ජපන් වාහන සම්බන්ධයෙන් දැනුම්දීමක් – ‘ජපන් ව්‍යාපාරික සංගමයේ’ සභාපති ගෙන්

ජපන් වාහන සම්බන්ධයෙන් දැනුම්දීමක් – ‘ජපන් ව්‍යාපාරික සංගමයේ’ සභාපති ගෙන්


ජපන් වාහන සම්බන්ධයෙන් දැනුම්දීමක් – ‘ජපන් ව්‍යාපාරික සංගමයේ’ සභාපති ගෙන්

(12.05.2024 – 15:55 +0530 – hirunews.lk/sinhala)

වාහන ආනයනය කිරීමට රජය යළි අවසර දුන්නද එම අවසරය ලැබෙන දිනයේ සිට වාහන මෙරටට ගෙන්වීමට සැලකිය යුතු කාලක් ගතවිය හැකි බව ‘ජපානයේ වාහන අපනයනකරුවන්ගේ සංගමයේ’ ජ්‍යේෂඨ උපදේශක, ‘ජපන් ව්‍යාපාරික සංගමයේ’ සභාපති ජගත් රාමනායක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කරනවා.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම තත්ත්වයට හේතුව ශ්‍රී ලංකාවෙන් නිකුත් වන ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ජපාන බැංකු පද්ධතිය වෙත මේවනවිටත් උපදෙස් ලැබී ඇති නිසා එම තීරණය ආපසු හැරවීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවිය හැකි බවයි.

එමනිසා යළි ජපානයෙන් වාහන ගෙන්වීමේ දී සැලකිය යුතු කාලක් ගතවිය හැකි බවයි ඔහු සඳහන් කර සිටියේ.

ජපානයේ සිට විදේශ රටවලට වාහන අපනයන කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින ජගත් රාමනායක සිය ජපාන අත්දැකීම් සමඟ ශ්‍රී ලංකාවේ වාහන වෙළදපොළ සම්බන්ධයෙන් මතුවිය හැකි තත්ත්වය පිළිබඳ මෙසේ අදහස් ප්‍රකාශ කළා :

“පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම සඳහා විවෘත කළ ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ශ්‍රී ලංකා රජය ජපාන බැංකු පද්ධතිය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. මේනිසා මේවන විට ජපානයේ බැංකුවලින් පහසුවෙන් මුදල් නිදහස් කරගැනීමට නොහැක. ශ්‍රී ලංකාව හෙට යළි වාහන ගෙන්වීම සඳහා අවසර ලබා දුන්නත් මෙම ණයවර ලිපි ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට නිල වශයෙන් එම බැංකු පද්ධතිය දැනුවත් කළ යුතුය. මේ සඳහා යම් කාලයක් ගතවන බැවින් ඉක්මනින් යළි වාහන ගෙන්වීමේ හැකියාවක් නැහැ.”

ශ්‍රී ලංකාවේ බොහෝ නීති රීති පැය 24 ක් තුළ වෙනස් කෙරෙන බවත් එවැනි තත්වයන් තුළ මෙවැනි ව්‍යාපාරවල දී බොහෝ අසීරුතා පැන නගින බව සඳහන් කළ ඔහු තවදුරටත් පැවසුවේ යම් නීතියක් වෙනස් කරන්නේ නම් ‘අද මධ්‍යම රාත්‍රී 12 සිට’ නොමැතිව යම් නිශ්චිත කාලවකවානුවක් ලබාදී එය සිදු කළ යුතු බවයි.

මෙසේ කඩිනම් නීති වෙනස් කිරීම තුළින් පුද්ගලයන් අපහසුතාවයට පත් වන බවත් මීට වසර හතරකට (4) පෙර ද මෙසේ වාහන ගෙන්වීම නතර කළ අතර එහිදී ණයවර ලිපි විවෘත කර මුදල් ගෙවා තිබු පුද්ගලයන් ගණනාවකගේ වාහන ලංකාවට එවූවද එම වාහන වසර හතරක් (4) පුරා හම්බන්තොට වාරයේ ගොඩ ගසා තිබු බවත් මෑතකදී එම වාහන නිදහස් කිරීම සිදු කරනු ලැබු බවත් මෙහිදී ඔහු සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් වර්තමාන වනවිට වාහන ආනයනය සඳහා අවසර ලබා දීම වඩාත් උචිත බවයි මෙහිදී සභාපතිවරයා පැවසුවේ.

එමෙන්ම කොරෝනා වසංගතයෙන් පසු නවීන වර්ගයේ වාහන ලෝකය පුරා දැකගත හැකි බවත් ශ්‍රී ලංකාව ද මෙවැනි වාහන ආනයනය සඳහා කටයුතු කළ යුතු බවත් ඔහු තවදුරටත් සඳහන් කළා ෴


ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

(12.05.2024 – 15:30 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 ට වැඩි වර්ෂාපතනයක් ලැබීමත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ ෴


2024 වසරේ මුල් මාස 4 තුළදී පමණක් විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 2 ක අදායමක්

(12.05.2024 – 16:05 +0530 – hirunews.lk/sinhala)

විදේශ ගත ශ්‍රමිකයින් විසින් 2024 වසරේ මුල් මාස හතර (4) තුළදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2 ක මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා.

පසුගිය 2023 වසරේ මුල් මාස හතර (4) සමග සන්සන්දනය කර බලන විට එය සියයට 11.4 කින් ඉහළ යාමක් බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 543.8 ක් මෙරටට විදේශ ගත ශ්‍රමිකයින් විසින් යොමු කර තිබෙනවා ෴


“අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂය 34 කට සහල් බෙදා දුන්නා” – මුදල් රාජ්‍ය අමාත්‍ය

(12.05.2024 – 16:22 +0530 – hirunews.lk/sinhala)

හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 34 කට දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා නොමිලේ සහල් කිලෝ දහය (10) බැගින් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළෙහි පළමු (1) වටය මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එමෙන් ම ලැයිස්තුවල පැවති විවිධ අඩුපාඩු හේතුවෙන් ඉතා සුළු සංඛ්‍යාවකට පමණක් තවදුරටත් එම බෙදාහැරීම් සිදුකිරීමට ඉතිරිව ඇති බවයි අමාත්‍යවරයා සඳහන්කර සිටියේ.

මෙහි දෙවන (2) වටය මෙම මැයි මාසය අවසන් වීමට ප්‍රථමයෙන් දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරගනිමින් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ ෴


මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ ලක්ෂ 2 ක් කහටගස්දිගිලියෙන් සොයා ගැනේ

(12.05.2024 – 17:15 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – කහටගස්දිගිලිය කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ ලක්ෂ 2 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථ 8 ක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සහල් තොග ලෝක ආහාර වැඩසටහන යටතේ මහජනතාවට බෙදා දීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබා දුන් ආධාර සහල් තොගයක් බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මෙම සහල් ලොරි 8 අද (12) අලුයම කහටගස්දිගිලිය ප්‍රදේශයේ සහල් මෝලක් වෙත රැගෙන යමින් සිටියදීයි පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත්තේ.

අදාළ සහල් පසුගිය අප්‍රේල් මාසයේදී කල්ඉකුත් වීමට නියමිතව තිබුණත් කල්ඉකුත් වීමේ දිනය වෙනස් කර නව ඇසුරුම්වල බහා යළිත් ජනතාව වෙත ලබා දීමට සකස් කිරීම සඳහා මෙම සහල් මෝල වෙත රැගෙනවිත් තිබෙනවා.

+


කැරට් අල කැබැල්ලක් සිරවී කුඩා බිළිදෙක් මරුට

(12.05.2024 – 17:17 +0530 – hirunews.lk/sinhala)

කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් අවුරුදු එකහමාරක් (1½) පමණ වයසැති කුඩා බිළිදකු ජීවිතක්ෂවයට පත් වීමේ අවාසනාවන්ත පුවතක් අනුරාධපුර සාලියවැව ප්‍රදේශයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශයට’ වාර්තා වුණා.

මව කැරට් අලයක් පිරිසිදු කර එය මේසය මත තබා තිබූ අවස්ථාවේදී දරුවා එය කටේ දමා ගෙන ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

පසුව මව, දරුවා නොච්චියාගම දිසා රෝහලට රැගෙන ගොස් ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ගෙන යන අතුරතුරදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා ෴


O/L විද්‍යා ප්‍රශ්න පත්‍රය පිළිබඳව විභාග කොමසාරිස්ගෙන් තීරණයක්

(12.05.2024 – 17:42 +0530 – hirunews.lk/sinhala)

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

ඒ අනුව විභාගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳව සමාලෝචනයක් සිදු කර ඊට අදාළ නිර්දේශ සහ උපදේශ නිකුත් කිරීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 11 වැනි සහ 12 වැනි ශ්‍රේණිවල දරුවන්ට 2021 වසරේ අහිමි වූ කාලය වෙනුවෙන් ප්‍රශ්න පත්‍ර සකස් කරන ආකාරය පිළිබඳ ප්‍රතිපාදන සැලැක්ස්මක් නිකුත් කර තිබෙනවා.

එසේ තිබියදී විද්‍යා ප්‍රශ්න පත්තරයේ බහුවරණ ප්‍රශ්න තුනක් (3) සහ රචනා ප්‍රශ්න තුනක (3) කොටස් තුනක් (3) ප්‍රතිපාදන සැලැස්මෙන් බාහිරව ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කර ඇති බවටයි සිසුන් සහ ගුරුවරුන් චෝදනා එල්ල කළේ.

කෙසේ වෙතත් අ.පො.ස (සා.පෙළ) විභාගය ඇතුළුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ඕනෑම විභාගයක ලකුණු දීමේ පටිපාටි සකස් කිරීමේදී ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය මෙන්ම අපේක්ෂකයන් ඒ සඳහා පිළිතුරු ලබා දුන් ආකාරය පිලිබඳවද දැඩි අවධානය යොමු කරනු ලබන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.

ඒ සඳහා දිවයිනේ සියළුම ප්‍රදේශ ආවරණය කරමින් විවිධ මාධ්‍යය ඔස්සේ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයන්ගේ සාම්පල පිළිතුරු පත් පරික්ෂාවට ලක් කරන බවද ඔහු සඳහන් කළා.

විභාග කොමසාරිස්වරයා පවසන්නේ එසේ සකස් කරනු ලබන ලකුණු ලබාදීමේ පටිපාටිය දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරන හා ඇගයීම් කාර්යයේදී ප්‍රධාන පරීක්ෂක වශයෙන් කටයුතු කරන එම විෂය උගන්වනු ලබන ප්‍රවීණ ගුරුවරුන් වෙත යොමු කර ඔවුන්ගේ අදහස්ද ලබාගැනීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මේ සියළු පියවරයහිදී ප්‍රශ්න පත්‍රය තුළ කිසියම් විටෙක අපේක්ෂකයන්ට ගැටළු සහගත අවස්ථා අනාවරණය වුවහොත් වහාම ඒ සඳහා මැදිහත්වීම් සිදුකර අපේක්ෂකයන්ට විය හැකි අසාධාරණයන් වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවේ එම පියවරයන් සියල්ලම මෙවර විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක කරනු ලබන බවත් මේ වන විට එම විෂය සඳහා වන පාලක උත්තර පත්‍ර පරික්ෂාව සිදු කරමින් පවතින බවත් සඳහන්.

ඒ අනුව කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ එහිදී යම් ගැටළුවක් අනාවරණය වුවහොත්, අපේක්ෂකයන්ට කිසිදු අසාධාරණයක් නොවීමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගනු ලබන බවයි.

+

ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය මුදා හැරීමේ සිද්ධියට අදාළව විභාග රාජකාරියේ යෙදී සිටි ගුරුවරයෙකු අත්අඩංගුවට

(12.05.2024 – 18:13 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය 09 වනදා පැවති ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව තවත් ගුරුවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ගම්පහ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක නිරීක්ෂණ කටයුතු සදහා එක් වූ ගුරුවරියක් බවයි පොලිසිය සදහන් කළේ.

සිද්ධියට අදාළව පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු ද මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම ප්‍රශ්න පත්‍ර ගැටලුව කොළඹ – කොටහේන සහ හසලක ප්‍රදේශවලින් වාර්තා වුණා.

ඒ අනුව අදාළ බලප්‍රදේශවල පොලිස් ස්ථානවලට පැමිණිලි ඉදිරිපත්වී ඇති අතර, මූලික විමර්ශනයක් එමගින් සිදුකර තිබුණා.

එහිදී උපකාරක පන්ති ගුරුවරයෙකු සහ ඔහුගේ මවගෙන් හසලක පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඔවුන්ගේ ජංගම දුරකථන ද සිය භාරයට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

කෙසේ වෙතත් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ අතර, ඒ අනුවයි අදාළ වට්ස්ඇප් සමූහයේ පරිපාලක ලෙස කටයුතු කළ උපකාරක පන්ති ගුරුවරයා අත්ඩංගුවට ගැනුනේ ෴

+

+


සපුගස්කන්දේ තෙල් පිරිපහදුවට අකුණක් වදියි – ගින්නක් ඇතිවේ

(12.05.2024 – 18:59 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගිනි දැල්ල පිට කරන නළයට අද (12) පස්වරුවේ අකුණක් වැඳී තිබෙනවා.

අකුණුසැර වැදීමෙන් එහි ගිනි ගැනීමක් ඇති වූ බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.

මේ වන විට එම ගින්න සම්පූර්ණයෙන් ම මැඩ පවත්වා තිබෙන බවයි පිරිපහදුවේ බලධාරීන් ප්‍රකාශකර සිටියේ.

+


රුමේනියාවේ රැකියා සිහින පෙන්වා 128 දෙනෙකුගේ මුදල් වංචා කරලා

(12.05.2024 – 22:08 +0530 – hirunews.lk/sinhala)

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 8 ත් 10 ත් අතර මුදලක් ලබාගනිමින් තරුණ තරුණියන් 128 දෙනෙකුට වංචා කළ මීගමුවේ රැකියා නියෝජිත ආයතනයක අද (12) උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, රුමේනියාවේ රැකියා කෝටාව අහිමි වූ බව දැනුම් දීම සඳහා එම ආයතනය විසින් රැකියා අපේක්ෂකයින්ව කැඳවූ අවස්ථාවේදීයී ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *