දේශපාලකයින් පාසල් උත්සව වලට ගෙන්වීම වහාම නතර කරන්න – අගමැතිනිය

දේශපාලකයින් පාසල් උත්සව වලට ගෙන්වීම වහාම නතර කරන්න – අගමැතිනිය


දේශපාලකයින් පාසල් උත්සව වලට ගෙන්වීම වහාම නතර කරන්න – අගමැතිනිය

(26.09.2024 – pmoffice.gov.lk)

  • ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ පිටවූ ප්‍රශ්න පිලිබඳ ස්වාධීන වාර්ථාවක් වහාම අවශ්‍යයි.
  • මෙතෙක් ප්‍රමාද වූ සියළු විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන්නැයි විභාග දෙපාර්තමේන්තුවට අගමැතිනියගෙන් උපදෙස්.
  • දේශපාලකයින් පාසල් උත්සව වලට ගෙන්වීම වහාම නතර කරන්න.

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසීය.

අද (2024.09.26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සියළු අංශවල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය,

පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරිම වත්මන් රජයේ පුමුඛ අරමුණක්. අපේ රජය යටතේ අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට අපි තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැති කිරීමට මේ ආයතන කටයුතු කළ යුතුයි. විශේෂයෙන් විභාග පැවැත්වීම හා ප්‍රථිපල ලබාදීම කඩිනම් කරන්න.

ගුරු පුරප්පාඩු පිරවීමේදී නිසි ක්‍රමවේදයක් මගින් සිදුවිය යුතුයි. ජනතාව තුල විශ්වාසය ඇති වන පරිදි විනිවිද භාවයෙන් පුරප්පාඩු පිරවීම සිදු කරන්න වෙනවා. පාසල් පැත්තෙන් මට පොඩි යෝජනාවක් තියෙනවා. ඒක එකපාර කරන්න බැරි උනත් පාසල් වලින් මට වාර්තා වෙනවා මානසික සෞඛ්‍ය මානසික අසහන පිළිබඳ ප්‍රශ්න. මේ ගැන අපි මැදිහත් වෙන්නම ඕන. අපි තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. මේ පරපුර කොවිඩ් වලටත් මුහුණ දුන්නා. ආර්ථිකය කඩා වැටීම නිසා ඇතිවුණු ගෘහස්ථ ගැටලු වලටත් මුහුණ දුන්නා. මේ ඔක්කොමත් එක්ක එන පරපුරක්. පවුල් වල තියෙන ප්‍රශ්න, ගුරුවරුත් එක්ක තියෙන බැඳීම අඩුවීම වගේ ගැටළු මේ පරපුරේ තියෙනවා.

පාසල් දරුවන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහන් ක්‍රමවත් කිරීමත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී ක්‍රමවත් සහ පිළිගත් ක්‍රමවේදයකට විනිවිදභාවයෙන් සිදු විය යුතු බවත්, මහජන නියෝජිතයින් පාසල් වලට ගෙන්වා ගැනීම නතර කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙහිදී පැවසීය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සියළු අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය


ආචාර්ය තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයට

(26.09.2024 – 16:01 +0530 – hirunews.lk/sinhala)

ආචාර්ය තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

ඒ අනුව ආචාර්ය තිලක් සියඹලාපිටිය අද (26) එම ධුරයේ වැඩ භාරගත් බවයි වාර්තා වන්නේ.

බලශක්ති ක්ෂේත්‍රයේ වසර 40 ක පමණ අත්දැකීම් ඇති ඔහු විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු – ජනන සැලසුම් මෙන්ම තවත් තනතුරු කිහිපයක සේවය කර තිබුණා.

එමෙන්ම 2004 සිට 2008 දක්වා ආචාර්ය තිලක් සියඹලාපිටිය ජාතික බලශක්ති ප්‍රතිපත්ති කමිටුව ද නියෝජනය කර තිබෙනවා ෴


රුපියල් මිලියන 430 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ආරක්ෂක අංශ නිලධාරියෙක් අත්අඩංගුවට

(26.09.2024 – 16:50 +0530 – hirunews.lk/sinhala)

කිලෝග්‍රෑම් 43.648 ක් බරැති රුපියල් මිලියන 430 කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී (BIA) අද (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි ආරක්ෂක අංශ නිලධාරියෙක්.

සැකකරු තායිලන්තයේ බැංකොක් සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙය රේගු ඉතිහාසයේ වැටලූ විශාලතම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය බවද සඳහන් ෴

+


‘මව්බිම ජනතා පක්ෂය’ හා එක් වූ ආදරණීය දිලූම් (26.09.2024)

+


අද (26) මධ්‍යම රාත්‍රියේ සිට වීසා ලබාදීම පැරණි ක්‍රමයටම

(26.09.2024 – 20:33 +0530 – hirunews.lk/sinhala)

වීසා ලබා දීම පැරණි ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාතමක කෙරෙන බව සඳහන්.

+

+


පසුගිය රජයයන් භාවිත කළ අති සුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන් වෙත ලබාදීමට ජනපතිගෙන් උපදෙස්

(26.09.2024 – facebook.com/PresidentsMediaSriLanka)

වාහන අවභාවිතය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

පසුගිය රජයයන් විසින් භාවිත කළ අතිසුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන්වලට පමණක් යොදා ගන්නා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහතා පැවසීය.

එසේම ජනතාවගේ බදු මුදල් මෙලෙස නාස්ති කිරීම කණගාටුවට කරුණක් බවත්, මේ සම්බන්ධව පූර්ණ සමාලෝචනයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහතා මේ බව සඳහන් කර සිටියේ ගාලුමුවදොර භූමිය ඇතුළු ස්ථාන කිහිපයක නවතා ඇති වාහන සම්බන්ධව ගනු ලැබූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද (26) එම පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

පසුගිය ආණ්ඩු විසින් රට පාලනය කිරීමේදී මහජන මුදල් නාස්තියේ ප්‍රමාණය මේ ස්ථානයේ මෙසේ ප්‍රදර්ශනය කරන බවත්, ජනාධිපති මන්දිරය සතුව පවතින වාහන නැවතුම් ස්ථාන එම වාහන ගාල් කිරීමට ප්‍රමාණවත් නොමැති බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ගාලුමුවදොර පරිශ්‍රය ඇතුළු තවත් ස්ථාන කිහිපයකම වාහන 107 ක් ගාල් කර ඇති අතර, මේවා විවිධ අවස්ථාවලදී පසුගිය ආණ්ඩු විසින් විවිධ තනතුරු ඇති කරමින් තම හිතවතුන්ට ලබාදී තිබූ ඒවා බව ද ඔහු අවධාරණය කළේය. මේ රටේ ජනතාවට එදිනෙදා ජීවත් වීමට අපහසු අවස්ථාවක පසුගිය වසර 76 ක් පුරා පැවති ආණ්ඩු දිගින් දිගටම මහජන ධනය නාස්ති කර තිබීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව ද ඔහු සඳහන් කළේය.

එසේම සෞඛ්‍ය කේෂ්ත්‍රයට ප්‍රමාණවත් ගිලන් රථ නොමැති, රාජ්‍ය නිලධාරීන්ට සිය රාජකාරී සිදු කිරීමට ප්‍රමාණවත් වාහන නොමැති අවස්ථාවක රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් වාහන ගෙන්වා තම හිතවතුන්ට ලබාදී ඇති බව ද ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය.

මහජනතාවගේ ධනය සුරක්ෂිත කිරීම වගකීමක් වන බවත්, අනිසි ලෙස භාවිත කළ වාහන සම්බන්ධව පූර්ණ සමාලෝචනයක් සිදුකිරීමට පියවර ගන්නා බවත් පැවසූ ඒ මහතා, අදාළ වාහන ඉතා ඵලදායී ලෙස සහ ඉතා අත්‍යවශ්‍ය සේවාවන්වලට ලබාදීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

විවිධ ආයතනවලින් ලබාගත් වාහන 59 ක් ජනාධිපති කාර්යාලය හරහා තම හිතවතුන්ට ලබාදී ඇති බවත්, වාහන ආනයනය කිරීම තහනම් කළ කාලසීමාව තුළ පමණක් ජනාධිපති කාර්යාලයට වාහන 16 ක් ගෙන්වා ඇති බව අනාවරණය වී ඇති බවත් ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා සඳහන් කළේය.

තවද ජනාධිපති කාර්යාලය සතුව පවතින වාහන 833 ක් අතරින් වාහන 29 ක් අතුරුදන්ව ඇති බවද සඳහන් කළ ඒ මහතා, මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදුන් බවද වැඩිදුරටත් පැවසීය.

+


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ලීක් වීම දුරදිග යයි | දෙමව්පියෝ බලධාරීන් මට්ටු කරන්න වැඩකට අත ගසති (26.09.2024)

+


රජයට අයත් රුපියල් කෝටි 184 ක් ග්‍රීක බැඳුම්කරවල දැමූ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් 10 වනදා උසාවියට

(26.09.2024 – gossiplankanews.com)

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස්දෙනෙකුට (5) එරෙහිව අල්ලස් කොමිෂම පවරා ඇති නඩුව ඔක්තෝම්බර් 10 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස්දෙනාට (5) එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අද (26) සිතාසි නිකුත් කළේය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට අමතරව මෙලෙස සිතාසි නිකුත් කරන ලද්දේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන හා එම්.ඒ. කරුණාරත්න යන අයටය.

2012 වසරේ ග්‍රීක රජය දැඩි ආර්ථික අර්බුදයක පසුවෙද්දී ශ්‍රී ලංකා රජය සතු රුපියල් කෝටි එකසිය අසූහතරක් (184,32,67,595) අධික මුදලක් යොදවා ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කප්රාල්ට අමතරව කේ.ජී.ඩී. ධර්මසේන ධීරසිංහ, වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන සහ එච්.ඒ. කරුණාරත්න නමැත්තන්ට එරෙහිව නඩු පවරා තිබිණී.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් අනතුරුව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරන ලදී ෴


ලේක්හවුස් නව සභාපති ගාමිණි වරුෂමාන

(25.09.2024 – lakehouse.lk)

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස ගාමිණී වරුෂමාන මහතා අද (25) වැඩ භාර ගත්තේය.

කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ඒ මහතා ලේක්හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ මාණ්ඩලික මාධ්‍යවේදියෙක් ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කරමින් විශ්ලේෂකයෙකු, පර්යේෂකයෙකු ලෙස ආයතන ගණනාවක සේවය කර තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය සදහා ශාස්ත්‍රපති උපාධිය සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සදහා ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති ඒ මහතා ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ගැමිදිරිය වැඩ සටහන ආදිය ආයතන ගණනාවක පරිපාලන සහ පර්යේෂණ අත්දැකීම් සහිත නිලධාරියෙකි ෴


ජනපති මන්දිරය අසල මාර්ග දෙකක් (2) විවෘත කෙරේ

(27.09.2024 – 11:59 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයකට අනුව එම මාර්ග විවෘත කෙරෙන බවය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *