බස් හිමියන් සැලසුම් කළ වැඩ වර්ජනය අත්හිටුවයි

බස් හිමියන් සැලසුම් කළ වැඩ වර්ජනය අත්හිටුවයි


බස් හිමියන් සැලසුම් කළ වැඩ වර්ජනය අත්හිටුවයි

(08.01.2025 – 14:34 +0530 – hirunews.lk/sinhala)

‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහන යටතේ බස් රථ සම්බන්ධයෙන් ක්‍රියාත්මක ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් අද (08) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීමට සැළසුම්කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ මගී ආරක්ෂාවට තර්ජනය වන අයුරින් බස් රථවල සවිකර ඇති අනවශ්‍ය කොටස් ඉවත් කීරීමට ලබාදුන් සහන කාලය මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට එකගතාව පළ වීම හේතුවෙන්.

බස් සංගම් ප්‍රධානින් සහ පොලිස්පතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මූලික කාරණා කිහිපයකට දෙපාර්ශවය එකඟ වූ බව ‘ලංකා බස් හිමියන්ගේ සංගමයේ’ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

පොලීසිය පැත්තෙන් සාධනීය විසදුමක් ලැබුනු නිසා වර්ජනය අත හරින බවද ඔහු සදහන් කළා.

බරපතල ගැටලුවක්ව පවතින, බස්රථ තරගයට ධාවනය කිරීම අවම කිරීම සදහා ඒකාබද්ධ කාල සටහනක් මාස තුනක් (3) ඇතුලත සකස් කරන බවට ද මෙහිදි රජයේ පාර්ශවය එකග වූ බවයි ඔහු පවසන්නේ.

මෙම සාකච්ඡාවේදී පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාව දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් බස් හිමියන්ගේ ගැටලු නිරාකරණය කර ඇති බවද වාර්තා වෙනවා.

බස්රථවල අමතර සැරසිලි උපාංග ගැලවීමට මාස තුනක (3) සහන කාලයක් ලබා දීම, බස්රථ ස්ටිකර් නොගැලවීම, ධාවනය වෙන අවස්ථාවේ මගීන් සමග මහමග බස්රථ නතර කිරිම සීමා කිරීමටත් එලෙසම එම අවස්ථා මාධ්‍යට දමා බස්රථ කර්මාන්තයට හා මගීන්ට අපහසුවක් ඇති නොවන පරිදි ක්‍රියා කිරීම නතර කිරීමටත්, පොලිසිය එකඟවූ බව ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් අනතුරුවලට අතවනන බස්රථවල මෙම අනවශ්‍ය සැරසිලි උපාංග ඉහත මාස තුන (3) ඇතළත බස් හිමියන් ගලවා දැමිය යුතු බවත්, එසේ නොවුණහොත් පොලිසිය විසින් ඊට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන්න බවත් මෙහිදී බස් හිමියන් වෙත වැඩ බලන පොලිස්පතිවරයා පවසා තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ බස්රථවල වැරදි සෙවීම සදහා ආරම්භ කර ඇති පොලිස් මෙහෙයුම් ද නතර නොකරන බවයි.

මෙම සාකච්ඡාව සඳහා ‘ජාතික ගමනා ගමන කොමිසමේ’ ප්‍රධානීන්, පළාත් ප්‍රවාහන බලධාරීන් ඇතුළු බස්රථ සේවක සංගම් ප්‍රධානීන් සහභාගි වී තිබෙනවා.

+

+


වෛද්‍ය චමල් සංජිව හදිස්සියේම CID ඇවිත් ලොකු සිද්ධි දෙකකට (2) එරෙහිව පැමිණිලි කරයි (08.01.2025)

+


මියන්මාර ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ කඳවුරෙන් මිදී ආ තරුණියක් හිරුට කියූ සංවේදී කතාව

(08.01.2025 – 15:03 +0530 – hirunews.lk/sinhala)

මියන්මාර – තායිලන්ත දේශසීමාව ආසන්නයේ ත්‍රස්තවාදී පාලනය යටතේ පවතින ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ නමින් හදුන්වන ප්‍රදේශයේ පිහිටි කඳවුරක වහල් සේවයට යොදවා සිටි ශ්‍රී ලාංකීයයන් පිළිබඳව ‘හිරු ප්‍රවෘත්ති’ ඔස්සේ පළමු වරට අප ඔබට තොරතුරු වාර්තා කළේ මීට මාස 6 කට පමණ පෙරදීයි.

එම ත්‍රස්තවාදී කඳවුරෙන් මිදී ශ්‍රී ලංකාවට පැමිණි ලාංකික තරුණියක් ඔවුන්ගේ එම බිහිසුණු අත්දැකීම් පළමු වරට ‘හිරු ප්‍රවෘත්ති’ වෙත අනාවරණ කළා.

තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයෙන් අධ්‍යාපන කටයුතු හැදෑරූ ඇය මියන්මාරයේ රැකියාවකට යොමු වූ අයුරු ද මෙහිදී අනාවරණ කළා.

ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවුණු ඇය සිර කඳවුරේදී මුහුණ දුන් අමානුෂික තත්ත්වය අදහාගත නොහැකියි.

තමා මෙන්ම තවත් 14 දෙනෙකු තවමත් මෙම වහල් කඳවුරේ අපා දුක් විඳීමින් දිවි ගෙවන බවයි ඇය පවසන්නේ.

වසර 2 කට ආසන්න කාලයක් මානසික සහ කායික වධ හිංසනයට ලක්ව අද වනවිට ජීවිතය පිළිබඳ යම් බලාපොරාත්තුවක් ඇය තබා සිටිනවා.

+


මාලිමාවට ඉස්ලාම් අන්තවාදීන් අරමුදල් ලබාදුන්නා ද? (09.01.2025)

+


ජනාධිපති ලේකම් කාර්යාල‍යෙන් අතුරුදන් වූ මිලියන ගණනක භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

(08.01.2025 – 17:59 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162 ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (08) පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළා.

මෙම විමර්ශන සදහා නියෝග අවශ්‍ය නම් මෝසමක් හරහා ඉල්ලා සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසටද නියෝග කරනු ලැබුවා.

මෙම භාණ්ඩ අස්ථාන ගතව ඇති බවට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් යොමු කළ නිර්නාමික ලිපියක් පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළ බවයි එම ඒකකය අධිකරණයට කරුණු වාර්තා කරමින් දන්වා සිටියේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අංශය බාර ගණකාධිකාරී සිසිර කුමාරගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවත් අස්ථානගතවූ භාණ්ඩ භාරගත් අයගෙන් ඉදිරියේ ප්‍රකාශ සටහන් කරගන්නා බවත් පොලිසිය කරණු දක්වමින් අධිකරණයට දන්වා සිටියා ෴


ශ්‍රී ලංකාවෙන් හමුවූ HMPV වෛරස ආසාදිතයින් ගැන හෙළිදරව්වක්

(08.01.2025 – 20:04 +0530 – hirunews.lk/sinhala)

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20 ක් පුරාවටම පැවති වෛරසයක් බවත් සෞඛ්‍ය අංශ පවසනවා.

2023 දෙසැම්බර් සහ ජනවාරි යන මාසවලදී මෙරට තුල ද HMPV වෛරස ආසාදිතයින් හමුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ බව පරීක්ෂණවලින් හෙළිව ඇති අතර මෙම වසරේ HMPV වෛරසයට අදාළ පරීක්ෂණ තවමත් සිදු කර නොමැති බවද සඳහන්.

එමෙන්ම සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේ පසුගිය අවුරුද්දේ මහනුවර ප්‍රදේශයෙන් ද මෙම වෛරසය ආසාධිත පුද්ගලයින් හමු වී ඇති බවයි.

+


බස්වලින් කප්පම් ගත්ත ‘බට්ටා කල්ලිය’ කොටුවෙයි

(08.01.2025 – 20:23 +0530 – hirunews.lk/sinhala)

මැදවච්චිය බස් නැවතුම්පළෙන් දුර සේවා බස් රථවලින් කලක පටන් බාහිර පාර්ශ්වයක කල්ලියක් කප්පම් ලබා ගැනීම පිළිබඳ මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්නට සහ සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකරට ලද නිර්නාමික දුරකථන ඇමතුම් සහ ලිඛිතව ලද පැමිණිළි හේතුවෙන් හදිසියේම අද (08) දහවල් මැදවච්චිය බස් නැවතුම්පළට සිවිල් ඇඳුමින් සැරසුණු උපාය ධූතයන් සහ මැදවච්චිය පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරීන් යොදවා සූක්ෂම ලෙස ජංගම දුරකථනයන්ගෙන් පටිගත කර ගන්නා ලද වීඩියෝ දර්ශන ද සහිතව අදාළ කප්පම් කල්ලියේ පුද්ගලයෙකු අදාළ අල්ලස් මුදල් ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 හැවිරිදි අයෙක්.

ඔහු ‘බට්ටා’ යන අන්වර්ථ නාමයෙන් ප්‍රදේශයේ ජනප්‍රිය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පුද්ගලයා මීට පෙර බස් රථ රියදුරෙකු ලෙස සේවය කර ඇති අතර මිට වසර කිහිපයකට පෙර සිදු වූ අනතුරක් හේතුවෙන් වම් පාදයට හානි සිදු වී තිබෙනවා.

ඔහු කිහිළිකරුවක ආධාරයෙන් ඇවිදිමින් මෙම කප්පම් ගැනීම සිදු කරනු ලබන බවද පොලීසිය සඳහන් කළා.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩටසහන යටතේ උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ නව සභාපති සහ සාමාන්‍යාධිකාරී පසුගිය කාලයේ මුදල් මත සිදු වූ සියළු දූෂණ වංචා නවත්වාලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග යටතේ මෙම හදිසි වැටලීම සිදුව ඇත්තේ.

මෙහිදී කප්පම්කරුවන් ඉතා සූක්ෂම අන්දමින් අදාළ දුර ගමන් සේවා බස් රථ වලින් මුදල් ලබා ගන්නා ආකාරය නිරීක්ෂණය කර ගැනීමට හැකිවූ බවද සඳහන්.

කප්පම් ලබා ගන්නා පිරිස් සෘජුව බස් රථ වලින් මුදල් ලබා ගන්නා අතර ඔවුන්ට සැක සහිත පිරිස් බස් නැවතුම්පළ තුළ ගැවසේ නම් ඔවුන් වඩේ විකුණන වෙළෙන්ඳන් හා රට කජු විකුණන වෙළෙන්ඳන් හරහා බස් කොන්දොස්තරවරුන්ගෙන් අදාළ මුදල් ලබා ගෙන කප්පම් කල්ලියට ලබා දෙන අයුරු මෙහිදී සොයාගෙන තිබෙනවා.

මෙය පැය 24 පුරා මෙම කල්ලිය විසින් බස් රථ වලින් මුදල් එකතු කිරී‍මේ කටයුත්තේ නිරතවන බව බස් රථ වෙළෙඳාමේ යෙදෙන පිරිස් මෙහිදී පවසා තිබෙනවා.

එසේම දුර සේවා බස් රථයක් ගමනාරම්භයේ සිට අවසානය දක්වා බස් රථ කප්පම් ලෙස දෛනිකව දිනකට රුපියල් 8,000 කට වැඩි මුදලක් ලබා දෙන බවයි අදාළ බස් රථයේ කොන්දොස්තරවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වල දී අනාවරණය වී ඇත්තේ.

+

+


වාහනවල සවිකෙරෙන ගැජට්වලට අයකෙරෙන ගාස්තුව

(08.01.2025 – 21:51 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිර්ණායකයන්ට අනුකූලව අමතර උපාංග සංවිකිරීමට අදාළ ලියාපදිංචි සහතිකය ලබාගෙන ඇත්තේ බස් රථ 35 ක් සහ ත්‍රිරෝද රථ 60 ක් පමණක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

‘හිරු ප්‍රවෘත්ති’ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් එහි සහකාර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුජීව තෙන්නකෝන් මේ බව සඳහන් කළා.

‘CLEAN SRI LANKA’ වැඩසටහනට සමගාමීව මේ දිනවල මගී බස්රථ සහ ත්‍රිරෝද රථවල සවි කර ඇති මගී ආරක්ෂාවට බලපෑ හැකි උපාංග ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙනවා.

ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුව 2013 වසරේ නිකුත් කර ඇති චක්‍රලේකයට අනුවයි.

පොදු ප්‍රවාහන බස්රථ හා විනෝද චාරීකා සඳහා යොදා ගනු ලබන විනෝදාස්වාදය වෙනුවෙන් නවීකරණය කරන ලද බස් රථ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ථමෙන්තුව විසින් 2021 වර්ෂයේ දී ඉදිරිපත් කරන ලද යෝජනාවලිය 2024/06 දරණ දෙපාර්තමේන්තු චක්‍රලේඛය මගින් පෙන්වා දී තිබෙනවා.

එම චක්‍රලේඛය අනුව ත්‍රිරෝද රථවල සහ බස් රථවල අලංකරණය සඳහා අමතරව සවිකර ඇති උපාංග වෙනුවෙන් ගාස්තු ගෙවීමට අදාළ රථවාහන රියැදුරන්ට සිදුවනු ඇති.

ඒ අනුව විනෝදාස්වාදය වෙනුවෙන් නවීකරණය කිරීමේ බස්රථ කාණ්ඩයේ වසර 05 ක ලියාපදිංචි ගාස්තුව වන්නේ රුපියල් 50,000 ක්.

බස්රථ වර්ණ ගැන්වීමේදී තීන්ත ආලේප කිරීම හෝ ස්ටිකර් භාවිත කිරීමට මාදිලි 04 ක් යටතේ රුපියල් 20,000 සිට රුපියල් 40,000 දක්වා ගස්තු අය කෙරෙනවා.

මීට අමතරව එලෙස නවීකරණය කරන ලද බස් රථවල බඳෙහි අලෝක රටා සහිත විදුලි පහන් සවිකිරීමට රුපියල් 20,000 ක් ද ආසන සැලස්ම වෙනස් කිරීම සඳහා රුපියල් 10,000 ක් ද අය කෙරෙනවා.

බස් රථ ඇතුලත ආලෝක රටා පද්ධති සවි කිරීමට රුපියල් 10,000 ක ගාස්තුවක් අය කෙරෙන අතර බස් රථ තුළ ඩිජිටල් තිර සවි කිරිම සඳහා අය කෙරෙන ගාස්තුව වන්නේ රුපියල් 5,000 ක්.

මේ අතර, ත්‍රිරෝද රථ නවීකරණය සඳහා ද ගාස්තු අය කිරීමක් සිදු කෙරෙනවා.

ඒ අනුව තනි ප්‍රධාන පහන් සහිත ආකෘතිය වෙනස් කර ද්විත්ව ප්‍රධාන පහන් සවිකිරීමට රුපියල් 1,000 ක් ගාස්තු ලෙස අය කෙරෙනවා.

ඉදිරි බඳෙහි පහළින් සවිකර ඇති අමතර කොටස් සියල්ල ප්ලාස්ටික් හෝ ෆයිබර් වැනි සැහැල්ලු ද්‍රව්‍යයකින් නිර්මාණය කිරීමට රුපියල් 1,000 ක් අය කෙරෙන අතර, ඉදිරියට නෙරා ඇති හැඩතලවලින් තොරව මැද පිහිටි ආරක්ෂක වැඩ සුදු යකඩ ලෝහයෙන් නිර්මාණය කිරිමට රුපියල් 2,000 ක මුදලක් ගාස්තු ලෙස අයකෙරෙනවා.

මේ අතර මෙම චක්‍රලේඛයට අනුකූලව මෙරට ලියාපදිංචි කර ඇත්තේ බස් රථ 35 ක් පමණක් බව හිරු ප්‍රවෘත්ති සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙම්න් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුජීව තෙන්නකෝන් සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *