විදුලි ගාස්තු 22.5% කින් පහළට

විදුලි ගාස්තු 22.5% කින් පහළට


විදුලි ගාස්තු 22.5% කින් පහළට

(15.07.2024 – 15:10 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ දී සිදු කරන අදාළ දෙවැනි (2) විදුලි ගාස්තු සංශෝධනයට අදාළව විදුලි බිල 22.5% කින් පහත හෙළන බව ‘මහජන උපයෝගීතා කොමිසම’ පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපතිවරයා සඳහන් කර සිටියේ, ගෘහස්ත විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩුකර ඇති බවයි.

තව ද ගෘහස්ත විදුලි ඒකක 30 – 60 ත් අතර අගය 55% කින් අඩු කර ඇති අතර එය අගයක් වශයෙන් රුපියල් 20 සිට රුපියල් 9 දක්වා අඩුවීමක්.

මේ අතර ඒකක 30 ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත් අගය ඒ අනුව රුපියල් 280 ක් බව ද ‘මහජන උපයෝගීතා කොමිසම’ පවසනවා.

එසේම මාසිකව විදුලි ඒකක 60 ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත රුපියල් 700 ක් වන බව ද ඔහු සඳහන් කළා.

+

+


අමාරුවෙන් වෙරළට ආපු ඩොල්ෆින් යාලුවාට රත්තරන් මිනිස්සු පිහිට වෙති (15.07.2024)

+


ගිණුමක තිබූ රුපියල් ලක්ෂ 50 කට බැංකු මැනේජර් විදලා

(15.07.2024 – 18:06 +0530 – hirunews.lk/sinhala)

මවක සහ පුත්‍රයෙකු බද්ධ ස්ථිර තැන්පතු ගිණුමක් හරහා බැංකුවේ තැන්පත් කර තිබූ, රුපියල් ලක්ෂ 50 ක මුදලක් එම බැංකුවේම කළමනාකාරවරිය සහ ලිපිකාරිනියක එක්ව ව්‍යාජ ලේඛන සකසා සොරකම් කළ පුවතක් බදුල්ල පස්සර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

‘පස්සර ආරතැන්න සමූපකාර බැංකුවේ’ සිදුව ඇති මෙම වංචාව සම්බන්ධයෙන් කළමනාකාරවරිය සහ ලිපිකාරිනිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය සඳහන් කළා.

පස්සර වැල්ලගම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි එච්.එම්. මුතුමැණිකා සහ ඇගේ පුත්‍රයා වන සුනිල් දිසානායක ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් දිවි සරි කරගන්නේ ගම්මිරිස් වගාව ඇතුළු තවත් භෝග කිහිපයකින් ලැබෙන ආදායමෙන්.

සුනිල් සහ ඔහුගේ මව වගාවෙන් උපයාගත් මුදල් පස්සර ආරතැන්න සමූපකාර බැංකුවේ බද්ධ ස්ථිර ගිනුමක් අරඹා විටින් විට තැන්පත් කර තිබුණා.

වසර කිහිපයක් ඇතුළත එම ගිනුමේ ශේෂය රුපියල් ලක්ෂ 50 ක සීමාවට පැමිණ තිබූ අතර, ඔවුන් එම මුදල රැස්කර ගෙන තිබුණේ මහත් වෙහෙසක් දරමින්.

නිවසේ ප්‍රතිස්ංසරණයක් සඳහා පසුගිය දිනෙක එම ස්ථාවර තැන්පතුව ඇපයට තබා රුපියල් 10,000 ක මුදලක් ලබා ගැනීමට බැංකුවට ගිය අවස්ථාවේ බැංකුවේ කළමනාකාරවරිය ඇතුළු නිලධාරීන් පවසා තිබුණේ, එම ගිනුමේ මුදල් නොමැති බවයි.

මේ සම්බන්ධයේ පස්සර ආරතැන්න සමූපකාර බැංකුවේ කළමනාකාරවරිය ඇතුළු නිලධාරීන් වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ විට එම නිලධාරීන් තමන් සමච්චලයට ලක් කළ බව, සුනිල් සහ මුතුමැණිකා පවසනවා.

පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් විමර්ශන ආරම්භ වූ අතර ඉන් අනාවරණ වී ඇත්තේ අදාළ සමූපකාර බැංකුවේ කළමනාකාරවරිය සහ ලිපිකාරිනිය අදාළ රුපියල් ලක්ෂ 50 ක මුදල ව්‍යාජ අත්සන් යොදා අවස්ථා කිහිපයකදී ලබා ගෙන ඇති බවයි.

ඒ සඳහා ඔවුන් සැකසූ ව්‍යාජ ලේඛන ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් දෙදෙනා (2) පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය සඳහන් කළා ෴

+++++++

+


බිරිඳ කර ඇත්තේ රංගනයක් – මොරටුවම කැළඹූ ඝාතනයේ ඇඟ සලිතවන සුලමුල හෙළිවෙයි

(15.07.2024 – 18:18 +0530 – hirunews.lk/sinhala)

මොරටුව ලක්ෂපතිය රතුකුරුස වත්ත ප්‍රදේශයේ නිවසක අද (15) අලුයම තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රාශියක් අනාවරණය වී තිබෙනවා.

එසේ ඝාතනයට ලක් වූයේ 41 හැවිරිදි හරේන්ද්‍ර කුමාර නොහොත් ‘පොඩි අයියා’ නැමැති පුද්ගලයෙක්.

ඝාතනය ට ලක්වු පුද්ගලයාගේ බිරිඳ සහ ඇගේ සහෝදරයා මෙම ඝාතනය කර ඇති බවට හෙලි වි තිබෙනවා.

අනියම් ප්‍රේම සම්බන්ධතාවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඝාතනය සිදුවූ පසුව බිරිඳ ගැට ගසා සිට ඇති අතර බිරිඳගේ කෑ ගැසීම ඇසුණු අසල්වාසීන් පැමිණ විමසා බැලීමේදී මෙම පුද්ගලයා ඝාතනය වී ඇති බව අනාවරණය වුවත් සැබෑවටම මෙම ඝාතනය බිරිඳ විසින් සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

රාත්‍රි 12:30 ට පමණ බිරිඳ විසින් මෙම පුද්ගලයාගේ පපුවට සහ බෙල්ල ප්‍රදේශයට තියුණු ආයුධයකින් ඇන තිබෙන අතර බිරිඳගේ සහෝදරයා විසින් මුගුරකින් හිසට පහර දි තිබෙනවා.

පුද්ගලයා ඝාතනය කරන අවස්ථාවේ දි අවට පිරිස් වලට නොඇසෙන්නට පිරිත් දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

බිරිඳ විසින් සිය මල්ලිට පවසා ඇත්තේ “අක්කා කොල් කරාම එන්න, මාව ගැට ගහන්න, මේ ඝාතනය වෙන කෙනෙක් කරා කියා හගවන්න” යනුවෙන්.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ දැරිය (දුව) පොලිසිය හමුවේ මෙසෙ පවසා ඇත්තේ “මාමා ඇවිත් කෝට්ටකින් ගැහුවා, අම්මාත් ගැහුවා” යනුවෙන්.

සිද්ධිය වන අවස්ථාවේ කුඩා දැරිය ඇඳ යට සැඟව තිබෙනවා ෴


‘ක්ලබ් වසන්ත’ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයට මුදල් ගෙවා ඇත්තේ ටැටූ හිමිකරු බව හෙලිවේ

(15.07.2024 – 19:38 +0530 – hirunews.lk/sinhala)

‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ නමැත්තා ඇතුළු දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි සහ පළායාමට භාවිතා කළ මෝටර් රථ සඳහා ගෙවීම් සහ පහසුකම් සලසා ඇත්තේ දැනට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන ‘දුලාන් සංජුල’ නමැත්තා බවට අනාවරණය වී තිබෙනවා.

ඒ ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදීයි.

ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන ‘දුලාන් සංජුල’

මේ අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ටැටූ මධ්‍යස්ථානය ඉදිරිපිට සිටි දැනට අත්අඩංගුවේ පසුවන ටැටූ මධ්‍යස්ථාන හිමිකරුගේ සහෝදරයා ගෙන් ද පොලිසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.

ඔහු ‘ක්ලබ් වසන්ත’ නමැත්තා එම ස්ථානයට පැමිණි මොහොතේ සිට අදාළ තොරතුරු සිය ජංගම දුරකථනය ඔස්සේ වීඩියෝ තාක්ෂණයෙන් හෝ වෙනත් මාර්ගයකින් සන්නිවේදනය කළේද යන්න පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මකයි.

මාධ්‍යයට නිකුත් කෙරුණු ‘ක්ලබ් වසන්ත’ නමැත්තාට වෙඩි වැදෙන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශනවල ටැටූ මධ්‍යස්ථාන හිමිකරු එකවරම මධ්‍යස්ථානයේ දොරදෙස බලා සැඟවෙන්නේ ඔහුගේ සහෝදරයාගෙන් ලද සංඥාවක් නිසාද යන්න පිළිබදව විමර්ශන නිලධාරින්ගේ අවධානය යොමුව තිබෙනවා.

ටැටූ මධ්‍යස්ථානය තුළදී සෑම අවස්ථාවකම ‘ක්ලබ් වසන්ත’ නමැත්තා සහ ටැටූ මධ්‍යස්ථාන හිමිකරු දැඩි පරතරයක් තබා කටයුතු කරන ආකාරය දැක්වෙන බැවින් ඒ පිළිබඳවද විමර්ශන නිලධාරීන් සිය අවධානය යොමුකර තිබෙනවා.

එමෙන්ම ටැටූ මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ සිට ඝාතනය සිදුකෙරෙන අවස්ථාව දක්වා ‘ලොකු පැටී’ නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් ලැබුණු මුදල් අවස්ථානුකූලව පරිහරණය කර ඇත්තේ ටැටූ මධ්‍යස්ථාන හිමිකරුගේ ඥාතීන් විසින් බවට අනාවරණය වී තිබෙනවා.

+


‘ක්ලබ් වසන්තට කළ දේම කරනවා’ කියා වෛද්‍යවරයෙකුට මරණ තර්ජන

(15.07.2024 – 20:48 +0530 – hirunews.lk/sinhala)

‘කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා’ට මරණ තර්ජනය කළ පොස්ටර් ප්‍රදර්ශණය කරමින් කාර්යලයට කලුතෙල් ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.

‘ක්ලබ් වසන්ත’ට කළ දේ උඹටත් කරනවා යැයි එම පෝස්ටරයේ සඳහන් වනවා.

සිද්දිය සම්බන්ධයෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් පැමිණීල්ලක් පොලිසියට සිදුකර තිබෙනවා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට කැකිරාවෙන් ඉවත්වන්නැයිද එසේ නොවන්නේනම් ‘ක්ලබ් වසන්ත’ට අත්වූ ඉරණම තමන්ටද අත්වනු ඇති බවයි එම පෝස්ටර්වල දැක්වෙන්නේ.

පිරිස විසින් එහි ගොඩනැගිලි 03 කට කලුතෙල් ප්‍රහාර එල්ලකර තිබුණා.

මෙම සිද්දියත් සමග ආරම්භ කළ පරීක්ෂණ සදහා අද (15) දිනය පුරා ‘කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය’ වසා දැමීම හේතුවෙන් අදට (15) නියමිත සායන අවලංගු කෙරුණා.

රුපියල් කෝටි ගණනක් වටිනා පාන්පිටි තොගයක් අත්අඩංගුවට ගැනීම හා කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් මෙන්ම ‘සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය’ මගින් අත්අඩංගුවට ගෙන තිබූ ආහාර ද්‍රව්‍ය තොගයකට හානි කිරීම සම්බන්ධන්ධයෙන් ‘කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා’ විසින් පැවරූ නඩුව මේ වනවිට අධිකරණයේ විභාග වනවා.

මේ සම්බන්ධයෙන් ‘අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය’ මගින් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

අනුරාධපුර පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හා ඇඟිලි සලකුණු ඒකකයේ නිලධාරීන්ද සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළා.

කැකිරාව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශණ සිදුකරනවා.


වර්ජනය මැද වැඩට ආ රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000 ක දීමනාවක්

(15.07.2024 – 21:39 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා පැවති වැඩවර්ජනයේදී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියෙන් පහළ සියලුම රාජ්‍ය සේවකයන්ට ලබාදෙන දීමනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව රුපියල් 10,000 ක එක්වරක් පිරිනැමෙන දීමනාවක් සහ ප්‍රශංසා සහතිකයක් ලබාදීමට නියමිතයි.

කැබිනට් අනුමැතිය හිමිව තිබෙන මෙම යෝජනාව සිදුකර ඇත්තේ ජනාධිපතිවරයා විසින් ෴


ඉඩම් කොල්ලකන්න අක්කර 100 ක දැවැන්ත රූස්ස ගස් බිම දමන මහා අපරාධයක් ගැන ‘හිරු සී.අයි.ඒ.’ අණාවරණය

(15.07.2024 – 21:49 +0530 – hirunews.lk/sinhala)

ඉඩම් කොල්ලකෑමේ අරමුණින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මඩුවාකුලම් රක්ෂිතය සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් විසින් මේ වනවිට වනසමින් සිටිනවා.

එම රක්ෂිතයට රාත්‍රී කාලයේ ඇතුළුවන එම වන සංහාරකයින් දැවැන්ත වනස්පතීන්ට ගිනි තබා සිදුකරන මෙම මහා විනාශය පිළිබඳවයි ‘හිරු සී.අයි.ඒ.’ අද (15) අනාවරණය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුඹුරුපිටිය ප්‍රදේශය ආශ්‍රිත මඩුවාකුලම් රක්ෂිතයට රාත්‍රි කාලයේ ඇතුළු වී ඉඩම් අල්ලා ගැනීම සඳහා වන සංහාරයක් කරන බවට ‘හිරු සී.අයි.ඒ.’ වෙත ලද තොරතුරු මත පරිසරවේදීන් පිරිසක් සමග අප එම ප්‍රදේශයට ළඟා වුණා.

ඒ වනවිටත් වන සංහාරකයින් මඩුවාකුලම් රක්ෂිතයේ ඉඩම් අත්පත් කරගැනීමේ මුලික පියවර ලෙස අක්කර ගණනාවක කළුවර, තේක්ක, වීර ඇතුළු දැවැන්ත ගස් කපා බිම හෙළා තිබෙනවා.

වසර සිය ගණන් පැරණි දැවැන්ත වනස්පතීන් ද ගිනි තබා වනසා තිබුණා.

ඉවක් බවක් නොමැතිව මඩුවාකුලම් රක්ෂිතයට කර තිබූ විනාශය හේතුවෙන් මෙහි වාසය කළ අලි ඇතුන් ද ගම්වැදීමේ දැඩි අවදානමක් මේ වනවිට මතුව ඇති බවයි ගම්වාසීන් පවසන්නේ.

ඉදිරි දිනවලදී ගිනි තබා විනාශ කිරීම සඳහා තවත් ගස් රැසක් කඳ මැදින් කපා තිබූ අයුරු ද අපට මෙහිදී නිරීක්ෂණය වුණා.

සති කිහිපයක සිට සිදුවන මෙම වන සංහාරය පිළිබඳව ගම්වාසීන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ව දැනුවත් කළ ද මේ පිළිබඳ කිසිදු සොයාබැලීමක් මේ වනතෙක් සිදුව නැහැ.

සීමිත වන ගහනයක් සහිත ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ආභරණයක් බඳු මඩුවාකුලම් රක්ෂිතය මෙලෙස අමු අමුවේ වනසන්නේ කාගේ වුවමනාවක් මත ද?

ඕනෑම ගැටලුවකදී අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම සිරිත කරගත් මෙරට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් තව කොතෙක් කලක් මේ වන සංහාරයත් නොදුටු දෑසින් පසුවනවා ද?

මඩුවාකුලම් රක්ෂිතය බිලි ගන්නා මෙම වන සංහාරකයින්ට එරෙහිව බලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන තුරු ‘හිරු සී.අයි.ඒ.’ අවධානයෙන්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *