තිදෙනා (3) එම ලැගුම්හලේ 03 වැනි මහලේ කාමරයක නවාතැන් ගෙන සිට ඇති අතර ඊයේ (01) ඔවුන් හදිසි රෝගි තත්ත්වයකට මුහුණ පා තිබුණා.

උදරයේ වේදනාව, අධික හිසරදය සහ ඇඟපත වේදනාව යන ලක්ෂණ ඔවුන්ට පැවැති බවයි වාර්තා වුණේ.

ඔවුන්ගේ තත්ත්වය ඊයේ (01) රාත්‍රියේ තරමක් බරපතල අතට හැරීම හේතුවෙන් ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ කොළඹ ජාතික රෝහලටයි.

කෙසේවෙතත් ඔවුන් අතර සිටි එංගලන්ත ජාතික කාන්තාවගේ රෝගි තත්ත්වය උත්සන්න වීම නිසා ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් තිබුණේ ‘සින්ටෝච් ඊබොනි ලොයිස්’ නමැති කාන්තාවක්.

ඇගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබන ජර්මානු ජාතික කාන්තාවගේ ද තත්ත්වය බරපතල බවයි.

මෙම සිදුවීමෙන් පසුව විදෙස් ජාතිකයින් රැඳී සිටි කාමරයට අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් යොදවා පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව එම කාමරය මුද්‍රා තබා තිබෙනවා.

එම කාමරයට යාබද කාමරය පසුගිය 30 වැනිදා ‘ෆොස්ෆීන් වායුව’ යොදා ධූමකරණය කර ඇති අතර පොලිසිය සඳහන් කළේ ‘කෘමීන් මර්දනය’ සදහා භාවිතා කරන එම වායුව කාමරයකට යෙදීමෙන් පසු පැය 72 ක් අදාළ ස්ථානය වසා තැබිය යුතු බවයි.

එම කාමරය වසා තැබීමට ලැගුම්හලේ සේවකයින් කටයුතු කර තිබුණත් යම් හෙයකින් එය ආඝ්‍රාණය වීමෙන් විදෙස් ජාතිකයින් තිදෙනාට (3) මෙම රෝගි තත්ත්වය හටගෙන ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

කෙසේවෙතත් මෙම සිද්ධියට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාළ ලැගුම්හලට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ද කැඳවා ආහාර විෂවීමකින් මෙම මරණය සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකයි.

එමෙන්ම අදාළ විදෙස් ජාතිකයින් තිදෙනා (3) ඊයේ (01) රාත්‍රියේ ආහාර ගත් හෝටලය පරික්ෂා කිරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ලැගුම්හලේ නවාතැන් ගෙන සිටින අනෙක් සංචාරකයින්ගේ ආරක්ෂාව සලකා ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසට ලැගුම්හල් කළමනාකාරීත්වයට දැනුම් දුන් බවයි.

ඒ අනුව එහි සිටි සංචාරකයින් 18 දෙනා ලැගුම්හලෙන් පිටව ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ලැගුම්හලේ හිමිකරුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අලුත්කඩේ අංක 02 වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙතද කරුණු වාර්තා කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

+


තරුණයෙකු හෝටල් නාන කාමරයේ අවසන් ගමන් යයි – කාමරයේ තිබී කරාබු ජෝඩුවකුත් හමුවෙයි (02.02.2025)

+


නිල් පැහැති වෙරළ කළු කළ හෝටලේ – ‘දෙරණ උකුස්සා’ සොයා ගිය කතන්දරේ (02.02.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *