හරීන් ප්‍රනාන්දුගේ පියාට තොරතුරු දී ඇත්තේ ඊබ්‍රහිම්ලු – දෙවන ප්‍රහාරය වැළකූ ලොරි රථයේ රියැදුරා කියන කතාව

හරීන් ප්‍රනාන්දුගේ පියාට තොරතුරු දී ඇත්තේ ඊබ්‍රහිම්ලු – දෙවන ප්‍රහාරය වැළකූ ලොරි රථයේ රියැදුරා කියන කතාව


හරීන් ප්‍රනාන්දුගේ පියාට තොරතුරු දී ඇත්තේ ඊබ්‍රහිම්ලු – දෙවන ප්‍රහාරය වැළකූ ලොරි රථයේ රියැදුරා කියන කතාව

(29.10.2024 – 22:59 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය ගැන හරීන් ප්‍රනාන්දුගේ පියාට තොරතුරු දී ඇත්තේ ඊබ්‍රහිම් බව දෙවැනි ප්‍රහාරය වැලැක්වූ ලොරි රථයේ රියැදුරු වූ ශාන්තලාල් පවසනවා.

ඔහු මේ පිළිබඳව ප්‍රකාශකර සිටියේ ‘හිරු රතු මිනිත්තුව’ වැඩසටහන සමඟ එක්වෙමින්.

එහිදී අදහස්දක්වමින් ඔහු සඳහන් කළේ මෙවැණි අදහසක් :

“මම ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි දෙන්න ගියා. 2020 ජනවාරි 20, 21, 23, 29 මම ප්‍රකාශ ලබා දුන්නා. ඒ ප්‍රකාශ ලබා දෙද්දි මගෙන් ප්‍රකාශ ගත්ත පොලිස් පරික්ෂක මහත්තයා තමයි මට කිව්වේ ‘ශාන්තලාල්, මේක කාටවත් කියන්න එපා’ කියලා. හරීන් ප්‍රනාන්දු එවකට ඩිජිටල් යටතල පහසුකම් ඇමතිතුමා. ඒකේ තඹ, අබලි ද්‍රව්‍ය තියෙනවනි, ඒවා අළෙවි කිරීම සඳහා හරීන් ප්‍රනාන්දුගේ තාත්තට තමයි භාරදීලා තියෙන්නේ. ඒවා හරීන් ප්‍රන්නන්දුගේ තාත්තා, බෝම්බ ප්‍රහාරයෙන් මැරිච්ච ඊබ්‍රහිම්ගේ වැල්ලම්පිටියේ තඹ කම්හලට තමයි භාර දීලා තියෙන්නේ. අන්න එතනදි තමයි ඊබ්‍රහිම් එක්ක හරීන් ප්‍රනාන්දුගේ තාත්තා මිත්‍ර වෙලා තියෙන්නේ. ඒ මිත්‍රත්වය මත තමයි කියලා තියෙන්නේ ‘හෙට පල්ලිවලට බෝම්බ ගහනවා. පල්ලි යන්න එපා’ කියලා. ඇත්ත නැත්ත මම දන්නෑ. මට කියපු දේ.”

හරීන්ගේ පියාට තොරතුරු දී ඇත්තේ ඊබ්‍රහිම් – දෙවන ප්‍රහාරය වැළකූ ලොරි රථයේ රියැදුරා කරන නවතම අනාවරණය (29.10.2024)

+


ගුවන් නියමුවාගේ බෑග් එකට විද්ද කත අල්ලයි

(30.10.2024 – 07:35 +0530 – hirunews.lk/sinhala)

අබුඩාබි නුවර සිට තමා පැමිණි ගුවන් යානයේ නියමුවාගේ ගමන් බෑගය සොරාගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පළාගිය කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිසිය පැය 03 ක් වැනි කාලයක් තුළදී අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.

ඇය වත්තල – හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක්.

ගෘහසේවිකාවක් වන ඇය ඊයේ (29) උදෑසන අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

නිශ්කාශන කටයුතු නිමා කර, ගුවන් තොටුපොළෙන් පිටතට යාමට සුදානම් වනවිට, ගුවන් නියමුවාගේ ගමන් බෑගය නොමැති බව අනාවරණය වී තිබෙනවා.

පසුව ආරක්ෂක නිලධාරීන් ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කර තිබුණා.

එහිදී මෙම ගුවන් යානයෙන් පළමුවෙන්ම බැස ගත් කාන්තාවක්, ගුවන් නියමුවාගේ ගමන් බෑගය රැගෙන ඇය සිය බඩුබාහිරාදිය රැගෙන යන ට්‍රොලිය තුළ සඟවා ගන්නා ආකාරය නිරීක්ෂණය වී තිබෙනවා.

වැඩිදුරටත් එම කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමේදී, ඇය කඩිනමින් ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණ ත්‍රිරෝද රථයක නැගී නිවෙස බලා පිටත්ව යන ආකාරය ද එහි සටහන් වී තිබුණා.

ඒ අනුව, මෙම ත්‍රිරෝද රථය සොයාගෙන එහි රියදුරුගේ තොරතුරු මත වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි එම කාන්තාවගේ නිවෙස වෙත ගොස් ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොයාගත් පොලිසිය පසුව ඇය අත්අඩංගුවට ගත්තා ෴


වීරඹුගෙදර පොලිසියේ පිස්තෝලයක් සහ උණ්ඩ 05 ක් අතුරුදන්

(29.10.2024 – 22:55 +0530 – hirunews.lk/sinhala)

වීරඹුගෙදර පොලිස් ස්ථානයේ රිවෝල්වර පිස්තෝලයක් සහ එම උණ්ඩ 05 ක් අස්ථානගත වී ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනමට ලක් කර තිබෙනවා.

පිස්තෝලය සහ එම උණ්ඩ අස්ථානගත වූ රාත්‍රියේ ඉහත කී පොලිස් කොස්තාපල්වරයා උපසේවා රාජකාරියේ යෙදී සිට ඇති බවයි පැවසෙන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර ඊයේ (28) මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ ෴


බෙලිඅත්ත කෝච්චි‍යෙන් ටී 56 පතුරම් හමුවෙයි

(29.10.2024 – 14:45 +0530 – hirunews.lk/sinhala)

මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය කල දුම්රියේ මැදිරියක තිබී උණ්ඩ පුරවන ලද මැගසින් එකක් සහ ජීව උණ්ඩ තොගයක් හමුවී ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසනවා.

ටී 56 වර්ගයේ ගිණිඅවි සඳහා භාවිතා කරන් ජීව උණ්ඩ 57 ක් මෙසේ හමුවූ බවයි පොලිසිය පවසන්නේ.

මරදානෙන් අද (29) උදෑසන 06:30ට පිටත්වූ දුම්රිය දහවල් 12:30 ට පමණ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ලගාවී තිබේ.

දුම්රියේ පැමිණි ජනතාව පිටව ගිය පසු දුම්රිය ආරක්ෂක අංශයේ නිළධාරින් විසින් දුම්රිය පරීක්ෂා කර තිබෙනවා.

එහි තුන්වන (3) පංතියේ මැදිරියක අසුනක් යට තිබී කලු පැහැති බෑගයක් හමුවී ඇති අතර එම බෑගයේ තිබී උණ්ඩ පුරවන ලද මැගසිනය සහ කලු පැහැති ප්ලාස්ටික් කෝප්පයක තිබී ජීව උණ්ඩ හමුවී ඇතැයි පොලිසිය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙක් හඳුනාගෙන නැති අතර බෙලිඅත්ත පොලිසිය විමර්ශන සිදුකරනවා ෴


අපොස සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන මාර්තු මාසයේදී

(29.10.2024 – 21:56 +0530 – hirunews.lk/sinhala)

අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ (2025) මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම ලබන වසරේ (2025) නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නොමැති අතර ලබන වසරේ (2025) යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි 27 වැනිදා ආරම්භවීම හේතුවෙන් එලෙස නියමිත දින ගණනට පාසල් පැවැත්වීමට නොහැකි වන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

පාසල් වාර සටහන සම්බන්ධයෙන් 1997 අගෝස්තු මාසයේ නිකුත් කර ඇති චක්‍රලේඛනයට අනුව වර්ෂයකට දින 210 ක් පාසල් පැවැත්විය යුතු වේ.

කෙසේ වෙතත් ලබන වසරේදී (2025) රජයේ හා රජයේ අනුමත සියලුම පාසල් හා අනුමත පිරිවෙන් පැවැත්වීමට හැකිවන්නේ දින 181 ක් පමණක් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.

ලබන වසරේ (2025) පළමු (1) පාසල් වාරයේ පළමු (1) අදියර ජනවාරි 27 වැනිදා සිට අප්‍රේල් 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි ෴


උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

(30.10.2024 – 10:52 +0530 – sinhala.adaderana.lk)

2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා උසස් පෙළ අපේක්ෂකයින්ට දැනුම්දෙයි.

මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා සඳහන් කර සිටියේ, 2024 උසස් පෙළ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බවය.

විභාගය පැවැත්වෙන දින වකවාණුව පිළිබඳව තීරණය කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේ දී බව පැවසු විභාග කොමසාරිස්වරයා උසස් පෙළ විභාගය පිළිබඳව සමාජ මාධ්‍ය තුළින් විශාල වශයෙන් වැරදි ප්‍රචාරයන් සිදුකරන බව පෙනී යන බව ද සඳහන් කළේය.

ඒ අනුව දරුවන් අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින පිළිබඳ අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බවත් එය නිවැරදි කිරීමේ අරමුණින් මාධ්‍ය හමුව පැවැත්වීමට තීරණය කළ බව ද පැවසීය.

සෑම විටම විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් විභාග කොමසාරිස්වරයා සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව උසස් පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර ඉතා ඉක්මනින් අපේක්ෂකයින් අතට පත්කිරීමට නියමිත බවත් පැවසීය.

මේ අතර තමාට හා විවිධ ආයතන වෙත සිසුන් කිහිපදෙනෙකුගෙන් විභාග කල්දමන ලෙසට ඉල්ලීම් ලැබෙමින් පවතින බව ද පැවසු විභාග කොමසාරිස්වරයා, උසස් පෙළ විභාගයේ දින තීරණය කරනු ලැබුවේ සම්පූර්ණ විෂය ආවරණ කාලය පිළිබඳ අවධානය යොමුකර බව ද කියා සිටියේය.

පසුගිය කාල සීමාව පුරා රට මුහුණදුන් නොයෙක් අර්බුද හේතුවෙන් විභාග ඉතා අක්‍රමවත් ලෙස පැවැත්වීමට සිදුවු බවත් පැවසු විභාග කොමසාරිස්වරයා 2025 අවසන් වී 2026 වසර ආරම්භයේ දී විභාග නිසි පරිදි පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය.

+


හිටපු මන්ත්‍රී ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් එලියට

(29.10.2024 – 21:19 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුලස්ති මාරපන කිසියම් පිරිසක් විසින් ඝාතනය කර තිබෙනවා.

ඔහුගේ මළසිරුර හමුවුණේ කෑගල්ල කෙම්පිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ වලව්වේදීයී.

කෑගල්ල බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ හිමිකරු මෙන්ම කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හිටපු මන්ත්‍රීවරයෙකු ද වූ 75 හැවිරිදි ක්‍රිෂාන්ත පුලස්ති මාරපනගේ මළ සිරුර එම වලව්වේ තිබියදී සොයා ගෙන තිබුණේ ඊයේ (28) දිනයේයි.

විශ්‍රාමික ගණිත ගුරුවරයෙකු ද වූ ඔහු එම වලව්වේ පදිංචිව සිටියේ බිරිඳ ද සමඟයි.

වලව්වේ මුරකරු හිමිකරුට අයත් කුඹුරුවලට අවශ්‍ය බිත්තර වී ගෙන ඒම සඳහා පොළොන්නරුව ප්‍රදේශයට ගොස් තිබූ අතර මුරකරුගේ පුත්‍රයෙකු වලව්වට පැමිණි අවස්ථාවේ මළසිරුර දැක පොලිසියට දැනුම් දී තිබුණා.

ඔහුගේ අත් පා ගැටගසා ඇඳ සිටි සරමෙන්ම ගෙළ සිරකර මුඛයට සෙලෝටේප් අලවා නිදි ඇඳේම ඝාතනය කර ඇති බවත්, ඔහුගේ බිරිඳගේ ද මුව වැසෙන සේ සෙලෝටේප් අලවා තිබූ බවත් පොලිසිය සඳහන් කළා.

බිරිඳට කිසියම් පිරිසක් පහරදී ඇති අතර ඇය ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර සිටිනවා.

දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ කිසියම් පිරිසක් වලව්වට පැමිණ විදුලිය ද විසන්ධි කර නිවසට ඇතුළු වී ඇති බවයි.

ඔවුන් නිවසේ භාණ්ඩ සෝදිසි කරමින් කිසියම් දෙයක් සොයා ඇති බවත් පසුව නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථය ද රැගෙන පළාගොස් ඇති බවත් හෙළි වී තිබෙනවා.

නිවසේ CCTV කැමරා පද්ධතියේ රෙකෝඩරය ද සැකකරුවන් ගලවාගෙන ගොස් ඇතැයි පොලිසිය පැවසුවා.

කෙසේවෙතත් ඝාතකයන් පැහැරගෙන ගිය මෝටර් රථය කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ පින්දෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පින්දෙණිය පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සහ කෑගල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ද නිවසට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර මෘත ශරීරය කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලිසියෙන් විමර්ශන ක්‍රියාත්මකයි ෴

+++++++

+


ලංගම බසයකට ගල් ප්‍රහාරයක් – රියදුරුට තුවාල

(29.10.2024 – 20:36 +0530 – hirunews.lk/sinhala)

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට කිසියම් පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ලකර ඇතැයි තඹුත්තේගම පොලිසිය පවසනවා.

ප්‍රහාරය නිසා රියදුරුට සුලු තුවාල සිදුව තිබෙනවා.

අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ තඹුත්තේගම, තම්මැන්නාව වැව අසළදී ප්‍රහාරය එල්ලවී තිබෙන අතර ඒ අද (29) සවස 05:30 ට පමණ බවයි වාර්තා වන්නේ.

කොළඹ සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබු ජා-ඇල ඩිපෝවට අයත් අංක NC-1214 දරන ලංගම බස් රථයට මෙම ගල්ප්‍රහාරය එලල්ව තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මාර්ගය අසළ සැඟව සිටි කිසියම් පිරිසක් ගල් ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ගල් ප්‍රහාරය හේතුවෙන් එම බස් රථයේ ඉදිරිපස ‘වාමුවාව’ (Windscreen) බිදී ගොස් ඇති බවද පොලිසිය පවසනවා.

රියදුරුට ද සුලු තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා ෴


WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වන ව්‍යාජ පණිවිඩයක් පිළිබඳව විශේෂ දැනුම්දීමක්

(29.10.2024 – 16:15 +0530 – hirunews.lk/sinhala)

‘ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම් කණ්ඩායම’ (CERT) විසින් වට්ස්ඇප් (WhatsApp) ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වන ව්‍යාජ පණිවිඩ පිළිබඳව අවවාදයක් නිකුත් කර තිබෙනවා.

මෙම ව්‍යජ පණිවිඩ මඟින් පුද්ගලයන්ගේ රහස් තොරතුරු ලබා ගැනීමේ උත්සාහයන් දක්නට ලැබෙන බවයි වාර්තා වෙන්නේ.

විශේෂයෙන්ම මේවා ව්‍යාජ තෑගි දීමනා, තරග හෝ රක්ෂණ තොරතුරු වැනි පණිවිඩවන අතර මෙම පණිවිඩවලින් විවිධ ‘ලින්ක්’ සම්බන්ධ කර ඇති අතර, ඒවාට ‘ක්ලික්’ කිරීමෙන් ඔබගේ පුද්ගලික තොරතුරු ලබා ගන්නා බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම කණ්ඩායම විශේෂයෙන්ම උපදෙස් දෙන්නේ මෙම ව්‍යජ පණිවිඩ වලින් ඇති වන අවදානම් පිළිබඳව හඳුනාගනිමින් ඒවාට හසු නොවන ලෙසයි.

විශේෂයෙන්ම, පුද්ගලික සහ වාණිජ තොරතුරු හෝ බැංකු තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස‍යි එම කණ්ඩායම වැඩිදුරටත් පවසා සිටින්නේ ෴


ආරුගම්බේ සිද්ධිය ගැන අතිශය රහසිගත වාර්තාවක් අධිකරණයට

(29.10.2024 – 15:30 +0530 – hirunews.lk/sinhala)

ආරුගම්බේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් විමර්ශන නිලධාරින් විසින් අද (29) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

විදේශ සංචාරකයින් බහුල වශයෙන් රැඳී සිටි ආරුගම්බේ ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පවතින බවට ඇමරිකානු තානාපති කාර්යාලය මගින් පසුගියදා නිවේදනය කළා.

එහිදී විමර්ශනවලට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු (2) රඳවාගෙන ප්‍රශ්න කරන බවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ.

විමර්ශනවලට අදාල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා ෴


මේ වසරේ (2024) ගත වූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86 ක්

(30.10.2024 – 07:39 +0530 – sinhala.adaderana.lk)

මේ වසරේ (2024) ගතවූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86 ක් සිදුව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, 2023 වසරේ පීලිපැනීම් 139 ක් සිදුව ඇති බවය.

එමෙන්ම 2022 වසරේ වාර්තා වී ඇති දුම්රිය පීලිපැනීම් සංඛ්‍යාව 132 ක්.

2021 සහ 2020 වන වර්ෂවලදී දුම්රිය පීලිපැනීම් 115 ක් සහ 98 ක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර අඛණ්ඩව සිදුවන දුම්රිය පිලීපැනීම්, දුම්රිය අවලංගු වීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීමට පාලනාධිකාරිය තවදුරටත් අසමත් වුවහොත් ඊට එරෙහිව වර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, මේ පිළිබඳ සාකච්ඡාවක් අද (30) අමාත්‍යවරයාගේ මැදිහත් වීමේන් පැවැත්වීමට නියමිත බවය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *