හිටපු ජනපති මෛත්‍රීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ විමර්ශනය කරන්නැයි මහජන ආරක්ෂක ඇමති ගෙන් පොලිස්පතිට නියෝග

හිටපු ජනපති මෛත්‍රීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ විමර්ශනය කරන්නැයි මහජන ආරක්ෂක ඇමති ගෙන් පොලිස්පතිට නියෝග


හිටපු ජනපති මෛත්‍රීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ විමර්ශනය කරන්නැයි මහජන ආරක්ෂක ඇමති ගෙන් පොලිස්පතිට නියෝග

(23.03.2024 – 18:32 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (22) සිදුකළ ප්‍රකාශය පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පතිට නියෝග කර තිබෙනවා.

අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලු දෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන ඊයේ (22) පැවසුවේ.

අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් ඊයේ (22) දින එක් වූ ඔහු අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දීයි මෙලෙස ප්‍රකාශ කරනු ලැබුවේ.

එම ප්‍රකාශයට අදාල වීඩියෝව :

+


මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් ගැන ගත් අලුත්ම තීරණය

(23.03.2024 – 07:56 +0530 – sinhala.adaderana.lk)

එළැඹෙන අප්‍රේල් 10 වනදා සිට මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළු කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල හරහා වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය, රියදුරු බලපත්‍රයේ විස්තර සහ දුරකතන අංකය යන තොරතුරු මෙම දත්ත පද්ධතියට ඇතුළු කරන බවය.

මේ අතර මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන්තොටුපොළේදීම ඒ සඳහා අයදුම්කර රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය ෴


කොළඹ නගරයේ අවදානම් ඉදිකිරීම් 150 ක්

(23.03.2024 – 08:21 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නගරයේ අවදානම් ඉදිකිරීම් 150 පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි.

ඇය සඳහන් කළේ මේ පිළිබඳ ලේඛනගත කර ඒවා ඉවත් කරන ලෙස අදාළ හිමිකරුවන්ව දැනුවත් කර ඇති බවය ෴


‘හරක්කටා’ගේ මස්සිනා සතු දේපළ ගැන විමර්ශන

(23.03.2024 – 15:23 +0530 – sinhala.adaderana.lk)

‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ගේ මස්සිනා වන ‘ගයාන් ධනුෂ්ක’ නම් පුද්ගලයාට අයත් රුපියල් කෝටි එකහමාරක (1½) පමණ වටිනාකමකින් යුත් ඉඩමක් නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් තහනම් කර තිබේ.

එම පුද්ගලයාගේ දේපළ සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශන සිදුකරයි.

එහිදී අනාවරණ වී ඇත්තේ, නුගේගොඩ පිහිටි රුපියල් කෝටි එකහමාරක (1,50,00,000) පමණ ඉඩමක් ඔහු සතුව ඇති බවය.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයෙන් අනතුරුව අදාළ ඉඩම තහනම් කර තිබේ.

ඒ අතරතුරදී ඔහුට ඇප ලැබීම හේතුවෙන් සැකකරු ජපානයට පළාගොස් තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වෙයි.

මේ අතර ‘වෙලේ සුදා’ගේ සමීපතමයන් දෙදෙනෙකුට (2) අධිකරණය වසර 7 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සහ නීතිවිරෝධීව උපයාගත් මුදලින් ලබාගත් සුඛෝපබෝගී වෑන් රථ දෙකක් (2) සම්බන්ධයෙන් සිදුකළ විර්ශනයකින් අනතුරුවය.

පසුව එම සුඛෝපභෝගී වෑන් රථ දෙක (2) ද ඊයේ (23) අධිකරණය මගින් රාජසන්තක කර තිබුණි.

මේ අතර පාතාලය මර්දන මෙහෙයුමේදී තවත් සංවිධානාත්මක අපරාධකරුවන් 11 ක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපරාධකරුවන් සංඛ්‍යාව 37 කි.

+


දෙමටගොඩින් රු. කෝටි 2 ක අයිස් මත්ද්‍රව්‍ය සොයාගනී

(23.03.2024 – 18:08 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි 02 කට ආසන්න වටිනාකමක් සහිත ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ය.

දෙමටගොඩ බේස්ලයින් පාර, සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැටලීම සිදුකර තිබුණි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඔරුගොඩවත්ත ‘චප්පා’ නමැත්තෙකි.

අනෙක් සැකකරු ත්‍රීරෝද රථයේ රියදුරා වන බොරැල්ල සහස්පුර පදිංචිකරුවෙකි.

ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1580 ක් පොලිස් භාරයට ගෙන ඇත ෴


මේ වැඩේ කරන්න බැරි අය නිලඇඳුම ගලවලා යන්න – ටිරාන් අලස්

(23.03.2024 – 18:32 +0530 – sinhala.adaderana.lk)

ඇතැම් ප්‍රදේශවල සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීමේදී පොලිස් නිලධාරීන් විසින් වැරදි තොරුතුර ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා පවසයි.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, එවැනි වැරදි තොරතුර ලබාදුන් නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

අද (23) රත්නපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ටිරන් අලස් මහතා :

“යුක්තිය මෙහෙයුම පටන් ගන්න ඉස්සරවෙලා අපි අධ්‍යයනය කරන කාලයේ අපි ප්‍රජා කමිටු පිහිටුවන වැඩේ අලුතින් කෙරුවේ. අපි අලුත් විදිහකට හිතලා… මට මතකයි සැප්තැම්බර් 30 වෙනෙකොට ඒක ඉවර කරන්න කියලා තිබුණේ. ඊට පස්සේ ඔක්තෝම්බර් 10 වෙනතුර කල් ඉල්ලුවා. මම ඔක්තෝම්බර් 10 වෙනකොට ඉවර කරන්න කිව්වා. පොලිස්පතිතුමා කිව්වා වගේ සමහර පැතිවල ඒක හරියට කරලා නැහැ. අපිට බොරු තොරතුරු දිලා තියෙන්නේ. එවැනි පොලිස් නිලධාරීන්ට විරුද්ධව ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ගය මම ගන්නවා. මොකද මේ දේ කරන්න බෑ පොලිස් නිලධාරීන් සියලුදෙනාම එකට එකතු වෙලා මේ වැඩ ටික කෙරුවේ නැත්නම්. කවුරු හරි ඉන්නවා නම් අපිට ඕනේ විදිහට මේ වැඩේ කරන්න බැරි. ඒ අය නිල ඇඳුම ගලවලා යන්න ඕනේ.”


විදුලි පංකාවක් කඩා වැටීමෙන් සිසුන් දෙදෙනෙක් (2) රෝහලේ

(23.03.2024 – 18:07 +0530 – hirunews.lk/sinhala)

සිවිලිමේ සවිකර තිබු විදුලි පංකාවක් කඩා වැටීමෙන් තුවාල ලැබූ මහනුවර ජාත්‍යන්තර පාසලක පස්වන (5) ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු (2) ඊයේ (22) මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිදුවූ අනතුරින් එක් (1) සිසුවෙකුගේ ඇසකට සහ අනෙක් (1) සිසුවාගේ හිසට තුවාල සිදුව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගිය දින කිහිපය තුළ කඩා වැටුණු සිවිලිමේ විදුලි පංකාව එහි විදුලි රැහැන්වල පැටලී පැද්දෙමින් තිබුණු බවත්, දරුවන්ට ඇති අවදානම පිළිබඳව පාසල් පාලනාධිකාරිය දැනුවත් කළද විදුලි පංකාව අලුත්වැඩියා කිරීමට කිසිවකුත් කටයුතු කර නොතිබුණු බවත් දෙමව්පියෝ පවසනවා ෴


’77න් ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව්!’ ‘ජන පෙළගැස්ම’ විශේෂ ජන සමුළුව (23.03.2024)

+


‘මහා භාණ්ඩාගාරයේ’ අනුමැතියකින් තොරව රුපියල් කෝටි 61 ක බෝනස් ‘ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය’ තම සේවකයන්ට දීලා

(23.03.2024 – 22:12 +0530 – hirunews.lk/sinhala)

‘ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය’ සේවකයන්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමට 2022 වර්ෂයේදී භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි 61 කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ‘ජාතික විගණන කාර්යාලය’ නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා.

මෙම තොරතුරු සඳහන් වන්නේ ‘ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති 2022 ක වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාව තුළයි.

මේ අනුව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට රුපියල් කෝටි 07 කට ආසන්න මුදලක්ද, වෙනත් විවිධ දීමනා ගෙවීමට රුපියල් කෝටි 54 කට වැඩි මුදලක්ද වැය කර ඇතැයි එම වාර්තාවේ සඳහන්.

මේ සම්බන්ධයෙන් විගණන නිලධාරීන්ට කරුණු දක්වන ‘ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ’ පාලනාධිකාරිය පවසන්නේ ඉහත දීමනා සම්බන්ධයෙන් භාණ්ඩාගාරයෙන් අනුමැතිය ඉල්ලූ බවයි.

ඊට සමගාමීව මුදල් අමාත්‍යාංශයේදී ඉකුත් 2022 වර්ෂයේදී මුදල් රාජ්‍ය අමාත්‍ය, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේදී ආයෝජන සංවර්ධන මණ්ඩලයේ දීමනා සහ සේවක ප්‍රතිලාභ ක්‍රම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගත යුතු බව යෝජනා කෙරුණු බවත් සඳහන් ෴


‘CIDය හිටපු ජනාධිපති මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක් ගන්නවා’ – පොලිස්පති කියයි

(24.03.2024 – 11:44 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙට (25) ප්‍රකාශයක් සටහන් කර ගන්නා බව, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලු දෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන සඳහන්කර සිටියේ.

අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් එක් වූ ඔහු අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීයි මෙලෙස ප්‍රකාශ කරනු ලැබුවේ ෴


‘මව්කිරි උගුරේ හිරවීම’ නිසා දින විසිඅටක් (28) වයස දැරියට දිවි අහිමි වෙයි

(24.03.2024 – 12:38 +0530 – hirunews.lk/sinhala)

‘මව්කිරි උගුරේ හිරවීම’ නිසා දින විසිඅටක් (28) වයස දැරියක් යාපනය ශීක්ෂණ රෝහලේදී ඊයේ (23) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනයේ කොකුවිල් බටහිර ප්‍රදේශයේ පදිංචි මවක් තම දියණියට මව්කිරි ලබා දෙමින් සිටියදී හදිසියේ ඇති වූ කැස්සක් සමග දැරිය මලානික වී ඇති බවයි වාර්තා වෙන්නේ.

වහාම ඇයව යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විට දැරිය මියගොස් සිටි බවයි රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට සිටියේ.

මෙසේ මියගොස් ඇත්තේ සසිකුමාර් ප්‍රදීපා නැමති දැරියක්.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව මියගිය දැරියගේ දේහය ඥාතීන් වෙත බාර දීමට කොකුවිල් පොලීසිය පියවර ගෙන තිබෙනවා ෴


කිරිපිටි මිල අද (24) සිට පහළට

(24.03.2024 – 12:55 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි මිල අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව, කිරිපිටි කිලෝ එකක (1) මිල රුපියල් 150 කින්ද, ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින්ද අඩු කෙරෙනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *