මොරගහහේනේ දී වෙඩි කෑ අයගේ අනන්‍යතාවය හෙළිවෙයි

මොරගහහේනේ දී වෙඩි කෑ අයගේ අනන්‍යතාවය හෙළිවෙයි


මොරගහහේනේ දී වෙඩි කෑ අයගේ අනන්‍යතාවය හෙළිවෙයි

(23.04.2024 – 10:38 +0530 – hirunews.lk/sinhala)

අද (23) අලුයම් කාලයේ මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේ පොලිස් වෙඩි පහරකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) මියයෑමේ සිදුවීම පිළිබඳව පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මීගොඩ පොලිස් වසමේ බෙරුකැටිය හංදිය අසල මාර්ග බාධක රාජකාරි යෙදී සිටි නිලධාරීන් විසින් දොම්පේ සිට පැමිණි ත්‍රීරෝද රථයක් නතර කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී අණ නොතක පොලිස් නිලධාරින්ට වෙඩි තබා මොරගහහේන දෙසට පලාගොස් ඇති බවයි.

අනතුරුව ඒ සම්බන්ධයෙන් අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර එහිදී මොරගහහේන පොලිස් වසමේ මෙහෙයුම් රාජකාරි යෙදී සිටි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හට මෙම පණිවුඩය ලැබීමෙන් පසු පළා යමින් සිටි ත්‍රීරෝද රථය මොවුන් විසින් නැවැත්වීමට සංඥා කර තිබෙනවා.

එම අවස්ථාවේ දී ත්‍රීරෝද රථය අණ නොතකා පළා යෑම හේතුවෙන් එම නිලධාරීන් විසින් ලුහුබැඳ ගොස් ඇති අතර ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ලුහුබැඳ පැමිණි ජීප් රථය ත්‍රීරෝද රථය සමීපයට පැමිණ නතර කරනවාත් සමඟම ත්‍රීරෝද රථයේ පුද්ගලයෙක් ජීප් රථය දෙසට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේදී නිලධාරීන් කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකුට (2) වෙඩි වැදී අතර ඔවුන් රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මත්තේගොඩ ප්‍රදේශයේ පදින්ංචි අවුරුදු 36 ක් වූ ‘ඉමේෂ් ධනුෂ්ක’ නම් පුද්ගලයෙක් වන අතර අනෙක් පුද්ගලයා වන්නේ තණමල්විල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42 ක් වන ‘සුරාජ් ප්‍රබෝධ’ නම් පුද්ගලයෙක්.

මියගිය ‘ඉමේෂ්’ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් වන අතර යුධ හමුදාවෙන් පලා ගිය පුද්ගලයෙකු බවයි වාර්තා වෙන්නේ.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම මත ඔහු මිරිහාන, මත්තේගොඩ, මොරගහහේන ප්‍රදේශවලදි අත්අඩංගුවට පත්ව සිටි බවයි වාර්තා වෙන්නේ.

ඔහු සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේ දී ‘අයිස්’ හා ‘ගංජා’ ළඟ තබාගැනීම පිළිබඳව පිළියන්දල, තලංගම හා තණමල්විල යන පොලිස් වසම්වල 2017 වර්ෂයේ සිට අත්අඩංගුවට පත්වු අයෙක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

2023 අගෝස්තු 04 වන දින කඳාන පොලිස් වසමේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇත්තේ ද මෙම පුද්ගලයා බවට තොරතුරු ලැබී තිබෙනවා.

මොරගහහේන පොලිසිය විසින් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴


රුපියල් කෝටි 13 ක් වැය කළ පාස්කු විවාදය නැවතත් පාර්ලිමේන්තුවට

(23.04.2024 – 12:03 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳ දින තුනක (3) විවාදයක් හෙට (24) සිට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

හෙට (24) පෙරවරු 09:30 සිට 10:30 දක්වා ‘අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥාපනත යටතේ නියෝග’ විවාදයට ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදය ආරම්භ කිරීමට නියමිතයි.

මෙම විවාදය සඳහා යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂයෙන් වන අතර මීට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳ රුපියල් කෝටි 13 ක වියදමකින් දින 11 ක් පුරා පාර්ලිමේන්තු විවාදයක් පවත්වා තිබේ ෴


වැළලූ රන් භාණ්ඩ සොයා කැණීම් කළ 05 ක් දැලේ

(23.04.2024 – 12:35 +0530 – hirunews.lk/sinhala)

මන්නාරමේ සිලාවතුර කොක්තුපරයාන් වනයේ කොටි සංවිධානය වැළලූ රන් භාණ්ඩ සොයා කැණීම් කිරීමට පැමිණි පුද්ගලයින් පස් දෙනෙක් (5) නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගනු ලැබ මන්නාරම පොලිසියට භාර දී තිබෙනවා.

සැකකරුවන් අතරින් එක් අයෙක් (1) අනුරාධපුර ප්‍රදේශයේ සේවය කරන සැරයන්වරයෙකු බවයි පැවසෙන්නේ.

සිලාවතුර පොලිසිය විසින් මෙම සිදුවීම පිළිබඳව විමර්ශන පැවැත් වූ අතර එහිදී හෙළි වී ඇත්තේ මෙම කැණීම් සඳහා පොලිස් ස්ථානාධිපතිවරයෙක්ද පැමිණ ඇති බවයි ෴


තැඹිලි ගෙඩියක් රුපියල් 200 පනී

(23.04.2024 – 13:19 +0530 – hirunews.lk/sinhala)

පවතින වියළි කාලගුණයත් සමඟ වෙළඳපොළේ තැඹිලි ගෙඩියක මිල රුපියල් 220 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තැඹිලි සඳහා පවතින ඉල්ලුම ඊට හේතු වී ඇති බවටයි වෙළඳපොළ ආරංචි මාර්ග සදහන් කළේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ තැඹිලි ගෙඩියක තොග මිල රුපියල් 100 ත් 140 ත් අතර අගයක පවතින අතර ඇතැම් ස්ථානවල රුපියල් 250 ඉක්මවා අළෙවි කෙරෙන බවයි වෙළදුන් කියා සිටියේ ෴


විවාදයට ‘මාලිමා’ව දුන්න දවස් හතරටම (4) අපි එකඟ නෑ

(23.04.2024 – 13:55 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජන බලවේගය විසින් අනුර – සජිත් විවාදය සඳහා දින නියම කරමින් සමගි ජන බලවේග මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ලබන මැයි මස 07, 09, 13 හෝ 14 යන දිනවලින් එක් දිනයක විවාදය පැවැත්විය හැකි බවයි.

කෙසේ නමුත් මීට පිළිතුරු ලබාදෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කළේ ජාතික ජන බලවේගය ලිපිය මගින් දන්වා ඇති දින හතරටම (4) එකඟ විය නොහැකි බවයි.

එම දින හතර (4) තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කලින් යොදාගෙන තිබෙන සමුළු, ‘සක්වළ වැඩසටහන්’ වැනි දේශපාලන වැඩකටයුතු හේතුවෙන් අදාළ දින හතර (4) තුළ විවාදයට එකඟ විය නොහැකි බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

අනුර – සජිත් විවාදය පවත්වන දිනය ඒක පාර්ශිකව තීරණය කළ නොහැකි බවත් දෙපාර්ශවයම එකට සාකච්ඡා කර දිනයක් යොදාගත යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴

නලින් බංඩාර විසින් ආර්ථික ක්ෂේත්‍රයේ විවාදයකට එන්න කියා සහෝදරයන්ට අභියෝග කළ අවස්ථාවේ ආර්ථික විශේෂඥයන්ගේ විවාදයෙන් ⁣සහෝදරවරු පැන ගොස්, නායකයන් අතර විවාදයකට එන්න කියා නැවත අභියෝග කර ඇති බවත්, මැයි මාසය තුළ මේ විවාද දෙකටම සමගි ජන බලවේගය සුදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායාකවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ‘සක්වල සුහුරු පන්ති කාමර’ ලබා දීමේ වැඩසටහනේ 163 වැනි අදියර යටතේ අද (23) හම්බන්තොට වීරකැටියේ ඕකන්දයාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

ආර්ථික විශේෂඥයන් මෙන්ම නායකයෝ අතර විවාද දෙකටම සූදානම් බවත් මින් පැන නොයන ලෙසත් මේ අභියෝග දෙකම බාර ගන්නා ලෙසත් නිවටයෝ ලෙස පැන නොයන ලෙසත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන්කර සිටියා.

ජනතාවට කයිවාරුව, බොරුව සෝබනය ඔලුගෙඩි විජ්ජා එපා වී ඇති බව පැවසූ විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ කතාවට මෙන්ම වැඩටද සමගි ජන බලවේගය සූදානම් බවත් එම නිසා බියක් නැති බවයි ෴


අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් හෙට (24) යළි ඇරඹේ

(23.04.2024 – 14:16 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු හෙට (24) සිට යළි ආරම්භ වනවා.

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන (2) අදියර ඒ අනුව හෙට (24) ආරම්භ වන අතර එය ලබන මැයි මස තුන්වනදා (03) දක්වා ක්‍රියාත්මකයි.

පළමු (1) වාරයේ තුන්වන (3) අදියර ලබන මැයි මස 20 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ ෴


චමරි අතපත්තු නැවතත් අංක එක (1)ට

(23.04.2024 – 14:27 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණි ගතකිරීම්වල පළමු (1) ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු යළිත් සමත්ව තිබෙනවා.

ශ්‍රේණි ගතකිරීම්වල ඇය හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 773 ක්.

මීට පෙර එක්දින ශ්‍රේණි ගතකිරීම්වල පළමු (1) ස්ථානය හිමිකරගෙන සිටියේ එංගලන්ත කණ්ඩායමේ නැටලි ස්කයිවර් බ්‍රන්ට්.

ඊට පෙර පසුගිය වසරේදීද චමරි අතපත්තු මෙම ශ්‍රේණිගතකිරීම්වල පළමු (1) ස්ථානය හිමිකරගෙන සිටියා ෴


29 සහ 30 දිනවල දී ‘කොන්සියුලර් සේවා’ තාවකාලිකව අත්හිටුවයි

(23.04.2024 – 14:40 +0530 – hirunews.lk/sinhala)

මැයි 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ‘විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය’ බත්තරමුල්ල, ‘සුහුරුපාය’ නව පරිශ්‍රය වෙත ගෙන යාමට නියමිතයි.

ඒ අනුව ‘කොළඹ කොන්සියුලර් කටයුතු අංශය’ මගින් සපයනු ලබන ලිපි ලේඛන සත්‍යාපන සේවාවන් එළඹෙන අප්‍රේල් 29 සහ 30 යන දිනවල දී මහජනතාව සඳහා තාවකාලිකව අත්හිටුවනු ලැබෙනවා ෴


උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූවන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දීර්ඝ කෙරේ

(23.04.2024 – 15:32 +0530 – hirunews.lk/sinhala)

ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූවන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබෙනවා.

හැඳුනුම්පත් නිකුත් කිරීම පසුගිය මාර්තු මස 31 වෙනි දින දක්වායි ක්‍රියාත්මක වී තිබුණේ.

උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වී ඇති පුද්ගලයින් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වී ඇති බවයි සඳහන් වන්නේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කාල සීමාව දීර්ඝ කරදෙන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉදිරිපත් වී තිබූ ඉල්ලිම් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ෴


කොහොමද??ගැහිලි – චාමර සම්පත් ලේස්තිවෙන්න!!!වසන්ත සියල්ල හෙළිකරයි.. (22.04.2024)

+


විරෝධතාවකට අධිකරණයෙන් තහනම් නියෝගයක්

(23.04.2024 – 16:46 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු වට රවුම අසල දී හෙට(24) පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂණය සිදු කිරීම වළකවාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, වැලිකඩ පොලිසිය විසින් සිදුකළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

එහිදී ‘ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල්’ හා එම සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයින් හා වෙනත් තැනත්තන් ඇතුළු සියලු සහභාගී වන්නන්ට එරෙහිවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව, වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුමේ අශ්‍රීතව මාර්ගය අවහිර වන ලෙස පෙළපාලි පැවැත්වීම, මහජනතාවට හා පදිකයින්ට අවහිරයක් වන සේ බාධා කිරීම රාජ්‍ය නිලධරීන්ගේ රැකියාවට බාධ කිරීම ඇතුළු කරුණු කිහිපයක් තහනම් කරමිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ෴


කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැඩි ආරක්ෂාවක්

(23.04.2024 – 17:28 +0530 – hirunews.lk/sinhala)

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි හෙට (24) සිදුකරන ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඔහු සඳහන් කරේ කොළඹට මෙන්ම ප්‍රදේශ කිහිපයකටම මෙලස ආරක්ෂාවක යොදා ඇති බවයි.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඒකාබද්ධව විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනය පරිදි ආචාර්ය ඊබ්‍රහිම් රයිසි නිල ද්විපාර්ශ්වික සංචාරයක නිරත වීමට නියමිතයි.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම හෙට (24) ට යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉරානය විසින් අරමුදල් සපයන ලද උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120 ක විදුලිය උත්පාදනයක් එක් කිරීමට නියමිතයි ෴

හෙට (24) මත්තල සිට උමා ඔය දක්වා සහ සවස කොළඹ කොටුව අවට මාර්ග කිහිපයක් වසා තැබෙනවා.

ඒ, ඉරාන ජනපති පැමිණීම නිසා හේතුවෙන් මෙම මාර්ග කිහිපය වසා තැබෙන බවයි සඳහන් වන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ පස්වරු 2 සිට 3 දක්වා කාලය තුළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *