හෝටල් කාමරයක් තුළ කාන්තාවක් ඝාතනය කෙරේ – සැකකරු ගෙල වැලලාගෙන

හෝටල් කාමරයක් තුළ කාන්තාවක් ඝාතනය කෙරේ – සැකකරු ගෙල වැලලාගෙන


හෝටල් කාමරයක් තුළ කාන්තාවක් ඝාතනය කෙරේ – සැකකරු ගෙල වැලලාගෙන

(13.03.2024 – 07:03 +0530 – sinhala.adaderana.lk)

කාන්තාවක්ට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර සැකකරුත් ගෙල වැලලාගෙන මියයෑමේ පුවතක් පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (12) පොතුවිල් පොලිස් වසමේ ආරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක කාමරයක නවාතැන් ගෙන සිටි කාන්තාවක් එලෙස ඝාතනය වී ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 35 ක් වූ මහකළුගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

මියගිය කාන්තාව පුද්ගලයෙකු සමග හෝටලයේ කාමරයක නවාතැන් ගැනීම සඳහා පැමිණ ඇති අතර, කාමරය විවෘත නොකිරීම පිළිබඳව සැක සිතී කළමනාකරු විසින් ආරුගම්බේ පොලිස් මුරපොලේ නිලධාරීන්ට දන්වා ඔවුන් සමග කාමරයෙහි දොර කඩා විවෘත කර ඇත.

එහිදී කාන්තාවක් කාමරයේ ලේ තැවරී මියගොස් සිටි බවත් කාමරයට යාබඳව ඇති නාන කාමරය තුළ සැකකරු ගෙල වැලලාගෙන ඇති බවත් නිරීක්ෂණය වී ඇත.

එලෙස ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ 51 හැවිරිදි පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිදුවීම සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය පරීක්ෂණ පවත්වයි ෴

++++++++

+


පොලිස් සැරයන්වරයෙකු නිල ඇඳුමෙන් ‘ස්පා’ ගිහින්

(13.03.2024 – 07:39 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිල ඇඳුමින් සැරසී මහාධිකරණයට යන අතරවාරයේදී සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස් ස්ථානය වෙත රැගෙන විත් නිල ඇඳුම පොලිස් භාරයට ගෙන ප්‍රකාශ ලබාගෙන මුදා හැර තිබෙනවා.

මෙලෙස මුදා හැර ඇත්තේ දොම්පෙ පොලීසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක්.

සැරයන්වරයා මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තිබූ ලේඛන දොම්පෙ පොලිසියේ වෙනත් නිලධාරීවරයෙකු යක්කල පොලිසියට ගෙන්වා යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

යක්කල පොලිස් වසමේ නුවර පාරේ සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීම සඳහා පොලිස් නිල ඇඳුමින් සැරසී පුද්ගලයකු පැමිණ සිටින බවට යක්කල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය වෙත යවා එහි රැඳී සිටි සැරයන්වරයා යක්කල පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ ෴


හාලිඇල නිවසකට අයිස් කුට්ටියක් වැටෙයි

(13.03.2024 – 09:15 +0530 – hirunews.lk/sinhala)

හාලිඇළ – මැදගම ග්‍රාමසේවා වසමේ පිහිටි රින්පොල මොරගොල්ල වත්තේ අලුත් කොටසේ වතු නිවෙසක වහලයක් මතට ඊයේ (12) පස්වරුවේ විශාල අයිස් කුට්ටියක් වැටී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

මෙම අයිස් කුට්ටිය අදාළ නිවසට වැටෙන අවස්ථාවේ එහි කිසිවෙකුත් සිට නොමැති බවයි වාර්තා වන්නේ. නිවසේ වහලය ටකරන් වලින් ආවරණය කර ඇති අතර විශාල ශබ්දයක් නගමින් එකවරම මෙම අටිස් කුට්ටිය මෙසේ වහලය මතට වැටී ඇති බවයි ඒ අවට පදිංචිකරුවන් ප්‍රකාශ කළේ.

මෙම නිවසේ මවක සහ පුතෙකු ජීවත් වන අතර පුතු උදෑසන රැකියාව සඳහා ගොස් ඇති අතර මව අසල පිහිටි නිවසකයි සිට ඇත්තේ.

යලි ඊයේ (12) රාත්‍රි 07:30 ට පමණ මව නිවසට පැමිණි අවස්ථාවේ නිවසේ වහලයෙන් ජල බිංදු බේරෙනු දැක ඒ පිළිබඳව පුත්‍රයා දැනුවත් කර තිබෙනවා.

ඔහු නිවසේ වහලයට නැග මේ පිළිබඳ පරීක්ෂා කිරීමේදී මෙම අයිස් කුට්ටිය දැක ඇති බවයි වාර්තා වන්නේ ෴


පළාත් සභා පාසැල් මධ්‍යම රජය යටතට ගෙන ඒමට යෝජනාවක්

(13.03.2024 – 10:03 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේ දී පළාත් සභා පාසල් මධ්‍යම රජය යටතට ගෙන එන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

ඒ කොළඹ ඊයේ (12) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ෴


ගත වූ පැය 24 තුළ වැඩිම උණුසුම පුත්තලමෙන්

(13.03.2024 – 11:02 +0530 – hirunews.lk/sinhala)

අද (13) පෙරවරු 08:30 න් අවසන් වූ පැය 24 තුල වැඩිම උෂ්ණත්වය පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එම අගය සෙල්සියස් අංශක 37.9 ක්.

කුරුණෑගලින් සෙල්සියස් අංශක 37 ක උෂ්ණත්වයක් වාර්තා වන අතර හම්බන්තොටින් සෙල්සියස් අංශක 36.8 ක උෂ්ණත්වයක් වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

අදාළ කාලය තුල කොලඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 ක් ලෙස සටහන්ව තිබෙනවා.

මේ අතර, අදත් (13) බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු පළාත් සහ අනුරාධපුර, වව්නියාව, මන්නාරම සහ මොනරාගල දිස්ත්‍රික්කවල ද අවධානය යොමුකළ යුතු මට්ටමේ උෂ්ණත්වයක් පවතිනවා ෴


අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක්

(13.03.2024 – 08:02 +0530 – sinhala.adaderana.lk)

අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් මේ වන විට නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල මහතා සඳහන් කළේ වසරේ ගත වූ කාලසීමාව තුළ පරිගණක වංචා 423 වාර්තා වී ඇති බවය.

“අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් රැකියා ලබාදෙන මුවාවෙන් සිදුවන වංචා, ඒ එක්කම ‘ක්‍රිප්ටො-කරන්සි’ හරහා සිදුවුණ වංචා, පිරමීඩ වංචා ගොඩක් වෙලාවට පසුගිය වර්ෂයේ (2023) සිට මේ වර්ෂයේ (2024) ගෙවී ගිය මාස දෙක (2) තුළ වැඩිවීමක් තියෙනවා. 2023 අන්තර්ජාල වංචා 1,609 ක් අපිට වාර්තා වෙලා තියෙනවා. මේ වර්ෂය තුළ ජනවාරි මාසයේ එවැනි වංචා 110 ක් වාර්තා වෙලා තියෙනවා. පෙබරවාරි මාසයේ අන්තර්ජාල වංචා 213 ක් සහ මාර්තු මාසයේ මේ දක්වා 100 ක් වර්තා වෙලා තියෙනවා. සමහර පැමිණිවල මුදල් වංචා වාර්තා වුණාම ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීලා අපි පරිගණක අපරාධ කොට්ඨාසය වෙත යොමුකරලා තියෙනවා.”

අන්තර්ජාලය ඔස්සේ සිදුවන පරිගණක අපරාධ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල මහතා,

“අන්තර්ජාලය ඔස්සේ, තමන්ගේ නිරුවත් ඡායාරූප මුදාහරින බවට තර්ජනය කරමින් සිදුවුණ සිදුවීම් වාර්තා වෙනවා. 775 ක් 2023 වසරේ දී එවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම අන්තර්ජාලය වංචා සිදුවීම් 1609 ක් වාර්තා වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ගිණුම් සකස් කළ සිදුවීම් වාර්තා වෙනවා 5,188 ක්. කුඩා ළමුන් සම්බන්ධ සිදුවීම් 98 ක් වාර්තා වෙනවා. ඒ සමගම පුද්ගලයින් විසින් අනවසරයෙන් ගිණුම්වලට ඇතුළු වුණ අවස්ථා 7,499 ක් වාර්තා වුණා. ප්‍රතිශතයක් ලෙස අනවසර ප්‍රවේශයේ සහ ව්‍යාජ ගිණුම්වල වැඩිවීමක් දක්නට ලැබෙනවා.”


සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක

(13.03.2024 – 07:21 +0530 – sinhala.adaderana.lk)

වැටුප් ගැටලුවක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දෙවන (2) දිනටත් අද (13) ක්‍රියාත්මක වේ.

අද (13) පස්වරු 04:30 දක්වා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ සමලේකම් කේ.එල්.ඩී.ජී. රිච්මන්ඩ් මහතා සඳහන් කළේය.

“ඊයේ දහවල් 12 ට දිවයිනේ තියෙන ජාතික විශ්වවිද්‍යාල 17 ම අධ්‍යයන නොවන සේවක මණ්ඩලය සේවයෙන් ඉවත් වුණා. මෙයට ප්‍රධානම හේතුව පසුගිය ජනවාරි මාසයේ 22 වනදා සාකච්ඡාවේ දී අපිට පොරොන්දු වුණා විශ්වවිද්‍යාලවල වැටුප් කප්පාදුව නිවැරදි කරනවා කියලා. තාමත් එය නිවැරදි කරලා නෑ. ඒ නිසා වැඩවර්ජනය ක්‍රියාත්මකයි. බලධාරීන් මේකට විසඳුම් ලබාදෙන්නේ නැත්නම් අපිට සිදුවනවා ලබන සතියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වෙන්න.”


ඉදිරි ජල සහ විදුලි සැපයුම ගැන දැනුම්දීමක්

(12.03.2024 – 22:19 +0530 – sinhala.adaderana.lk)

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ තවත් මාස දෙකක (2) පමණ කාලයක් මෙම කාලගුණ තත්ත්වය පැවතියහොත් මුර ක්‍රමයට ජලය නිකුත් කිරීමට සිදුවිය හැකි බවය.

දින ගණනක් තිස්සේ තවමත් රට තුළ පවතින්නේ උණුසුම අධික කාලගුණ තත්ත්වයකි.

මේ හේතවෙන්, ජනතාව වෙනදාට වඩා විදුලිය භාවිතයට හුරුවී සිටී.

ඒ හේතුවෙන් මේ දිනවල විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

+


මට්ටක්කුලියේ වෙඩිතැබීමෙන් පසු ගෙවල් 4 කට පහරදෙයි

(12.03.2024 – 21:49 +0530 – sinhala.adaderana.lk)

අද (12) පස්වරු 05:50 ට පමණ මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීම සඳහා ඉලක්කය වූ පුද්ගලයා ඉන් ජීවිතය බේරාගත් පසු ඔහුගේ පාර්ශ්වයෙන් ගොස් නිවාස 4 කට පහරදී ඇති බව වාර්තා වෙයි.

පහරකෑමට ලක්වූ පිරිස එලෙස චෝදනා කරයි.

මෙලෙස ප්‍රහාරය එල්ල කර ඇත්තේ වෙඩිතැබීම සිදුවූ අලිවත්ත ප්‍රදේශයේම නිවාස කිහිපයක් වෙතය.

සිද්ධියට මුහුණ දුන් පාර්ශ්වය චෝදනා කරන්නේ අදාළ වෙඩිතැබීම තම පාර්ශ්වයෙන් සිදුවූ බව පවසමින් මෙම ප්‍රහාරය සිදුකළ බවය.

අද (12) පස්වරු 05:50 ට පමණ මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ නිවසකට ස්කුටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) තරුණයෙකු ඉලක්ක කර වෙඩිතබා තිබුණි.

අශාන් මදුරංග නැමති 24 හැවිරිදි පුද්ගලයෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත.

ඔහු වෙඩිතැබීමෙන් ජීවිතය බේරාගත් අතර වෙඩික්කරුවන් පළාගොස් තිබුණි.

https://www.youtube.com/watch?v=OXP409poD54

+


බෙහෙත් පෙත්තක් උගුරේ සිරවුණු දැරියක් මරුට

(12.03.2024 – 20:45 +0530 – sinhala.adaderana.lk)

බෙහෙත් පෙත්තක් උගුරේ සිරවීමෙන් සිව් (4) හැවිරිදි දැරියක් මියගොස් තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිත්තණිය විසින් ලබාදුන් බෙහෙත් පෙත්තක් දැරියගේ උගුරේ සිරවී ඇති බවය.

ඉන් සිහිසුන්වූ දැරියව මහියංගනය රෝහලට ඇතුළු කිරීමෙන් පසු පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (11) දැරිය මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඕෂධී සවින්ද්‍යා රාජපක්ෂ නමැති දැරියකි.

මව විදේශගත වීම නිසා ඇය සීයා, ආච්චි සහ සහෝදරියන් දෙදෙනා (2) සමඟ නිවසේ ජීවත්වී ඇත.

වැලිගොඩ දැමීමෙන් ජීවිකාව ගෙනයන පියා මොවුන් පදිංචි නිවස ආසන්නයේ වෙනත් නිවසක ජීවත් වන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මහියංගනය රෝහලේදී දැරියගේ උගුරේ සිරවූ බෙහෙත් පෙත්ත ඉවත්කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට මාරුකර එවා තිබුණි.

“දුවට උණ ගතියක් තිබුණා. අපේ පාරේ බස් එකක් යන්නේ පැය දෙකකට (2) වතාවක්. බෙහෙත් ගන්න යන්න බස් එක එනකල් දුවට බෙහෙත් පෙත්තක් දුන්නා. මීට පෙරත් ඇයට ඒ වගේ බෙහෙත් පෙති දීලා තිබෙනවා. බෙහෙත් පෙත්ත බිව්ව ගමන් දුවට සිහිය නැති වුණා. ත්‍රීවිල් එකකින් මහිංගනය රෝහලට අරන් ගියා. එතනදී වෛද්‍යවරු දුවගේ උගුරේ සිරවී තිබූ බෙහෙත් පෙත්ත අරන් මට පෙන්නුවා. පසුව දුවට අමාරුයි කියලා එයාව පේරාදෙණියට මාරු කළා.” දියණියගේ මිත්තණිය වන බී.ජී. සීලවතී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා හමුවේ සාක්ෂි දෙමින් පවසා සිටියාය.

ඉදිරි පරීක්ෂණ කටයුතුවල වාර්තා ලැබෙන තෙක් මරණ පරීක්ෂණය කල් තැබීමට අමල් ජයවර්ධන මහතා පියවර ගෙන තිබුණි ෴


මරණයට මොහොතකට පෙර වෙඩික්කරු සියල්ල වමාරයි

(12.03.2024 – 19:32 +0530 – sinhala.adaderana.lk)

ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඊයේ (11) පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබුණි.

සැකකරු කමන්ඩෝ බලකායේ සේවය කර 2017 දී ඉන් ඉවත් වූ ‘කල්හාර දිල්ෂාන්’ නම් කුලී ඝාතකයෙකි.

ඔහු 2023 ජූලි 20 වැනිදා තලංගම වැලිපාර ප්‍රදේශයේදී ‘ඩිලාන් රංග’ නැමැත්තා ඝාතනය කිරීම, 2023 නත්තල් දා පාදුක්කේදී ‘මන්නා රෝෂාන්’ සහ තවත් අයෙක් ඝාතනය කිරීම, 2023 සැප්තැම්බර් 25 වනදා මීගොඩ ලී බඩු වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 78 ක් කොල්ලකෑම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකි.

‘ලැඩා’ නැමැත්තා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත, නිධානයකින් ලබාගත් මැණිකක් ලබාගැනීමේ අරමුණින් අදාළ භික්ෂුව ඝාතනය කළ බව ඔහු පොලිසියට පවසා තිබේ.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්. පතිරාජසූරිය හා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී.කේ. ජයසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත විමර්ශන ක්‍රියාත්මකය.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ අත්තනගල්ල අධිකරණයේ විභාගවෙමින් පවතින නඩුවකට පැමිණෙමින් සිටින පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා ගිනිඅවි රැගෙනවිත් අත්තනගල්ල ඌරපොල යටවක ප්‍රදේශයේ කැලැබද ප්‍රදේශයක සැඟ වූ බවය.

ඒ අනුව ඊයේ (11) රාත්‍රියේ එම ගිනි අවි පෙන්වීම සඳහා සැකකරු පොලිස් කණ්ඩායමක් සමග අදාළ ප්‍රදේශයට ගිය අවස්ථාවේ සඟවා තිබූ ගිනි අවියකින් නිලධාරීන් දෙසට වෙඩි තැබීමට ඔහු උත්සාහ කළ බවත් , එහිදී පොලිසිය වෙඩි තැබීමෙන් සැකකරු මියගිය බවත් පොලිසිය පවසයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *