ඇමති ලාල්කාන්තට ඇතුලෙන්ම ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..

ඇමති ලාල්කාන්තට ඇතුලෙන්ම ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..


ඇමති ලාල්කාන්තට ඇතුලෙන්ම ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..

(08.12.2024 – 14:10 +0530 – lankacnews.com)

වගාවන්ට හානි කරන වන සතුන් සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ගොවීන්ට අයිතියක් ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් කරන ලද ප්‍රකාශයට ‘ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ’ සජීව චාමිකර මහතා දැඩි විරෝධය පළ කරයි.

නිවේදනයක් නිකුත් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් ගොවීන් නීති විරෝධී ක්‍රියා සඳහා පොළඹවන බවය.

සජීව චාමිකර ආසන්න කාල වකවානුවේ ‘ජාතික ජන බලවේගය’ට ඉතා සමීපව කටයුතු කළ අතර දේශපාලන වේදිකාවේදී ද අවස්ථා කිහිපයක දක්නට ලැබිණි.

ඔහු විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය :

= ඇමැති ලාල්කාන්ත ගොවීන් ව නීති විරෝධී ක්‍රියා සඳහා පොළඹවයි =

වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමේ දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම නීති විරෝධී ප්‍රකාශයකි. මෙවන් ප්‍රකාශ ව්‍යවස්ථාදායකය තුළ සිට ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව ජනතාව සමඟ සම්මුති ගත වූ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන ශිෂ්ඨසම්පන්න පුරවැසියෙක්, දියුණු මානව සම්පතක් මෙන් ම නීතියේ ආධිපත්‍යය සුරකින සමාජයක් ගොඩනැගීම ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් ම බිඳ දමන බව ය. මීට ප්‍රථම බලයට පත් වූ ජාවාරම්කාරී, ඒකාධිපති ආණ්ඩු පරාජය කර ප්‍රගතිශීලී ආණ්ඩුවක් ගොඩනැගීමට ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය බහුතර ජනතාවක් වත්මන් ආණ්ඩුවට ලබා දුන්නේ ජනතාව සමඟ ඇති කර ගන්නා සම්මුති කෙටි කලකින් බිඳ දමන ආණ්ඩුවක් ගොඩනැගීමට නොවන බව ද ඔවුන් අවබෝධ කර ගත යුතු ය.

වනජීවී ආඥාපනත උල්ලංඝනය කිරීම

2022 අංක 07 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1937 අංක 02 දරන ‘වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ’ 53අ උප වගන්තියට අනුව වන සතෙකු මැරීම හෝ මත් කිරීම සඳහා වස හෝ පුපුරණ ද්‍රව්‍ය හෝ මත් කිරීමේ ද්‍රව්‍ය භාවිත කිරීම නීති විරෝධී වේ. පනතේ 52 වගන්තියට අනුව කෘත්‍රිම ආලෝකය භාවිත කර වන සතෙකු ගේ පෙනීම මුලා කිරීමෙන් හෝ සතා ඇද ගැනීමට සැලැස්වීමෙන් හෝ අල්ලා ගැනීමට පහසු කිරීම සඳහා ක්‍රියා කිරීම ද නීති විරෝධී වෙයි. එපමණක් නොව පනතේ 52ආ උප වගන්තියට අනුව සතෙකු අල්ලා ගැනීම සඳහා පෙළැඹවීම හා ආකර්ෂණය කර ගැනීමට ආහාර වර්ග, සුවඳ වර්ග, වර්ණයන් හෝ වෙනත් ද්‍රව්‍යක් හෝ උපකරණයක් භාවිතා කිරීම ද නීති විරෝධී ක්‍රියාවකි. පනතේ 53ආ උප වගන්තියට අනුව වස හෝ පුපුරණ ද්‍රව්‍ය හෝ මත් කිරීමේ ද්‍රව්‍ය මගින් මරණු ලැබූ හෝ අල්ලාගනු ලැබූ සතෙකු සන්තකයේ තබා ගැනීම ද තහනම් වේ. මෙවන් නීති විරෝධී ක්‍රියාවකට වරදකරුවකු වන අයෙකු පනතේ 58 වගන්තියට අනුව රුපියල් 15,000 ත් 30,000 ත් අතර දඩයකට හෝ වසර 1 ත් 2 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මීට අමතර ව විශේෂිත කරුණක් වන්නේ පනතේ 59 වන වගන්තියට අනුව මෙවන් නීති විරෝධී ක්‍රියාවක් සිදු කිරීමට තැත් කරන හෝ වරදක් සිදු කිරීමට අනුබල දෙන ඕනෑ ම තැනැත්තෙකු ඒ වරද ම සිදු කරන අතර එම දඩුවමට ම ලක් කළ හැකි වීම ය.

ඒ අනුව ලාල්කාන්ත අමාත්‍යවරයා සඳහන් කරන පරිදි පෞද්ගලික වගා බිමකට පැමිණෙන වන සතුන් ව වෙනත් වගා පළිබෝධකයන් පාලනය කරන ආකාරයෙන් ම පාලනය කිරීමට ක්‍රියාමාර්ග ගතහොත් හෝ එසේ මරණ ලද හෝ අල්ලා ගනු ලැබූ සතෙකු සන්තකයේ තබා ගත හොත් සිදු වන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව දඩුවම් ලැබීමට ය. මේ නිසා මෙම අමාත්‍යවරයා ගොවීන් නීති විරෝධී ක්‍රියාවලට පෙළැඹවීම ද සිදු කර ඇත. මේ නිසා වන සත්ත්ව හා වෘත්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 59 වන වගන්තියට අනුව ලාල්කාන්ත අමාත්‍යවරයාට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කළ හැකි ය. නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන බවට ඇති නීතියේ ආප්ත ලාල්කාන්ත අමාත්‍යවරයාට ද අදාළ බව අවධාරණය කළ යුතු ය. එපමණක් නොව අමාත්‍යවරයා ගොවීන්ට වැරදි මඟ පෙන්වීම තුළින් සිදු කර ඇත්තේ විශාල අසාධාරණයකි.

වන සතුන් වගා බිම්වලට පැමිණීමේ හේතු

වගා හානි කරන වන සතුන් සිටින බව නීතියෙන් පමණක් නොව අප ද දන්නා කරුණකි. එපමණක් නොව එවන් තත්ත්වයට වන සතුන් පරිවර්තනය වීමට හේතු සාදක වූ කරුණු ද අප දන්නෙමු. වන සතුන් වගා හානි කරන තත්ත්වයට පරිවර්ථනය වූයේ ද අප ගේ වැරදි ක්‍රියා මාර්ග හේතුවෙනි. ස්වාභාවික පරිසර පද්ධති විනාශය හා ඒවා ඛණ්ඩනය කරමින් ජනාවාස, වාණිජ වගා බිම් හා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, වන සතුන් ගේ වාසස්ථාන හෝ ආහාර බිම් නොවන ඇකේසියා, පයිනස්, යුකැලිප්ටස්, තේක්ක වැනි වන වගාවන් ඇති කිරීම මෙන් ම ඒක භෝග වාණිජ වගාවන් ලෙස තේ, රබර්, කටුපොල්, උක් හා බඩඉරිගු වැනි වගාවන් ව්‍යාප්ත කිරීම සහ වන සතුන් ගේ වාසස්ථාන තුළ එම සතුන්ට වාසස්ථාන හා ආහාර නොවන ආක්‍රමණික ශාක ලෙස යෝධ නිදිකුම්බා, ගඳපාන, ගිනිතණ, කටුපතොක්, කහදියපර, කලපු අන්දර, කටු උණ වැනි ශාක ව්‍යාප්ත වීම වැනි තත්ත්වයන් රිලවුන්, දඩුලේනන්, ඉත්තෑවන්, වල් ඌරන් හා මොනරුන් ගේ වාසස්ථාන හා ගොදුරු බිම් අහිමි වී වගා බිම්වලට පැමිණ වගා හානි සිදු කරන තත්ත්වයට පත් වීමට හේතු සාදක වී ඇත. මීට අමතර ව ස්වාභාවික වාසස්ථාන සීමා වීම හා ඛණ්ඩනය වීම නිසා මෙම සතුන් ගේ ස්වාභාවික විලෝපිකයන් සීමා වීමෙන් මෙම සතුන් ගේ ගහනයන් වර්ධනය වීම සිදු වේ.

ආරක්ෂිත නොවන වන සතුන්

මේ නිසා ම වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 30 වන වගන්තියට අනුව පළමු වන උප ලේඛනයේ සහ 31 වන වගන්තියට අනුව තුන්වන (3) උප ලේඛනය යටතේ ආරක්ෂිත නොවන ක්ෂීරපායී සතුන් හා ආරක්ෂිත නොවන පක්ෂීන් නම් කර ඇත. පළමු උප ලේඛණය යටතේ ක්ෂීරපායී සතුන් පස්දෙනෙකු (5) ආරක්ෂිත නොවන සතුන් ලෙස නම් කර ඇත. ඊට හේතු ව මෙම සතුන් වගා හානි කරන සතුන් ලෙස සැලැකීම ය. රිලවා, අළු වදුරා, වල් ඌරා, ඉත්තෑවා, හාවා ආරක්ෂිත නොවන ක්ෂිරපායී සතුන් වේ. තුන්වන (3) උප ලේඛණයට අනුව ආරක්ෂිත නොවන පක්ෂීන් වන්නේ රෑන ගිරවා, කොළඹ කපුටා, ගං කපුටා, තිත් වී කුරුල්ලා සහ පිට සුදු වී කුරුල්ලා ය.

මෙම ආරක්ෂිත නොවන සතුන් අනාරක්ෂිත වන්නේ පෞද්ගලික වගා බිමක දී පමණි. නමුත් එම සතුන් වෙනත් වගා පළිබෝධකයන් පාලනය කරන ආකාරයෙන් කිසිදු උපකරණයක් හෝ රසායනික හෝ විදුලි සැර යොදා හෝ මදු තැබීමෙන් හෝ පාලනය කළ නොහැකි ය. නීතියට අනුව එම සතුන් පාලනය කළ හැකි වන්නේ බලපත්‍ර සහිත ගිනි අවියකින් පමණි.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ඉදිරියේ දී සංශෝධනය කර ආරක්ෂිත නොවන ක්ෂීරපායී ලේඛණයේ ඇතුළත් වගා හානි සිදු කිරීමට වැඩි දායකත්වයක් ලබා නොදෙන අළු වදුරා හා හාවා ඉවත් කර ඒ වෙනුවට දඩුලේනා සහ අනාරක්ෂිත පක්ෂි ලේඛණයේ කොළඹ කපුටා, ගං කපුටා හා පිට සුදු වී කුරුල්ලා ඉවත් කර ඒ වෙනුවට මොණරා ඇතුළත් කිරීමට පියවර ගත යුතු වන්නේ වගා හානි සිදු කිරීමට දායක වන සතුන් පමණක් එම ලේඛණවලට ඇතුළත් වීම ප්‍රමාණවත් වන නිසා ය.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නැති කිරීම

වත්මන් ආණ්ඩුවේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර ජෛව ලෝකයක්, සදාහරිත ජීවිතයක් කොටසෙහි සඳහන් කර ඇත්තේ සියලුම ජීවීන් ගේ පැවැත්ම තහවුරු කෙරෙන තිරසර පරිසරයක් දැක්ම කොට ගෙන ‘ජාතික ජන බලවේගය’ ක්‍රියාත්මක වන බව ය. එපමණක් නොව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙන් ම ‘ජාතික ජන බලවේගය’ ජනතාව සමඟ සම්මුති ගත වූ ‘මිහිකත, ඔබ, අප, මතු පරපුරේ ද උරුමය වෙනුවෙන්’ වන පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සඳහන් කර ඇත්තේ මොනරුන්, රිලවුන්, දඩුලේනන් වැනි වගාවන්ට හානි පමුණුවන වන සතුන් ගේ වර්ධනය පිළිබඳ ව නිවැරදි අධ්‍යයනයක් සිදු කර ජීව විද්‍යාත්මක ක්‍රමවේදයක් මගින් ගහනය පාලනය කිරීමට පියවර ගන්නා බව ය. නමුත් ලාල්කාන්ත අමාත්‍යවරයා ගේ ප්‍රකාශයත් සමඟ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන මීට ප්‍රථම පැවති ආණ්ඩුවල ප්‍රතිපත්තිවලට සිදු වූ ආකාරයෙන් ම ලේඛණවලට පමණක් සීමා වන බව පෙනෙන්නට තිබේ. එය පෙර පැවති ආණ්ඩු මෙන් ම වත්මන් ආණ්ඩුව ද ජනවරමට පිටතින් කටයුතු කිරීමකි.

ගොවිතැනේ සැබෑ අභියෝග මඟහැරීම

ගොවීන් වගා කටයුතුවල දී මුහුණ පා ඇති ප්‍රධාන අභියෝගයන් ලෙස කෘෂි රසායනික හා බීජ නිෂ්පාදන සමාගම්වල ග්‍රහණයට නතු වීම, ජල අර්බුද, ගොවියා වගා බිම්වලින් ඉවත් කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, ගොවි බිම් මහ පරිමාණ ඒක බෝග වාණිජ වගාවන් සඳහා සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දීම, ගොවි බිම් වෙනත් ආයෝජන හා සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම, පසු අස්වනු විනාශය, අස්වැන්න අලෙවි කර ගැනීමේ අභියෝග, අස්වැන්නේ මිල තීන්දු කිරීමේ දී වෙළෙදපොළ මාෆියාවට ගොදුරු වීම, අනවශ්‍ය පරිදි ආහාර ආනයනය කර ගොවීන් අතර වෙළෙදපොළ තරගයක් ඇති කිරීම මෙන් ම වන සතුන් ගෙන් සිදු වන වගා හානි යන සියල්ල ම පවතින බව අප දනිමු.

මේ සියල්ල අවබෝධ කර නොගතහොත් සමස්ත ගොවිතැනට ඇති සැබෑ අභියෝග සියල්ලට පිළියම් සෙවීම වෙනුවට වන සතුන් පාලනය කිරීමෙන් පමණක් ගොවිතැනේ අභියෝගවලට පිළියම් සෙවිය හැකි වන බව බොහෝ දෙනෙකු විශ්වාස කරනු ඇත. එමගින් බොහෝ දෑ මඟහැරී යනු ඇත. මේ නිසා ගොවිතැන ගොඩනැගීමට හා ගොවියා ගේ පැවැත්ම සුරක්ෂිත කර වගා බිම්වල හා වගා අස්වැන්නේ සුරක්ෂිතතාව ඇති කිරීමට පළමු ව කළ යුතු වන්නේ වගා හානි සිදු කරන වන සතුන් විනාශ කිරීම නොවන බව අපි පිළිගනිමු. එපමණක් නොව මෙම වන සතුන් පරිසර පද්ධතියේ තුළිත පැවැත්ම පවත්වාගෙන යාමට දායකත්වයන් බොහොමයක් ලබා දෙන බව ද අප තේරුම් ගත යුතු ය. මේ නිසා අප ගොවිතැන දෙස බැලිය යුත්තේ මානව කේන්ද්‍රීයව නොව ජෛව කේන්ද්‍රීයව ය.

එවන් පුළුල් දැක්මක් සහිත ව්‍යවස්ථාදායකයක් ගොඩනැගීමට නම් බුද්ධිමතුන් යැයි අප සිතන වෘත්තීයවේදීන් පමණක් පාර්ලිමේන්තුවට පත් කර යැවීමෙන් නොහැකි වන බව ලාල්කාන්ත අමාත්‍යවරයා ගේ ප්‍රකාශයෙන් හා ඉන් පසු ව ඒ සඳහා ආණ්ඩුපක්ෂයෙන් නිවැරදි ප්‍රතිචාර ලබා නොදී ගොවීන් කුපිත කිරීමෙන් පෙනී යයි. මෙය පෙර පැවති ආණ්ඩුවල ස්වභාවය ම මිස ප්‍රගතිශීලී ආණ්ඩුවක ස්වභාවය නොවන බව අවසන් වශයෙන් ලියා තබමි.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

++++++++

+


ශිරාන් භාසික්ගේ ගෝලයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(08.12.2024 – 11:31 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘ශිරාන් භාසික්’ගේ ගෝලයන් තිදෙනෙකු (3) රු. ලක්ෂ 85 කට අධික වටිනාකමකින් යුත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ සහ රු. ලක්ෂ 06 ක් පමණ වටිනා ‘කුෂ් මත්ද්‍රව්‍ය’ සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරලැස්ගමුව සහ කොහුවල පොලිස් වසම වලදී සහ බොරලැස්ගමුව, දෙහිවල, ප්‍රදේශවලදී මෙම වැටලීම් සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 708 ක් සන්තකයේ තබාගෙන සිටි දෙහිවල, ස්ප්‍රින්වැලි ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 40 ත් 41 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු (2) සහ ‘කුෂ් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 92 සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 54 ක් වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී තිබෙනවා.

වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී මෙම සැකකරුවන් දිවයිනේ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ශිරාන් භාසික්’ නැමත්තාගේ ප්‍රධානතම ගෝලයන් තිදෙනෙකු (3) වන බවට තොරතුරු අණාවරණය වී ඇති බවයි සඳහන් වෙන්නේ ෴


නුවරඑලිය ලංගම ඩිපෝවේ මුරකරු ඝාතනය ගැන තවත් තොරතුරු එළියට

(08.12.2024 – 11:56 +0530 – hirunews.lk/sinhala)

නුවරඑලිය ලංගම ඩිපෝවේ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර, ඩිපෝවේ තිබුණේ යැයි කියන රුපියල් දස ලක්ෂ පනස් එක්දහස් එකසිය හැට හතක (10,51,167) මුදලක් රැගෙන ගිය සැකකරුවන් තිදෙනා (3) නුවරඑලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නුවරඑලිය වැඩ බලන මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ඔවුන් තිදෙනා (3) මේ මස (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමයි නියෝග කර ඇත්තේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි නුවරඑලිය ලංගම ඩිපෝවේ මුදල් අයකැමි වශයෙන් සේවය කළ පුද්ගලයෙක්, එම ඩිපෝවේ රියදුරෙකු වශයෙන් සේවය කළ අයෙක් සහ ඔහුගේ මිතුරෙක්.

සැකකරුවන් තිදෙනා (3) ඉකුත් (06) දින අලුයම 02 ට පමණ නුවරඑලිය ඩිපෝවේ මුරකරුවෙකු වශයෙන් සේවය කළ පුද්ගලයා ඩිපෝවේ ආරක්ෂක කුටියේ පුටුවක වාඩි වි සිටියදි ගෙල කපා ඝාතනය කර එම ඩිපෝවේ අල්මාරියක ලාච්චුවක තබා තිබු මුදල් සොරාගෙන ගොස් තිබුණා.

එම ඩිපෝවේ කලමණාකරු විසින් තම ඩිපෝවේ මුරකරු ඝාතනය කර ඩිපෝවේ අල්මාරියක ලාච්චුවක තිබු මුදල් සොරාගෙන ගොස් ඇති බවට නුවරඑලිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කළා.

ඒ අනුව සිදු කළ විමර්ෂණවලදී ඩිපෝවේ සේවය කළ මුදල් අයකැමි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති අතර එහිදී අනාවරණය වු තොරතුරු මත ඝාතනයට සම්බන්ධ එම ඩිපෝවේ රියදුරා සහ ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනය සම්බන්ධ සැකකාර රියදුරාගේ මිතුරා මහව කිරබේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී කළ ප්‍රශ්න කිරිමේදි ඔහුගේ ගෙවත්තේ වල දමා තිබු රුපියල් හය ලක්ෂ හැට හයදහස් පන්සියක (6,66,500) මුදලක්, ඝාතනය භාවිතා කළ පිහිය, අත් වැසුම් සහ අවසන් වරට ඇද සිටි ඇදුම් පැළදුම් සොයා ගැනිමට පොලිස් නිලධාරින් සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

එම ඩිපෝවේ සැකකාර අයකැමි විසින් ඩිපෝව සතු රුපියල් තුන්ලක්ෂ අසු හතර දහස් හයසිය හැට හතක (3,84,667) මුදලක් කාලයක් තිස්සේ අයථා ලෙස පරිහරණය කර ඇති බවත්, එම මුදලින් සැකකාර අයකැමි විසින් උකස් කර තිබු පවුම් 1½ ක රන් ආභරණයක් උකසින් නිදහස් කරගෙන ඇති බවත්, තවත් මුදල් ප්‍රමාණයක් මිතුරන් කිහිපදෙනෙකුට ලබා දි ඇති බවටත් පොලිසිය විසින් සිදු කළ විමර්ෂණයේදි අනාවරණය වි තිබෙනවා.

සැකකාර මුදල් අයකැමි විසින් අයථා ලෙස පරිහරණය කරන ලද රුපියල් තුන්ලක්ෂ අසු හතර දහස් හයසිය හැට හතක (3,84,667) නුවරඑලිය ලංගම ඩිපෝව අයත් මුදල පියවා ගැනිම සදහා මෙම ඝාතනය සැලසුම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ ෴


‘ආවා කල්ලියේ’ ප්‍රධානියා බව පැවසෙන අයෙකු කැනඩාවේදී අත්අඩංගුවට

(08.12.2024 – 17:40 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ ක්‍රියාත්මක වූ ‘ආවා කල්ලියේ’ ප්‍රධානියා බව පැවසෙන පුද්ගලයෙකු කැනඩාවේදී කැනේඩියානු පොලීසිය විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘අජන්තන් සුබ්‍රමනියම්’ හෙවත් ‘ප්‍රසන්න නල්ලලිංගම්’ නැමති මොහු 34 හැවිරිදි අයෙකු වන අතර, මෙතෙක් උතුරේ සිදු වූ කප්පම් ගැනීම්, කඩු ඇතුළු තියුණු ආයුධවලින් පහරදී තර්ජනය කිරීම් ආදී බොහෝ අපරාධ මොහුගේ මෙහෙයවීම යටතේ සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මොහු පිළිබදව මීට කාලයකට ඉහතදී මෙරට පොලිස් මුලස්ථානය විසින් ජාත්‍යන්තර පොලිසියට තොරතුරු දැනුම් දී තිබියදී සැකකරු කැනඩාවේ ජීවත්වන දමිළ පවුලකට තර්ජනය කොට මුදල් ඉල්ලීමේ සිද්ධියක් මත ඔවුන් විසින් කළ පැමිණිල්ලක් මත මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාර්තාකරු සඳහන් කරන අන්දමට, එහිදී මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මොහු මෙරට ‘ආවා කල්ලිය’ මෙහෙයවූ ප්‍රධානියා බවට තොරතුරු හෙළිව තිබෙනවා.

මෙම පුද්ගලයා 2021 වසරේදී යාපනයෙන් කැනඩාවට පලාගොස් ඇති අතර, 2022 වසරේදී කැනඩාවේ සිදුවූ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන්ද එරට පොලිසියට අවශ්‍යව සිටි අයෙකු බව හෙළිවී තිබෙනවා.

මොහුට එරෙහිව යාපනයේ පොලිස් ස්ථාන ගණනාවකට පැමිණිලි 45 ක් පමණ ලැබී ඇති බව සඳහන් කරන අප වාර්තාකරු, යාපනය අධිකරණය විසින් මොහුට අවස්ථා 09 කදී වරෙන්තුද නිකුත් කොට ඇති බව සඳහන් කර තිබෙනවා ෴


උපාය දූතයෙකු යොදාගෙන කළුතර සිදුකළ වැටලීමකින් ගණිකා නිවසක් කොටු

(08.12.2024 – 18:25 +0530 – hirunews.lk/sinhala)

පාද සම්බාහනය කරන ආයතනයක මුවාවෙන් කළුතර උතුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබෙනවා.

එම වැටලීමේදී එහි සේවය සැපයූ කාන්තාවන් තිදෙනෙකු (3) සහ එම ආයතනයේ කළමනාකරු බව පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් අකුරැස්ස, බුත්තල සහ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකාරිනියන් වන අතර, අත්අඩංගුවට ගත් කළමනාකරු වයස අවුරුදු 23 ක අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත උපාය දූතයෙකු යොදවා සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සැකකාරියන් රුපියල් 4000 ක මුදලකට තම සේවය සපයා ඇති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *