නායයෑමේ තත්ත්වයක් සක්‍රිය වීම නිසා ඇල්ල – වැල්ලවාය මාර්ගයත් අවදානමේ

නායයෑමේ තත්ත්වයක් සක්‍රිය වීම නිසා ඇල්ල – වැල්ලවාය මාර්ගයත් අවදානමේ


නායයෑමේ තත්ත්වයක් සක්‍රිය වීම නිසා ඇල්ල – වැල්ලවාය මාර්ගයත් අවදානමේ

(26.04.2024 – 15:59 +0530 – hirunews.lk/sinhala)

ඇල්ල – කරඳගොල්ල – මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යෑමේ තත්ත්වයක් සක්‍රිය වී තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට නිවාස 10 ක ජනතාව සිය පදිංචි ස්ථානවලින් ඉවත් කර ඇති බවයි එම ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.එල්. උදය කුමාර සඳහන් කළේ.

ඇල්ල – වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම අත්‍යවශ්‍ය බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසනවා.

එම ප්‍රදේශය කලක සිට නායයෑමේ අවධනමක් පවතින බවට හඳුනාගත් ප්‍රදේශයක් වනවා.

+

කරඳගොල්ලේ නායයෑම් උමා ඔය ව්‍යාපෘතිය නිසාද?

(26.04.2024 – 20:48 +0530 – hirunews.lk/sinhala)

ඇල්ල, කරඳගොල්ල සහ මලිත්තගොල්ල යන ප්‍රදේශවල සක්‍රීය වී ඇති නායයාම සම්බන්ධයෙන් ‘බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ’ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ උමා ඔය ජලාශයේ උමගට ජලය පිරවීමත් සමග බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

තත්ත්වය වර්ධනය වුවහොත් කරඳගොල්ල ප්‍රදේශයෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයටද දැඩි අවදානමක් මතුවිය හැකි බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ.

උමා ඔය ව්‍යාපෘතියට අයත් ඩයබරා ජලාශයට කිලෝමීටර් දෙකහමාරක් (2½) පමණ පහළින් පිහිටි ඇල්ල කරඳගොල්ල 10 කණුව ප්‍රදේශයේ නායයාමේ අවදානමක් මතුව තිබෙන්නේ පෙරේදා (24) අලු‍යම් කාලයේදීයි.

කරඳගොල්ල ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ උමා ඔය ජලාශයේ උමගට ජලය පිරවීම මීට සතියකට පෙර ආරම්භ කළ අතර ඒ සමග මෙම නායයාමේ තත්ත්වය උද්ගත වී ඇති බවටයි.

මෙම නායයාම සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ’ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥ හර්ෂණී පෙරේරාගෙන් විමසීමක් කළා.

එහිදී ඇය සඳහන් කළේ පළමු වරට මෙම කරඳගොල්ල නමැති ස්ථානයේ නායයාමක් හඳුනා ගත්තේ 2016 වසරේදී බවයි.

එම අවස්ථාවේදී නිවාස 8 ක පදිංචිකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත්, 2023 වසරේ නොවැම්බර් මාසයේදී යළිත් වරක් මෙම ප්‍රදේශයේ නායයාම සක්‍රීය වීම හේතුවෙන් තවත් නිවාස 5 ක පදිංචිකරුවන් ඉවත් කිරීමටද කටයුතු කළ බව ඇය ප්‍රකාශ කළා.

උමා ඔය ව්‍යාපෘතියේ ජලය රැගෙන යන උමං මාර්ගය සහ මෙම නායයාමේ සිද්ධිය අතර, සම්බන්ධයක් ඇති බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු වී නොමැති බවයි බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥවරිය වැඩිදුරටත් සඳහන් කලේ.

+


තක්කාලි ගොවීන්ගේ අදෝනාව

(26.04.2024 – 13:18 +0530 – hirunews.lk/sinhala)

තක්කාලි අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොවීන් තවදුරටත් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

ඔවුන් පවසන්නේ කිලෝග්‍රෑමයක් රුපියල් 10 ත් 20 ත් අතර මිලකට පහත වැටී ඇති අතර, නෙළාගත් තක්කාලි අස්වැන්න වගා බිම්වලම අතහැර දැමීමට සිදුව ඇති බවයි.

මේ අතර ගිරිතලේ ව්‍යාපාරය යටතේ වගා කටයුතු කරන වී ගොවීන්, වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැතිකමින් පීඩාවට පත්ව සිටින පුවතක් වාර්තා වුණා.

ගිරිතලේ ව්‍යාපාරය යටතේ වගා කරන වී ගොවීන් යල කන්නය සඳහා වගා අරඹා තිබෙන අතර ඒ සඳහා පොහොර නොමැති කමෙනුයි මෙලෙස අසරණ වී ඇත්තේ.

+


පැය 14 ක ජල කප්පාදුවක්

(26.04.2024 – 13:35 +0530 – hirunews.lk/sinhala)

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල කප්පාදුවක් සිදුවෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

අප්‍රේල් 27 වැනිදා එනම් සෙනසුරාදා පස්වරු 05:00 සිට 28 වැනිදා ඉරිදා පෙරවරු 07:00 දක්වා පැය 14 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව කොළඹ 05, කොළඹ 06, දෙහිවල – ගල්කිස්ස සහ මොරටුව නගර සභා බල ප්‍රදේශවලත්, ජයන්තිපුර, පැලවත්ත ප්‍රදේශවලත් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


මෙරට ජනගහණයෙන් 15% කට ඇදුම රෝගය

(26.04.2024 – 13:42 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනගහණයෙන් 15% කට ආසන්න පිරිසකට ඇදුම රෝගය සම්බන්ධ රෝග ලක්ෂණ පවතින බව පර්යේෂණයකදී අනාවරණ වී තිබෙනවා.

එසේවුවත් ඇදුම රෝගය නිවැරදිව පාලනය කළ හැකි රෝගයක් බවටයි වෛද්‍යවරුන්ගේ අදහස වන්නේ.

ලෝක ඇදුම දිනය ලබන මස 07 වනදාට යෙදී තිබෙනවා.

ඇදුම රෝගය නිසා ලොව පුරා වසරකට ජීවිතක්ෂයට පත්වන පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 5 ක පමණ ප්‍රමාණයක්.

නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීම තුළින් ඇදුම රෝගය නිවාරණය කරගත හැකි බවයි ශ්‍රී ලංකා ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක කියා සිටියේ ෴


අයිස් සමග හසුවූ නාවික හමුදා නිලධාරීන් දෙදෙනා (2) රිමාන්ඩ්

(26.04.2024 – 15:24 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්ඩංගුවට ගන්නා ලද නාවික හමුදා ලුතිනන් කමාන්ඩරයන් දෙදෙනෙකු (2) ඇතුළු සැකකරුන් හතර දෙනෙකු (4) රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළා.

මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (26) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත හමුවට පමුණුවනු ලැබුවා.

පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදු කරන හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා.

ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

රුපියල් මිලියන 7.5 ක පමණ වටිනාකමින් යුත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙක් (4) පසුගිය 20 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී අත්අඩංගුවට පත්වූ අය අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩරයන් දෙදෙනෙකු (2) ද සිටි අතර, එම පිරිස මුල්ලේරියාව ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්වූයේ ග්‍රෑම් 434 ක් වූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟින් ෴


ගිනිගෙන පිලිස්සී මියගිය වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ මළ සිරුරක් යාපනයෙන් හමුවෙයි

(26.04.2024 – 16:03 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ තෙලිප්පලෙයි මාගෙට්ටි දකුණු ප්‍රදේශයේ දී නිවසක් තුළ පිලිස්සී මියගිය වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් ඊයේ (25) සොයා ගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 74 ක් වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.

ඔහු මරණයට පත් වූ ආකාරය පිළිබඳව හෝ මරණය සිදු වීමට හේතුව පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ දියණිය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තම පියා නිතරම බීඩි බීමට පුරුදුව සිටින අතර එසේ බීඩි බොමින් සිටියදී ඇඳට ගිනිගෙන ඔහු මියයන්නට ඇති බව තමන් විශ්වාස කරන බවයි.

තෙලිප්පලෙයි පොලිසිය විසින් මියගිය අයගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහලට භාර දී තිබෙනවා ෴


පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී CIDයට කී දේ හෙළිවෙයි

(26.04.2024 – 19:38 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගියදා හිටපු ජනපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයේදී ඔහු මෙරට කිසිවකුගේ නම් සඳහන් කර නොමැති බවයි ෴


ආබාධිත රණවිරුවන්ගේ ජීවිත ලංසු තැබීම ගැන සජිත්ගෙන් දැඩි විරෝධයක්

(26.04.2024 – 20:06 +0530 – hirunews.lk/sinhala)

ආබාධිත රණවිරුවන්ගේ අභාවයකින් අනතුරුව ජීවත්ව සිටින කාලාත්‍රයාට එම සහන ලැබෙන්නේ එම රණවිරුවා වයස අවුරුදු 55 න් පසුව මියගියොත් පමණක් බවට රජය තීන්දුවක් ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එහිදී ඔහු මේ බව අද (26) පාර්ලිමේන්තුවේදී මතුකළ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර එම චක්‍රලේඛය ඉවත්කරගෙන ඇති බව පැවසුවද, ඒ සම්බන්ධයෙන් මෙතෙක් පියවර ගෙන නොමැති බව‍යි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ඒ අනුව, 2022 නොවැම්බර් 08 වැනිදා ස්ථාපිත කරඇති මෙම චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක කරන පරිදි ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, මේ සම්බන්ධයෙන් ආබාධිත රණවිරු සංවිධාන අවධානයෙන් සිටින නිසා ඔවුන්ට මේ සහනය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී ප්‍රකාශ කළා.

+


රජයෙන් බෙදූ සහල්වල ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක්

(26.04.2024 – 21:42 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 24 ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 10 බැගින් බෙදා දීමේ වැඩසටහන යටතේ හාලිඇල ප්‍රදේශයේ ජනතාවට ලබාදුන් සහල් පරිභෝජනයට නුසුදුසු බවට චෝදනා එල්ල වෙනවා.

ඔවුන් සඳහන් කළේ එම සහල් මිටිවල කල් ඉකුත් වීමේ දින වෙනස් කරමින් නව ස්ටිකරයක් අලවා ඇති බවයි.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 24 ක් සඳහා අප්‍රේල් සහ මැයි මාසවලදී මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් බෙදාදීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර එම වැඩසටහන මේ වන විට දිවයින පුරා ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මකයි.

ඒ අනුව ඊයේ (25) දිනයේදී හාලිඇල ප්‍රදේශීය ලේකම් කාර්යාලය මගින් එම ප්‍රදේශයේ අඩු ආදයම් ලාභී පුද්ගලයින් 20,000 කට ආසන්න පිරිසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් බෙදා දුන්නා.

කෙසේ වෙතත් එලෙස ලබාදුන් සහල් කැදලි බවට පත්ව ආහාරයට නුසුදුසු බව පවසමින් සහල් ලබාගත් පුද්ගලයෙකු විසින් එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණ පැමිණිලි කළා.

සහල් ලබාගත් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුම චෝදනා කළේ අදාළ සහල් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බවටයි.

මෙම සහල් අඩංගු අසුරණවල කල් ඉකුත් වීමේ දිනය සඳහන් කර ඇති ස්ථානයේ වෙනත් දිනයක් සඳහන් කරමින් ස්ටිකරයක් අලවා ඇති අතර, 2024 අප්‍රේල් මස 05 වනදා කල් ඉකුත් වීමට නියමිත සහල්වල අදාළ දිනය නව ස්ටිකරය මගින් 2025 අප්‍රේල් සම 08 වනදා ලෙස වෙනස්කර තිබෙනවා.

මෙම ගැටලු‍ව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් බලධාරීන් නිසි පියවර ගත යුතු බවයි.

මේ අතර මෙම ගැටලු‍ව පිළිබඳව හාලිඇල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දැනුවත් කිරීමෙන් අනතුරුව පරිභෝජනයට නුසුදුසු සහල් ලබා දුන් පුද්ගලයින්ට අලු‍තින් සහල් ලබාදීමට පියවර ගෙන ඇති බවයි ජනාධිපති උපදේශක කීර්ති තෙන්නකෝන් සඳහන් කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *