රුපියල් කෝටි දහසේ (1000) පිරමීඩ් වංචාව ගැන නව පැමිණිලි 1900 ක්
රුපියල් කෝටි දහසේ (1000) පිරමීඩ් වංචාව ගැන නව පැමිණිලි 1900 ක්
(31.01.2025 – 11:06 +0530 – hirunews.lk/sinhala)
කුරුණෑගල ප්‍රදේශයේ නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කරුවන් විශාල සංඛ්‍යාවකගෙන් රුපියල් කෝටි දහසකට (1000) අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම සමාගමේ අධ්‍යක්ෂකට සහ ඔහුගේ බිරිඳට ඇප ලබාදීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව ඔවුන් ලබන මස 13 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි ඊයේ (30) නියෝග කෙරුණේ.
තැන්පත්කරුවන් 3000 කට අධික පිරිසකගෙන් මෙලෙස මුදල් වංචා කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වනවා.
මෙම ආයතනයට එරෙහිව නව පැමිණිලි 1910 ක් සහ නව බැංකු ගිණුම් 65 ක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව සහ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කිරීමට තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නා.
එසේම අගතියට පත් පාර්ශවයගෙන් ලබාගත් ප්‍රකාශ අනුව සියලු තැන්පත්කරුවන්ට අලාභයක් සිදුවී ඇති බවද තවත් සැකකාර අධ්‍යක්ෂකයන් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනට අපහාසයක් හා මානසික පීඩාවක් ඇතිවන ආකාරයේ දැන්වීමක් අන්තර්ජාලය ඔස්සේ මුදා හැරි බව කියන සිද්ධියට අදාළ සැකකරුවන් 03 දෙනෙකු සතුව තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන තුනක් (3) හා පරිගණකයක් රජය රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කළා.
තමන්ට අපහාස වන ආකාරයේ ලිංගික අපචාරයක් සම්බන්ධ දැන්වීමක් කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හැර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදුවනවා ෴
නාකොටික් නිලධාරීන්ගේ පෙත්සමට අධිකරණයෙන් දුන් තීන්දුව
(31.01.2025 – 17:20 +0530 – hirunews.lk/sinhala)
පසුගිය 2020 වසරේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොග පිටස්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කාර්යාංශයේ නිලධාරීන් තුන්දෙනෙකු (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ සැරයන්වරු තුන් දෙනකු (3) විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නා.
මහින්ද සමයවර්ධන, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පොලිස්පතිවරයාට නියෝග කළේ, මෙම නිලධාරීන් තවදුරටත් පොලිස් සේවයේ රඳවා ගැනීමට සුදුසු දැයි සොයා බලා තීරණයක් ගන්නා ලෙසයි.
2020 වසරේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග පිටස්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම මෙම නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියාවලිය තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුන් මෙම පෙත්සම් ඉදිරිපත් කළා ෴
රුපියල් ලක්ෂ හැටක් (60) වටිනා මැණික් තොගයක්, ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකුගේ (2) ගුද මාර්ගවල
(31.01.2025 – 16:46 +0530 – hirunews.lk/sinhala)
රුපියල් ලක්ෂ හැටක් (60) වටිනා මැණික් තොගයක්, සිය සිරුරු වල ගුද මාර්ගයේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපල ‘හරිත මාවත’ ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු (2) අද (31) දින ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් දෙදෙනා (2) බේරුවල ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරය හා සම්බන්ධ වෘත්තීන් හි නියැලී සිටින 45 හැවිරිදි සහ 46 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන්.
මොවුන් දෙදෙනා (2) අද දින (31) පෙරවරු 10:00 ට ඉන්දියාවේ, නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මොවුන් කැරට් 300 ක් බරැති පුෂ්පරාග සහ නිල්කුරුවින්ද වර්ගවල මැණික් ගල් 54 ක්, සිය සිරුරුවල ගුද මාර්ගයේ සඟවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
+
අතුරුදහන් වූ දරුවෙකු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි
(31.01.2025 – 16:43 +0530 – hirunews.lk/sinhala)
ජනවාරි 02 වැනිදා සිට අවුරුදු 15 ක් වයසැති දරුවෙකු අතුරුදහන් වී ඇති බවට පසුගිය 04 වැනිදා දරුවාගේ මව විසින් කළුතර දකුණ පොලිස් ස්ථානයට සිදු කරන ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අතුරුදහන් වූ දරුවාගේ විස්තර :
නම – ජාසන් මොහොමඩ්
වයස – අවුරුදු 15
ලිපිනය – නො. 121/05 ඒ, මෆූර් ක්‍රසන්ට්, කළුතර දකුණ
රූප විස්තර – උස අඩි 05 ක් පමණ, තලෙළු සිහින් සිරුර, දිගැටි මුහුණ, කොණ්ඩය කොටට කපා ඇත, රැවුල වවා ඇත, අවසන් වරට සුදු සරමක් හා කමිසයක්ද ඔළුවට ජුබ්බාවක් පැළඳ සිට තිබෙනවා.
මෙම දරුවා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දුරකතන අංක :
- මූලස්ථාන පොලිස් පරීක්ෂක, පොලිස් ස්ථානය කළුතර දකුණ – 071 859 1691
- මුලස්ථාන පොලිස් ස්ථානය කළුතර දකුණ – 034 222 2222 / 034 222 2223
අනන්‍යතාව හෙළි නොකරමින් තොරතුරු ලබාදීමට පොලිසියෙන් ‘1997’ දුරකථන අංකය හඳුන්වා දෙයි
(31.01.2025 – 16:26 +0530 – hirunews.lk/sinhala)
මහජනතාව විසින් පොලිසිය වෙත අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා සිදු කිරීම් පිළිබඳ තොරතුරු ලබා දුන් පසු එම තොරතුරු ලබා දුන් පුද්ගලයින් පිළිබඳ විස්තර නැවත වතාවක් අපරාධකරුවන් සහ නීතී විරෝධි ක්‍රියාවන් සිදු කරන්නන් වෙත ලැබෙන බවට මහජනතාව තුළ සැකයක් පවතින බව පොලිසිය පවසනවා.
මෙම සැකය දුරු කර මහජනතාව සහ පොලිසිය අතර විශ්වාසය ඇති කර ගැනීමේ අරමුණින්, තොරතුරු ලබා දෙන්නාට තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කිරීමකින් තොරව පොලිසිය වෙත තොරතුරු ලබා දීම සඳහා ‘1997’ කෙටි දුරකථන අංකය හඳුන්වාදී තිබෙනවා.
මෙහි ප්‍රධාන මෙහෙයුම් මැදිරිය පොලිස් මූලස්ථානයට අනුයුක්තව කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි ‘විශේෂ කාර්යංශ මූලස්ථානයේ’ ස්ථාපිත කර ඇති අතර, මෙම දුරකථන අංකයට ලැබෙන තොරතුරු පිළිබඳව පූර්ණ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසට වැඩබලන පොලිස්පතිතුමා විසින් සියළුම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴
හිටපු රේගු අධිකාරිවරු සිව් දෙනෙකු (4) ගෙන් අභියාචනාධිකරණයට අභියාචනයක්
(31.01.2025 – 16:23 +0530 – hirunews.lk/sinhala)
2015 වසරේ පංචිකාවත්ත ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි දොළහමාරක (12½) අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 35 ක සිර දඬුවම් ලබා සිටින හිටපු රේගු අධිකාරිවරු හතර දෙනෙකු (4) ඔවුන්ගේ දඬුවම්වලට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා.
අදාල අභියාචනා පෙත්සම්වල වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබෙනවා.
2015 වසරේ පංචිකාවන්ත ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයෙකු විසින් ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ආනයනය කළ මෝටර් රථ අමතර කොටස් මුදා හැරීම සඳහා රුපියල් කෝටි 15 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දොළහමාරක් (12½) අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම විත්තිකාර හිටපු රේගු අධිකාරිවරු හතර දෙනාට (4) එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා ගොනු කර තිබුණා.
එම චෝදනාවලට වරදකරු කෙරුණු විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කළා.
කොළඹ මහාධිකරණය විසින් එම දඬුවම් නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, ඒ අනුව තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඉල්ලා එම හිටපු රෙගු අධිකාරීවරු හතර දෙනා (4) සිය අභියාචනා පෙත්සම් වලින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා ෴
ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු පිටුවහල් කරන්න අමෙරිකාව සැරසෙයි
(31.01.2025 – 14:40 +0530 – hirunews.lk/sinhala)
අමෙරිකාව විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස එරට රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු ද සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කරනවා.
U.S. Immigration and Customs Enforcement (ICE)Enforcement and Removal Operations (ERO) November 2024 යනුවෙන් නිකුත් කර ඇති අදාළ ලේඛණයේ දැක්වෙන ආකාරයට පිටුවහල් කිරීමට නියමිත අමෙරිකාවේ රැඳී සිටින සම්පූර්ණ නීති විරෝධී සංක්‍රමණිකයන් ගණන 14,45,549 ක් වනවා.
මෙම ලැයිස්තුවේ අමෙරිකානු රජයේ ප්‍රතිපත්තිවලට සහාය නොදක්වන රටවල් ලැයිස්තුවක් ද දක්වා ඇති අතර, ඊට ශ්‍රී ලංකාව අයත්ව නැහැ ෴
සිසුන් සියදිවි හානි කරගැනීම් ගැන ප්‍රජා වෛද්‍යවරුන්ගෙන් දැනුවත් කිරීමක්
(31.01.2025 – 14:32 +0530 – hirunews.lk/sinhala)
සමාජ මාධ්‍යය භාවිතය, ළමා සියදිවි හානි කරගැනීම් ඉහළ යෑමට හේතුවක් වී ඇති බව ‘ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය සංගමය’ පවසනවා.
පසුගිය වසර (2024) තුළ ළමා සියදිවි හානි කරගැනීම් 200 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි එහි සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පැවසුවේ.
කොළඹ පැවති මාධ්‍ය හමුට එක්වෙමිනුයි විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ.
ඒ අනුව, 2022 වසරේ අවුරුදු 18 ට අඩු දරුවන් 133 දෙනෙක් සියදිවි හානි කරගෙන තිබෙන අතර, නිල නොවන දත්ත අනුව පසුගිය වසරේ (2024) 270 ක් සියදිවි නසාගෙන ඇති බවට වාර්තා වන බවයි ඔහු පැවසුවේ.
එහිදී ඔහු මෙසේද සඳහන් කළා :
“මේ සියලුම දේවලට විවිධ හේතු තියෙනවා. සමාජ මාධ්‍ය කොයි විදියටද තහනම් කරන්නේ කියන එක සම්බන්ධයෙන් විමසා බලනවා. සමාජ මාධ්‍ය භාවිතයේ වාසි අවාසි දෙකම තියෙනවා. මේක පාලනය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා” ෴
කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර රාත්‍රී තැපැල් දුම්රිය අද (31) සිට යළි ධාවනයට
(31.01.2025 – 11:43 +0530 – hirunews.lk/sinhala)
උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීම හේතුවෙන් අත්හිටවූ කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර රාත්‍රී තැපැල් දුම්රිය අද (31) සිට යළි ධාවනයට එක් කෙරෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ මෙම දුම්රිය යළි ධාවනයට එක්කෙරෙන්නේ වසර දෙකකට (2) පමණ පසුව බවයි ෴
බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියයයි
(31.01.2025 – 07:49 +0530 – hirunews.lk/sinhala)
පුස්සැල්ලාව පොලිස් වසමේ කළුගලවත්ත ප්‍රදේශයේ තේ වත්තක වැඩ කරමින් සිටි පුද්ගලයෙකුට ඊයේ (30) බඹරු දෂ්ඨ කිරීම හේතුවෙන් තුවාල ලබා වහුගපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පුස්සැල්ලාව පොලිසිය සඳහන් කරනවා.
මරණකරු වයස අවුරුදු 52 ක් වූ කළුගලවත්ත, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු බඹර ප්‍රහාරයට ලක් වූ අවස්ථාවේ නිවසට දිව ගොස් ඇති අතර, නිවසේ සිටි කාන්තාවකටද බඹරු දෂ්ඨ කිරීම හේතුවෙන් වහුගපිටිය රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබයි ෴
නැව් අළුත්වැඩියා කිරීමට සකසා ඇති තටාකයකට වැටී පුද්ගලයෙකු මියයයි
(01.02.2025 – 06:51 +0530 – hirunews.lk/sinhala)
කොළඹ වරාය පරිශ්‍රයේ ඩොක්යාඩ් ආයතනයේ සේවය කළ පුද්ගලයෙකු ඊයේ (31) නැව් අළුත්වැඩියා කිරීම සඳහා සකස් කර ඇති තටාකයකට වැටී ඇති අතර කිමිඳුම්කරුවන් විසින් ඔහු ගොඩට ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට වෙරළබඩ පොලිසිය සඳහන් කරනවා.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 37 ක් වූ පරගහවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු ඩොක්යාඩ් ආයතනයේ උප කොන්ත්‍රාත් සමාගමක සේවකයකු වන අතර, උදෑසන ආහාරයෙන් පසු අත සේදීමට නැව් අළුත්වැඩියාව සඳහා සකස් කර ඇති තටාකය ආසන්නයේ ජල කරාමයක් වෙත ගොස් නැවත පැමිණීමේදී තටාකයට ඇද වැටී ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධව වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴