හෙට (27) දින සිට නැවත දැනුම්දෙනතුරු ID ඔෆිස් එකේ සියලු වැඩ නවතියි

හෙට (27) දින සිට නැවත දැනුම්දෙනතුරු ID ඔෆිස් එකේ සියලු වැඩ නවතියි


හෙට (27) දින සිට නැවත දැනුම්දෙනතුරු ID ඔෆිස් එකේ සියලු වැඩ නවතියි

(26.03.2026 – 17:39 +0530 – sinhala.adaderana.lk)

හෙට (27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ, එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අද (26) පස්වරු 01:30 ට සිදු වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන්ය.

මෙම පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් සියලුම සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ඉකුත් 23 වනදා ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදුවී තිබුණි.

ඒ අනුව දෝෂ නිවැරදි කිරීමෙන් පසු 24 වනදා උදෑසන 11 සිට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ඇතුළු සියලුම සේවාවන් නැවත ආරම්භ කිරීමට පියවර ගැනුණි.

එවන් පසුබිමක් තුළ අද (26) දිනයේ පරිගණක පද්ධතිය යළිත් වරක් බිඳවැටී ඇත.


සුරේෂ් සලේ අප්‍රේල් 22 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග

(26.03.2026 – 15:42 +0530 – sinhala.adaderana.lk)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අප්‍රේල් මස 22 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.

අදාළ නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා විසින් මෙම නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වෙත නිකුත් කරනු ලැබීය.

එහිදී මහේස්ත්‍රාත්වරයා දැනුම්දී සිටියේ, විමර්ශනයට අදාළව සැකකරු මේ වනවිට රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටියද ඔහු මෙම නීති කෘත්‍යයේ සැකකරුවෙකු ලෙස නම්කර ඇති බැවින් නඩුව කැඳවන අවස්ථාවේ ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු බවය.

+++

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගිය බව පොලීසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

එහිදී අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසුව, රෝහල් බලධාරීන්ගේ නිර්දේශය මත ඔහු යළිත් විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

සුරේෂ් සලේ මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රශ්න කිරීම් සඳහා රඳවාගෙන සිටියි.

+++

+++

+


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් තිදෙනෙක් (3) අත්අඩංගුවට

(26.03.2026 – 14:57 +0530 – sinhala.adaderana.lk)

ව්‍යාජ ලෙස මෝටර් රථ කිහිපයක් ලියාපදිංචි සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (26) පෙරවරුවේ මෙම සැකකරුවන් තිදෙනා (3) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගනෙ ඇත්තේ,

  1. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03 ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීම සඳහා දත්ත ඇතුළත් කිරීමේ චෝදනාව මත හිටපු සංවර්ධන සහකාරවරයෙකු (මාර්ග ආරක්ෂාව),
  2. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03 ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීම සඳහා කවුළු අංක නිකුත් කිරීමේ චෝදනාව මත හිටපු විමර්ශන සහකාරවරයෙකු, සහ
  3. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03 ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීමට අනුමැතිය ලබාදීමේ චෝදනාව මත හිටපු සහකාර කොමසාරිස්වරයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත ෴


QR කේත අවභාවිත කර ඉන්ධන ලබාගැනීම් ගැන පැමිණිලි 1,000 ක් – පොලීසියෙන් විමර්ශන

(26.03.2026 – 14:05 +0530 – sinhala.adaderana.lk)

වෙනත් අයෙකුගේ QR කේත භාවිතා කරමින් ඉන්ධන ලබා ගැනීමේ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි දහසකට (1000) අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

එම ආමාත්‍යාංශයේ ලේකම් වර්ණ ශ්‍රී ධනපාල මහතා පෙන්වා දෙන්නේ අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පොලීසිය සමග එක්ව විමර්ශන ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත් අත්වැරදීම් හා නොදැනුවත්කම හේතුවෙන් වෙනත් අයෙකුගේ QR කේතය භාවිතා කරමින් ඉන්ධන ලබා ගැනීමේ සිද්ධීන් ද මෙම පැමිණිලි අතරට අයත්වන බව අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

ලැබී ඇති පැමිණිලි අතරින් පැමිණිලි 150 කට අධික ප්‍රමාණයක් ඉදිරි ක්‍රියාමාර්ග සදහා පොලීසිය වෙත යොමු කර ඇති අතර මේ වන විටත් එම සිද්ධීන් වලට අදාළ පුද්ගලයින් කිහිපදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු වැඩිදුර පැවසීය.

ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂිත කැමරා පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව ද ඩිජිටල් ආර්ථික ආමාත්‍යාංශයේ ලේකම් වර්ණ ශ්‍රී ධනපාල මහතා පැවසීය.

මේ වන විට මිලියන 6 කට අධික පිරිසක් QR කේතය ලබා ගැනීම සදහා ලියාපදිංචි වී සිටින බව ද වාර්තා සඳහන් වෙයි ෴


2024 ශිෂ්‍යත්ව පේපරේ සිද්ධියට NIE හිටපු අධ්‍යක්ෂකට චෝදනා පත්‍ර භාරදෙයි

(26.03.2026 – 13:59 +0530 – sinhala.adaderana.lk)

2024 වසරේ පැවැති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න 3 ක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් අධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් කළේ යැයි චෝදනා ලබා සිටින ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලකට අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාරදෙනු ලැබීය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම චෝදනා පත්‍ර භාරදීම සිදු වුණි ෴


පෙට්‍රල් ලීටර් 4 ක් ළඟ තබාගත් අයෙකුට දින 21 ක සිරදඬුවමක් සහ දඩයක්

(26.03.2026 – hirunews.lk)

අනවසරයෙන් පෙට්‍රල් ලීටර් 4 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට දින 21 ක සිරදඬුවමක් සහ රුපියල් 1500 ක දඩ මුදලක් නියම කිරීමට නිකවැරටිය මහේස්ත්‍රාත් චාන්දන ලියනගේ අද (26) නියෝග කළා.

මෙසේ දඬුවම් නියම වූයේ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි බී.එම්. ලසන්ත කුමාර බාලසූරිය නමැත්තෙකුටයි.

කොබෙයිගනේ පොලිසිය විසින් 1979 අංක 34 දරණ ඛනිජ තෙල් නිෂ්පාදන සැපයුම් විධිමත් කිරීමේ හා පාලනය කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී තමන්ට එරෙහි චෝදනාවට සැකකරු වරද පිළිගත්තා.

සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ විත්තියේ නීතිඥ උදයංග අතපත්තු අධිකරණයට පවසා සිටියේ, එළැඹෙන 29 වැනිදා සැකකරුගේ දෙමාපියන් වෙනුවෙන් නිවසේ පැවැත්වීමට නියමිත “දානමය” පින්කමක් වෙනුවෙන් නිවස අවට පිරිසිදු කිරීමට අවශ්‍ය තණකොළ කපන යන්ත්‍රයට යෙදීම සඳහා මෙම පෙට්‍රල් ලීටර් 4 තබාගෙන සිටි බවයි.

මෙය විකිණීමේ හෝ ජාවාරම් කිරීමේ අරමුණින් තබාගත්තක් නොවන බව අවධාරණය කළ නීතිඥවරයා, අදාළ පින්කම පැවැත්වෙන බව තහවුරු කිරීම සඳහා ප්‍රදේශයේ විහාරාධිපති හිමියන් විසින් නිකුත් කරන ලද සහතික පත්‍රයක් ද අධිකරණයට ඉදිරිපත් කළා.

තවදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා පෙන්වා දුන්නේ අදාළ පනත ප්‍රකාරව පාරිභෝගිකයෙකුට පෙට්‍රල් සන්තකයේ තබා ගැනීමේ අයිතියක් පැවතියද, ළඟ තබා ගත හැකි නිශ්චිත ප්‍රමාණය එම පනතේ සඳහන් කර නොමැති බැවින් මෙලෙස නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් පවතින බවයි.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු වරද පිළිගැනීම මත පදනම්ව මෙම දඬුවම නියම කිරීමට පියවර ගත්තා ෴


බලශක්ති අමාත්‍යවරයා යැයි පවසා ආධාර එකතු කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු සොයන්න නියෝග

(26.03.2026 – hirunews.lk)

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන්ව සිටින මධ්‍යම පළාතේ පාසල් සිසුන්ට ආධාර ලබා දෙන බව පවසමින් බලශක්ති අමාත්‍යවරයා ලෙස පෙනී සිට, ව්‍යාජ ලේඛන සකස් කර ආධාර එකතු කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (26) නියෝග කළා.

එම සිද්ධියට අදාල ප්‍රධාන සැකකරු ඩුබායි නුවර සිටි පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කර හෙට (27) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාශය අධිකරණයට කළ දැනුම් දීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළා.

එමෙන්ම ‘පළමු සැකකාර හිමියන්ගේ’ (?) ප්‍රකාශ ලබා ගන්නා ලෙසත් දුරකතන වාර්තා කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුනේ පිළිමතලාව පදිංචි හෙට්ටිආරච්චිගේ සුදේශ් චමින්ද අල්විස් නැමැති අයෙකි ෴


රුපියල් දසදහසක (10,000) අල්ලසක් ඉල්ලා ලබාගත්තැයි අඩවි වන නිලධාරීන් සිව්දෙනාට (4) ඇප – ලී මෝල් හිමිකරු යළි රිමාන්ඩ්

(26.03.2026 – hirunews.lk)

රුපියල් දසදහසක (10,000) අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලී මෝල් හිමිකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අනෙක් සැකකරුවන් සිව්දෙනා (4) වන දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන් ඇප මත මුදා හරින ලෙස නියෝග කළා.

එක් (1) සැකකරුවකුට රු. ලක්‍ෂ පහ (5) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එම සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද නියෝග කළා.

දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු (3), නිලධාරිනියක් (1) සහ සිවිල් පුරවැසියෙකු (1) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් ඉකුත් (17) අත්අඩංගුවට ගෙන අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

පැමිණිලිකරු විසින් ගෝනවල, කැලණිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසෙහි උළුවහු, ජනෙල් සකස්කර ගැනීමට මිලදී ගත් දැව, ඉදිකරනු ලබන නිවසට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය රාජකාරි කටයුතු ඉටුකර දීම සඳහා එම දැව මිල දී ගත් ලී මෝලේ හිමිකරුවන පළමු (1) සැකකරු විසින් දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන්ගේ දැනුම්දීම මත එම නිලධාරීන්ට ලබාදීම සඳහා තුටු පඬුරක් ලෙස රු.10,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ.

පැමිණිලිකරු විසින් උළුවහු, ජනෙල් සකස්කිරීම සඳහා ලී මෝලෙන් මිල දී ගෙන ඇති කොස් දැව ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍ර සකස් කර දීමේ රාජකාරී කටයුතු සඳහා සහය වීම් වෙනුවෙන් තුටු පඬුරක් ලෙස රු. 1,000 ක මුදලක් අල්ලස් වශයෙන් දෙවන (2) සැකකරු ඉල්ලා ලබාගෙන ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.

තෙවන (3) සැකකරු වන ක්ෂේත්‍ර සහකාර (කරවනැල්ල) නිලධාරියෙක් වන අතර ඔහු ලී මෝලෙන් ගෙන මිල දී ගෙන ඇති කොස් දැව ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍ර සකස් කරදීමේ රාජකාරි කටයුතු සඳහා රු. 10,000 ක මුදලක් අල්ලස් වශයෙන් පැමිණිලිකරුගෙන් මුලින් ඉල්ලා පසුව, 2026.03.17 වන දින ලී මෝල වෙත පිටව ගොස් එම දැව කඳන් පරීක්ෂා කර ප්‍රවාහන බලපත්‍ර ලබාදීමට අවශ්‍ය රාජකාරී කටයුතු ඉටු කර දීම වෙනුවෙන් පළමු (1) සැකකරුගෙන් තුටු පඬුරක් ලෙස රු. 3,000 ක මුදලක් අල්ලස් වශයෙන් භාර ගැනීම සිදුකර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.

හතරවන (4) සැකකරු ට්ටු වන (දැරණියගල) නිලධාරීයෙක් වන අතර ඔහු, බලපත්‍රයට නිර්දේශය ලබාදීම වෙනුවෙන් පළමු (1) සැකකරුගෙන් තුටු පඬුරක් ලෙස රු. 3,000 ක මුදලක් අල්ලස් වශයෙන් භාරගැනීම සිදුකර ඇති බවත්,

පස්වන (5) සැකකාරිය වන ක්ෂේත්‍ර සහකාර (කාර්යාලය) නිලධාරිනිය විසින් බලපත්‍ර සකස් කරදීමේ රාජකාරී කටයුතු සඳහා සහාය වීම වෙනුවෙන් තුඩු පඬුරක් ලෙස රු. 1,000 ක මුදලක් පළමු (1) සැකකරුගෙන් අල්ලස් වශයෙන් භාර ගැනීම සිදු කර ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකිරීමට තිබෙන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පළමුවැනි (1) සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමින් අනෙක් සැකකරුවන්ට ඇප නියම කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *