වෛද්‍යවරයකු නිරුවත් කර බිය ගන්වා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකෑ ජන අරගල අපෙක්ෂිකාව ඇතුළු හයක් (6) මාට්ටු

වෛද්‍යවරයකු නිරුවත් කර බිය ගන්වා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකෑ ජන අරගල අපෙක්ෂිකාව ඇතුළු හයක් (6) මාට්ටු


වෛද්‍යවරයකු නිරුවත් කර බිය ගන්වා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකෑ ජන අරගල අපෙක්ෂිකාව ඇතුළු හයක් (6) මාට්ටු

(11.11.2024 – lankadeepa.lk)

දකුණු පළාතේ රෝහලක වෛද්‍යවරයකු නිරුවත් කර බිය ගන්වා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂිකාවක ඇතුළු හය දෙනකු (6) අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර එම අපේක්ෂිකාවගේ බෑනා සහ ත්‍රීරෝද රථ රියදුරකු වන සැමියාද වන බව පොලිසිය කියයි.

සමාජ මාධ්‍යයෙන් දැන හඳුනා ගැනීමෙන් පසු සම්බාහන කටයුත්තක් සඳහා බම්බලපිටිය රජයේ මහල් නිවසකට ඉකුත් 08 වෙනි දීන පැමිණි තිබූ වෛද්‍යවරයා එම කටයුත්ත සඳහා සූදානම් වීමේදී යාබද කාමරයක සැඟව සිටි සැකකරුවන් තිදෙනකු (3) උල් පිහියක් රැගෙන එම ස්ථානයට කඩා පැන ජංගම දුරකථනයෙන් වෛද්‍යවරයාගේ නිරුවත වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හරින බවට තර්ජනය කර බිය ගන්වා මුදල් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.

ඊට බිය වූ වෛද්‍යවරයා ඔන්ලයින් මාර්ගයෙන් කොල්ලකරුවන් ලබා දුන් ගිණුමකට රුපියල් ලක්ෂ 10 ක මුදලක් බැර කර ඇති අතර වෛද්‍යවරයා සන්තකයේ තිබූ රුපියල් 15000/= ක මුදලක්ද කොල්ලකරුවන් බලහත්කාරයෙන් ලබාගෙන තිබූ බවද පොලිසිය කියයි.

ඒ අයුරින් පැයකට ආසන්න කාලයක් එහි රඳවාගෙන සිටි වෛද්‍යවරයාව කොල්ලකරුවන් මුදා හැර ඇති අතර එදිනම රාත්‍රියේ නීතිඥවරයකු සමග පොලිසිය වෙත පැමිණ පැමිණිලි කර තිබිණි.

පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම නිවස කරා ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමේදී නිවසේ ඉදිරිපස දොරේ යතුර දක්නට ලැබූ අතර නිවසේ කිසිවෙකුත් නොසිටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමේදී එම නිවස අන්තර්ජාලයේ පළ කර තිබූ දැන්වීමක් අනුව රුපියල් 3500/= ක මුදලකට දිනකට ලබාගෙන තිබූ බවට අනාවරණය විය ෴

+

කොල්ලයට අනුබල දුන් ‘ජන අරගල’ අපේක්ෂිකාව රිමාන්ඩ්

(11.11.2024 – lankadeepa.lk)

බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි වෘත්තිකයකු බියගන්වා රුපියල් දශලක්ෂ පහළොස් දහසක් (10,15,000) ඔන්ලයින් ක්‍රමයට කොල්ල කන ලද සැකකරුවන් සිව් දෙනකුට (4) ආධාර අනුබල දුන්නේ යැයි කියන මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන ‘ජන අරගල’ සංවිධානයේ ‘කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක’ හා ඇයගේ සැමියා හෙට දින (12)රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (11) නියෝග කළේය.

ජාවාරම්කරුවන් විසින් කොල්ලකන මුදල් එම අවස්ථාවේදීම ගල්කිස්ස ලිපිනයේ පදිංචි සැකකාරියගේ බැංකු ගිණුමට බැර කර ඇති බවට සාක්ෂි මගින් අනාවරණය වන බවත් බම්බලපිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

අන්තර්ජාල යෙදවුමක් හරහා (ඇප් එකක්) බම්බලපිටියේ කුලියට ගත් නිවසක් තුළ මෙම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත්, අන්තර්ජාල යෙදවුම ඔස්සේ වේලාවන් වෙන් කරගෙන සේවා සපයා ගැනීමට එම ස්ථානයට පැමිණි පුද්ගලයකු බිය ගන්වා රුපියල් ලක්‍ෂ දහයක් (10,00,000) මාර්ගගත ක්‍රමය ඔස්සේ කොල්ලකෑම සහ සන්තකයේ තිබූ රුපියල් 15,000 ක මුදලක් කොල්ලකෑම සිදුකළ සැකකරුවන් හතර දෙනකුට (4) ආධාරනුබල දීම සම්බන්ධයෙන් මෙම අපේක්ෂිකාව සහ සැමියා අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට අදාළ සැකකරුවන් අද (11) පස්වරුවේ බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා හෙට දිනයේදී (12) ආවරණය කර ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

බම්බලපිටියේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ. සම්පත් පද්මලාල් මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන සිදුකරයි ෴


බාල ඖෂධ ජාවාරමට රනිල් ප්‍රමුඛ කැබිනට්ටුවෙන් ප්‍රශ්න කරන්න යයි

(11.11.2024 – lankadeepa.lk)

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182 ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යවරුන් 18 දෙනාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය රහස් පොලිසියට අද (11) අවසර දුන්නාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම කැබිනට් පත්‍රකාව ඉදිරිපත් කළ 2022 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් වශයෙන් කටයුතු කළ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කළ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කුෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, සංචාරකථ ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු, සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බුද්ධ ශසන අමාගමික සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක, විදුලලි බල හා බළශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස්, වෙළඳ හා වාණිජ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සහ කම්කරු සහ විදේශ රැකියා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ගැනීමටද මහෙස්ත්‍රාත්වරිය අවසර දුන්නාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්’ සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සිමැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කළැයි කියන සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස අවසර දුන්නාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 2022 සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇතත් අවශ්‍ය ඖෂධ මොනවාද? යන්න පිළිබඳව හෝ එහි සඳහන් කර නොතිබියදී ඇත්ත වශයෙන්ම ඖෂධ හිඟයක් පැවතියේද? යන්න පිළිබඳවව හෝ සොයා බැලීමකින් තොරව කැබිනට් මණ්ඩලය කැබිනට් පත්‍රකාවට අවසරය දුන්නේ කෙසේද? යන්න පිළිබඳ එම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත යුතු යැයි වැඩිදුරටත් කියමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස අවසර දුන්නාය.

නඩුව කැඳවු අවස්ථාවේදී නඩුවේ පළමු සැකකරු වන බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන ‘සුගත් ජනක ප්‍රනාන්දු’ නමැත්තා පමණක් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඇප මත මුදා හැර සිටින සෙසු සැකකරුවන්ට කැඳවීමක් නොමැති හෙයින් ඔව්හු අධිකරණයේ පෙනී නොසිටියහ.

මෙම සිද්ධියේ සැකකරුවන් වශයෙන් බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගතවී), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී) සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නමැත්තන් නම් කර ඇත.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘හියුමන් ඉමියුනෝග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය’ සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ ‘සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල සහ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි යන මහත්වරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණූ දක්වමින් මෙම නඩුවට පාදක වු ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් ඖෂධ වර්ග 182 ක් මිලදී ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා 2022 සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඒ අවස්ථාවේ පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතයිද හිටපු ජනාධිපතිවරයාට අමතරව එම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් 18 දෙනකු කටයුතු කර ඇතැයිද කීවාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා එම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ රටේ හිඟ ඖෂධ මොනවාද? රටට අවශ්‍ය ඖෂධ මොනවාද? යන්න හෝ සඳහන් කර නැතැයි පෙන්වා දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය එවැනි කරුණු සඳහන් කර නොතිබියදී සත්‍ය වශයෙන්ම රට තුළ ඖෂධ හිඟයක් තිබුණේද? යන්න පිළිබඳව හෝ සොයා බැලීමකින් තොරව කැබිනට් මණ්ඩලය, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අවසරය දුන්නේ කෙසේද? යන්න පිළිබඳ සොයා බැලිය යුතු යැයිද කීවාය.

එම කරුණු හෙළි කර ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අවසරය දුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත යුතුයැයි කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය ඒ සඳහා අවසර දෙන්නැයි ඉල්ලා සිටියාය.

කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකකරණය ඇමතූ මහෙස්ත්‍රාත්වරිය මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන නඩුවේ පළමු සැකකාර සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් මානසික වෛද්‍ය සී.ටී.කේ. ප්‍රනාන්දු මහතාගේ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළාය.

එම මානසික වෛද්‍ය වාර්තාව වෛද්‍යවරයාගේ සීමාව ඉක්මවා ඉදිරිපත් කර ඇද්ද යන්න පිළිබඳ සැකයක් මතුවන බව පැවසු මහෙස්ත්‍රාත්වරිය ඒ හේතූවෙන් අදාළ වාර්තාව සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ඉදිරි දිනයේදී තීරණය කරන්නේ යැයිද පැවසුවාය.

අංගොඩ මානසික රෝග විද්‍යාතනයෙන් මීට පෙර දිනයේ අධිකරණයට සපයා තිබු අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණ සේපුවේ තැන්පත් කර තිබු අතර නඩුව ඊයේ (11) කැඳවු අවස්ථාවේ පලමු සැකකරුගේ නීතිඥවරයා කළ ඉල්ලිමකට අවසර දෙමින් අදාළ වෛද්‍ය වාර්තාව කියවා බැලීමට අවසර දුන්නාය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය නඩුව ලබන 25 වැනිදා යළි කැඳවීමටද එතෙක් නඩුවේ පලමු සැකකරු තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමටත් නියම කළාය.

පැමිණීල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි සැරයන්වරුන් වන 35124 ප්‍රනාන්දු 61823 මනෝජ් සමඟ ප්‍රධාන පොලිස් පරීක්‍ෂ ජයන්ත පයාගල මහතා පෙනී සිටියේය.

නීතීපතිවරයා නියෝජනය කරමින් පැමිණීල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ අසේල විජේසිංහ සහ ගංගානී උක්වත්ත මහත්ම මහත්මීන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය පෙනී සිටියාය ෴


යාපනය චුන්නාකම් පොලිසියේ 4 කගේ වැඩතහනම් කරයි

(11.11.2024 – lankadeepa.lk)

අනතුරකින් පසුව පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් සිදුකල පරික්ෂණයකින් අනතුරුව යාපනය චුන්නාකම් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ (4) වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය පොලිසිය පැවසීය.

චුන්නාකම් ප්‍රදේශයේදී පසුගිය 09 වැනිදා රිය අනතුරක් සිදුවීමෙන් පසුව චුන්නාකම් පොලිස් ස්ථානයේ සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අනතුර සිදුකල පුද්ගලයා පසුපස ලුහුබැඳ ගොස් ඔහු අතුඅඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය හා ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්වයක් ඇතිවූවේ සිවිල් ඇදුමින් සැරසුන් පොලිස් නිලධාරීන්ට ඒලෙස අත්අඩංගුවට ගැනීමට නොහැකි බව පවසමිනි.

එහිදී ඇති වූ උණුසුම් තත්වයේදී පොලිස් නිලධාරීන් පහරදුන් බව පවසමින් කාන්තවක් ඇතුලු පිරිසක් චුන්නාකම් පොලීසියට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කොට සිටියහ.

ඉන් අනතුරුව යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අදාල සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩයමක් යොදවා සිදුකරන ලද පරික්ෂණයකින් අනතුරුව මෙලෙස පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ (4) වැඩ තහනම් කිරීඹට පියවර ගෙන තිබුණි.

එලෙස වැඩතහනම් කර ඇත්තේ, චුන්නාකම් පොලීසියේ පොලිස් පරික්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ (2) බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසූ අතර ඒහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

“රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු විසින් රථය නතර නොකර පළා ගිහින් තිබුණා. ඒ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ බහින්බස්වීමක් මත පොලිස් නිලධාරීන් විසින් ඔහුට යම් ආකාරයේ පහරදීමක් සිදුවුණා කියන චෝදනාව ඔහු විසින් ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව පරික්ෂණයක් කරලා තමයි මේ පොලිස් නිලධාරීන් 04 දෙනෙකුගේ වැඩතහනමට ලක් කළේ” යනුවෙනි ෴


මියන්මාරයේ සයිබර් කඳවුරුවලට ලාංකිකයන් විකිණීමේ ජාවාරමක්

(11.11.2024 – lankadeepa.lk)

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම කඳවුරුවලට අලුතින් එක්වී ඇති ශ්‍රී ලාංකකියන් සංඛ්‍යාත්මක ඉහළ යාමක් නිරීක්ෂණය වන බවට තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ‘ජාතික කාර්ය සාධක බළකාය’ පවසයි.

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීමේ වැඩිවීමක් ඇති වී තිබෙන බව පෙර අවස්ථා කිහිපයකදී මහජනතාව වෙත අනතුරු ඇඟවීම් නිකුත් කළ බවත් විදෙස් රටවල ආකර්ශණීය වැටුප් ලැබෙන රැකියා අවස්ථා දෙන බව පවසා තොරතුරු තාක්ෂණ දැනුම ඇති වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් මිනිස් වෙළෙදාම කරන පුද්ගලයන් මෙය කරන බවට කරුණු අනාවරණය වී ඇති බවත් එම බලකාය සඳහන් කරයි.

රැකියා සම්මුඛ පරීක්ෂණයන්ට සහභාගී කරවන මුවාවෙන් ඩුබායි වැනි රටවලට ගෙන ගොස් නීති විරෝධි අන්දමින් මියන්මාරයේ සයිබර් අපරාධ කරන කඳවුරුවල සේවය සඳහා බලහත්කාරයෙන් යොමු කර ඇති බව කී ‘ජාතික කාර්ය සාධක බළකාය’ මෙම සයිබර් අපරාධ කඳවුරුවලදී ඔවුන්ට මානසික වධ හිංසනයන්ට මෙන්ම විදුලි සැර ඇල්ලීම් වැනි ම්ලේච්ඡ ශාරීරික වධහිංසාවන්ට ද ලක්කර ඇති බව මෑතකාලීන විමර්ශනවලින් අනාවරණය වූ බව ද එම පාලකාය සඳහන් කරයි.

එවැනි සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව 011 210 2570 හෝ 076 844 7700 යන දුරකථන අංකවලට හෝ nahttfsrilanka@gmail.com ඊමේල් ලිපිනයනට හෝ දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එම බලකාය කීය ෴


බදු නොගෙවූ තාබුගල – හංසමාලි විමර්ශනවල ප්‍රගතිය ඉල්ලයි

(11.11.2024 – lankadeepa.lk)

උපයාගත් ආකාරයේ හෙළිකළ නොහැකි අන්දමේ විශාල වත්කම් ප්‍රමාණයක් සතු යැයි කියන ‘අවුරා ලංකා සමාගමේ’ සභාපති ‘විරාජ් තාබුගල’ හා කෙටි කලකින් රුපියල් කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන ‘පියුමි හංසමාලි ගෝමස්’ නිරූපණ ශිල්පිනිය රජයට ආදායම් බදු නොගෙවා පැහැර හැරිම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා දේශීය ආදායම් කොමසාරිස්වරයාට අද (11) නිකුත් කළේය.

තාබුගල සහ හංසමාලී යන පුද්ගලයන් 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් චූදිතයන් දෙදෙනාට (2) එරෙහිව පැවරු නඩු දෙක (2) කැඳවීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.

මෙම නඩු දෙක (2) කැඳවූ අවස්ථාවේදී දේශය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විමර්ශන ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කියා සිටියේ දේශීය ආදායම් පනතේ 122(2)ආ වගන්තිය සමග කියැවෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 සහ 125 වගන්තිය ප්‍රකාරව චූදිතීන්ගේ පදිංචි ස්ථාන සෝදිසි කිරීමට හා දේපළ තහනමට ගැනීමට අධිකරණය නිකුත් කළ සෝදිසි වරෙන්තු ව ප්‍රකාරව තාඹුගල පදිංචි තලවතුගොඩ නිවසට ගියද ඔහු එම පදිංචි ස්ථානය හැරගොස් ඇති බවට තොරතුරු ඉදිරිපත් වන බවය.

පියුමි හංසමාලී පදිංචි කොළඹ 07 නිවසට ගියද ඇය කිසිදු ව්‍යාපාරික ලේඛනයක් එම පදිංචි ස්ථානයේ තබාගෙන නොමැති බව සඳහන් කළේය.

එසේ හෙයින් තවදුරටත් විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බවද ඊට අවසරය ලබා දෙන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *