ආසියාවේ ඉහළම වීසා ගාස්තු ලංකාවේ – සංචාරකයින් පැමිණීමත් අඩුවෙයි ?

ආසියාවේ ඉහළම වීසා ගාස්තු ලංකාවේ – සංචාරකයින් පැමිණීමත් අඩුවෙයි ?


ආසියාවේ ඉහළම වීසා ගාස්තු ලංකාවේ – සංචාරකයින් පැමිණීමත් අඩුවෙයි ?

(05.05.2024 – 20:17 +0530 – hirunews.lk/sinhala)

ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ මතුව ඇති අවිධිමත්භාවය හේතුවෙන් මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩුවිය හැකි බවට ‘ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සම්මේලනය’ අනතුරු අඟවනවා.

ශ්‍රී ලංකාව මේවනවිට ආසියාවේ ඉහළම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව තිබීම ද ඊට බලපා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

‘වීඑෆ්එස්’ නමැති පෞද්ගලික සමාගම ‘ඔන් අරයිවල් වීසා’ හෙවත් ‘ගුවන් තොටුපළේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය’ ආරම්භ කළේ පසුගිය අප්‍රේල් 17 වැනිදා සිටයි.

සිය සේවා සැපයීම වෙනුවෙන් වීසා ගාස්තුවට අමතරව අමෙරිකානු ඩොලර් 18 ත් 25 ත් අතර මුදලක් අයකිරීමටද ඔවුන් කටයුතු කර තිබුණා.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් චීනය, ඉන්දියාව සහ රුසියාව ඇතුළු රටවල් 07 ක් වීසා ගාස්තුවලින් නිදහස් කර තිබුණත් එම රටවල සිට පැමිණෙන සංචාරකයින්ගෙන්ද මෙම සමාගම සේවා සැපයීම වෙනුවෙන් ඩොලර් 22 ක මුදලක් අයකරන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙවන් පසුබිමක පසුගිය දිනක මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට එම සමාගම හරහා වීසා ලබාගැනීමට ගිය අවස්ථාවේ උණුසුම්කාරී තත්ත්වයක් ද හටගත්තා.

මේ වනවිට අදාළ පෞද්ගලික සමාගම සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇත්තේ දැඩි මතභේදාත්මක තත්ත්වයක්.

මේ අතර SLAITO (ස්ලයිටෝ) හෙවත් ‘සංචාරක නියෝජිත ආයතන සම්මේලනය’ ජනාධිපතිවරයා වෙත නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ තායිලන්තය, වියට්නාමය සහ නොමිලේ වීසා ලබා දෙන හෝ ඊට වඩා අඩු ගාස්තු අය කරන තරගකාරී ගමනාන්තයන්ට සාපේක්ෂව සංචාරකයින් සඳහා සැලකිය යුතු බාධාවක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාව මේවනවිට ආසියාවේ ඉහළම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව ඇති බවයි.

ඔවුන් පෙන්වා දෙන ආකාරයට දින 30 ක් සඳහා මෙරටට පැමිණෙන සංචාරකයින්හට ‘ඔන් අරයිවල් වීසා’ නිකුත් කිරීමට අදාළ සේවා සැපයීම වෙනුවෙන් අදාළ පෞද්ගලික සමාගම අමෙරිකානු ඩොලර් 101 ක් අයකරනවා.

කෙසේවෙතත් මෙරටට ආසන්න අනෙකුත් සංචාරක ගමනාන්ත වන මාලදිවයින, වියට්නාමය, චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල දින 30 ක් සඳහා ‘ඔන් අරයිවල් වීසා’ සඳහා කිසිදු මුදලක් අයකරන්නේ නැහැ.

ඒ අනුව අදාළ පෞද්ගලික සමාගම මෙලෙස අසීමිතව මුදල් අයකිරීම මත ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරකයින් 50% කින් පමණ අඩුවිය හැකි බවයි මෙරට සංචාරක නියෝජිත ආයතන සම්මේලනය පවසන්නේ.

මේ අතර සංචාරකයින් සඳහා වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා විෂයභාර අමාත්‍ය ටිරාන් අලස් හෙට (06) විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා තිබෙනවා.

+


හංවැල්ලේදී දරු දෙදෙනෙකු (2) ප්‍රාණ ඇපයට ගනී

(05.05.2024 – 22:38 +0530 – hirunews.lk/sinhala)

බිරිඳ සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් ‘හංවැල්ල රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය’ තුළ අත් බෝම්බයක් අතැතිව තම දරුවන් ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයෙකු වළක්වාලීම සඳහා පෙලීසිය සහ පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් මේ වනවිට මෙහෙයුමක් දියත්කර ඇති බවට පොලිසිය පවසනවා.

සැකකරු මේවනවිටත් සිය දරුවන් ප්‍රාණ ඇපයට ගෙන සිටින බව අප වාර්තාකරු පවසයි.

බිරිඳ සමග ඇතිවූ අරවුලක් හේතුවෙන් බිරිඳ ඝාතනය කිරීමේ අරමුණින් සැකකරු මෙලෙස අත් බෝම්බයක්ද රැගෙන නිවසට ඇතුළුවී ඇති අතර බිරිඳ නිවසින් පිටතට පැන දිවි ගලවාගෙන ඇති බව වාර්තා වන්නේ.

ඉන් කෝපයට පත් පුද්ගලයා සිය දරුවන් දෙදෙනා (2) ප්‍රාණ ඇපයට තබාගෙන ඇති බව පොලීසිය පවසන්නේ.

දරුවන් දෙදෙනා (2) මුදාගැනීම සඳහා මේවනවිටත් පොලීසිය සහ පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් මෙහෙයුම් අරාම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

+

+


පාලිත තෙවරප්පෙරුමට ඇත්තටම වෙච්ච දේ .. ලඟ හිටපු රියදුරු පළමුවරට හෙළිකරයි – සාකච්ඡාව අතරතුර රියදුරුට ඇඩෙයි (04.05.2024)

+


ඩුබායිහී සැඟවී සිටින පාතාලයන්ගේ දේශීය අවි ගබඩාව – ගෝලයන් ආයුධ රැස් කළ හැටි (05.05.2024)

+


ඉමිටේෂන් මුදු තුන් පාරක් (3) බැංකුවේ තියලා රුපියල් එකොළොස් ලක්ෂයක් අරන්

(06.05.2024 – 08:13 +0530 – hirunews.lk/sinhala)

රජයේ බැංකුවකට අයත් තණමල්විල ප්‍රදේශයේ උකස් ආයතනකට අවස්ථා තුනක (3) දී රන් අලේපිත ව්‍යාජ මුදු හතක් (7) උකස් කර රුපියල් 11,60,500 ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් ලබා දී ඇති මුදු බරින් වැඩිවීම හේතුවෙන් ඇති වූ සැකයත් සමඟ එහි සේවිකාව බැංකු කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරුව, ඔවුන් සිදුකළ පරීක්ෂණයේ දී එම මුදු රන් අලේපිත ව්‍යාජ මුදු බව තහවුරු වී තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරු නැවත දිනක දී පැමිණි අවස්ථාවේ දී බැංකුව සිදුකළ දැනුම්දීමකින් අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි ෴


තේ නිෂ්පාදනය පහළට

(06.05.2024 – 10:27 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණික තත්ත්වයන් සහ පොහොර මිල ඉහළ යාම හේතුවෙන් 2023 වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ පළමු (1) කාර්තුව තුළ දේශීය තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 1.5 කින් පමණ පහත වැටී ඇති බව ‘ශ්‍රී ලංකා තේ මණ්ඩලය’ පවසනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් ‘ශ්‍රී ලංකා තේ මණ්ඩලය’ පැවසුවේ ජනවාරි සහ පෙබරවාරි මාසවල දේශීය තේ නිෂ්පාදන පරිමාවේ සුළු වාර්ෂික ලාභය මාර්තු මාසයේදී ඉවත් කර ඇති බවත්, 2023 මාර්තු මාසයට සාපේක්ෂව තේ නිෂ්පාදනය වසරකට කිලෝග්‍රෑම් මිලියන 2.5 කින් පමණ පහත වැටී ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, 2024 පළමු (1) කාර්තුව තුළ දේශීය තේ නිෂ්පාදන පරිමාව පසුගිය වසරට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 1.5 කින් අඩු වී ඇති බවයි එම මණ්ඩලය පවසා සිටියේ ෴


බෝගම්බර බන්ධනාගාරය හෝටලයක් කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක්

(06.05.2024 – 11:02 +0530 – hirunews.lk/sinhala)

බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත් කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙකු ඉදිරිපත්ව ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, පෞරාණික බව රැකගනිමින් ගෘහ නිර්මාණ ශිල්පය විදහා දැක්වෙන හෝටල් පරිශ්‍රයක් මෙහි ඉදිකරනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සඳහා 2014 වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබුවා.

මෙහිදී බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල සංරක්ෂණය හා සංවර්ධනය කිරීමට සැළසුම් කර ඇති අතර, විවෘත හා විනෝදාත්මක පහසුකම් සහිත පරිශ්‍රය සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කිරීමත් සමග එහි ආර්ථික වටිනාකම ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා ෴


අතරමං වී ගමට ආ වනඅලි පැංචාට ගම්වාසීන් කළ දේ

(06.05.2024 – 12:12 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිතුල්කොටේ ප්‍රදේශයට පැමිණි වනඅලි රංචුවක සිටි කුඩා වනඅලි පැටවෙක් එම රංචුවෙන් අතරමං වී තිබෙනවා.

අතරමං වූ වනඅලි පැටවා කිතුල්කොටේ ගම්මානයට පැමිණ ඇති අතර පසුව එම වනඅලි පැටවාට ජලය සහ ආහාර ලබා දී කිතුල්කොටේ වනජීවි කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දීමට ගම්වාසීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

වනඅලි පැටවා යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන අතර මෙම ප්‍රදේශයට පවතින උග්‍ර වනඅලි ගැටලුව නිසා ප්‍රදේශයේ ජනතාව මෙන්ම වනඅලින්ගේ ජීවිත ද දැඩිලෙස අනාරක්ෂිත වී තිබෙන බවයි හිරු වාර්තාකරු පැවසුවේ.

+++++++++++

+


ගංජා එක්ක කොටු වූ කතරගම පූසාරිට රැදවුම් නියෝග

(06.05.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala)

ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් කතරගම කාලි දේවාලයේ පූසාරිවරයකු දින 7 ක් රැදවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන බව පොලිසිය පවසනවා.

කොටවිල කඹුරුගමුව ප්‍රදේශයේ බෝට්ටු හිමි ව්‍යාපාරිකයකුට ලක්ෂ ගණනක මෙම ගංජා තොගය විකිණීමට රැගෙන ගොස් තිබුණා.

කොටවිල කඹුරුගමුව වැව අසළදී අත්අඩංගුවට ගත් පූසාරි සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) කොටුකර ගත්තේ පොලිසියට ලද රහසිගත තොරතුරක් මතයි.

මෙම පූසාරිවරයා ගමන්කළ රථයේ ග්‍රෑම් 630 ක් බර ගංජා තිබූ බවයි පොලිසිය ‘හිරු නිවුස්’ වෙත වාර්තා කළේ.

පූසාරිවරයා සමග වෑන් රථයේ රියදුරු හා ගංජා මිලට ගැනීමට පැමිණි තවත් පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගත්තා.

කොටවිල පොලිසිය වැඩිඩුර විමර්ශන පවත්වනවා ෴


සාමාන්‍ය පෙළ ලියන්න නිවසින් පිටත්වූ සිසුවෙක් ජීවිතක්ෂයට

(06.05.2024 – 13:45 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ – මාරතැන්න ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි සිසුවෙක් අද (06) පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

අදාළ සිසුවා පාසලට යාමට පෙර ප්‍රදේශයේ කෝවිලකට පිටත්ව ගොස් තිබූ අතර, එහිදී එම දරුවා ලිස්සා වැටී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය දරුවාගේ මරණ පරීක්ෂණ කටයුතු මේ වනවිට මාරතැන්න ප්‍රාදේශීය රෝහලේ සිදු කෙරෙන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා ෴


අද (06) ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සැප්තැම්බර් අග

(06.05.2024 – 15:51 +0530 – hirunews.lk/sinhala)

අද (06) ආරම්භ වූ අ.පො.ස සාමාන්‍ය පෙළ (2023) විභාග ප්‍රතිඵල සැප්තැම්බර් අග නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *