පිළිකා හා ස්නායු රෝගීන්ට ‘ඇල්වතුර එන්නත්’ රුපියල් කෝටි 14 කට අරන්

පිළිකා හා ස්නායු රෝගීන්ට ඇල්වතුර එන්නත් රුපියල් කෝටි 14 කට අරන්


පිළිකා හා ස්නායු රෝගීන්ට ‘ඇල්වතුර එන්නත්’ රුපියල් කෝටි 14 කට අරන්

(12.10.2024 – silumina.lk)

අසාධ්‍ය පිළිකා රෝගීන්ට සහ ස්නායු රෝගීන්ට ලබා දෙන එන්නත් බව හඟවා ඇල්වතුර පිරවූ එන්නත් කුප්පි 3150 ක් මිල දී ගෙන ඒ වෙනුවෙන් රුපියල් දාහතර කෝටි හතළිස් දෙලක්ෂ අනූතුන්දහස් තුන්සිය පනස්හයක් (14,42,93,356) ගෙවීමේ මහා පරිමාණ වංචාව පිළිබඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණ අරඹා ඇත.

වෛද්‍ය සැපයුම් අංශයෙන් මිලට ගෙන ‘Rituximab’ ලේබලය සහිතව එවන ලද පිළිකා ඖෂධ එන්නත රෝගීන්ට ලබා දුන්නද ඉන් ප්‍රගතියක් නොමැති වීම ගැන ඇති වූ සැකය මත ජාතික පිළිකා ආයතනය විසින් අදාළ එන්නත පරීක්ෂණයකට භාජන කිරීමේදී අනාවරණය වී ඇත්තේ එහි ජලය පමණක් අඩංගු බවයි.

පිළිකා රෝගීන් වෙනුවෙන් එම එන්නත් කුප්පි 2250 ක් මිලට ගෙන ඇත්තේ රුපියල් 10,79,11,481 (රුපියල් දස කෝටි හැත්තෑ නව ලක්ෂ එකොළොස් දහස් හාරසිය අසූ එකක්) වැය කරමින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය පවා නැති සමාගමකිනි.

එසේම අසාධ්‍ය ස්නායු රෝගීන්ට ලබා දීම වෙනුවෙන් යැයි සඳහන් කර රුපියල් 36,381,875 ක් වැයකර ‘Human Immunoglobulin’ ලේබලය ඇලවූ එන්නත් කුප්පි 900 ක් හදිසි මිලදී ගැනීම් යටතේ ලබා ගෙන ඇත්තේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එම එන්නත් තිබියදී බරපතළ හිඟයක් පවතින බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමිනි.

එම එන්නත්හි ද අන්තර්ගතව ඇත්තේ ජලය පමණක් වන අතර එන්නත් කුප්පි කිහිපයක සේලයින් දියර අන්තර්ගතව තිබී ඇත. එය මිලදී ගෙන ඇත්තේ ආනයනික ඖෂධයක් වශයෙන් වුවද එය නිපදවා ඇත්තේ මෙරට දී බව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත ෴

+

ව්‍යාජ ඖෂධයක් නිපදවීමට ‘ලේ’ බැංකුවේ ‘ලේ’ ටිකත් විකුණලා…

(12.10.2024 – silumina.lk)

  • රුධිර ‘ප්ලාස්මා’ ලීටර් 170 ක මිල රුපියල් ලක්ෂ විසි පහයි (25,00,000) …
  • ‘ලේ’ පයින්ට් 06 ක මිල රුපියල් 12,000 යි …
  • පිළිකා රෝගීන්ට ‘ඇල්වතුර’ එන්නත්; වියදම රුපියල් දස කෝටි 79 ලක්ෂයයි …
  • 2023 දී රුපියල් කෝටි 248 ක බාල බෙහෙත් කුණු කූඩයට …
  • සේලයින් වතුර පිරවූ ‘Humman Immunoglobulin’ ලේබලය ඇලවූ කුප්පි 900 කට රුපියල් 3,63,81,875 යි …

දීර්ඝ කාලයක් තිස්සේ අපට අසන්නට ලැබුණේ ඉදිකිරීම් කොන්ත්‍රාත්, විවිධ මිලදී ගැනීම්, සේවා සපයා ගැනීම් වැනි කාර්යයන් හිදී සිදු කර ඇති කොමිස් ගැසීම් , මහා පරිමාණ වංචා, දූෂණයන්ය. මිනිස් ජීවිතවලට ක්ෂණිකවම බලපාන රෝගී ප්‍රතිකාර ක්ෂේත්‍රයේ දූෂණ, වංචා අසන්නට ලැබුණ ද, ඒ ඉඳහිටය.

එහෙත් මීට වසර පහ-හයක (5-6) කාලය තුළ පෙර කී වංචා, දූෂණ එසේම පවතිද්දී, මරණ මංචකයේ සිට ජීවිතය යදින රෝගීන්ගේ බෙහෙත් පෙත්තෙන්, එන්නත් කුප්පියෙන්, ශල්‍ය වෛද්‍ය උපකරණයෙන්, රසායනාගාර අයිතමයෙන් කරන මහා පරිමාණ ගසාකෑම්වල කෙළවරක් නොවීය.

ඉහත ගසාකෑම් හේතුවෙන් විශේෂයෙන්, ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබා දීම නිසා ඇතැම් රෝගීහු මරණයට පත්වූහ. ඇතැමුන්ගේ දෙනෙත් අන්ධ විය. තවත් විටෙක එවන් ඖෂධ භාවිත කිරීමෙන් පසු ඇතිවන අසාත්මිකතා නිසා සති ගණන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදු විය. පහත හෙළිදරව් කෙරෙන්නේ එවන් වංචනික ක්‍රියා රැසකින් කිහිපයක් පමණි.

ලියාපදිංචියෙන් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරවීමේ කූට උපක්‍රමය

සැපයුම්කරුවන්ගෙන් ඖෂධ, ශල්‍ය උපකරණ, අනෙකුත් සෞඛ්‍ය පරිභෝජක ද්‍රව්‍ය මිලට ගැනීමේදී ඒවා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී තිබිය යුතුය. නිශ්චිත ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් මිලට ගැනීම කළ යුතුය. එහෙත් හදිසි ආපදා තත්ත්වයකදී ඇමැතිවරයාගේ නිර්දේශ මත පෙර ලියාපදිංචියකින් හෝ පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හදිසි අවශ්‍යතා මිලදී ගැනීමට නීත්‍යානුකූල ප්‍රතිපාදන ඇති කර තිබේ.

මතු සඳහන් සියලු වංචනික ක්‍රියා සිදු කර ඇත්තේ එවන් හදිසි අවස්ථාවන්හිදී ක්‍රියා කිරීමට ලබා දී ඇති නීතිමය ප්‍රතිපාදනවලට මුවාවී, එම ප්‍රතිපාදන මුළුමනින්ම අවභාවිත කරමිනි.

පහත හෙළිදරව් කරන මහා පරිමාණ වංචා සිදු කිරීමට පෙර 2022 මැයි 30 දිනත්, ඉන් පසුවත් වරින්වර සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති ගසාකෑමේ කූටඋපක්‍රමය ඇතුළත් කැබිනට් පත්‍රිකාවල මේ උපායයන් මැනවින් සඳහන් වේ.

එවැනි එක් කැබිනට් පත්‍රිකාවකට අනුව ඖෂධ වර්ග 182 ක්, ශල්‍ය ද්‍රව්‍ය සහ පරිභෝජක උපකරණ 4739 ක්, විකිරණශීලී අයිතම 15 ක් සහ අත්‍යවශ්‍ය රසායනාගාර අයිතම 582 ක් හදිසි මිලදී ගැනීම් සදහා අනුමැතිය ලබා ගෙන තිබේ. මෙවැනිම තවත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකින් ඖෂධ වර්ග 17 ක් සෞඛ්‍ය පාරිභෝජ්‍ය ද්‍රව්‍ය 3791 ක් හදිසි මිලදී ගැනීම් යටතේ සපයා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි කර ගෙන තිබේ.

Human Immunoglobulin ඖෂධය නිපදවීමට රුධිර ‘ප්ලාස්මා’ ලීටර් 170 ක් රුපියල් ලක්ෂ 25 කට අලෙවි කිරීම

කොළඹ මධ්‍යම ‘ලේ’ බැංකුව 2023 නොවැම්බර් 20 වැනිදා වන විට රුධිර ‘ප්ලාස්මා’ ලීටර් 170 ක් රුපියල් 24,60,174 (රුපියල් විසි හතර ලක්ෂ හැට දහස් එකසිය හැත්තෑ හතරකට) පෞද්ගලික ඖෂධ සමාගමකට විකුණා ඇතැයි ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි. ඊට අමතරව තවත් රුධිර ලීටර් (පයින්ට්) 06 ක් රුපියල් 12,000 කට එම සමාගම වෙතම අලෙවි කර තිබේ.

විගණකාධිපති වාර්තාවට අනුව මේ අයුරින් මිනිස් රුධිරය අලෙවි කිරීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු නිර්මාණය වීමේ ඉඩකඩ තිබේ. මේ රුධිර ප්ලාස්මා ආසාදිත නොවන බව රසායනාගාර පරික්ෂාවකින් තහවුරු නොකොට බාහිර පාර්ශ්වයන්ට ලබා දීම එම ගැටලු නිර්මාණය වීමට හේතු විය හැකිය. මෙහිදී මධ්‍යම ලේ බැංකුව ක්‍රියාකර ඇත්තේ ‘රුධිර පාරවියලන’ ආයතනයේ නිර්දේශ ද නොමැතිවය.

මධ්‍යම ‘ලේ’ බැංකුවේ ඇති පරිත්‍යාගශීලීන්ගේ රුධිරයට කිසියම් මිලක් නියම කළේ කවුද ? ඒ කවර මිනුම් දණ්ඩකින් ද? විශ්වවිද්‍යාල ඇතුළු විවිධ පර්යේෂණ සඳහා ලබා දීමට සහ ඇතැම් පෞද්ගලික රෝහල්වල අවශ්‍යතා සඳහාත් රුධිරය හුවමාරු කර ගැනීමට ඉඩකඩ තිබුණ ද, ප්ලාස්මා ලීටර් 170 ක තරම් විශාල ප්‍රමාණයකට මිල නියම කර පෞද්ගලික සමාගමකට අලෙවි කිරීම කාගේ අනුදැනුම මත සිදු වූවක් ද? කෙනෙකු ඉතා සද්භාවයෙන් තවත් ජීවිතයක් බේරා ගැනීම සඳහා පරිත්‍යාග කරන රුධිරය වෙනත් පෞද්ගලික ආයතන වෙත මිල කර විකිණීම කොතරම් ම්ලේච්ඡ ක්‍රියාවක්ද?

රුපියල් 10,79,11,481 ගෙවා පිළිකා රෝගීන් සඳහා ‘ඇල්වතුර’ එන්නත් 2250 ක් මිලට ගැනීම

Rituximab (රිටොක්සිමැබ්) යනු මිනිස් වසා පද්ධතියේ ඇතිවන පිළිකා තත්ත්වයන් හිදී (ලියුෆෝමා) තත්ත්වයකදී කීමෝ තෙරපි ඖෂධය සමඟ එකට ලබා දෙන ඖෂධයකි. මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා ප්‍රකාශ කර තිබුණේ නියම ප්‍රමිතියෙන් යුතු ඖෂධය ලබා දීමෙන් රෝගය සුව වීමේ ප්‍රවණතාව සියයට 15 කින් පමණ වැඩි වන බවය.

එහෙත් එකී ඖෂධයේ තිබිය යුතු පිළිකා සෛල විනාශ කරන ප්‍රතිදේහ සෛල නිපදවන ‘මොනක්‍රෝරල්’ ප්‍රෝටීන සංඝටක අඩංගු නොවී තිබියදී, එකී ඖෂධ සංඝටක එන්නත් කුප්පියේ ඇති ඖෂධවල ගැබ්ව ඇතැයි නිගමනය කර, රෝගීන් වෙත ලබා දුන්න ද එම රෝගීන්ට සිදු වන්නේ කුමක්ද?

වෛද්‍ය සැපයුම් අංශයෙන් ‘Rituximab’ ලේබලය සහිතව ලබා දෙන ලද එම ඖෂධ රෝගීන්ට ලබා දුන් පසු ඉන් ප්‍රගතියක් නොමැති වීමේ වෛද්‍යවරුන් තුළ මතුවූ සැකය මත ජාතික පිළිකා ආයතනය විසින් අදාළ එන්නත පරීක්ෂණයකට භාජනය කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ එම ඖෂධය තුළ තිබිය යුතු ඖෂධීය සංඝටක කිසිවක් තිබී නැති බවය. එහි තිබී ඇත්තේ ‘සාමාන්‍ය ජලය’ පමණි.

එසේ නම් රුපියල් 10,79,11,481 (රුපියල් දස කෝටි හැත්තෑ නව ලක්ෂ එකොළොස් දහස් හාරසිය අසූ එකක්) පෞද්ගලික ඖෂධ සමාගමකට ගෙවා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නැති ව්‍යාජ ඖෂධයක් මිලට ගෙන අසරණ පිළිකා රෝගීන්ට කර ඇත්තේ කොතරම් සහාසික අපරාධයක් ද ?

රුපියල් 3,63,81,875 ක් වැය කර පෞද්ගලික සමාගමකින් ‘Human Immunoglobulin’ ලේබලය ඇලවූ ඇල්වතුර එන්නත් 900 ක් මිලට ගැනීම

මානව රුධිරය ද උපයෝගි කර ගනිමින් ඉතා ඉහළ තාක්ෂණයෙන් යුතුව නිෂ්පාදනය කරන ‘Human Immunoglobulin’ (හියුමන් ඉමියුනොග්ලොබියුලීන්) නමති මේ විශේෂ ඖෂධය දරුණු ස්නායු රෝග සඳහා ලබා දෙන ඉතා සුවිශේෂී ඖෂධයකි. මෙකී ඖෂධය ද අවශ්‍ය ප්‍රමාණයට වෛද්‍ය සැපයුම් අංශයේ තිබියදී එහි බරපතළ හිඟයක් පවතින බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර හදිසි මිලදී ගැනීම් යටතේ රුපියල් 3,63,81,875 (රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂ අසූ එක් දහස් නවසිය හැත්තෑ පහක්) ගෙවා ‘එන්නත් මාත්‍රා’ නමින් ‘ඇල්වතුර’ කුප්පි 900 ක් මිලට ගෙන තිබේ.

මේ ඖෂධය විදේශයක සිට ආනයනය කළ බවට සඳහන් කර තිබුණ ද, එය නිපදවා ඇත්තේ ලංකාව තුළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන තිබේ. මෙකී ඖෂධය තුළ තිබිය යුතු ඖෂධීය සංඝටක කිසිවක් තිබී නැති අතර, එහි ද තිබී ඇත්තේ ජලය හෝ සේලයින් දියර බවට තහවුරු වී තිබේ.

එසේ නම් රුපියල් කෝටි හතරකට (4,00,00,000) ආසන්න මුදලක් ගෙවා ඖෂධ නියාමන අධිකාරීයේ ලියාපදිංචිය ද නැති ව්‍යාජ ඖෂධයක් මිලට ගෙන එම රෝගීන්ට කර ඇත්තේ කොතරම් සහාසික අපරාධයක් ද?

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකට අනුව 2023 වසරේදී පමණක් නියමිත ප්‍රමිතියෙන් හීන වීම නිසා භාවිතයෙන් ඉවත් කරන ලද ඖෂධවල වටිනාකම රුපියල් කෝටි 248 ඉක්මවා තිබේ. විගණන වාර්තාවට අනුව භාවිතයට නුසුදුසු බවට සහතික කර වහා ඉවත් කරන විටත් ඉන් සැලකිය යුතු ප්‍රතිශතයක් රෝගීන් සඳහා භාවිත කර තිබේ. එම ඖෂධවල නුසුදුසු භාවය නිසා ඇතැම් රෝගීන් බරපතළ අසාත්මිකතාවන්ට ලක්ව මරණයට පවා ගොදුරු වී තිබේ. ඇතැම් රෝගීහු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසු වෙති. ඇතැම් අක්ෂි රෝගීන් පූර්ණ අන්ධභාවයට ලක්වී තිබේ. මේවා සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සහ සාපරාධී අපරාධ නොවේ ද? ඔවුන්ට එසේ වුවත් තාත්තාගේ, දූලාගේ, බිරින්දෑලාගේ ස්ථාවර තැන්පතු නම් අහස උසට ගොඩගැසී තිබේ ෴


විදෙස් සයිබර් අපරාධ කණ්ඩායමක් පසුපස සීඅයිඩී විමර්ශන

(05.10.2024 – silumina.lk)

මෙරටට ඇතුළු වී සයිබර් අපරාධ සිදු කරන යුක්‍රේන, ඉන්දියා සහ බල්ගේරියන් ජාතිකයන්ගෙන් සමන්විත සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආවේක්ෂණ විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ කණ්ඩායමට අයත් බවට සැකකරන යුක්‍රේන ජාතික සයිබර් අපරාධකරුවන් දෙදෙනෙකු (2) මේ වනවිටත් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මේ සයිබර් අපරාධකරුවන් මෙරටට පැමිණීමට පෙර මෙරට බැංකු පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ ඉතා සියුම්ව නිරීක්ෂණය කර ඇති බවට ද රහස් පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත. රහස් පොලිසිය මේ පිළිබඳව අධිකරණයට ද මේ වන විට කරුණු වාර්තා කර ඇත ෴


බස් සහ කෝච්චිවල දී ලැප්ටොප් උස්සන හොරෙක් අත්අඩංගුවට

(13.10.2024 – dasathalankanews.com)

බස් රථවල සහ දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ලැප්ටොප් පරිගණක සොරාගත් පුද්ගලයෙක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි කළුතර අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

කොළඹ සිට අලුත්ගම, කළුතර මෙන්ම පානදුර සිට රත්නපුර දක්වා ගමන් ගන්නා බස් රථවල සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රියන් හී ගමන් ගන්නා මගීන්ගේ ලැප්ටොප් පරිගණක මම සැකකරු විසින් බහුලව සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස ලැප්ටොප් පරිගණක සොරගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදුකළ විමර්ශනයක දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

ඉතා සූක්ෂම ලෙස දීර්ඝ කාලයක් තිස්සේ සැකකරු මෙම සොරකම් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හොරණ, හල්තොට ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මොහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දී සොරකම් කරන ලද ලැප්ටොප් යන්ත්‍ර 07 ක් සහ ජංගම දුරකථන 05 ක් විවිධ ස්ථානවලට අඩු මුදලට අලෙවිකර තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු අද (13) හොරණ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


සජිත් කියන්නේ සජබේ නායකයා නෙවෙයි. පදේකට නටන තනිකරම රූකඩයක්. (12.10.2024)

+

සජිත් එක්ක ඉන්න හිරිකිතයි | හිරුණිකා අඬාගෙන වගේ කතා කළා | මාන්නප්පෙරුම තීරණයක් ගනී (13.10.2024)

+


අනුර ඉතා බුද්ධිමත්, විචක්ෂණශීලී පුද්ගලයෙක් | සජබෙන් චම්පික කපපු හැටි A to Z ගම්මන්පිල හෙළිකරයි (13.10.2024)

+


පස්සෙන් පන්නා ජීවිත බිලිගන්න පිටකොටුව කැලඹූ අතුරුදන්වන මිනිසා (13.10.2024)

+


අනුර වෙනුවෙන් මං පෙනී සිටියට මං වෙනුවෙන් මාලිමාව පෙනී සිටියේ නෑ |ඇයි මම පාර්ලිමේන්තු ඉන්න ඕනේ (13.10.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *