9 හැවිරිදි පාසල් සිසුවෙක් මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වෙයි

9 හැවිරිදි පාසල් සිසුවෙක් මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වෙයි


9 හැවිරිදි පාසල් සිසුවෙක් මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වෙයි

(11.04.2024 – 16:01 +0530 – hirunews.lk/sinhala)

මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී කෝච්චියේ හැපී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරටුව මොරටුවැල්ල ක්ලෝවියස් මාවතේ පදිංචිව සිටි 04 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

දරුවා සිය මවට හොරෙන් පාපැදි පැදීමට ගිය අවස්ථාවේ දී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වෙන්නේ.

දරුවා පාපැදිය පදවාගෙන යමින් සිටියදී කොළඹ සිට ගාල්ල දෙසට දුම්රියක් ධාවනය කිරීමට නියමිත වූ නිසා දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වසා දමා තිබෙනවා.

එම අවස්ථාවේදී මෙම දරුවා තම පාපැදිය නතරකරගෙන සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කළ දුම්රිය ධාවනය වීමෙන් අනතුරුව දුම්රිය හරස් ගේට්ටු විවෘත කිරීමට පෙර දරුවා පාපැදිය දුම්රිය මාර්ගය හරහා පදවා ඇති බවයි සඳහන් වෙන්නේ.

එම අවස්ථාවේ දී බෙලිඅත්ත සිට නුවර බලා ගමන් ගන්නා දුම්රිය අනෙක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී ඇති අතර එම දුම්රියේ දරුවා ගමන් ගත් පා පැදිය ගැටී තිබෙනවා.

දුම්රියේ ගැටුණු දරුවා මීටර් කිහිපයක් ඉදිරියට ඇදී ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ දරුවා රෝහල් ගත කරන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

+


මැදවච්චියේ තරුණයෙකුට පහර දීමේ සිදුවීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

(11.04.2024 – 16:59 +0530 – hirunews.lk/sinhala)

මැදවච්චිය පොලිසියේ නිලධාරීන් විසින් කළ බව කියන පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබු තරුණයාගේ සිදුවීමට අදාළව පොලිසියේ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවාල ලැබු තරුණයා පැවසුවේ තමන් තවත් මිතුරෙක් සමඟ කුඩා ලොරි රථයකින් ගමන් කරමින් සිටියදි පසුපස හඹා ආ පොලිස් නිලධාරීන් පිරිසක් රථය නවත්වා තමන්ට පහරදුන් බවයි.

පහරදීමෙන් එම තරුණයාගේ වෘෂණ කෝෂයකට දැඩි හානි සිදුව තිබු අතර, අනුරාධපුර ශික්ෂණ රෝහලේ දි කරන ලද සැත්කමකින් එම වෘෂණ කෝෂය ඉවත් කිරීමට පියවර ගත් බව පහරකෑමට ලක් වු තරුණයාගේ මව සඳහන් කළා.

+


මදුරුවන්ගෙන් බෝවන මාරාන්තික වෛරසයක්

(11.04.2024 – 17:56 +0530 – hirunews.lk/sinhala)

2024 වසරේ පළමු වරට බටහිර ඕස්ට්‍රේලියාවේ පිල්බරා ප්‍රදේශයේ මදුරුවන්ගෙන් බෝවන මාරාන්තික වෛරසයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

Murray Valley encephalitis නම් මෙම වෛරසය සොයා ගැනීමත් සමඟ එරට බලධාරීන් පවසන්නේ මදුරු ග්‍රහණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම මාරාන්තික වෛරසය ශරීරගත වීමත් සමඟ උණ, නිදිබර ගතිය, හිසරදය, ඔක්කාරය සහ කරකැවිල්ල ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

වෛද්‍ය ජාඩින් ප්‍රකාශකර සිටියේ “පිල්බරා ප්‍රජාවට සහ ප්‍රදේශයට යන සංචාරකයින්ට මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමෙන් මෙම අවදානම අඩු කර ගත හැකි බවයි” ෴


තෙල් සංස්ථාවෙන් සහතිකයක්

(11.04.2024 – 18:10 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමය තුළ ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව සදහන් කළේ, ඉන්ධන ඉල්ලුම සපුරාලීම සදහා අවශ්‍ය ඉන්ධන තොග ප්‍රධාන පර්යන්ත හා ප්‍රාදේශීය ගබඩාවල ප්‍රමාණවත්ව පවතින බවයි.

එමෙන්ම ඉන්ධන බෙදා හැරීම සදහා ප්‍රමාණවත් ටැංකි රථ යෙදවීමට ද කටයුතු යොදා ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා ෴


දයාසිරි ජයසේකර ගෙන් හෙළිදරව්වක්

(11.04.2024 – 20:10 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු‍ දෙනා හෙළි කරන බව එම පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

කොළඹ අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නිදහස් පක්ෂය විනාශ කිරීමට පක්ෂයේ හිටපු නායකයින් ඇතුළු පාර්ශව රැසක් උත්සහ දරන බවයි.

+


මාතර තිහගොඩ ප්‍රදේශයේ හෝටලයකට පැන්න තිහගොඩ පොලීසියට චෝදනාවක්

(11.04.2024 – 20:29 +0530 – sinhala.adaderana.lk)

මාතර තිහගොඩ ප්‍රදේශයේ හෝටලයකට පැමිණි තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් එහි හිමිකරු සහ ඔහුගේ මවට පදනම් විරහිත චෝදනා සිදුකර අත්අඩංගුවට ගත් බව හෝටලයේ හිමිකරු පවසයි.

මාතර තිහගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම හෝටලයට ඉකුත් පළමු වනදා (01) තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පැමිණ තිබුණි.

ඒ හෝටලය තුළ නීතිවිරෝධීව මත්පැන් ජාවාරමක් සිදුකළ බවට චෝදනා කරමිනි.

මෙහිදී හෝටලයේ හිමිකරුගේ මව අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූයේ දැඩි උණුසුම් තත්ත්වයකි.

එහිදී පොලිස් නිලධාරීන් විසින්, හෝටලයේ හිමිකරුගේ මව නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය සහ හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේත් හෝටලයේ හිමිකරු රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේත් අත්අඩංගුවට ගෙන තිබුණි.

තිහගොඩ පොලී‍සිය සඳහන් කළේ, එම ස්ථානයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් එකහමාරක් (1½) සහ හෝටලයේ හිමිකරුගේ මව සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 700 ක් ද පොලිස් භාරයට ගත් බවය.

කෙසේවෙතත් හෝටලයේ හිමිකරු චෝදනා කරන්නේ මාතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ උසස් නිලධාරියෙකුගේ බලපෑම මත තමන්ට සහ තම මවට තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පදනම් විරහිත චෝදනා එල්ලකර ඇති බවය.

මේ සම්බන්ධයෙන් තිහගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කළේ එම හෝටලය තාවකාලිකව වසා දමා ඇති බවත් මීට පෙරද හෝටලයේ හිමිකරුගේ මවට එරෙහිව මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කිහිපයක්ම පවතින බවත්ය.

ඒ අනුව හෝටලයේ හිමිකරු සහ ඔහුගේ මව පසුගියදා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී හෝටලය හිමිකරුගේ මව හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර හෝටලයේ හිමිකරු ඇප මත මුදාහැර ඇත.

අදාළ හෝටලයේ හිමිකරු :

“මට කිව්වා චානක… මේ ටයිල් ටික ගෙදරට අල්ලගන්න දෙන්න කියලා. ASP මහත්තයා කොයිවෙලාවෙත් කෝල් කරලා අර ටයිල් ටික ඉල්ලලා වදේ. ටයිල් ටික දෙන්න විදියක් නැහැ. රුපියල් ලක්ෂ 12 ක් විතර වටිනවා. හෝටලය පරීක්ෂා කරන්න ඇවිත්. සාක්කුවෙන් අරන් පොඩි බෝතලයක් තිබ්බා. කැමරාවේ තියෙනවා. කුඩු පොඩ්ඩක් කිව්වලු දැම්මේ. බෙහෙත් පෙති කුඩුයි… මදුරු කොයිල් කුඩුයි ලු දැම්මේ.”

+


නීතිවිරෝධීව රැගෙන ආ භාණ්ඩ රැසක් කටුනායකදී හසුවෙයි

(11.04.2024 – 17:14 +0530 – sinhala.adaderana.lk)

ඉන්දියාවේ සහ ඩුබායි සිට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු (3) කටුනායකදී අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ තීරුබදු නොගෙවා රේගුවට ප්‍රකාශ නොකර භාණ්ඩ තොගයක් රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබේ.

එහිදී විදේශීය මත්පැන් බෝතල් 111 ක්, දුම්වැටි තොගයක්, පරිගණක උපාංග රැසක් තිබී සොයාගෙන ඇත.

සැකකරුවන් ශ්‍රී ලාංකිකයන් වන අතර ඔවුන් කොළඹ 13 සහ මස්කෙළිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

+++++++++

+


ගවයින් ප්‍රවාහනය කළ ලොරියට පොලීසියෙන් වෙඩි

(11.04.2024 – 08:26 +0530 – sinhala.adaderana.lk)

කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩිතබා තිබේ.

පොලීසිය පැවසුවේ, ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට මෙලෙස වෙඩි තබා ඇති බවය.

අද (11) අලුයම 04:30 ට පමණ කනංකේ රජමහා විහාරය අසල ප්‍රදේශයේදී ගවයෙක් ලොරි රථයකට පටවනු නිරීක්ෂණය කළ රාත්‍රී ජංගම සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් දොලේලියද්ද ප්‍රදේශයේදී එම ලොරි රථය නැවැත්වීම සඳහා නියෝග කර තිබේ.

කෙසේ වෙතත් ලොරි රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පොලිස් නිලධරීන් රථයට වෙඩි තබා තිබුණි.

එහිදී ලොරි රථයේ සිටි එක් (1) පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනෙකු (2) පළාගොස් තිබේ.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ගින්තොට, මාපුගල ප්‍රදේශයේ පදිංචි ‘මොහොමඩ් සියාම්’ නම් පුද්ගලයෙකි.

සැකකරු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

+


වෛද්‍ය උපාධිය මුදලට දීමේ කුමන්ත්‍රණය – අධ්‍යාපනය ආපස්සට යන ලක්ෂණ (11.04.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *