හංවැල්ල – ජල්තර – රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය තුළ දී දරු දෙදෙනෙකු (2) ප්‍රාණ ඇපයට ගත් පියා අත්අඩංගුවට

හංවැල්ල – ජල්තර – රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය තුළ දී දරු දෙදෙනෙකු (2) ප්‍රාණ ඇපයට ගත් පියා අත්අඩංගුවට


හංවැල්ල – ජල්තර – රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය තුළ දී දරු දෙදෙනෙකු (2) ප්‍රාණ ඇපයට ගත් පියා අත්අඩංගුවට

(06.05.2024 – 06:29 +0530 – hirunews.lk/sinhala)

බිරිඳ සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් හංවැල්ල – ජල්තර – රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය තුළ දී අත්බෝම්බයක් අතැතිව පියා විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබූ දරුවන් දෙදෙනා (2) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (06) අලුයම බේරාගෙන තිබෙනවා.

එම බලකායේ අවි හා උපක්‍රම කණ්ඩායම විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදියි මෙම දරු දෙදෙනා (2) බේරාගෙන ඇත්තේ.

අවුරුදු 10 ක් වයසැති දැරියක සහ අවුරුදු එකහමාරක් (1½) වයසැති පිරිමි දරුවා මෙලෙස බේරාගත් අතර, ඔවුන් මේ වනවිට ප්‍රතිකාර සඳහා නවගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බිරිඳ සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇය ඝාතනය කිරීමේ අරමුණින් සැකකාර ‘හිටපු යුද හමුදා සෙබලා’ අත් බෝම්බයක්ද අතැතිව ඊයේ (05) රාත්‍රියේ හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි සිය බිරිඳගේ නිවසට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී බිරිඳ නිවසින් පලාගොස් ඇති අතර, එහි සිට ඇත්තේ අවුරුදු 10 ක් වයසැති දියණිය සහ අවුරුදු එකහමාරක් (1½) වයසැති පුතු පමණයි.

මොවුන් දෙදෙනා (2) පියා විසින් අත්බෝම්බයක්ද සමග එම නිවසේ ඉහළ කාමරයක සිරකරගෙන සිටින බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

සැකකරු විදේශගතව සිට කෙටි කළකට පෙර මෙරටට පැමිණ ඇති අතර, අඹුසැමියන් අතර ඇතිවූ අඩදබර නිසාවෙන් කාන්තාව වෙනත් පුද්ගලයෙකු සමග ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිට තිබෙනවා.

ඇය මෙලෙස වෙනත් පුද්ගලයෙකු සමග මෙම නිවාස සංකීර්ණයේ රැදී සිටින බවට ලද තොරතුරුවලට අනුව බිරිඳ ඝාතනය කිරීමේ අරමුණින් සැකකරු මෙම නිවසට පැමිණ තිබෙනවා.

පසුව බිරිඳ නිවසින් පලායාම නිසා අත්බෝම්බයක්ද අතැතිව මොහු සිය දරු දෙදෙනා (2) ප්‍රාණ ඇපයට ගෙන ඇති අතර, දරුවන් බේරාගැනීම සඳහා ඊයේ (05) රාත්‍රී 10:30 ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ හංවැල්ල පොලිසිය එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර 39 හැවිරිදි පියා අත්බෝම්බයද සමග පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+

මේ අතර, බිරිඳ සමග ඇති කර ගත් ගැටුමකින් පසු සිය 7 හැවිරිදි දරුවා පොළවේ ගැසූ පියෙකු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ 14 ‘මුවදොර උයන’ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු බවට අනාවරණය වී ඇති අතර, සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා.

+

ජීවිත දෙකක් (2) ප්‍රාණ ඇපයට ගත් පියා ලබන 17 දක්වා රිමාන්ඩ්

(06.05.2024 – 14:21 +0530 – hirunews.lk/sinhala)

පවුල් ආරවුලක් හේතුවෙන් හංවැල්ල – ජල්තර ප්‍රදේශයේදී අත්බෝම්බයක් පෙන්වා දරුවන් දෙදෙනා (2) ප්‍රාණ ඇපයට ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් එම දරුවන්ගේ පියා ලබන 17 දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

බිරිඳ ඝාතනය සදහා පැමිණි ස්වාමි පුරුෂයා විසින් ප්‍රාණ ඇපයට ගත් තම දරුවන් දෙදෙනා (2) හට එන්නතක් ලබා දී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

දරුවන් කෑගැසීම වැළැක්වීමට මෙලෙස එන්නත් ලබාදෙන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පියා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සැකකරු 39 හැවිරිදි හිටපු යුද හමුදා සෙබළෙක් බවයි වාර්තා වන්නේ.

සැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් බිරිඳ සිය දරුවන් දෙදෙනා (2) සමඟ ‘හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ’ නිවසක පදිංචියට ගොස් තිබුණේ මීට දින කිහිපයකට පෙරයි.

මෙම ආරවුල්වල ප්‍රතිඵලයක් ලෙස බිරිඳ ඝාතනය කිරීමේ අරමුණින් සැකකරු මෙම රජයේ නිවාස සංකීර්ණයට ඊයේ (05) පස්වරුවේ පැමිණ ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සිය සැමියා පැමිණි බව දැනගත් බිරිඳ නිවසින් පලාගොස් සැඟව සිට තිබෙනවා. එහිදීයි සැකකරු මෙලෙස සිය දරුවන් දෙදෙනා (2) ප්‍රාණ ඇපයට ගෙන තිබුණේ.

දස (10) හැවිරිදි දියණිය සහ අවුරුදු එකහමාරක (1½) පිරිමි දරුවා මෙලෙස ප්‍රාණ ඇපයට ගෙන තිබුණා.

සිය පියාගේ කළබලකාරී හැසිරීමෙන් නොසන්සුන් වූ දරුවන් නිවසේ ඉහළ කාමරයකට රැගෙන ගොස් අත්බෝම්බයක් පෙන්වා බියගන්වා ඇති අතර, පසුව ඔවුන්ට එන්නතක් ද විද ඇති බවටයි හෙළි වී ඇත්තේ.

යළි නොපැමිණියහොත් දරුවන් දෙදෙනා (2) සමග අත්බෝම්බය පුපුරුවා ගන්නා බවට සැකකරු, බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී තර්ජනය කර ඇත්තේ ඉන් පසුවයි.

එහිදී බිරිඳ විසින් හංවැල්ල පොලිසිය දැනුවත් කර ඇති අතර, ඒ අනුව රාත්‍රී 10:30 පමණ විශේෂ කාර්ය බලකායේ අවි හා උපක්‍රම කණ්ඩායමක් අදාළ නිවස වෙත ගොස් තිබුණා.

එහි සිට පැය කිහිපයක් සැකකාර පියා සමග සාකච්ඡා කරමින් දරුවන් මුදාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් උත්සහ දරා ඇති අතර, එය අසාර්ථක වී ඇත්තේ සැකකරු ඊට අවනත නොවීම හේතුවෙන්.

පසුව පැය කිහිපයක මෙහෙයුමකින් පසු උපක්‍රමශීලීව සැකකරු දරුවන් සිරකරගෙන සිටි කාමරයට කඩාවැදුනු පොලිස් විශේෂ කාර්ය සෙබලුන් සිරකරගෙන සිටි දරුවන් දෙදෙනා (2) මුදාගෙන තිබුණා.

මෙහිදී කුඩා දරුවන් යම් සෞඛ්‍ය අපහසුතාවයකින් සිටීම හේතුවෙන් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

කෙසේ වෙතත් දරුවන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ ෴

++++++++++

+


මාරක අනතුරු කිහිපයක්

(07.05.2024 – 07:36 +0530 – sinhala.adaderana.lk)

ගෙවී ගිය පැය 24ක කාලය තුළ සිදුවූ රිය අනතුර කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (06) එම අනතුරු සිදුව තිබුණේ නිට්ටඹුව, වලපනේ, කිලිනොච්චිය සහ මත්තේගොඩ යන පොලිස් වසම්වල බවය.

වලපනේ, නිල්දණ්ඩාහින්න, කලගන්නවත්ත පටු වංගු සහ බෑවුම් සහිත මාර්ගයේ මාලිගාතැන්න ගල්පොත්ත ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් 31 හැවිරිදි පුද්ගලයෙකු ජීවිත්ෂයට පත්ව ඇත.

බෑකෝ යන්ත්‍රයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මීටර් 09ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් එම අනතුර සිදුව තිබිණි.

මේ අතර මහනුවර – යාපනය ඒ 9 මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ වම් පසින් ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබිණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, නෙලුම්කුලම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.

මේ අතර මත්තේගොඩ, කිරිගම්පමුණුව, සල්ගස් හන්දිය ප්‍රධාන මාර්ගයේ මත්තේගොඩ නගරය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් 69 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පදික කාන්තාවකතේ ගැටී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මේ අතර කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව නගරයේදී වෑන් රථයක් පදික මාරුව හරහා ගමන් ගත් කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබිණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තව වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, වැලිකඩමුල්ල, අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවකි ෴


මහරගම කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

(06.05.2024 – 14:44 +0530 – sinhala.adaderana.lk)

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබේ.

සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා ආයතනයකින් විදේශගත කරන බව පවසා ලබාගත් විදෙස් ගමන්බලපත්‍ර 180 ක් එලෙස බෑගයේ තිබූ බවය.

රුපියල් කෝටි 26 කට ආසන්න මුදලක් අදාළ පුද්ගලයා වංචා කර ඇති අතර ඔහු මේ වනවිට පළාගොස් තිබේ.

+


හොරණ වෙඩිතැබීම ගැන කිසිවෙකු නොසිතූ කතාවක් එළියට

(05.05.2024 – 20:39 +0530 – sinhala.adaderana.lk)

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී අද (05) උදැසන සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ.

පොලීසිය පවසන්නේ ඩුබායි හි සිටින සැකකරු පසුගිය අප්‍රේල් 29 වනදා මෙරටට පැමිණ ඇති බවත් ඔහු මෙම වෙඩිතැබීම සඳහාම පැමිණ ඇති බවට සැකකරන බවය.

වෙඩි ප්‍රහාරයට ලක්වූ ව්‍යාපාරිකයා මෙම වෙඩික්කරුගේ වැඩිමහල් සොයුරියක් සමග විවාහ ගිවිසගෙන සිට ඇති බවත් පසුව ඔහු ඉන් දික්කසාද වී වෙනත් විවාහයක් කරගැනීම හේතුවෙන් වෙඩික්කරු මොහු සමග අමනාපයෙන් සිට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් වෙඩික්කරු රටින් පලායාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහුගේ අනන්‍යතාව හෙළිකරගෙන ඇත්තේ ගුවන්තොටුපොළේ ක්‍රියාත්මක, සැකකරුවන්ගේ මුහුණු ස්වයංක්‍රියව හඳුනාගැනීමේ යන්ත්‍රය මගිනි.

පසුව අළුබෝමුල්ල පොලීසියේ නිලධාරීන් ගුවන්තොටුපොළට පැමිණ සැකකරු සිය භාරයට ගෙන තිබේ.

සැකකරු හොරණ කුඩාඋඩුව ප්‍රදේශයේ පදිංචි ජනිත් කුමාර නමැති 31 හැවිරිදි අයෙකි.

ඔහු අද (05) සවස ඩුබායි බලා පිටත්වීමට සූදානමින් සිට ඇති බව පොලීසිය පැවසීය.

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී අද (05) පෙරවරු 11 ට පමණ මෙම වෙඩිතැබීම සිදුවිය.

එහි ඉලක්කය වී ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

ඔහුගේ නිවස ඉදිරිපිටදීම සිදුවුණු වෙඩි තැබීම නිවසේ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

ව්‍යාපාරිකයා සිය කැබ් රථයේ සිටියදී ඔහුගේ බිරිඳ නිවසේ ගේට්ටුව විවෘත කර සිය දරුවා නිවසට ඇරලවන ආකාරය ද එහි සටහන්ව තිබේ.

ස්කූටරයකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) ඒ දෙසට පැමිණෙන අතර පසුපැදිකරු යතුරුපැදියෙන් බැස කැබ් රථය දෙසට ගමන්කරන ආකාරය එහි දැක්වෙයි.

එහිදී එල්ලවන වෙඩි පහර මැදම ව්‍යාපාරිකයා සිය රථය මද දුරක් පදවාගෙන යන අතර පසුව වෙඩික්කරුවන් එම ස්ථානයෙන් පළාගොස් තිබුණි.

වෙඩි පහරින් ව්‍යාපාරිකයාගේ මුඛයට බරපතළ තුවාල සිදුව තිබේ.

හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණු ඔහු පසුව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.

තුවාල ලැබූ ව්‍යාපාරිකයා සංජන අයන්ත නැමැති 38 හැවිරිදි අයෙකි.

සැකකරුවන් පැමිණි යතුරුපැදිය සහ ඇඳුම්පැ ළඳුම් හොරණ වැලිකල ලිහිණිඅරඹ ප්‍රදේශයේ කුඹුරක් අසල දමාගොස් තිබියදී පොලීසිය විසින් අද දහවල් සොයාගනු ලැබීය.

පොලීසිය පැවසුවේ, වෙඩික්කරු රටින් පළායාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට පත්ව ඇති බවය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *