දරුවන්ගේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් : පොලිසියට විමර්ශනයක් පැවැත්වීමට නියෝග
දරුවන්ගේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක්: පොලිසියට විමර්ශනයක් පැවැත්වීමට නියෝග
(10.12.2024 – 22:23 +0530 – hirunews.lk/sinhala)
මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ ‘නෙක්මැක්’ ආයතනය හෙළි කරගෙන ඇති තොරතුරු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (10) ‘පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය’ට නියෝග කළා.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් ‘පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය’ දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
එම කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ ඇමරිකාවේ පිහිටි මෙම ‘නෙක්මැක්’ නැමැති අන්තර්ජාල ආයතනය ලෝකයේ රටවල් අටක (8) සාමාජිකයන් ලෙස බැඳී ඇති බවත්, එසේ සාමාජිකත්වය ලබාගෙන ඇති රටවල්වල දරුවන්ට අදාළ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ මුදා හැරීම සම්බන්ධයෙන් එම ආයතනය නිරන්තරයෙන් සොයා බැලීම් කටයුතු සිදුකරන බවයි.
එම සොයාබැලීම් කටයුතු සිදුකරන අතරතුර ශ්‍රී ලාංකික දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කුමන හෝ පරිගණක උපාංගයක් හරහා මුදාහැර තිබෙන බවට එම ආයතනයේ ‘නෙක්මැක්’ මෘදුකාංගයක් මගින් සොයාගෙන ඒ බව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවද, එම කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට දන්වනු ලැබුවා.
මෙම සිද්ධියට හා සමාන පැමිණිලි රැසක් මේ වනවිට තම අංශය වෙත ලැබී ඇති බවත්, තවදුරටත් එවැනි පැමිණිලි ලැබෙමින් පවතින බවද එම කාර්යාංශය අධිකරණයට එහිදී දැනුම් දුන්නා.
එසේ පැමිණිලි රැසක් ලැබෙමින් පවතින නමුත් මෙම සිද්ධියට අදාළව කිසිදු වින්දිත දරුවෙක් මේ වෙන තෙක් සොයාගෙන නොමැති බවද එම කාර්යාංශය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවුණා.
දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප ජංගම දුරකථන තුළ බාගත කරගෙන ඇති මෙරට කිසියම් පිරිසක් එම අසභ්‍ය දර්ශන හා ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවද එම කාර්යාංශය වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට දන්වනු ලැබුවා.
ඒ අනුව, ‘පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය’ අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සිද්ධිය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි නියෝග කරනු ලැබුවේ ෴
කථානායකට එරෙහිව ‘විශ්වාසභංගයක්’ ගෙනෙයි ද?
(11.12.2024 – 21:21 +0530 – hirunews.lk/sinhala)
කථානායක අශෝක සපුමල් රන්වලගේ අධ්‍යයන සුදුසුකම්වල සත්‍යතාව පැහැදිලි කිරීමට අපොහොසත් වුවහොත් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සලකා බලමින් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.
එතුමා බලයට පත්වීමට සහ කථානායක ධුරය ලබා ගැනීම සඳහා මෙම ආචාර්ය ධුරය භාවිත කර ඇති බවත් ඔහු තවමත් මේ සඳහා නිසි පිළිතුරක් ලබා නොදීම ගැටලු සහගත බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
විශේෂයෙන්ම ඊයේ (10) රජය වෙනුවෙන් කතා කළ මාධ්‍ය ප්‍රකාශකයින් එම ප්‍රශ්න සඳහා පිළිතුරු දීම මගහැරීමත්, පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියෙන් මෙම ආචාර්ය උපාධිය පිළිබඳ කාරණය ඉවත්වීමත් සමඟ එතැන විශාල ගැටළුවක් උද්ගතව ඇති බවයි අජිත් පී පෙරේරා පවසන්නේ.
එමෙන්ම මන්ත්‍රීවරයා සඳහන් කළේ ඉදිරි දින දෙක (2) තුළ කථානායක අශෝක සපුමල් රන්වලගේ සිය ආචාර්ය උපාධිය රටට පෙන්විය යුතු අතර ඊට අපොහොසත් වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ සහ NPP පක්ෂය යම් විනය තීරණයක් ගත යුතු බවයි.
එසේ නොමැති වුවහොත් විපක්ෂයට පියවරක් ඉදිරියට තැබීමට සිදුවන බවත් අනෙකුත් පක්ෂත් සමඟ සාකච්ඡා කර ඔහුට විරුද්ධව ‘විශ්වාසභංග යෝජනාවක්’ ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩිදුරටත් පැවසුවා.
මෙම ප්රශ්නය පාර්ලිමේන්තුවේ ගෞරවය පිළිබඳව විශාල ගැටලුවක් බවත් කතානායකවරයාට ඊට ප්‍රතිචාර දැක්වීමට සාදාරණ අවස්ථාවක් දියයුතු බවත් එතුමාට සාදාරණ පැහැදිලි කිරීමක් සිදු කළ නොහැකි නම් හා එතුමා ධුරයෙන් ඉල්ලා නොවුණහොත් එතුමාට විරුද්ධව ‘විශ්වාසභංගයක්’ ගෙන ඒමට සිදු වන බවයි ඔහු සඳහන් කර සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා :
“ඒ වගේම එතුමා ඡන්දේ ඉල්ලද්දී පත්‍රිකාවල ගැහුවෙත්, පෝස්ටර්වල ගැහුවෙත්, කටවුට්වල ගැහුවෙත් ‘ආචාර්ය’ කියලා. එතුමා පාර්ලිමේන්තුවට පත් වෙලා අග්‍රාමාත්‍යතුමිය එතුමාගේ නම කථානායක ධූරයට යෝජනා කරද්දිත් යෝජනා කරේ ‘ආචාර්ය රන්වල’ කියලා. එමෙන්ම එතුමාට ‘ආචාර්ය උපාධියක්’ නීත්‍යානූකුලව ඇතනම් එය ඔප්පු කිරීමට එතුමාට ශක්තිය, ධෛර්යය ලැබේවා මම ප්‍රාර්තනා කරනවා. සමගි ජන බලවේගයට අමතරව අනෙකුත් පක්ෂ සමඟත් අපි මේක සාකච්ඡා කරනවා. මේක අපේ පාර්ලිමේන්තුවේ ගෞරවය පිළිබඳ විශාල ප්‍රශ්නයක්.”
+
+
‘සංජීව’ගේ සහ ‘චුට්ටා’ගේ රුපියල් කෝටි 15 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට
(11.12.2024 – 20:09 +0530 – hirunews.lk/sinhala)
කහතුඩුව – පොල්ගස්ඕවිට සහ වනාතමුල්ල යන ප්‍රදේශවලින් රුපියල් කෝටි 15 කට අධික වටිනා හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පොල්ගස්ඕවිට ප්රදේශයේදීයි මෙහෙයුම සිදුකළේ.
එහිදී නිවසක සගවා තිබූ හෙරොයින් කිලෝ 05 ක්, අයිස් කිලෝ 01 යි ග්‍රෑම් 600 ක් මෙන්ම මත් පෙති 800 ක් සොයා ගත්තා.
අදාළ නිවස, අත්අඩංගුවට ගත් 27 හැවිරිදි සැකකරු විසින් කුලී පදනම මත ලබාගෙන ඇති බව සඳහන්.
මෙම මත්කුඩු දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මාකිලන්ගමුවේ සංජීව’ට අයත් බවට සැක කෙරෙනවා.
මෙම ජාවාරම විදේශ රටක සිටින ඔහුගේ සමීපතයින් පිරිසක් මෙහෙයවා ඇති බවටයි සැක කෙරෙන්නේ.
මේ අතර, බොරැල්ල පොලිසිය විසින් වනාතමුල්ල ප්‍රදේශයේ අනෙක් වැටලීම සිදු කර තිබෙනවා.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 යි මිලිග්‍රෑම් 100 ක් සමග මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය දැනට ඉන්දියාවේ සැඟව සිටින ‘චුට්ටන්’ නැමැත්තාට අයත් බව පැවසෙනවා ෴
සහල් ගැන පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 50 ක්
(11.12.2024 – 19:35 +0530 – hirunews.lk/sinhala)
සහල් සම්බන්ධයෙන් මේ වන විට දිවයින පුරා වැටලීම් 50 ක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.
සහල් වැඩිමිලට අලෙවි කිරීම ඇතුලු කරුණු සම්බන්ධයෙන් එම අධිකාරියට පැමිණිලි රැසක් ලැබී තිබෙනවා.
එසේ ලද පැමිණිලිවලට අනුව මෙම වැටලීම් ඊයේ (10) දිනයේ ක්‍රියාත්මක කළ බවයි එම අධිකාරිය පවසන්නේ.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය, සහල් සම්බන්ධයෙන් අද (11) දිනයේද වැටලීම් සිදු කර තිබෙනවා ෴
+
+
වැලිකඩ ජේලර්වරියකට මරණ තර්ජන – පොලීසිය විමර්ශන අරඹයි
(11.12.2024 – 22:23 +0530 – sinhala.adaderana.lk)
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරියකට එම අංශයේ රඳවා සිටි කාන්තා රැඳවියක් මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
සිද්ධියට මුහුණ දුන් ජේලර්වරිය බොරැල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (11) බොරැල්ල පොලීසියට නියෝග කළේය.
“දින 7 ක් ඇතුළත උඹව මරා දමනවා… උඹේ පවුලේ අයත් මරා දමනවා” යනුවෙන් අදාළ මරණීය තර්ජනය එල්ලකර තිබෙන බව වාර්තා වෙයි.
එමෙන්ම බන්ධනාගාරගතව සිටින සැකකාර කාන්තාව පිටස්තර පුද්ගලයන් සමග දුරකථන සංවාද පවත්වා තිබේද යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අදාළ දුරකථන සමාගම්වලින් දුරකථන වාර්තා කැඳවන ලෙසටද පොලීසියට නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ, මෙම සැකකාර කාන්තාව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින අතරතුර ජංගම දුරකථන භාවිත කිරීම, සෙසු සිරකාරියන් සමග අසභ්‍ය ආකාරයෙන් හැසිරීම ඇතුළු චෝදනා කිහිපයක් සැලකිල්ලට ගෙන ඇයව කළුතර බන්ධනාගාරය වෙත ස්ථාන මාරුකර ඇති බවය.
එසේ මාරු කරන ලද ඇයව නැවත වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත මාරුකර එවන ලෙසට කළුතර බන්ධනාගාර අධිකාරිවරයාට ලද ලිපියකට අනුව පසුගිය දිනක ඇයව නැවත වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය වෙත මාරු කර ඇති බවද පොලීසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවී තිබේ.
දූෂණ චෝදනා මත කළුතර බන්ධනාගාරය වෙත ස්ථාන මාරුකර යවන ලද එම සැකකාර කාන්තාව නැවත වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේ කෙසේද යන්න පිළිබඳව එහි ප්‍රධාන ජේලර්වරියට සැකයක් මතුවී තිබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේ කටයුතුවල නිරත වෙමින් සිටින අවස්ථාවේදී අදාළ සැකකාර කාන්තාව එම කාන්තා අංශයේ වැසිකිළියක් තුළට ගොස් ‘කෙසෙල්වත්තේ දිනුක’ නමැති පුද්ගලයකු සමග දුරකථනයෙන් සංවාද පවත්වමින් සිට ඇති බවද පොලීසිය අධිකරණයට දැනුම්දී ඇත.
එම සිද්ධිය දුටු පැමිණිලිකාර ජේලර්වරිය අදාළ සැකකාර කාන්තාව වැසිකිළියෙන් එළියට ඇද ප්‍රශ්න කරන අතරතුරදී ඇය පොළොවේ දිගාවී සිය දෑතට වැලිගෙන ජේලර්වරිය දෙසට දමා ගසමින් පරුෂ වචනයෙන් බැන වැදී ජේලර්වරිය හා ඇයගේ පවුලේ අය දින 7 ක් ඇතුළත මරා දමන බවට තර්ජනය කර ඇති බවද පොලීසිය අධිකරණයට දැක්වූ කරුණුවල සඳහන් ය.
ඒ අනුව බන්ධනාගාරගතව සිටින සැකකාර කාන්තාව ජංගම දුරකථනයෙන් සංවාද පැවැත්වූ බව කියන පුද්ගලයන් කවුද යන්න පිළිබඳ හඳුනාගැනීම සඳහා අදාළ දුරකථන සමාගම්වලින් දුරකථන වාර්තා කැඳවීමට අවසර ලබාදෙන ලෙසට බොරැල්ල පොලීසිය කරන ලද ඉල්ලීමකට අධිකරණයෙන් අවසර හිමිවිය ෴
කල් ඉකුත්වූ සහල් රට පන්නන ජාවාරම කොටු කළ ‘හිරු CIA’ මෙහෙයුම
(11.12.2024 – 22:16 +0530 – hirunews.lk/sinhala)
කැනඩාවට සහල් අපනයනය කරන මුවාවෙන් ඒවායේ කල් ඉකුත්වීමේ දින වෙනස් කර නැවත ඇසුරුම් කිරීමේ මහා පරිමාන ජාවාරමක් ‘හිරු සී.අයි.ඒ.’ ලබාදුන් තොරතුරු මත අද (11) වටලනු ලැබුවා.
‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ’ නිලධාරීන් අදාල වැටලීම සිදු කළේ බිංගිරිය බෝවත්ත ප්‍රදේශයේ නිවසකදී.
පොලොන්නරුවේ මහා පරිමාන සහල් නිෂ්පාදකයෙකුගේ කිලෝ පහේ (5) ‘කීරි සම්බා’ සහල් උර තොග වශයෙන් රැස්කරගෙන බිංගිරිය – බෝවත්ත ප්‍රදේශයේ නිවසක් තුල කිසියම් ජාවාරමක් සිදු වන බවට ‘හිරු සී.අයි.ඒ.’ වෙත පසුගිය දිනක තොරතුරු ලැබුනා.
ඒ අනුව වහා ක්‍රියාත්මක වු අප මෙම ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල කාර්යාල නිලධාරීන්’ සම්බන්ධ කර ගත් අතර අද (11) පෙරවරුවේ අදාල නිවස වටලනු ලැබුවා.
නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ දුරකථනයෙන් සම්බන්ධ වු මෙම නිවසේ කාන්තාව පැවසුවේ මෙම ස්ථානයේ සහල් නැවත ඇසුරුම් කර කැනඩාවට අපනයනය කරන බවයි.
කෙසේ වෙතත් නිවසේ තිබු සහල් තොග පරීක්ෂාවේදී හෙළිවුයේ පොලොන්නරුවෙන් ගෙන්වන ලද කිලෝ 5 කීරි සම්බා සහල් කිලෝ 4500 ක් පමණ එහි ගබඩා කර ඇති බවයි.
මෙම නිවස තුලදී කිලෝ 5 සහල් උර කඩා කිලෝ 4 බැගින් කීරි සම්බා ලෙස සටහන් කර ඇති මෙම පොලිතින් උරවලට නැවත ඇසුරුම් කිරීම් සිදුකරනවා.
ප්‍රශ්න කිරීම් හමුවේ මෙලෙස පැවසුව ද දිනපතා මෙම නැවත ඇසුරුම් කිරීම් සිදු කර තිබූ බව නිලධාරීන් අනාවරණය කර ගත්තා.
නියමිත කල් ඉකුත්වීමේ දිනය වන 2025.4.26 යන දිනය ද වංචනික ලෙස වෙනස් කර තිබු බව එහිදී හෙළි වුනා.
නැවත ඇසුරුම් කරන උරවල කල් ඉකුත්වීමේ දිනය 2026.12.04 ලෙස සටහන් කර තිබුනා.
ඒ අනුව නියමිත කල් ඉකුත්වීමේ දිනයට වඩා වසරකුත් මාස 7 ක (මාස 19) පමණ කාලයක් ඉදිරියට යොදා මෙම සහල් ජාවාරම කලක පටන් සිදුකර ගෙන ගොස් තිබුනා.
නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූයේ මෙම නිවෙස් හිමිකරුට සහල් අපනයනය කිරීම සඳහා බලපත්‍ර කිසිවක් නොමැති බවයි.
ඔහුගේ මිතුරෙකුට අයත් සහල් අපනයනය කිරීමේ බලපත්‍රයක් උපයෝගී කර ගෙන මෙම නිවෙස සහල් ගබඩාවක් ලෙස වංචනිකව පවත්වාගෙන යමින් කල් ඉකුත්වීමේ දින වෙනස් කරන මෙම සහල් ජාවාරම කලක පටන් සිදුකර ගෙන ගොස් තිබුනා.
මෙම වැටලීමේදී කල් ඉකුත්වීමේ දින ව්‍යාජ ලෙස වෙනස් කොට විදෙස් ගත කිරීමට සුදානම් කර තිබු සහල් තොගයද ‘පාරිභෝගික අධිකාරියේ’ නිලධාරින්ගේ භාරයට ගැණුනා.
‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ’ උසස් නිලධාරියෙකු සඳහන් කලේ මේ සහල් ජාවාරම සම්බන්ධයෙන් ‘හෙට්ටිපොල අධිකරණය’ට කරුණු වාර්තා කරන බවයි.
+
පිටකොටුවේ කඩවල විකුණන ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය
(11.12.2024 – 22:31 +0530 – hirunews.lk/sinhala)
එළඹෙන උත්සව සමය මුල්කරගනිමින් පාරිභෝගිකයන් රවටා ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ අලෙවි කිරීමට ඇතැම් කූඨ වෙළෙදුන් මේ දිනවල නිරන්තරයෙන් කටයුතු කරනවා.
එවැනි වෙළෙඳසැල් පිළිබඳව ‘කොළඹ මහා නගරසභාව’ විසින් විශේෂ පරීක්ෂාවක් ක්‍රියාත්මක කළා.
එහිදී නීති කඩ කළ පුද්ගලයින් 11 දෙනෙකු සොයා ගත් අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.
එළඹෙන උත්සව සමය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් මගින් විශේෂ වැටලීම් වැඩසටහනක් කොළඹ පිට කොටුව ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කළා.
එහිදී අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය, කරවල පළතුරු ඇතුළු තොග වෙළෙඳසැල් 178 ක් විශේෂ පරික්ෂාවට ලක් කෙරුණා.
අදාළ පරික්ෂාවල දී කොළඹ ‘හතරවන (4) හරස් වීදිය හා චයිනා වීදිය’ ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු කරවල 250 kg අධික ප්‍රමාණයක් සොයාගනු ලැබුවා.
ඊට අමතරව මිනිස් පරිභෝජනයට නුසුදුසු එළවලු පළතුරු හා ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් සොයාගැණුනා.
එලෙස හමුවූ කරවල බිත්තර, එළවලු හා පළතුරු මහජන පරීක්ෂකවරුන් විසින් විනාශ කරනු ලැබුවා.
මෙලෙස ජනතාවට කූඨ ලෙස ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ අලෙවි කළ වෙළඳසැල් හිමිකරුවන්, වෙළෙදුන් ඇතුළු 11 දෙනෙකුට නඩු පවරා ඇති අතර ඉදිරියේදීත් මෙවැනි විමර්ශන සිදුකිරීමට කටයුතු කරන බව කොළඹ මහජන සෞඛ්‍යය පරීක්ෂක වරුන් පවසා සිටියා.
+
සිංහල ජාතිය ගැන කතාකරන්න අපිට තහනම් ද? (11.12.2024)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴