කොන්ඩේ හදාගන්න සැලුන් ගිය කාන්තාවගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම ගැලවිලා අතට ඇවිත්

කොන්ඩේ හදාගන්න සැලුන් ගිය කාන්තාවගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම ගැලවිලා අතට ඇවිත්


කොන්ඩේ හදාගන්න සැලුන් ගිය කාන්තාවගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම ගැලවිලා අතට ඇවිත්

(01.09.2024 – 17:02 +0530 – hirunews.lk/sinhala)

සාදයකට සහභාගි වීම සඳහා හිස කෙස් සකසා ගැනීමට ගිය කාන්තාවකට හිසේ ගැල්වූ ද්‍රව්‍යයන් ආසාත්මික වීම හේතුවෙන් සිය හිස කෙස් සියල්ල ගැලවී ගිය පුවතක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

හිස කෙස් ගැලවී යාමේ බරපතල තත්ත්වයක් ඇති වීම හේතුවෙන් අදාළ කාන්තාව මේ වන විට ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි මිනුවන්ගොඩ පොලිසිය පවසන්නේ.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ මිනුවන්ගොඩ බොරගොඩ වත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි විවාහක කාන්තාවක්.

ඇය සාදයකට සහභාගී වීම සඳහා හිස කෙස් සකසා ගැනීමට මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් වෙත ගොස් ඇති අතර එහිදී කොණ්ඩය සැකසීම සඳහා හිස ගල්වන ද්‍රව්‍යයන් කිහිපයක්ම ගැල්වීම සිදුකර තිබෙනවා.

මෙම ආලේපන යෙදීම නිසා කාන්තාවගේ හිසේ දැඩි දැවිල්ලක් සමග අපහසුතාවයක් දැනීමට පටන් ගෙන ඇති අතර ඒ බව එහි සිටි සේවිකාවන්ට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සේවිකාවන් විසින් අදාළ කාන්තාවගේ හිස සෝදා පිස දමා තිබෙනවා.

පවතින අධික අපහසුතාවය නිසා එම කාන්තාව හිස පිරිමැදීමට පටන් ගෙන ඇති අතර එහිදී ඇයගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම ගැලවී අතට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම කාන්තාව පවසා ඇත්තේ කොණ්ඩය සැකසීම සඳහා රුපියල් පහළොස්දහසක (15,000) කුලියක් ද රූපලාවන්‍යාගාරයෙන් ලබා ගෙන ඇති බවයි ෴


‘දෙමෝදර ආරුක්කු නවයේ පාලම’ ළඟ නායයෑමේ අවදානමක්

(01.09.2024 – 20:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ නැරඹිය යුතුම සංචාරක ස්ථානයක් ලෙස ජාත්‍යන්තරයේ ප්‍රචලිත ‘ඇල්ල දෙමෝදර ආරුක්කු නවයේ පාලම’ අසල කඳුගැටයක නාය යාමේ අවදානමක් පවතින බව හඳුනාගෙන තිබෙනවා.

නායයෑමේ අවදානම පාලනය කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ වනවිට ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇත්තේ ඒ අනුවයි.

ඇල්ල දෙමෝදර ආරුක්කු නමයේ පාලම ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගත් මනරම් ස්ථානයක්.

විශේෂත්වයකින් තොරව වසරේ සෑම කාලයකම පාහේ සංචාරකයින් මෙම පාලම නැරඹීමට එක්වන අතර එය ශ්‍රී ලංකාවේ නැරඹිය යුතුම සංචාරක ස්ථානයක් ලෙස ද ජාත්‍යන්තරයේ ප්‍රචලිතයි.

බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකර ඇති මෙම ආරුක්කු නවයේ පාලම මතින් දුම්රිය ගමනක අත්දැකීම විඳගැනීමට බොහෝ සංචාරකයින් අමතක කරන්නේ නැහැ.

කෙසේවෙතත් අද වනවිට එම පාලම ආසන්න කඳුගැටයක නාය යාමේ අවදානමක් පවතින බවට සොයාගෙන තිබෙනවා.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ද වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත්තේ ඒ අනුවයි.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ අමෙරිකානු ඩොලර් මිලියන 101.3ක මූල්‍ය අනුග්‍රහයක් ඊට ලබාදීමට යෝජිතයි.

මෙම ව්‍යාපෘතිය මගින් නායයෑම් අවදානම සහිත කඳුගැටය ආවරණය කරමින් කොන්ක්‍රීට් වැස්මක් යොදා එහි හිඩැස් අතර ශාක වැවීම මගින් ස්වාභාවික පරිසරය නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

සංචාරකයින් බහුලව පැමිණීම සහ දුම්රිය ගමන්වාර ද බහුලව ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ කටයුතු සඳහා වැඩි කාලයක් ගත වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

+


කිරිවෙහෙර බබළවන මාහැඟි පිංකම වසර 25 ක් පුරාවට ආලෝක පූජාව ‘හිරු’ගෙන්

(01.09.2024 – 21:24 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමට වසර 25 ක කාලයක් පුරා නොමිලේ ආලෝකය සැපයීමේ මහා ආලෝක පූජා උතුම් පුණ්‍යකර්මයට අද (01) මුල පිරුණේ ‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපති රේනෝ සිල්වා මහතාගේ පින්බර සුරතින්.

ඒ අනුව කිරිවෙහෙර සෑ රදුන් සහ පුදබිම ආලෝකවත් කිරීම වෙනුවෙන් විශාල සුර්ය පැනල පද්ධතියක් ස්ථාපනය කිරීම අද (01) ආරම්භ කෙරුණා.

ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමට වසර 25 ක් පුරා ආලෝකය නොමිලේ සැපයීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 150 කට වැඩි පිරිවැයක් දරමින් සූර්ය පැනල පද්ධතියක් සසුනට පූජා කෙරෙනවා.

එම උතුම් සද්කාර්යය ‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපති රේනෝ සිල්වා මහතාගේ පින්බර සුරතින් අද (01) සිදු කෙරුණා.

මෙය ඉදිකිරීමෙන් පසු වසර 25 ක් පුරාම, කිරිවෙහෙර පුදබිමේ සියලුම විදුලි අවශ්‍යතාව සැපයෙන්නේ කිසිදු වියදමකින් තොරවයි.

ඒ අනුව ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රදුන්ගේ අසිරිය මින් මතුවට වසර 25 ක් පුරා හිරුගේ ආලෝකයෙන් ප්‍රභාවත් වනු ඇති.

මෙරට සම්බුද්ධ ශාසනය ආලෝකවත් කරන මෙම ‘හිරු ශ්‍රද්ධාලෝක පූජාව’ කරනු ලබන්නේ ‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපති රේනෝ සිල්වා මහතා කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින් කරන මහා කඨින පින්කමට සමගාමීවයි.

ශ්‍රී ලාංකීය බෞද්ධ පුනරුදයට මෙන්ම ශාසන ඉතිහාසයේ උන්නතිය වෙනුවෙන් අප්‍රමාදී සම්මා වායාමයක නිරත වන ‘හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් සිදු කළ මෙම මාහැඟි පුණ්‍යකර්මය කිරිවෙහෙර පුද බිමේදී පැවැත්වුණේ කිරිවෙහෙර රජ මහා විහාරාධිපති මහා විහාර වාංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්.

+


විදෙස්ගත වීමට ආ විශ්‍රාමික ගුවන් හමුදා සෙබළිගේ අත් බෑගයේ ජීව උණ්ඩයක්

(01.09.2024 – 18:51 +0530 – sinhala.adaderana.lk)

ඩුබායි බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකගේ අත්බෑගය තුළ තිබී ටී-56 උණ්ඩයක් සොයාගැනීමට ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් විය.

ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ගමන් මලු ස්කෑන් යන්ත්‍ර භාවිතයෙන් පරීක්ෂා කිරීමේදී එය සොයාගෙන ඇත.

උණ්ඩය තිබූ බෑගය හිමි කාන්තාව කුරුණෑගල, නිකදළුපොත, හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකි.

ඇය ඩුබායි හි වාසය කරන සිය සහෝදරිය හමුවීමට යෑම සඳහා ඊයේ (31) පස්වරුවේ ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය විමර්ශන නිලධාරීන් ට ප්‍රකාශ කර ඇත්තේ මෙම උණ්ඩය තම අත්බෑගය තුළට පැමිණි ආකාරය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති බවයි.

කෙසේ නමුත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇයව කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාර දී ඇත ෴


මෝටර් රථය විසිවූ කහවත්තේ බිහිසුණු බස්-මෝටර් රථ අනතුර

(01.09.2024 – 21:22 +0530 – hirunews.lk/sinhala)

කහවත්ත වැල්දොර ප්‍රදේශයේ දී මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක බස්රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

බස් රථය මෝටර් රථයේ ගැටීමත් සමග මෝටර් රථය ඈතට විසිවී ගොස් තිබුණා.

ඒ සමගම මෝටර් රථය අසල පිහිටි ගොඩනැගිල්ලක වැදීමෙනුයි නැවතී ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

++++++++

++++++++

+


කතරගම කපුවන්ට නොදී ගිණුමට දැමූ සල්ලි වලින් පිලිකා රෝහලට මහ ගොඩනැගිල ඉදිකර අවසන්..

(02.09.2024 – 12:40 +0530 – lankacnews.com)

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහලේ මහල් 04 කින් යුතුව ඉදිකෙරුණු වාට්ටු සංකීර්ණය හෙට (03) පෙරවරු 08:30 විවෘත කිරීමට නියමිත බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසීය.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකිරීම් සිදුවිය.

ඒ සඳහා රුපියල් මිලියන 160 අධික මුදලක් වැයවී තිබේ.

මේ අතර ඉදිරියේදි මහල් 07 කින් යුතු ඇදන් 500 කින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කර ඇතිබව බස්නායක නිලමේවරයා පැවසීය. වසර 02 ක් තුළ එම ගොඩනැගිල්ල සාදා නිමකිරිමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසීය ෴

+++++++


ජෛව සම්පත් කොල්ල කෑ රුසියානුවෝ

(02.09.2024 – 18:54 +0530 – sinhala.adaderana.lk)

මෙරටට ආවේනික ජෛව සම්පත් කොල්ලකෑමේ අරමුණින් එක්රැස් කරමින් සිටියදී අත්අඩංගුවට පත් වූ රුසියානු ජාතිකයන් දෙදෙනා (2) හෙට (03) දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම රුසියානුවෝ නකල්ස් සංරක්ෂිත වනාන්තරය, හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයන්ට ඇතුළු වී ජෛව සම්පත් එකතු කර ඇති අතර, සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ සිටියදී ඉකුත් 28 වනදා වනජිවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් අනතුරුව ඔවුන් අද (02) දින ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු, හෙට (03) දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.

මෙම සැකකාර රුසියානුවෝ ඉකුත් 19 වනදා දිවයිනට පැමිණ එම වනාන්තර වෙත ගොස් මෙරටට ආවේණික මෙන්ම වදවීමේ තර්ජනයට ලක් වී ඇති උභය ජිවීන්, උරගයින් ඇතුළු සත්ත්ව විශේෂ 197 ක් පමණ අල්ලා සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක කාමරයක සඟවා සිටියදී අත්අඩංගුවට පත්වූහ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *