සලේ සම්බන්ධයෙන් අද (10) කැඳවූ නඩු විභාගයේ සාරාංශය

සලේ සම්බන්ධයෙන් අද (10) කැඳවූ නඩු විභාගයේ සාරාංශය


සලේ සම්බන්ධයෙන් අද (10) කැඳවූ නඩු විභාගයේ සාරාංශය

(10.06.2026 – 21:56 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා, රැදවුම් භාරයේ සිටියදී වධහිංසාවට පත්ව ඇත්දැයි සොයාබැලීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත්කිරීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව අද (10) යළි කැඳවිණි.

එහිදී සිය නියෝගය ප්‍රකාශයට පත්කරමින් කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා සඳහන් කළේ, සම්පූර්ණ නියෝගය පිටු 17 කින් සමන්විත බවය.

“පූර්වගාමී මහෙස්ත්‍රාත්තුමා අප්‍රෙල් 22 වැනිදා ලබාදී ඇති නියෝගය 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 9 (ආ)(3) වගන්තියෙන් මහේස්ත්‍රාත්වරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව සැකකරු වධහිංසාවට ලක්ව ඇති බවට වන පදනමේ සිට ලබාදී ඇති බව විත්තියේ ලිඛිත දේශනයේ සඳහන් කර තිබෙනවා.

නමුත් කරුණු සලකා බැලීමේදී පෙනී යනවා එම නියෝගය සැකකරු වධහිංසාවට ලක්ව ඇති බවට මතයක් සහිතව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයක් නොවන බව.

සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුවුණු පෙබරවාරි 25 වනදා සිට එම නියෝගය නිකුත් කළ අප්‍රේල් 22 වැනිදා දක්වා සැකකරු කෲර අමානුෂික වධහිංසාවට ලක්ව ඇති බවට නිශ්චිත අනාවරණයක් වී නැහැ. මැයි 20 මා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදීත් මා ඉදිරියේ කෲර අමානුෂික වධහිංසාවට ලක්වූ බවට කරුණු ඉදිරිපත් කෙරුණේ නැහැ”.

එමෙන්ම පූර්වගාමි මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග ප්‍රකාරව මින් පෙර අධිකරණය කැඳවා ඇති මානසික වෛද්‍ය වාර්තාවක් සම්බන්ධයෙන් ද මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගය තුළ කරුණු පැහැදිලි කළේය.

“පූර්වගාමි මහෙස්ත්‍රාත්වරයා සැකකරු පෝෂණවේදියෙකු, අක්ෂි විශේෂඥයෙකුට සහ මානසික විශේෂඥයෙකුට යොමුකරන්න කියලා නියෝගයක් කරලා තියෙනවා. එහිදී අංගොඩ මුල්ලේරියාව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ මානසික විශේෂඥ වෛද්‍ය සී.ජී.කේ. ප්‍රනාන්දු නිකුත් කළ වාර්තාවේ මෙම සැකකරු මානසික වධදීමකට ලක්ව ඇති බව සඳහන් වෙනවා.

ඒ වගේම මානසික රෝග කිහිපයක් තිබූ බවත් සඳහන්. එසේම සැකකරුගේ බාහිර තුවාල නිරීක්ෂණය නොවුණු බවත් ඔහු තමන්ට එරෙහිව ඉදිරිපත්කර ඇති චෝදනා අවබෝධ කරගනිමින් නඩු විභාගයකට මුහුණදීමට සුදුසු තත්ත්වයක සිටින බවත් එම වාර්තාවේ සඳහන් වුණා.

නමුත් එම වාර්තාව සම්පූර්ණ වාර්තාවක් නොවන බවත් තවදුරටත් සම්පූර්ණ පරීක්ෂණයක් කළයුතු බවටත් එහි නිර්දේශ කර තිබෙනවා. කොහොම නමුත් මේ විශේෂ වෛද්‍ය වාර්තාවට එම වෛද්‍යවරයා විතරයි අත්සන් කර තිබෙන්නේ. පරීක්ෂා කිරීමට සහභාගි වූ සෙසු වෛද්‍යවරුන් සිව්දෙනා (4) අත්සන් කර නැහැ.

ඒ වගේම ඔවුන් විශේෂඥ වෛද්‍යවරුනුත් නොවෙයි. මෙම වාර්තාව නිකුත් කළ දිනය ලෙස සඳහන් වෙන්නේ අප්‍රේල් 21. නමුත් වාර්තාව කැඳවන ලෙස නියෝගය කර තිබෙන්නෙත් අප්‍රේල් 22″.

ඒ අනුව මෙම සියලු කරුණු සලකා බලා රැඳවුම් භාරයේ සිටියදී සැකකාර සුරේෂ් සලේ වධහිංසාවට ලක්ව ඇත්දැයි පරික්ෂා කිරීමට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රකාශ කළේය.

“මෙම කරුණු සලකා බැලීමේදී සැකකරු රැඳවුම් භාරයේ සිටියදී වධහිංසාවට ලක්ව ඇත්දැයි පරික්ෂා කිරීමට පංච විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට අධිකරණය තීරණය කරනවා.

පැමිණිල්ලේ යෝජනාව වුණේ ඒ පිළිබඳ පරික්ෂා කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හරහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පත්කරන්න කියලා. නමුත් විත්තිය ඊට විරුද්ධ වුණා. එබැවින් අධිකරණය විසින් ස්වාධීන පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පත්කරනු ලබනවා”.

ඒ අනුව සුරේෂ් සලේ මහතා රැඳවුම් භාරයේ සිටියදී වධහිංසාවට ලක්ව ඇත්දැයි පරික්ෂා කිරීමට අධිකරණය පත්කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විශේෂඥ මානසික වෛද්‍යවරුන් තිදෙනෙකු (3) ගෙන් සහ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) ගෙන් සමන්විතය.

එහි සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය තුසිත මෙන්ඩිස් මහතා පත්කළ අතර සෙසු සාමාජික විශේෂඥ වෛද්‍යවරුන් වන්නේ චිත්තාහරි අබේනායක, දසන්ති අක්මීමන, දුලෙයිකා අමරසිංහ වාස් සහ වජිර ධර්මවර්ධනය.

ඒ අනුව අදාළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට සුරේෂ් සලේ මහතා කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පරික්ෂාවට ලක්කර ඉදිරි නඩු දිනට ප්‍රථම වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණය නියෝග කළේය.

නඩුව ජුලි මස 01 වනදා යළි කැඳවීමට නියමිතය.

+


පානීය ජල බෝතල් නව ගැසට්ටුව අනුව, උපරිම සිල්ලර මිල සීමා ඉහළට

(10.06.2026 – hirunews.lk)

පානීය ජල බෝතල් නව ගැසට්ටුව අනුව, උපරිම සිල්ලර මිල සීමා ඉහළට දමා තිබෙනවා. ඒ අනුව,

  • මිලිලීටර් 500 ත් මිලිලීටර් 999 ත් අතර : රුපියල් 10 කින්, (නව මිල රු. 80)
  • ලීටර් 1 ත් ලීටර් 1.499 ත් අතර : රුපියල් 20 කින්, (නව මිල රු. 120)
  • ලීටර් 1.5 ත් ලීටර් 1.999 ත් අතර : රුපියල් 20 කින්, (නව මිල රු. 150)
  • ලීටර් 2 ත් ලීටර් 2.499 ත් අතර : රුපියල් 20 කින්, (නව මිල රු. 180)
  • ලීටර් 5 ත් ලීටර් 6.999 ත් අතර : රුපියල් 50 කින්, (නව මිල රු. 400)

ඉහළ දමා තිබෙනවා ෴


සලේ කියන්නේ මුස්ලිම් ජාතිකයෙක් – අපි මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා (10.06.2026)

+


ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ සිරකරු අයිතිවාසිකම් | අලුත් පාර්ලිමේන්තුව | 2025.06.10

+


උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්

(10.06.2026 – hirunews.lk)

2026 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් වෙනුවෙන් අයැදුම්පත් කැඳවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊට අදාලව ඊයේ (09) වැනිදා සිට අයැදුම්පත්‍ර කැඳවීම විවෘත කර තිබෙන අතර ජුනි 22 එහි අවසන් දිනය බව සඳහන්.

මේ අනුව එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා
https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ මාර්ගගතව අයැදුම්පත්‍ර කැඳවීම සිදුකෙරෙනවා ෴


දේශීය ආදායම් (සංශෝධන) පනතින් හිඟ බදු පොලී මුළුමනින්ම කපා හැරීමටත් පියවර : ප්‍රධානතම සංශෝධන සහ බදු නීති වෙනස්කම් මෙන්න!

(10.06.2026 – hirunews.lk)

2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය ජූනි මස 03 වැනිදා කථානායකවරයා විසින් නිල වශයෙන් සහතික කර ජූනි 05 වැනිදා ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර එම නව කෙටුම්පත පිළිබඳව කේ.පී.එම්.ජී. (KPMG Sri Lanka) විසින් බදු විශ්ලේෂණ වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ජූනි 08 වැනිදා නිකුත් කරන ලද විශේෂ නිල වෙබ් නිවේදනයක් මඟින්, මෙම නව සංශෝධන පනතේ 42 වැනි වගන්තිය ප්‍රකාරව බදු ගෙවන්නන් සඳහා හිඟ බදු පොලී මුළුමනින්ම කපා හැරීමේ සහනදායී ක්‍රියාවලිය ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම සමස්ත නව සංශෝධන පනත මඟින් ලංකාවේ පවතින බදු අනුපාත, බදු ගෙවන්නන්ගේ වගකීම් සහ බදු අනුකූලතා පටිපාටි රැසක සුවිශේෂී වෙනස්කම් සිදුකර තිබෙනවා.

එම වැදගත්ම බදු සංශෝධන, සහන සහ නීතිමය වෙනස්කම් පිළිබඳ සම්පූර්ණ විස්තරය පහත පරිදි වේ :

  1. හිඟ බදු පොලී මුළුමනින්ම කපා හැරීම (Interest Relief for Late Payments) :

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ පැනවූ ආදායම් බදු (මීට රැඳවුම් බදු / AIT, උපයන විට බදු / APIT, ප්‍රාග්ධන ලාභ බදු, පේෂණ බදු සහ රාජ්‍ය නොවන සංවිධාන බදු ඇතුළත් වේ), 2022 අංක 14 දරන පනත යටතේ පැනවූ සර්චාජ් බදු (Surcharge Tax) සහ 2018 අංක 35 දරන පනත යටතේ පැනවූ ණය ප්‍රතිපූරණ බදු (Debt Repayment Levy) වෙනුවෙන් ප්‍රමාද වී හෝ අඩු බදු ගෙවීම් නිසා පනවා ඇති සියලුම හිඟ පොලී මුදල් මුළුමනින්ම නිදහස් කරනු ලැබේ.

මෙම පොලී සහනය ලබා ගැනීම සඳහා අදාළ බදු තක්සේරුවට (ස්වයං-තක්සේරු හෝ පෙරනිමි තක්සේරු ඇතුළුව) අදාළ සම්පූර්ණ මූලික බදු මුදල (Principal tax amount) පනත සහතික කළ දින සිට (03.06.2026) මාස 6 ක් ඇතුළත, එනම් 2026 දෙසැම්බර් මස 02 වැනිදාට (02.12.2026) හෝ ඊට පෙර සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කළ යුතුය.

පනවා ඇති දඩ මුදල් (Penalties) ලිහිල් කරගැනීම සඳහා සාධාරණ හේතු දක්වමින් ලිඛිතව ඉල්ලීමක් කළ යුතු අතර, ගෙවීමට නියම වන යම් දඩ මුදලක් වේ නම් එය ද දෙසැම්බර් 02 වැනිදාට පෙර පියවිය යුතුය. මෙම සහනය වලංගු වන්නේ 2024/2025 තක්සේරු වර්ෂය දක්වා සහ ඊට පෙර වර්ෂවලට අදාළ හිඟ බදු සඳහා පමණි.

මේ වන විටත් මූලික බදු මුදල ගෙවා අවසන් කර ඇති අය ද මීට සුදුසුකම් ලබන අතර, 2026 ජූනි 03 වැනිදාට පෙර ‘පොලී’ ලෙස සිදුකර ඇති ගෙවීම් නැවත ආපසු ලබා නොදේ (Non-refundable). දැනට බදු විගණන (Tax Auditing) හෝ අභියාචනා (Appeals) මට්ටමේ පවතින බදු ආරවුල් සහිත බදු ගෙවන්නන්ට ද අදාළ බදු මුදල් නියමිත දිනට පෙර පියවා මෙම සහනය ලබාගත හැකි අතර, අභියාචනය තමන්ට වාසිදායක වුවහොත් මාස 6ක් ඇතුළත ප්‍රතිපූරණ (Refund) ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිය.

  1. ප්‍රාග්ධන ලාභ බදු (Capital Gains Tax – CGT) අනුපාත ඉහළට :

පුද්ගලයන් (Individuals) සහ හවුල් ව්‍යාපාර (Partnerships) සඳහා පනවා තිබූ 10% ක ප්‍රාග්ධන ලාභ බදු අනුපාතය 15% දක්වා ඉහළ නංවා ඇත.

භාර (Trusts), යුනිට් ට්‍රස්ට් (Unit Trusts), අන්‍යෝන්‍ය අරමුදල් (Mutual Funds) සහ රාජ්‍ය නොවන සංවිධාන (NGOs) සඳහා එම බදු අනුපාතය 30% දක්වා ඉහළ දමා තිබේ.

ප්‍රාග්ධන ලාභයක් උපයාගත් දින සිට දින 30 ක් ඇතුළත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත බදු ගෙවා වාර්තා (Retus) ඉදිරිපත් කළ යුතු අතර, එය ස්වයං-තක්සේරුවක් (Self-assessment) ලෙස සලකනු ලබයි.

  1. වැටුප් හිඟ මුදල් සඳහා බදු සහන (Tax Credit for Salary Arrears) :

2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, යම් සේවකයෙකුට එකවර හිඟ වැටුප් (Salary arrears) ලැබුණහොත්, එම හිඟ මුදල් වෙනුවෙන් විශේෂ බදු සහනයක් (Tax credit) හිමිවන අතර, එය එම වර්ෂයේ උපයන විට බදු (APIT/Employment Income Tax) වෙනුවෙන් හිලව් කරගත හැක.

  1. මෝටර් රථ විකිණීමේ ලාභ බදුවලින් නිදහස් කිරීම :

2024 අප්‍රේල් 01 වැනිදා සිට වලංගු වන පරිදි, ‘වෙනත් ආදායම්’ (Other income) ගණනය කිරීමේදී පුද්ගලික මෝටර් රථ විකිණීමෙන් හෝ බැහැර කිරීමෙන් ලබන ප්‍රාග්ධන ලාභ (Gains from disposal of motor vehicles) බදු ගණනය කිරීමෙන් මුළුමනින්ම ඉවත් කර ඇත.

  1. ව්‍යාපාර සඳහා දිරිගැන්වීම් සහ ප්‍රාග්ධන දීමනා (Capital Allowances) :

2026 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ක්ෂය වන වත්කම් වෙනුවෙන් (අස්පර්ශනීය වත්කම් හැර) ඇමරිකානු ඩොලර් 250,000 සිට ඩොලර් මිලියන 3 දක්වා ආයෝජනය කරන, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමත ව්‍යාපාර සඳහා 100% ක වර්ධිත ප්‍රාග්ධන දීමනාවක් (Enhanced Capital Allowance) හිමිවේ.

  1. රඳවා ගැනීමේ බදු (WHT / Advance Income Tax) විෂය පථය පුළුල් කිරීම :

මෙතෙක් රඳවා ගැනීමේ බදුවලට හසු නොවූ ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් නව පනත මඟින් WHT බදු ජාලයට ඇතුළත් කර තිබේ. ඒ අනුව පුද්ගලික පුහුණුකරුවන් (Personal trainers), කලාකරුවන්, නළුවන්, නර්තන ශිල්පීන්, ගායකයන්, සංගීතඥයන්, උත්සව සංවිධායකයන් (Event organizers), ඡායාරූප ශිල්පීන් (Photographers), වීඩියෝ ශිල්පීන්, රූපලාවන්‍ය ශිල්පීන් (Beauticians), සූපවේදීන්, විදුලි කාර්මිකයන්, පශු වෛද්‍යවරුන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයන් (IT specialists), සමාජ මාධ්‍ය විශේෂඥයන් (Social media specialists), සන්නාම තානාපතිවරුන් (Brand ambassadors), ක්‍රීඩකයන්, උපදේශකයන්, ලේඛකයන් සහ පරිවර්තකයන් ඇතුළු වෘත්තිකයන් රැසක් මීට ඇතුළත් වේ. බදු රඳවා ගන්නා ආයතන/පුද්ගලයන් විසින් අදාළ වෘත්තිකයාට කිසිදු අය කිරීමකින් තොරව WHT සහතික නිකුත් කිරීම අනිවාර්ය කර ඇත.

  1. බදු වාර්තා ගොනු කිරීමේ (Retu Filing) නව නීති :

බදු ගෙවන්නන් විසින් මෙතෙක් ඉදිරිපත් කළ යුතු වූ ‘ඇස්තමේන්තුගත බදු ප්‍රකාශය’ (Statement of Estimated Tax Payable – SET) ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය 2026 අප්‍රේල් 01 සිට මුළුමනින්ම ඉවත් කර ඇත.

2025 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක වන පරිදි, තමන්ගේ ආදායම අත්තිකාරම් පුද්ගල ආදායම් බදු චක්‍ර​​​​​​​​​​​​​​ (APIT) වලට පමණක් යටත් වන සහ වාර්ෂික පොලී ආදායම රුපියල් 5,000ට අඩු පුද්ගලයන් බදු වාර්තා (Tax Retus) ගොනු කිරීම අවශ්‍ය නොවේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තමන්ගේ බදු වාර්තා ලිඛිතව මෙන්ම පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් භාවිතයෙන් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට (Electronically) ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා ඇත.

  1. අනිවාර්ය TIN අංක අවශ්‍යතාවය සහ රහස්‍යභාවය ඉවත් කිරීම:

නව පනත අනුව බදු හඳුනාගැනීමේ අංකය (TIN) තවදුරටත් රහස්‍ය තොරතුරක් ලෙස සලකනු නොලැබේ. 2026 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු ගිණුමක් ආරම්භ කිරීම, ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගැනීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, මෝටර් රථ ලියාපදිංචිය හෝ වාහන බලපත්‍ර අලුත් කිරීම, ඉඩම් ලියාපදිංචිය සහ සමාගම් කොටස් හුවමාරු කිරීමේදී TIN අංකය පරීක්ෂා කිරීම අදාළ නිලධාරීන්ට අනිවාර්ය කර ඇත.

  1. බදු පැහැරහරින්නන්ට සහ නීතිය කඩකරන්නන්ට දැඩි දඬුවම් :

2026 අප්‍රේල් 01 සිට වලංගු වන පරිදි බදු පැහැර හරින පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළත් සහතිකයක් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බලය පවරා ඇත. (නමුත් පරිපාලන සමාලෝචනයක් හෝ අභියාචනයක් පවතින අවස්ථාවලදී මෙලෙස සහතික නිකුත් කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ). බදු වාර්තා ඉදිරිපත් නොකිරීම, TIN ලියාපදිංචි නොකිරීම හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තු කැඳවීම් පැහැර හැරීම යටතේ වරදකරු වුවහොත් රුපියල් 400,000 දක්වා දඩයක්, මාස 6 ක සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවිය හැක.

  1. ඉවත් කරගත් / සංශෝධනය වූ යෝජනා:

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු වූ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින ලියකියවිලි සැපයීම සඳහා පනවා තිබූ මාස 6 සහ මාස 9 ක දැඩි කාලසීමාවන් (Mandatory timelines) පනතෙන් මුළුමනින්ම ඉවත් කරගෙන තිබේ.


හෙරොයින් කිලෝවක් සහ අයිස් කිලෝ 5ක් සමඟ අයෙක් මාට්ටු

(11.06.2026 – 07:23 +0530 – sinhala.adaderana.lk)

හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (10) රාත්‍රියේ බොරලැස්ගමුව පොලිස් වසමේ වේරහැර ප්‍රදේශයේදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී මෙම මත්ද්‍රව්‍ය සොයා ගත් බවය.

ඒ අනුව ‘හෙරොයින්’ කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 80 ක් හා ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 24 ක් සමඟ 42 හැවිරිදි වේරහැර, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරු විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධවී මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බවට අනාවරණය වන වී ඇති අතර බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *