48 cc යතුරු පැදි අලෙවි ව්‍යාපාරික ස්ථාන 04 වටලයි

48 cc යතුරු පැදි අලෙවි ව්‍යාපාරික ස්ථාන 04 වටලයි


48 cc යතුරු පැදි අලෙවි ව්‍යාපාරික ස්ථාන 04 වටලයි

(25.04.2024 – 23:23 +0530 – hirunews.lk/sinhala)

48 cc ලෙස මෙරට ලියාපදිංචි කළ නොහැකි ‘ස්කූටි වර්ගයේ යතුරු පැදි’ මෙරටදී එකලස් කර අලෙවිකර, ජනතාව මුදල් ගසා කෑ ව්‍යාපාරික ස්ථාන 04 ක් වටලා, විකිණීමට සුදානම් කර තිබු යතුරුපැදි 41 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාල වැටලීම් කුරුණෑගල, වාරියපොළ, මාස්පොත හා නාත්තන්ඩිය ප්‍රදේශයේදී අද සිදුකෙරුණේ ‘හිරු සී.අයි.ඒ.’ ලබාදුන් තොරතුරු මතයි.

මෝටර් රථ මෙන්ම යතුරුපැදි තවමත් මෙරට ගෙන්වීමට අවසර නොමැති පසුබිමක් තුල කුරුණෑගල ප්‍රදේශයේ වාහන අංගන තුල යතුරු පැදි අමතර කොටස් ගෙන්වා එකලස් කර විකිණීමේ මහා පරිමාන ජාවාරමක් සිදු කර ගෙන යන බව පසුගිය මාර්තු මාසයේ 21 හා 22 යන දෙදින තුල අප ‘හිරු සී.අයි.ඒ.’ හරහා හෙළි කළා.

48 cc වර්ගයේ යතුරු පැදි ලෙස හදුන්වා ඊට බෝඩ් ලෑල්ලක් ද සවි කර දෙන මෙම ව්‍යාපාරිකයන් පාරිභෝගික ජනතාවට මේ සඳහා ලියාපදිංචි අංක ලබාගැනීමක් අවශ්‍ය නොවන බව පවසා මුලා කරනවා.

කෙසේ වෙතත්, මෙම ජාවාරමට හසු වු පුද්ගලයන් ‘හිරු සී.අයි.ඒ.’ හමුවේ පැවසුවේ මෙම යතුරු පැදි මාර්ගවල ධාවනයේදී පොලිසිය යතුරු පැදිකරුවන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

මෙම යතුරු පැදි ජාවාරමට හසුවන පුද්ගලයන්ට අවසානයේ තම මුදල් ද අහිමි කරගෙන නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදු වුව ද කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ මේවා අලෙවිකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවීම පුදුමයට කරුණක්.

අප අවස්ථා කිහිපයකදී මෙරට පාරිභෝගියන් රැකීමට බැඳී සිටින ආයතනවලට මෙන්ම ‘ශ්‍රී ලංකා රේගු බලධාරීන්’ගේ ද අවධානය මීට යොමුවිය යුතු බව පැවසුවද ජනතාව මුලාවේ දමන 48 cc ස්කූටර් ජාවාරමට එම ආයතන හරහා නීතිය ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක්.

එවන් පසුබිමක් තුල පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ‘වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ’ අධ්‍යක්ෂවරයා සහ ස්ථානාධිපතිවරයා සැලසුමක් සකස් කළා.

ඒ අනුවයි එම ඒකකයේ බුද්ධි අංශ නිලධාරීන් යොදවා යතුරුපැදි අලෙවිසැල් සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කර තිබුනේ.

ඒ අනුව ‘වලාන බුද්ධි අංශ නිලධාරීන්’ ලබාදුන් තොරතුරු මත කුරුණෑගල, මාස්පොත, වාරියපොල හා නාත්තන්ඩිය යන ප්‍රදේශවල නීති විරෝධීව එකලස් කොට අලෙවි කිරීමට සුදානම් කර තිබු ‘ස්කූටි වර්ගයේ යතුරු පැදි’ 41 ක් හා අධි වේග යතුරු පැදි දෙකක් (2) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කලේ අදාල යතුරු පැදිවල වටිනාකම රුපියල් කෝටි 2 කට අධික බවයි.

මෙම යතුරු පැදි ජාවාරම මෙහෙයවන මහමොළකරු මේ වනවිට කුරුණෑගල ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

+


ඇල්ල කරඳගොල්ල දහය කණුව ප්‍රදේශයේ නාය යෑමක්

(25.04.2024 – 23:44 +0530 – hirunews.lk/sinhala)

ඇල්ල කරඳගොල්ල දහය කණුව ප්‍රදේශය නාය යෑමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් චෝදනා කරන්නේ උමා ඔය ජලාශයේ උමඟට ජලය පිරවීමත් සමඟ මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

මේ වන විට නිවාස අටක (8) ජනතාව මෙම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර, නාය යන භූමියේ රොන්මඩ ගලා යන අයුරුද දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් අප කළ විමසීමකදී ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ පවසන්නේ මෙම තත්ත්වයට ‘උමා ඔය ව්‍යාපෘතියේ’ බලපෑමක් නොමැති බවයි.

මෙම ප්‍රදේශය කලක සිට නායයෑමේ අවදානමක් පවතින බව හඳුනාගත් ප්‍රදේශක් බවද ඔවුන් සඳහන් කළා.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙසද ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ දන්වා සිටිනවා.

+


මාන්කුලම් වසන්තනගර් හන්දියේදී යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක් වී සෙබළෙකුට දිවි අහිමි වෙයි

(26.04.2024 – 09:24 +0530 – hirunews.lk/sinhala)

මාන්කුලම් වසන්තනගර් හන්දියේදී මාන්කුලම් දෙස සිට කිළිනොච්චිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යුද හමුදා සෙබලුන් රැගත් කැබ් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් කැබ් රථයේ පිටුපස ගමන් කළ හමුදා සෙබලෙක් (1) රථයෙන් විසි වී ගොස් පිටුපසින් පැමිණි ලොරියේ ගැටී බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව තිබුණා.

තවත් සෙබළුන් 09 ක් තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත්කර තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇහැටුවැව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 39 ක් වන යුද හමුදා සෙබළෙක්.

ඔහුගේ මෘත ශරීරය මේ වනවිට කොලිනොච්චිය රෝහලේ තැන්පත්කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර මාන්කුලම පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴

+++++++++

+


ජූලි මාසයේ සිට ඔන්ලයින් ක්‍රමයට වෙන්දේසි

(26.04.2024 – 10:14 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන ජූලි 25 වැනිදා සිට අන්තර්ජාලය හරහා වෙන්දේසි කිරීම ක්‍රියාත්මක කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බව
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා.

රාජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (25) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදීයි.

විවිධ ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් ඔන්ලයින් වෙන්දේසි කිරීම මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව පැවසූ ඔහු ශ්‍රී ලංකා රේගුවේ සියලුම වෙන්දේසි අන්තර්ජාලය හරහා පැවැත්වීමේ වගකීම මේ වන විට රේගු දෙපාර්තමේන්තුව භාරගෙන ඇති බවයි පවසා සිටියේ.

මෙම නව ක්‍රමය හරහා රජයට නිසි ආදායමක් ලබා ගැනීමට මෙන්ම රන් ඇතුළු භාණ්ඩ තරගකාරී මිලකට ලබාගැනීමේ විවෘත අයිතියක් ජනතාවට ලබාදීමට හැකිවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ ෴


‘හරක්කටා’ ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට (3) එරෙහි නඩුව ලබන මස 15 වනදා කැඳවීමේ තීරණයක්

(26.04.2024 – 10:56 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට (3) එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන මස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියෝග කළා.

එදිනට අදාළ නඩුවේ අධිකරණය මගහැර සිටින විත්තිකරුවෙකුට අදාළව එම විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යෑම පිළිබඳ සාක්ෂි විභාගය පවත්වන බවයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත එහිදී නියෝග කළේ.

+

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට කොළඹ අලුත්කඩේ අංක 3 අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (26) නියෝග කර තිබෙනවා.

හිමිනම සමඟ අත්අඩංගුවේ පසු වූ අනෙක් සැකකරුවන් සිව් දෙනා (4) ද එම ඇප කොන්දේසි මතම මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට බාධාකිරීමේ සිද්ධියක් සම්බන්ධව උලපනේ සුමංගල හිමි ඇතුළු පස් දෙනෙකු (5) පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි පැල්පත් නිවාස කීපයක් අධිකරණ නියෝගයක් මත ඉවත් කිරීමට යාමේදී ඊට බාධා කළ බවට ඔවුන්ට එරෙහිව පැමිණිල්ල විසින් චෝදනා ගොනු කර තිබුණා ෴

+


වෛද්‍ය කපිල වික්‍රමනායකගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය 30 වැනිදා දක්වා කල් යයි

(26.04.2024 – 11:27 +0530 – hirunews.lk/sinhala)

මහත් ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රමිතියෙන් තොරව ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය සැපයීම අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායකගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය මේ මස 30 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (26) නියම කළා.

මෙම ඉල්ලීමට අදාළ නියෝගය අද (26) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

නමුත් එම නියෝගය ප්‍රකාශ කිරීම මේ මස 30 වනදා සිදු කරන බවයි අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් නියෝග කර සිටියේ ෴


සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මැයි අගට පෙර

(26.04.2024 – 11:33 +0530 – hirunews.lk/sinhala)

මෙවර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස දෙවන (2) සතියේ පැවැත්වීමට නියමිත අතර ඊට පෙර 2023 වර්ශයේ සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

අද (26) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මැයි මස අවසානයට පෙර සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතයි ෴


‘මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ’ විදෙස් සමාගම් දෙකකට (2) පැවරීමට කැබිනට් අනුමැතිය

(26.04.2024 – 12:49 +0530 – hirunews.lk/sinhala)

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය ඉන්දියාවේ Shaurya Aeronautics pvt ltd සහ රුසියාවේ Russia’s Airports of Regions Management company සමාගම වෙත පැවරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

එම පැවරීම, වසර 30 ක කාලයක් සඳහා බවයි සඳහන් වන්නේ ෴


කායික සබඳතාවක් නැතිව ගැබ්ගත් දැරියට වැඩිදුර වෛද්‍ය විමර්ශන

(26.04.2024 – 12:54 +0530 – hirunews.lk/sinhala)

කායික සබඳතාවක් නොමැතිව 13 හැවිරිදි දැරියකගේ කුසේ දරු ගැබක් පිහිටීම පිළිබඳව සමාජය තුළ විශාල කතාබහක් ඇති වී තිබෙනවා.

මේ අතර එම දැරිය වැඩිදුර වෛද්‍ය විමර්ශන සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව පොලිසිය සහ වෛද්‍යවරුන් විමර්ශන කිරීමෙන් පසු දැරිය ගැබ්ගැනීමට හේතුව අනාවරණය නොවූ නිසා වැඩිදුර විමර්ශන සඳහා ඇය මෙසේ කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි අදාළ දැරිය කායික සබඳතාවයක් නොමැතිව ගැබ්ගැනීමක් සිදු වූ බවට‍යි පොලිසිය සහ කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා කළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *