දුම්රිය සාමාන්‍යාධිකාරිගේ හදිසි මරණය ගැන සැකයක්

දුම්රිය සාමාන්‍යාධිකාරිගේ හදිසි මරණය ගැන සැකයක්


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ හදිසි මරණය ගැන සැකයක්

(23.04.2024 – 22:42 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාරගේ මරණය සැක සහිත බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, ඔහු මියගොස් සිටි කාමරයේ නාන කාමරයේ සහ ස්ථාන කිහිපයක ලේ පැල්ලම් කිහිපයක් තිබීම හේතුවෙන්.

මේ අනුව, දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණය ස්වාභාවික මරණයක්ද නැත්නම් ඝාතනයක්ද යන්න අනාවරණය කර ගැනීම සදහා කඩිනමින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි සාක්ෂි ලබන මස 14 වනදා අධිකරණයට දන්වන ලෙසයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

දුම්රිය සාමාන්‍යාධිකාරිගේ සිරුර දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර ධර්මපාල මාවතේ සංචාරක බංගලාවේ කාමරයක තිබී අද (23) අලුයම සොයාගත්තා ෴


මාලිමාවේ ආර්ථික දැනුමට සුජීවගෙන් ‘හයේ පහරක්’

(23.04.2024 – 17:37 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජන බලවේගයට ආර්ථිකය සම්බන්ධව කිසිඳු දැනුමක් නොමැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසනවා.

පැවති සෑම රජයකම කොටස්කරුවන්ව සිටි ජනතා විමුක්ති පෙරමුණ සමග ආ‍ර්ථිකය සම්බන්ධයෙන් සහ දැනුම සම්බන්ධයෙන් කතා කලහොත් මේ රට දියුණු කලහැකි දැනුමක් හෝ කණ්ඩායමක් ඔවුන්ට නොමැති බව ජනතාවට තේරුම් ගැනීමට හැකිවනු ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

+


අඹුසැමි යුවලක් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ලේඛන සැකසූ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(23.04.2024 – 18:20 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ රියදුරු බලපත්‍ර ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කළ අඹුසැමි යුවලක් ලෙසට පෙනී සිටි දෙදෙනෙකු (2) බදුල්ලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ල පොලිසිය සඳහන් කළේ 43 හැවිරිදි අදාළ සැකකරු සහ 23 හැවිරිදි සැකකාරිය බදුල්ල, දළඇළ පාර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි.

ඔවුන් ආගරපතන සහ පුහුල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව සඳහන්.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකරුවන් විසින් සකස් කරන ලද ව්‍යාජ ලේඛන කිහිපයක් සහ රුපියල් 1,70,000 ක මුදලක්ද පොලිස් භාරයට ගැනුණා ෴


පසුගිය වසර දෙකේ (2) උගතුන් ලක්ෂ 25ක් රට හැර ගිහින්

(23.04.2024 – 19:42 +0530 – hirunews.lk/sinhala)

පවතින ආර්ථික තත්වය හමුවේ පසුගිය වසර දෙකක (2) කාලය තුළ දී 2,565,365 කට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙනවා.

ඒ අනුව, 2022 වසරේදී 1,127,758 දෙනකු සහ 2023 වසරේදී දහ 1,437,607 දෙනෙකු විදේශගතව තිබෙනවා.

මේ අතර, 2022 වසරේදී පමණක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3,789 ක් බවයි සඳහන් වන්නේ.

ඉන් වැඩිම ප්‍රමාණයක් කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් එවනු ලැබූ විදේශ විනිමයයි.

ඒ, අමෙරිකානු ඩොලර් මිලියන 139.7 ක් බවයි සඳහන් වන්නේ ෴


දියතලාවේ ධාවකයන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීම ගැන සංගම්වලට ප්‍රශ්නයක්

(23.04.2024 – 21:37 +0530 – hirunews.lk/sinhala)

‘ෆොක්ස් හිල් සුපර්ක්‍රොස්’ ධාවන තරගාවලිය අතරතුර සිදු වූ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු ප්‍රධානත්වයෙන් යුත් 07 දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර ප්‍රකාශ කළේ විපතට පත් පිරිසට වන්දි ලබාදීමට ද කටයුතු කරන බවයි.

මෙම අනතුරේදී අට (08) හැවිරිදි දැරියක් ඇතුලු 07 දෙනෙකු මිය ගිය අතර තවත් 18 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

පොලිසිය සදහන් කළේ ඉන් පුද්ගලයින් 10 දෙනෙකු බදුල්ල මහ රෝහලේත් තවත් 08 දෙනෙකු දියතලාව රෝහලේත් ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර, අනතුර සම්බන්ධයෙන් ඊයේ (22) අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා (02) මේ මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කටයුතු කෙරුණේ.

එමෙන්ම ‘ෆෝඩ් ලේසර්’ සහ ‘මැස්ඩා රේසින්’ ධාවක සංගමයේ ලේකම් යූ.සී. පෙරේරා සහ එම සංගමයේ සාමාජික මෝටර් රථ ධාවක මහේෂ් කෝදාගොඩ ‘හිරු ප්‍රවෘත්ති’ වෙත අදහස් දක්වමින් කියා සිටියේ ධාවන පථයේ සැකැස්ම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් පවතින බවයි.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ මෙම ධාවකයන් දෙදෙනා (2) අත්අඩංගුවට ගත්තේ මූලික පරීක්ෂණ කටයුතු සඳහා වන බවයි.

මේ අතර, අදාළ අනතුරින් පසු ‘ෆොක්ස් හිල් ජර්නි’ නමින් පැවති ‘ඩී.ජේ. රාත්‍රිය’ යුද හමුදාවේ හෝ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ අනුග්‍රහයකින් තොරව සංවිධාන කරන ලද්දක් බව යුද හමුදාව අද (23) නිවේදනය කළා ෴

++++++

‘ෆොක්ස් හිල් ධාවකයින්’ ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

(23.04.2024 – 22:31 +0530 – sinhala.adaderana.lk)

‘ෆොක්ස් හිල් සුපර්ක්‍රොස්’ තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට (7) මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව ධාවකයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව ‘සුපර්ක්‍රොස් ධාවකයින්ගේ සංගමය’ පවසයි.

‘ෆොක්ස් හිල් සුපර්ක්‍රොස්’ තරගාවලියේදී ඊයේ (22) පුද්ගලයන් හත් දෙනකුට (7) මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අදාළ මෝටර් රථ දෙකේ (2) රියදුරන් දෙදෙනා (2) ඊයේ (22) පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඔවුන් දෙදෙනාව අප්‍රෙල් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

ඒ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ‘සුපර්ක්‍රොස් ධාවකයින්’ කැඳවා තිබූ හමුවකින් අනතුරුව ඔවුන් මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ‘සුපර්ක්‍රොස් ධාවකයින්ගේ සංගමයේ’ අනුශාසක සජාජ් ජුහේර් :

“ධාවන පථය ආරක්ෂාකාරීව සෑදීම සහ නරඹන්නන් කළමණාකරණය කිරීම සංවිධායකයින් සතු කාර්යයක්. අපට ඒකෙදි මොකුත් කරන්න බැහැ. අපිට කරන්න තියෙන්නේ රේස් කාර් එකේ නැගලා රේස් කරන්න. රියදුරන්ව අත්අඩංගුවට ගැනීම හරිම අසාධාරණයි. පොලීසියෙන් කියන්නේ ‘කහ කොඩිය’ට අවනත නොවීම කියලයි. අපි ‘කහ කොඩිය’ දැක්කම වේගය පාලනය කරගත යුතුයි. එකපාරට කොඩිය පෙන්නුවාට පාලනය කරගන්න බැහැ. කලින් කාර්එක පෙරලුන වෙලාවේ ‘රතු කොඩිය’ යොදන්න තිබුණා. කාර් හැප්පුනේ පාරෙන් එළියට ගිහින් නෙවෙයි. කාර් හැප්පුනේ ‘ට්‍රැක්’ එකේදි. කට්ටිය ට්‍රැක් එකේ හිටපු එකේ වරදක් මිස රියදුරන් එළියට ගියේ නැහැ. ජීවිත නැතිවීම ගැන අපිට හරිම දුකයි. මේකට වගකියන්න ඕන රියදුරන් නෙවෙයි. වරද කරපු අය වගකීම ගන්න; වෙන අයගේ ඇඟේ යවන්න එපා” ෴


හිඟුරක්ගොඩ පුද්ගල ඝාතනයක්

(23.04.2024 – 22:16 +0530 – sinhala.adaderana.lk)

හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී ධීවරයන් පිරිසක් අතර හටගත් ගැටුමක් දුරදිග ගොස් සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවූ එම ප්‍රදේශයේම පදිංචි ධීවරයෙකි.

මෙම සිදුවීමත් සමඟ ඝාතන සැකකරුගේ නිවසට කිසියම් පිරිසක් පහරදී අලාභහානි සිදුකර ඇති අතර එහි ආරක්ෂාව සඳහා පොලිසිය කැඳවා තිබුණි ෴


‘දණගස්වන කල්ලිය’ නිසා ප්‍රදේශ රැසක ජනතාව බියෙන්

(23.04.2024 – 20:16 +0530 – sinhala.adaderana.lk)

මහමග ගමන් කරන කතුන් ඇතුළු පුද්ගලයින්ට මන්නා පෙන්වමින් දණ ගස්වා කොල්ලකන කල්ලියක් හේතුවෙන් පානදුර, ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාස තුළ භීතියක් නිර්මාණය වී තිබේ.

අදාළ කොල්ල කල්ලිය ගතවූ මාසයක (1) කාලය ඇතුළත කොල්ලකෑම් 40 ක් පමණ සිදුකර ඇති බවට වාර්තාවෙයි.

මෙම කල්ලිය පිළිබඳව මොරගහහේන, කැස්බෑව, පිළියන්දල, බොරලැස්ගමුව, කහතුඩුව, කඩුවෙල, තෙබුවන ආදී ප්‍රදේශවලින් පොලීසියට පැමිණිලි ලැබී තිබේ.

ඔවුන් එලෙස යතුරුපැදියක් පැහැරගන්නා අවස්ථාවක CCTV දර්ශනද අපවෙත ලැබී තිබේ.

මෙලෙස පැහැරගන්නා යතුරුපැදිවලින් තවත් ප්‍රදේශවලට ගොස් කොල්ලකෑම්වල නිරතවී යතුරුපැදි අතරමග අත්හැර දමා යන බවද පැවසෙයි.

එසේම එක් අවස්ථාවක කොල්ලකරුවන් රන් භාණ්ඩ කොල්ලකා පළායාමේදී ප්‍රදේශවාසීන් පිරිසක් ඔවුන් ලුහුබැඳ යන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද අපවෙත ලැබී ඇත.

මේ අතර බණ්ඩාරගම සහ මොරන්තුඩුව පොලිස් ස්ථාන මගින් සැකපිට කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගෙන තිබුණද කොල්ලකෑම් මේ වනවිටත් ක්‍රියාත්මක බව ප්‍රදේශවාසීන් පවසයි.

+


හෙට (24) ජනතා අයිතියට පැවරෙන උමා ඔය ව්‍යාපෘතිය

(23.04.2024 – 13:18 +0530 – sinhala.adaderana.lk)

‘ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි මහතා’ හෙට (24) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට භාරදීමේ උත්සවයට සහභාගී වීම සඳහාය.

ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි.

ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන එම බහුකාර්ය ව්‍යාපෘතිය කිලෝමීටර් 24 ක දිගින් යුක්තය.

‘පුහුල්පොල ජලාශයේ’ සිට භූගත නල මාර්ග ඔස්සේ කිලෝමීටර් 4 ක දුරක් ‘ඩයරබා ජලාශය’ වෙත ජලය රැගෙන යන අතර පසුව ‘ඩයරබා ජලාශයේ’ සිට එම ජලය කිලෝමීටර් 15.5 ක දිගකින් යුත් භූගත මාර්ගයක් හරහා ‘පවර්හවුස් බලාගාරය’ වෙත රැගෙනු ලබයි.

මෙරට ජාතික විදුලි පද්ධතියට එමගින් එක් කිරීමට නියමිත විදුලි ධාරිතාව මෙගාවොට් 120 කි.

එමෙන්ම එම ව්‍යාපෘතිය හරහා බණ්ඩාරවෙල, බදුල්ල සහ මොනරාගල යන ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය සහ බදුල්ල සහ මොණරාගල ප්‍රදේශවල කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ජලය සැපයීම ද සිදුකෙරේ.

එම ව්‍යාපෘතිය සඳහා වැයවූ සමස්ත මුදල ඩොලර් මිලියන 514 ක් වන අතර ව්‍යාපෘතිය ආරම්භ කළ කාලසීමාව තුළදී ඉන් ඩොලර් මිලියන 450 ක මුදලක් ඉරාන රජයෙන් මෙටට ලබාදීමට එකඟවී තිබුණි.

නමුත් ඉරාන රජය ඩොලර් මිලියන 50 ක මුදලක් එහිදී ලබාදීමෙන් පසුව ඇතිවූ සම්බාධක ගැටලු හේතුවෙන් ආදාළ සම්පූර්ණ මුදල් මෙරට රජය වෙත ලබාදීමට ඉරාන රජයට නොහැකිවිය.

පසුව එම ව්‍යාපෘතියේ පිරිවැය දරමින් එය මේ දක්වා ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා රජය හරහාය.

2015 වසරේදී එම බහුකාර්ය ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබූ අතර පැනනැගුණු දේශාපාලන, ආර්ථික සහ සාමාජීය ගැටලු හේතුවෙන් එම ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක කිරීමට සිදුවුණි.

ඒ අනුව වසර 13 කට පසුව ‘උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය’ නිල වශයෙන් මහජනතාවට භාරදීම හෙට (24) දිනයේ සිදුවීමට නියමිතය.

ඒ සඳහා වන උත්සවයට ‘ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රසියි මහතා’ සහභාගීවනු ඇත.

++++++++

හෙට (24) විවෘත වන උමා ඔය ජලවිදුලි ව්‍යාපෘතියේ ටර්බයිනයක නම ‘දසුනි’; ‘දසුනි’ කියන කතාව (23.04.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *