‘ඇල්ල ඔඩිසි – මහනුවර’ දුම්රිය මංගල ගමන අරඹයි
(01.02.2025 – 16:35 +0530 – hirunews.lk/sinhala)
උඩරට මාර්ගයේ විදේශීය සංචාරක ආකර්ෂණය අධිකම කොටස වන මහනුවර සිට ඇල්ල දක්වා වන කොටසේ සිරි නැරඹීම වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදුන් නව විශේෂ දුම්රිය අද (01) උදසන 09:45 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා.
එම දුම්රිය සති අන්තයේ සෙනසුරාදා හා ඉරිදා දිනවල ගමනාගමනයට යොදා ඇති අතර එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 09:45 පිටත්ව පස්වරු 05:22 ට දෙමෝදර දුම්රිය ස්ථානය වෙත ලගාවීමට නියමිතයි.
එමෙන්ම එම දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු 06:00 ට නැවත මහනුවර බලා පිටත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන්කළ ආසන 176 ක් ද, දෙවන පංත්යේ වෙන්කළ ආසන 176 ක්ද, තෙවන පංතියේ වෙන්කළ ආසන 44 ලෙස ආසන 396 ක්ද තිබෙනවා.
පලමු, දෙවන, තෙවන පංතිවල ගාස්තු පිළිවෙළින් රුපියල් 7000/=, 6000/= 5000/= ලෙස පවතිනවා.
පේරාදෙණිය, නාවලපිටිය, හැටන්, ග්‍රේට්වෙස්ටර්න්, නානුඔය, පට්ටිපොළ ඔහිය, ඉදල්ගස්සින්න, හපුතලේ, බණ්ඩාරවෙල, ඇල්ල යන දුම්රිය ස්ථානවල පමණක් සහ ‘ආරැක්කු නවය පාලමේ’ මිනිත්තු 10 පමණ නවත්වා ධාවනය කරනු ඇති.
ඊට අමතරව තෝරාගත් නැරඹුම් ස්ථානවල දුම්රිය සෙමින් ධාවනයේ යෙදෙනවා.
+
මහාධිකරණ සංකීර්ණයේ වහලය මත තිබූ අකුණු සන්නායකය සොරකම් කළ 05 දෙනෙකු අත්අඩංගුවට
(01.02.2025 – 16:27 +0530 – hirunews.lk/sinhala)
මාතර මහාධිකරණ සංකීර්ණයේ වහලය මත තිබූ අකුණු සන්නායකයට සවිකර තිබූ තඹ කොටස් සහ පළාතේ පොලිස් වසම් 10 ක දුරකථන සන්නිවේදන කුළුණුවල සවිකර තිබූ අකුණු සන්නායක රැසක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු (5) මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් විසින් මේ අයුරින් අකුණු සන්නායක සොරකම් කර ඒවායින් ලබාගත් තඹ කිලෝ 228 ක් ප්‍රමාණයක් විවිධ ස්ථානවලට අලෙවි කර තිබියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මාතර මහාධිකරණ සංකීර්ණයේ තිබූ අකුණු සන්නායකයේ තඹ කම්බි කපා සොරාගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී , මෙම සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉමදූව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 – 34 අතරේ පසුවන පුද්ගලයන්.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මොවුන් මාතර, මාලිම්බඩ, අකුරැස්ස, නෙළුව, ඉමදූව, වැලිගම, යක්කලමුල්ල, ඌරුබොක්ක, අම්බලන්ගොඩ, අහංගම යන පොලිස් බල ප්‍රදේශවල දුරකථන සන්නිවේදන කුළුණු වල සවිකර ඇති අකුණු සන්නායක සොරකම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා ෴
මාර්ග නීති කැඩූ 31,905 කට නඩු
(01.02.2025 – 14:45 +0530 – hirunews.lk/sinhala)
මාර්ග නීති කැඩූ පුද්ගලයින් 31,905 දෙනකුට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
ජනවාරි 11 වැනිදා සිට ක්‍රියාත්මක කළ මෙහෙයුමවලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කළ බවයි පොලිසිය පවසන්නේ.
පොලීසිය දිවයින පුරා පොලිස් ස්ථාන 607 ම ආවරණය වන පරිදි මේ මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.
එහිදී බීමතින් රිය ධාවනය කළ රියැදුරන් 3,876 ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අපරීක්ෂාකාරිව රිය ධාවනය කළ රියැදුරන් 190 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ ෴
පොල් සහ කෙසෙල් වගා බිම් වනසන වනඅලි
(01.02.2025 – 13:41 +0530 – hirunews.lk/sinhala)
පුත්තලම, වනාතවිල්ලුව මයිලන්කුලම ගොවි ජනපදයේ පොල් වගා බිම් ප්‍රමාණයක් සහ කෙසෙල් අක්කර රැසක් වනඅලි විසින් සම්පූර්ණයෙන් විනාශ කර දමා තිබෙනවා.
එමෙන්ම වනඅලි විසින් පොල් ගස් 500 කට ආසන්න ප්‍රමාණයක් සහ කෙසෙල් අක්කර 20 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස විනාශ කර ඇති බවට ගොවීන් මැසිවිලි නගනවා.
විල්පත්තුව ජාතික වනෝද්‍යානය සහ තබ්බෝව අභය භූමිය අවට පරිවාර වනාන්තරවල රැදී සිටින වනඅලි සවස් කාලයවන විට මෙලෙස රංචු වශයෙන් ගම්මානයට කඩා වදින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනේ මේ පිළිබඳ අවධානය යොමු කර නිසි විසඳුමක් හැකි ඉක්මනින් ලබාදෙන ලෙසයි ෴
කොළඹින් ඇල්ලූ ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගය සොත්ති උපාලිගේ පුත්‍රයාගේ බවට සැකයක්
(01.02.2025 – 13:39 +0530 – hirunews.lk/sinhala)
කොළඹ – ධර්මපාල මාවත ප්‍රදේශයේදී සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගත් රුපියල් කෝටි එකහමාරකට (1,50,00,000) ආසන්න වටිනාකමකින් යුත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගය ‘සොත්ති උපාලි’ගේ පුත්‍රයාට අයත් බවට පොලිසිය සැක කරනවා.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 35 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 190 ක් පොලිස් භාරයට ගැනුනා.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ වට්ස්ඇප් පණිවිඩ ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම දීර්ඝ කලක සිට සිදු කරගෙන ගොස් ඇති බවටයි.
සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතව තිබෙනවා ෴
නව බදු සංශෝධනයත් සමග ආනයනික වාහන මිල ඉහළට
(01.02.2025 – 13:18 +0530 – hirunews.lk/sinhala)
පෞද්ගලික මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුන් වාහන සඳහා මෙතෙක් පැවැති ආනයන තහනම ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, එම වාහන ආනයනයට අදාළව ආනයන අපනයන පාලකවරයා වෙත විශේෂ රෙගුලාසි නිකුත් කරමින්.
මේ යටතේ කාර් රථ, යතුරුපැදි සහ පාපැදි වර්ග ආනයනයට ද අද (01) සිට අවසර හිමිවනු ඇති.
ඩොලර් අර්බුදය, කොවිඩ් 19 වසංගතය සමග උත්සන්න වූ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ 2020 වසරේ බොහෝ භාණ්ඩ ආනයනය තහනම් කිරීමට පියවර ගත් අතර වාහන ආනයනයද තාවකාලිකව අත් හිටුවීමට පියවර ගත්තා.
කෙසේ වෙතත් පසුගිය වසර අවසානය වන විට ආර්ථිකය කෙමෙන් යථා තත්ත්වයට පත් වීමත් සමග ආනයන සීමා ලිහිල් කිරීම ආරම්භ කෙරුණා.
එවන් පසුබිමක වාහන ආනයනය සීමා ලිහිල් කිරීමටද රජය කටයුතු කළ අතර , අදියර තුනක් (3) යටතේ වාහන ආනයන සීමා ලිහිල් කරන බවයි රජය සඳහන් කළේ.
ඒ අනුව පළමු (1) සහ දෙවන (2) අදියර යටතේ සංචාරක ව්‍යාපාරයට යොදාගැණෙන වාහන වර්ග කිහිපයක් මෙන්ම බස් රථ, වෑන් රථ, ලොරි රථ සහ ඩබල් කැබ් රථ ආනයනය කිරීමට අවසර ලබා දුන් නමුත් සාමාන්‍ය ජනතාව පුද්ගලික පරිහරණයට යොදා ගන්නා මෝටර් රථ ඇතුළු වාහන ආනයනයට අවසර ලැබී තිබුනේ නැහැ.
එවන් පසුබිමක පෞද්ගලික මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුන් වාහන සහ යතුරුපැදි සඳහා මෙතෙක් පැවැති ආනයන තහනම ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ඊයේ (31) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.
එම වාහන ආනයනයට අදාළව ආනයන අපනයන පාලකවරයා වෙත විශේෂ රෙගුලාසි ද නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරුපැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිතා නොවන වාහන ආනයනයට අවසර හිමිව තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි වර්ගීකරණ සංකේතාංක 304 ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ආනයනයට අවසර හිමි වනවා
කෙසේ වෙතත් වාහන ආනයනයට අදාළව මුදල් අමාත්‍යාංශ්‍ය මගින් කොන්දේසි 09 ක්ද පනවා තිබෙනවා.
ඒ විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැයකරමින් විශාල ප්‍රමාණයෙන් වාහන ආනයනය කර තොග රැස් කිරීම අධෛර්යයමත් කිරීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින්, රට තුළ සිදුවන සාමාන්‍ය ආර්ථික කටයුතු දිරිමත් කිරීමේ සහ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමේ අරමුණින්.
අදාළ කොන්දේසි අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවන් සහ රාජ්‍ය ආයතන විසින් පනවනු ලබන රෙගුලාසිවලට යටත්ව අවශ්‍ය වාහන ප්‍රමාණය ආනයනය කළ හැකියි.
ලියාපදිංචි ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන්ට මාස 12 ක කාලසීමාවක් තුළ ආනයනය කළ හැක්කේ එක් (1) මෝටර් වාහනයක් පමණයි.
එම ආනයනකරුවන් විසින් සිය දෙවන (2) වාහනය ආනයනය කිරීමේ දී, තම ප්‍රථම වාහනය ආනයනය කළ දින සිට මාස 12 ක කාලයක් ඇතුළත වෙනත් වාහනයක් ආනයනය නොකළ බව ද දිවුරුම් ප්‍රකාශයක් මගින් සඳහන් කළ යුතුයි.
ආනයනය කරනු ලබන ඕනෑම මෝටර් වාහනයක් ලියාපදිංචි ආනයනකරුවකු ගෙන් මිල දී ගන්නා අවස්ථාවක දී ගැනුම්කරුගේ නමට හෝ ආනයනකරුගේ නමට දින 90 ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු වනවා.
එම ලියාපදිංචි කිරීම සඳහා ආනයනකරු හෝ ගැනුම්කරු විසින් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඇතුළත් දිවුරුම් ප්‍රකාශය ඇතුළු ලේඛන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුයි.
යම් ආනයනකරුවෙකු දින 90 ක් ඇතුළක ආනයනික මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත්, එම මොටර් වාහනය ලියාපදිංචි කරන අවස්ථාවේ දී, මෝටර් වාහනයේ පිරිවැය, රක්ෂණ හා නැව් ගාස්තු අගයෙන් 45% ක උපරිම සීමාවකට යටත්ව, මාසික CIF අගයෙන් 3% බැගින් ප්‍රමාද ගාස්තු ගෙවීමට එකී ආනයනකරුට සිදුවනවා.
කිසිඳු අවස්ථාවක දී, මාසික ප්‍රමාද ගාස්තුව ගෙවීම සම්බන්ධයෙන් ගාස්තු අත්හැරීමක් ප්‍රදානය නොකරන බවද අදාළ කොන්දේසිවල සඳහන්.
එමෙන්ම මෝටර් වාහනයේ වයස නිර්ණය කිරීමේ දී, එකී මෝටර් වාහනයේ නිෂ්පාදිත දිනය සහ නෞභාර පත්‍රයේ / ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතුයි.
සහනදායී බදු අනුප්‍රමාණ යටතේ මෝටර් වාහන ආනයනය කිරීම සඳහා නිකුත් කරන බලපත්‍ර භාවිත කරමින් කිසිදු මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා හෝ රේගුවෙන් නිදහස් කිරීම සඳහා අවසර ලබා නොදන බවද මුදල් අමාත්‍යාංශය අවධාරණය කරනවා.
එමෙන්ම දැනට ක්‍රියාත්මක රීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් යම් මෝටර් වාහනයක් ආනයනය කළහොත්, එකී මෝටර් වාහන රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90 ක් ඇතුළත අදාළ ආනයනකරු විසින් ප්‍රතිඅපනයනය කළ යුතු බවද මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
වාහන ආනයන සීමා ලිහිල් කෙරුණද වාහනවල මිල ගණන් කෙසේ තීරණය වේද යන්න පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තිබුණේ එලෙස ගෙන්වන වාහනවලට කෙතරම් බදු ප්‍රමාණයක් අදාළ වේද යන්න පිළිබඳව තිබූ අවිනිශ්චිතතාව හේතුවෙන්.
ඒ අනුව එම අවිනිශ්චිචතාව පැහැදිළි කරමින් වාහනවලට අදාළ බදු වර්ග ද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වාහන ආනයනයට ප්‍රධාන වශයෙන් බදු වර්ග 4 ක් බලපාන අතර මෙවර ඉන් ප්‍රධාන වන්නේ සුඛෝපභෝගී බද්දයි.
2015 වසරේදී පළමු වරට හඳුන්වා දුන් මෙම බද්ද 2019 වසරේදී සංශෝධනයට ලක් කළ අතර 2020 වසරේ එය ක්‍රියාත්මක වුවත් එම බද්ද යටතේ වාහන ආනයනය කෙරුණේ නැහැ.
ඒ අනුව මෙම නව බද්ද යටතේ වාහන ආනයනය කෙරෙන පළමු අවස්ථාව මෙයයි.
රුපියල් ලක්ෂ 50 ට වැඩි වාහන සඳහා බදු කාණ්ඩ කිහිපයක් යටතේ මෙම සුඛෝපභෝගී බද්ද අය කෙරෙන අතර ඒ අනුව අයකරන උපරිම බදු ප්‍රතිශතය 120% ක් .
එන්ජින් ධාරිතාව මත ක්‍රියාත්මක CC බද්ද හෙවත් නිෂ්පාදන බද්ද ද වාහනවලට අදාළව ක්‍රියාත්මක වන අතර එහි බදු ප්‍රතිශතය එක් එක් වාහනවලට අදාළව වෙනස් වනවා.
තවද තීරු බදු නිදහස් කිරීමේ රේගු ආඥා පනත යටතේ වූ විධිවිධාන අනුව 2023 වසරේදී බදු නිදහස් කළ වාහන කාණ්ඩද ඇතුළත්ව තීරු බදු නැවත බලාත්මක කිරීම ද සිදු කර තිබෙනවා .
ඒ අනුව වාහන ආනයනය කිරීමේදී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයට අදාළව අයකෙරෙන 20% ක තීරු බද්දට ඉදිරි වසර සඳහා බලපාන අයුරින් 50% ක අධිභාරයක් එකතු කර තිබෙනවා.
ඒ සඳහා වන විශේෂ ගැසට් නිවේදනය ද ඊයේ (31) නිකුත් කෙරුණු අතර ඒ අනුව දැනට ක්‍රියාත්මක වූ 20% ක් වන තීරු බද්ද 30% ක් දක්වා ඉහළ යනවා.
ඊට අමතර මෙවර වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමග මෙරටට ගෙන්වන වාහනවලට වැට් බද්ද 18% ක් එකතු වන අතර එය ක්‍රියාත්මක වන්නේද වසර ගණනාවකට පසුවයි.
+
බස් රථයක් සහ වෑන් රථයක් ගැටී මාරක අනතුරක් දෙදෙනෙක් මරුට : 25 ක් රෝහලට
(01.02.2025 – 12:22 +0530 – hirunews.lk/sinhala)
හබරණ – ගල්වංගුව 118 කණුව ප්‍රදේශයේදී අද (01) උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මියගිය පිරිසට වෑන් රථයේ රියදුරු සහ බස් රථයේ ගමන් ගත් කාන්තාවක් ඇතුළත්.
+
මේ අතර, ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ප්‍රභූ ආරක්ෂක ඩිෆෙන්ඩර් රථයක් තලාව – ඒ 28 මාර්ගයේ, 70 කිලෝමීටර් කණුව ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 04 දෙනෙකු තුවාල ලැබුවා.
පොලිසිය සදහන් කළේ, අද (01) අලුයම අදාළ රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදු ව ඇති බවයි.
එම අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් හතර දෙනකු (4) ගමන් කර තිබෙනවා.
තුවාල ලැබූවන් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත මරුකර යැවුණු අතර, දෙදෙනෙකුගේ (2) තත්වය බරපතල බව සදහන්.
+
එමෙන්ම, බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලිඇල නිල්බෝවල ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුලු ඔයට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඒ අතර දරුවන් සිව් දෙනෙකු (4) සහ ගැබිනි කාන්තාවක් ද වන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ ෴
ගුරුවරියගේ ඝාතනයට සැකපිට මව අත්අඩංගුවට
(01.02.2025 – 11:06 +0530 – hirunews.lk/sinhala)
කඹුරුපිටිය ප්‍රදේශයේදී ඊයේ (31) අළුයම් කාලයේ ඝාතනයට ලක්වූ අවිවාහක ගුරුවරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 76 ක් වන ඇයගේ මව ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට පෙර සැකපිට වයස අවුරුදු 36 ක් වන මරණකාරියගේ සහෝදරයා ද අත්අඩංගුවට ගෙන තිබුණා.
නිවසක කාන්තාවන් දෙදෙනෙකු (2) වැටි සිටින බවටයි ඊයේ (31) අළුයම කඹුරුපිටිය පොලිස් ස්ථානයට පණිවිඩයක් ලැබී තිබුණේ.
ඒ අනුව නිලධාරින් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී තරුණිය හිස ප්‍රදේශයේ තුවාල සහිතව මියගොස් සිට ඇති අතර, මව පුටුවක් මත සිහි මද ගතියකින් වැටී සිට තිබෙනවා.
පොලිස් නිලධාරින් විසින් එම කාන්තාව කඹුරුපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබුණා.
මෙසේ මියගොස් තිබුණේ, වයස අවුරුදු 33 ක් වූ අවිවාහක ගුරුවරියක්.
මරණකාරිය සිය මව හා සහෝදරයා සමග එම නිවසේ පදිංචිව සිට තිබෙනවා.
මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදීයි අනාවරණය වී තිබෙන්නේ.
මෘත ශරීරය කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴