තරුණයෙක් ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට පැනලා

තරුණයෙක් ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට පැනලා


තරුණයෙක් ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට පැනලා

(25.05.2024 – lankadeepa.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව අතර අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම නිසා ධාවනය වෙමින් තිබූ වාහනය ගැටුණු තරුණයකු බරපතල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.

මෙම තරුණයා සිය දිවි නසා ගැනීමට මෙලෙස අධිවේගී මාර්ගයට පැන්නාද නැතහොත් වෙනත් පාර්ශවයක් විසින් පාලම මත සිට එම තරුණයා අධිවේගී මාර්ගයට තල්ලුකලා ද යන්න පරීක්ෂණයක් ආරම්භ කළ බවද පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අතුරුගිරිය, වල්ගම, සුව මාවත, සිසිලස උද්‍යානයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි ෴

ගුවන් පාලමෙන් අධිවේගී මාර්ගයට වැටුණු සරසවි සිසුවාට දිවි අහිමි වෙයි

(25.05.2024 – 09:53 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් එකයි දශම දෙක (1.2) කිලෝමීටර් කණුව අසල ගුවන් පාලම මත සිට අධිවේගී මාර්ගයට වැටීමෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලික සරසවියක ඉගෙනුම ලබන රුක්මලේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

රාත්‍රී හතට පමණ මෙම සිසුවා හෝමාගම රෝහලට ආසන්නයේ ගුවන් පාලම මත යකඩ වැටමතින් මාර්ගයට වැටී ඇති අතර මාතර දෙසට ගමන් ගත් මෝටර් රථයකද ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෝටර් රථයට ද දැඩි අලාභ හානි සිදුවී ඇති බවය සඳහන්.

බරපතළ තුවාල ලද සිසුවා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිවේගී මාර්ග අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


මල්වානේ කුඹුරක මළ සිරුරු දෙකක් (2)

(25.05.2024 – lankadeepa.lk)

දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක පාවෙමින් තිබූ මලසිරුරු දෙකක් (2) හමුවූ බව දොම්පේ පොලිසිය පවසයි.

පොලිසි හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් කණ්ඩායම් ගොස් සිදු කළ නිරීක්ෂණයේදී මෙම මල සිරුරු දෙක (2) සොයා ගැනීමට හැකි වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ රම්බොඩ නාවලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19 සහ 29 වයස්වල තරුණයන් දෙදෙනෙකි (2).

සිද්ධි සම්බන්ධයෙන් දොම්පේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි ෴


දදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කෙරේ

(25.05.2024 – 08:12 +0530 – hirunews.lk/sinhala)

දදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කර තිබෙනවා. ඒ, අධික වර්ෂාව හේතුවෙන්.

එමෙන්ම පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින ලෙස ද උපදෙස් ලබා දී තිබෙනවා ෴


වැල්ලවත්ත හැම්ඩන් පටුමගේ දි මෝටර් රථයක් (Benz) මාර්ගයේ පසෙක නවත්වා, පැති කණ්ඩියෙන් පිටුපස නොබලා රියදුරු විසින් දොර විවෘත කරනු ලැබීමත් සමග පිටුපසින් පැමිණි තවත් මෝටර් රථයක ගැටීමෙන් අද (24) පස්වරුවේ සිදුවූ අනතුර. (facebook.com/accident1stofficial/)


බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු වෙයි

(25.05.2024 – 09:08 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද (25) අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, රේල් පාරට ගස් සහ ගල් කඩා වැටීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ ෴


කටුකුරුන්ද ඝාතනයට තුන්දෙනෙක් (3) කොටුවෙති

(25.05.2024 – 10:32 +0530 – hirunews.lk/sinhala)

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ‍‍යෙන් සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් ති‍දෙනා (3) අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

ඊයේ (24) සවස නුගේගොඩ සහ පැලපිටියාගොඩ ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ‍ගෙන තිබෙනවා.

ඉකුත් 20 වැනිදා රාත්‍රීයේ යතුරුපැදියකින් කටුකුරුන්ද ප්‍රදේශයට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙ‍නෙකු (2) විසින් නිවසක සිටි පුද්ගලයෙකුට ‍වෙඩි තබා පළා ගොස් තිබුණා.

මෙම සැකකරුවන් අවුරුදු 24, 39, 41 වයසේ පසුවන්නන් බවත් ඔවුන් තෙඹුවන හා මොරොන්තුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබෙනවා.

මොවුන් සතුව තිබියදී ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති ටී 56 වර්ගයේ ගිනි අවියක්, හිස් පතරොම් ගැබ් 2 ක්, ජීව පතරොම් 4 ක්, කේරළ ගංජා කිලෝ 1 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මුදල් රුපියල් 340,000 ක් සමග කාර් රථයක් ද පොලිස් භාරයට ‍ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

වැඩිදුර විමර්ශන කළුතර දකුණ පොලීසිය විසින් සිදුකරනවා ෴


පසුගිය වසර දෙක (2) තුළ ලාංකිකයන් 700,000 ක් රට හැර ගිහින්

(25.05.2024 – 11:00 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර දෙක (2) තුළ ශ්‍රී ලාංකිකයන් 700,000 ක් දිවයින හැර ගොස් තිබෙනවා.

මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ජීවන වියදම උග්‍ර කරමින් ඉහළ බදු සහ අධික ණය ගැනීම් ඇතුළු දුෂ්කර මූල්‍ය හා මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීමට රටට සිදු වූ ආර්ථික අර්බුදය බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත අනුව 2022 ජනවාරි සිට 2024 මාර්තු අවසානය දක්වා අවම වශයෙන් ශ්‍රී ලාංකිකයන් 683,118 ක් නීතිමය මාර්ග ඔස්සේ විදේශ රැකියා සඳහා සංක්‍රමණය වී තිබෙනවා.

ඔවුන් එම කාලසීමාව තුළ නිල බැංකු මාර්ග හරහා ඩොලර් බිලියන 11.31 ක ප්‍රේෂණ එවා ඇති බවයි මහ බැංකු දත්ත පෙන්වා දෙන්නේ.

මිනිස් ජාවාරම පිළිබඳ අනතුරු ඇඟවීම් නොතකා, ඇතැම් විට නීති විරෝධී සංක්‍රමණවලට ලාංකිකයන් යොමු වී තිබෙනවා.

මේ හේතුවෙන් මේවන විට මියන්මාරයේ, තොරතුරු තාක්ෂණ රැකියා වංචාවකට හසු වූ ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු රඳවාගෙන සිටිනවා.

එමෙන්ම, රුසියානු – යුක්‍රේන යුද්ධයේ දී බඳවා ගන්නන් විසින් නොමඟ යවනු ලැබූ විශ්‍රාමික ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා ෴


පොලිසියට අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතයි

(25.05.2024 – 12:20 +0530 – hirunews.lk/sinhala)

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් මහජන සහාය පතනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව මගින් සිදුකරනු ලබන විශේෂ විමර්ශනවලට අදාළවයි මෙම සැකකරු අත්අඩංගුව ගනු ලබන්නේ.

පොලිසිය පවසන්නේ ඡායාරූපවල සිටින තැනැත්තා පිළිබඳව යම් තොරතුරක් ලැබුණොත් පොලිසියට දන්වන ලෙසයි.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ නිවැරදි තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට රුපියල් 2,000,000 ත්‍යාගයක් පිරිනමනු ලබන අතර, තො‍රතුරු ලබා දෙන්නාගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවයි.

සැකකරු පිලිබඳ පෞද්ගලික තොරතුරු :

සැකකරුගේ නම – ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ්
පදිංචි ප්‍රදේශය – දෙමටගොඩ
උපන් වර්ෂය – 1978
උස – අඩි 05 යි අඟල් 06

තොරතුරු දැනුම්දීම සඳහා දුරකතන අංක :

අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 071 859 1753
ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 071 859 1774


පුරවැසියන්ට තම වත්කම් පිළිබඳව දැනුම්දීම අනිවාර්යය කරමින් ගැසට් නිවේදනයක්

(25.05.2024 – 12:49 +0530 – hirunews.lk/sinhala)

පුරවැසියන්ට තම නිශ්චල සහ චංචල වත්කම් පිළිබඳව ‘දේශීය ආදායම් දෙපාර්තමේන්තුව’ට දැනුම්දීම අනිවාර්යය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම දැනුන්දීම ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි සඳහන් වන්නේ.

+

+


දිවයින වටා මුහුදු ප්‍රදේශ ඉතා රළුවෙයි – මුහුදු නොයන්නැයි උපදෙස්

(25.05.2024 – 13:16 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම සිට කල්පිටිය, කොළඹ, ගාල්ල සහ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා වැඩිවන අතර, එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ මුහුදු ප්‍රදේශවල වෙරළට ඔබ්බෙන් රළ උස මීටර 2.5 සිට 3.0 දක්වාද ඉහළ යනු ඇති.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු එම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙසයි නාවික හා ධීවර ප්‍රජාවට එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම මන්නාරම සිට කල්පිටිය, කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුද රළ ගොඩබිබමට පැමිණීමේ හැකියාවද පවතිනවා.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර 30 සිට 60 දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ ෴

++++++++++

+

+++++++++

+


හන්තාන ඉඩම් කොල්ලයක් ගැන මන්ත්‍රී වසන්ත යාපාගෙන් පොලිසියට පැමිණිලි

(25.05.2024 – 14:51 +0530 – hirunews.lk/sinhala)

හන්තාන ඌරාගල ප්‍රදේශයේ සිදුකර ඇති ඉඩම් කොල්ලයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර, මහනුවර පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඔහු කියා සිටියේ ව්‍යාජ ලිපි ලේඛන උපයෝගී කරගනිමින් 1950 වර්ෂයේ සිට මෙම ඉඩම් කොල්ලය සිදුකර ඇති බවටයි.

සුන්දර කඳු පන්තියකින්ද වටවී ඇති හන්තාන වන රක්ෂිතය මහවැලි ගඟේ ජලපෝෂක ප්‍රදේශයක් වන අතර, එහි ඌරාගල ප්‍රදේශයේ අක්කර 22 ක ඉඩම් කොල්ලයක් හේතුවෙන් එම ප්‍රදේශය මේ වන විට විනාශ වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම ඉඩම් කොල්ලයට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ ජනතාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර ඇතුළු පිරිසක් පසුගිය 18 වැනිදා උද්ඝෝෂණයක නිරත වුණා.

මේ අතර මෙම ඉඩම් කොල්ලය පිළිබඳව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර මහනුවර පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ඊයේ (24) පැමිණිල්ලක් කර තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *