මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මෘදුකාංග පිටපතක් අධිකරණය ඉල්ලයි – ‘රුපියල් කෝටි සිය ගණනක’ මුදලක් රජයට අහිමිවී ඇත

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මෘදුකාංග පිටපතක් අධිකරණය ඉල්ලයි – ‘රුපියල් කෝටි සිය ගණනක’ මුදලක් රජයට අහිමිවී ඇත


මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මෘදුකාංග පිටපතක් අධිකරණය ඉල්ලයි – ‘රුපියල් කෝටි සිය ගණනක’ මුදලක් රජයට අහිමිවී ඇත

(18.05.2024 – 08:22 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කරන මෘදුකාංගයේ පිටපතක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබුණා.

පසුගිය වසර 15 කට ආසන්න කාලයක් තුළදී විදේශ රටවලින් ගෙන්වන ලද සුඛෝපභෝගී වාහන කොටස් එකලස් කර අනීතික ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර පසුව එම තොරතුරු දත්ත පද්ධතියෙන් මකා දමා ඇති බවට පෙන්වා දෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කළ ඉල්ලීමක් සළකා බලමිනුයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

සුඛෝපභෝගී වාහන 10,000 කට අධික ප්‍රමාණයක් මෙලෙස ලියාපදිංචි කර ඇති බවද අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියා. එමගින් ‘රුපියල් කෝටි සිය ගණනක’ මුදලක් රජයට අහිමි කර ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

ඒ අනුව, මහේස්ත්‍රාත්වරයා නිලධාරීන්ට දැනුම් දුන්නේ මෙම ජාවාරමට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙසටයි.

මෙම වංචාව බැදුම්කර වංචාවෙන් රජයට සිදු වූ පාඩුවටත් වඩා ඉහළ බවයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ ෴


“දේශපාලනඥයින් සහභාගි වන උත්සව වර්ජනය කරනවා” – ග්‍රාම නිලධාරීන්

(18.05.2024 – 10:02 +0530 – hirunews.lk/sinhala)

දේශපාලනඥයන් සහභාගිවන කිසිදු උත්සවයකට අද (18) සිට සහභාගි නොවන බව ‘ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය’ පවසනවා.

හලාවත ප්‍රදේශයේ ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න කියා සිටියේ සිය වැටුප් ගැටලුවට විසඳුම් ලබාදෙන තුරු ‘ඉඩම් ඔප්පු සකස් කිරීම’ සහ ‘ජාතික හැඳුනුම්පත් ලබාදීමට අදාළ රාජකාරිවලින්’ ද ඉවත්වන බවයි ෴


කුරුණෑගල පැවති රුසියානු හමුදා සම්මුඛ පරීක්ෂණ ගැන විමර්ශනයක්

(18.05.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala)

රුසියානු නියෝජිතයෙකුගේ අධීක්ෂණය යටතේ හිටපු හමුදා සාමාජිකයින් රැසකගේ සහභාගීත්වයෙන් කුරුණෑගල නගරයේ ශාලාවක විදෙස් රැකියා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ ස්ථානයට පොලිසිය සහ ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ’ නිලධාරීන් පැමිණි අවස්ථාවේදී අනාවරණ වී ඇත්තේ මෙම සම්මුඛ පරීක්ෂණය එම කාර්යාංශයේ අනුමැතියකින් තොරව පවත්වා ඇති බවයි.

එය කුලී පදනම මත ලබාදෙන අතර ඊයේ (17) දිනයේ එම ශාලාව කුලී පදනම මත ලබාගත් රුසියානු නියෝජිතයෙකුගේ සහ ශ්‍රී ලාංකික නියෝජිතයෙකුගේ අධීක්ෂණය යටතේ විදෙස් රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පසුව ඒ පිළිබඳව සැක සිතී ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම්දීමක් අනුව එම ස්ථානයට ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ’ සහ පොලිස් නිලධාරීන් පැමිණ ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ මෙම විදෙස් රැකියා සම්මුඛ පරීක්ෂණය ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ’ අනුමැතියෙන් තොරව පැවැත්වූවක් බවයි.

අදාළ නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදී සම්මුඛ පරීක්ෂණය පවත්වමින් සිටි රුසියානු සහ ශ්‍රී ලාංකික නියෝජිතයින් දෙදෙනා (2) එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ සම්මුඛ පරීක්ෂණය සඳහා වයඹ පළාත නියෝජනය කරමින් පිරිමි පුද්ගලයින් පමණක් මේ සඳහා පැමිණ ඇති අතර, ඔවුන් බහුතරයක් ‘හිටපු යුද හමුදා සාමාජිකයින්’ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ මගින් සිදුකෙරෙනවා.

+++++++++++

18.05.2024

+


දෙහි කිලෝව රුපියල් 2,000 ට නගී: ඉඟුරු රුපියල් 3,000 ඉක්මවයි

(18.05.2024 – 13:08 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳපොළේ මේ වනවිට දෙහි සහ ඉඟු‍රු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 2,000 දක්වාත්, ඉඟු‍රු කිලෝග්‍රෑමයක් රුපියල් 3,000 ඉක්මවා ඇති බවයි වාර්තාවන්නේ.

මේ හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා ෴


“ලබන 14 පාර්ලිමේන්තුව විසුරුවනවා : රනිල් – බැසිල් එකඟ වෙලා!” උදයංග වීරතුංග හෙළි කරයි

(18.05.2024 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ලබන මස 14 වැනි දා නියත වශයෙන් ම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත්, ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති බවත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා.

‘හිරු ප්‍රවෘත්ති අංශය’ සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මේ බව අනාවරණය කළ රුසියාවේ හිටපු තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඇතැම් විට 15 වැනි දා හෝ 14 වැනි දා රාත්‍රියේ විය හැකි බවයි.

ඒ අනුව ඉතා ඉක්මනින් ‘පාර්ලිමේන්තු මැතිවරණය’ පවත්වන බව ඔහු පැවසුවා.

“පාර්ලිමේන්තු ඡන්දයක් ඉතා ඉක්මනින් පවත්වනවා, ඊට පස්සෙ හදන ආණ්ඩුව සමග ‍රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැඩ කරන්නේ කොහොමද?, එහෙම නැත්නම් පොහොට්ටුවේ හෝ වෙනත් පක්ෂයක අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට එන්න ඉඩ තියෙනවා.”

කෙසේ නමුත් කතානායකවරයා ද එසේ සිදු නොවන බව පසුගිය දිනයක ප්‍රකාශ කර තිබුණත්, තමා එය බැහැර කරන බවත් රුසියාවේ හිටපු තානාපතිවරයා පවසනවා.

මේ අතර ජනාධිපතිවරයා ජනාධිපතිවරණය සඳහා තරග නොකරන බව සඳහන් කරන ඔහු වැඩිදුර සඳහන් කරන්නේ, ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වීම සඳහා එකඟතාවකට පැමිණ ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් අගමැති අපේක්ෂකයෙකු නම් කිරීමට තවමත් තීරණය කර නොමැති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ප්‍රබල අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ද හිටපු රුසියානු තානාපතිවරයා මෙහි දී පැවසුවා.

+


රට දිනවන අයුරු සජිත් ප්‍රේමදාස පහදයි

(18.05.2024 – 13:37 +0530 – hirunews.lk/sinhala)

රට දිනවන්නේ ඔලු ‍ගෙඩි පෙන්වන බලවේග මගින් නොව, දැනුම, බුද්ධිය සහ නව තාක්ෂණය විසින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ‘සක්වළ වැඩසටහනේ 191 වැනි අදියර’ යටතේ අනුරාධපුර – මැදවච්චිය මහදිවුල්වැව විද්‍යාලයට ‘සුහුරු පන්ති කාමරයක්’ ලබාදීමේ අවස්ථාවට ඊයේ (17) එක්වෙමින්.

මෙරට ඇති සියලුම පාසල් ‘සුහුරු පාසල්’ බවට පත් කිරීමට කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා. එමෙන්ම තාක්ෂණික දැනුම සියලුම දරුවන්ට ලබාදීම කාලීන අවශ්‍යතාවක් බවයි විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

+


නගර රැසකට යන්න තිබෙන පාලමට ඇඳි නොමැත – පාලම මතින් ගමන්කිරීම අනතුරුදායකයි !

(18.05.2024 – 14:17 +0530 – hirunews.lk/sinhala)

හුරිගස්වැව සිට කටියාව හරහා එප්පාවලට ගමන් ගන්නා මාර්ගයේ ඇති, කලා ඔයට ඉහළින් ඉදිකර ඇති පාලමට ආරක්ෂිත ඇඳි නොමැතිකම හේතුවෙන් මෙහි ප්‍රදේශවාසින් ගැටලු රැසකට මුහුණ දෙනවා.

අවට ගම්මාන කිහිපයක ජනතාවට ගල්නෑව, එප්පාවල, තඹුත්තේගම, අනුරාධපුරය වැනි නගර සඳහා ඇති කෙටිම මාර්ගය වැටී ඇත්තේ මෙම මාර්ගය හරහායි.

දස (10) වසරකට පමණ පෙර ඉදිකර ඇති මෙම පාලමට එම අවස්ථාවේ සිටම ආරක්ෂිත ඇඳි සවිනොකිරීමෙන්ම ඉදිකිරීම්වල තරම අනාවරණ වනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, දෛනිකව විශාල පිරිසක් භාවිත කරන මෙම පාලමේ ඇති අනාරක්ෂිතභාවය පිළිබඳව බලධාරීන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

දහවල් කාලයටත් වඩා රාත්‍රී කාලයේදී මෙහි අනාරක්ෂිතභාවය තවදුරටත් තීව්‍ර වන අතර, පසුගිය සමයේදී යතුරුපැදිකරුවන් ඇතුළු බොහෝ දෙනෙකු පාලමෙන් කලා ඔයට වැටී තිබුණා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ පාලමේ ඇති අනාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවටයි.

+


ගතවූ පැය විසිහතර (24) තුළ පොලිසියෙන් 23 දෙනෙකු අත්අඩංගුවට

(18.05.2024 – 14:49 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 04 ක් සහ තවත් සැකකරුවන් 19 දෙනෙකු ඊයේ (17) දින සිදුකළ වැටලීම් අතරතුරදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

ඒ අනුව, ඊයේ (17) දින බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් මිරිහාන ප්‍රදේශයේ වැටලීමක් සිදුකර සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63 ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

එමෙන්ම, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් වත්තල ප්‍රදේශයේදී වයස අවුරුදු 41 ක් වන රාජගිරිය ප්‍රදේශයේ පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකු (1) මෙන්ම, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1760 ක් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකු (1) ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 ක් වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මීට අමතරව, මාතර අපරාධ කොට්ඨාසය විසින් කොටවිල ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර වයස අවුරුදු 36 ක් වන මිරිස්ස ප්‍රදේශයේ පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් සහ ඔවුන් සමග විවිධ සම්බන්ධතා පවත්වමින් අපරාධවලට සහාය දැක්වූ බවට සැකකෙරෙන තවත් සැකකරුවන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙම මෙහෙයුම් ආරම්භ කළ මාර්තු 19 වන දින සිට මේ දක්වා සමස්ත සැකකරුවන් හා සැකකාරියන් 1061 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Mercenaries to Russia. I thought our Ranaviruwo were smart soldiers, I mean smart in their brain. But those that caught up in this human trafficking fraud are brainless people. May be soldiers thrown out by SF for being idiots and no brains, or those that got army training and absonded fearing they would have to face Tigers. If they fall for all these lies and end up in war front, don’t waste your time complaining. You went with eyes open for greed and hoping to become millionaires in a month. Pity these idiots.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *