පිටකොටුවේ වෙළඳසැලකින් ජංගම දුරකථන සහ මුදල් සොරකම් කළ පොලිසියේ දෙදෙනෙකුට (2) වැඩ වරදී

පිටකොටුවේ වෙළඳසැලකින් ජංගම දුරකථන සහ මුදල් සොරකම් කළ පොලිසියේ දෙදෙනෙකුට (2) වැඩ වරදී


පිටකොටුවේ වෙළඳසැලකින් ජංගම දුරකථන සහ මුදල් සොරකම් කළ පොලිසියේ දෙදෙනෙකුට (2) වැඩ වරදී

(15.02.2024 – 13:29 +0530 – hirunews.lk/sinhala)

පරීක්ෂා කිරීමක් සඳහා පිටකොටුවේ ඡංගම දුරකතන අලෙවිසැලකට පැමිණි පොලිස් නිලධාරීන් එම වෙළඳසැලේ ජංගම දුරකතන සහ මුදල් සොරකම් කරගෙන ගොස් ඇති බවට එහි වෙළඳසැල් හිමිකරු චෝදනා කරනවා.

කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස්රථ නැවතුම්පොළේ ඡංගම දුරකතන අලුත්වැඩියා අලෙවිසැලකට කොටුව පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු (3) පසුගිය වසරේ නොවැම්බර් මස 24 වනදා පැමිණ තිබෙනවා.

ඒ, එම අලෙවිසැලේ සොරාගන්නා ලද ඡංගම දුරකතන ඇති බැවින් ඒවා පරීක්ෂා කිරීම සඳහායි.

එම අවස්ථාවේ අලෙවිසැලේ තිබී සොරා ගන්නා ලද ඡංගම දුරකතන සොයාගෙන තිබෙනවා.

අලෙවිසැල් හිමිකරු පවසන්නේ තමන් ඒ පිළිබඳව කිසිදු දැනුවත් වීමක් නොමැති බවයි.

එහිදී එක් පොලිස් නිලධාරියෙකු රුපියල් ලක්ෂ 02 කට ආසන්න මුදලක් සොරකම් කරන ආකාරය වෙළඳසැලේ සී.සී.ටී.වී. දර්ශනවල පටිගත වී තිබූ බවටයි වෙළදසැලේ හිමිකරු කියා සිටියේ.

මේ අතර, වේරහැර ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට පැමිණි පොලිස් නිලධාරියෙකු එහි තිබූ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වනවා.

අදාළ පොලිස් නිලධාරීයා භාණ්ඩ සොරා ගන්නා ආකාරය සී.සී.ටී.වී. දර්ශනවල ද පටිගත වී ඇති අතර සොරකමට සම්බන්ධ පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+


රේගු නිලධාරීන් අකුරට වැඩ

(15.02.2024 – 13:19 +0530 – hirunews.lk/sinhala)

වසර 04 ක් පුරා ප්‍රමාද කර ඇති උසස්වීම් කඩිනමින් ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රේගු නිලධාරීන්ගේ අද (15) උදෑසන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

රේගු නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති ගීතාංජන මඩපාත සඳහන් කළේ මේ හේතුවෙන් බහාලුම් නිශ්කාශන කටයුතු වලට බාධා එල්ල විය හැකි බවයි.

කෙසේ වෙතත් ගුවන්තොටුපලේ කටයුතුවලට සහ අපනයන ක්‍රියාවලියට එමගින් බාධාවක් සිදුනොවන බව ඔහු කියා සිටියා.

මේ අතර, සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් දින දෙකක් (2) පුරා ක්‍රියාත්මක කළ වර්ජනය අද උදෑසන අවසන් කිරීමත් සමඟ රෝහල්වල කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවනවා.

වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000 ක ඩැට් දීමනාවට සාපේක්ෂව තමන්ටත් දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් ඒකාබද්ධව ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කෙරුණේ අද (15) උදෑසන 06:30 ටයි ෴


පුත්‍රයාට වසදී පියා සියදිවි හානි කර ගනී

(15.02.2024 – 13:11 +0530 – hirunews.lk/sinhala)

මානසික ආබාධයකින් පෙළෙන තම පුත්‍රයාට කෘමිනාශක වර්ගයක් ලබා දී තමන්ද සිය දිවි හානි කරගත් පියෙකු පිළිබඳ තොරතුරු අගුණකොළපැලැස්ස – මුරවැසිහේන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මියගොස් ඇති පුත්‍රයා 25 වන වියේ පසුවන අතර පියා 50 වන වියේ පසුවන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මොවුන් දෙදෙනා (2) ඊයේ (14) පස්වරුවේ කරාපිටිය ශික්ෂණ රෝහලට ගොස් නැවත නිවසට පැමිණ තිබෙනවා.

ඉන් අනතුරුව මියගිය පුද්ගලයාගේ, බිරිඳ සහ දියණිය විහාරස්ථානයට ගොස් ඇති අතර එම අවස්ථාවේ පුත්‍රයාට කෘමිනාශක ලබාදී අදාළ පුද්ගලයාද ඒවා පානය කර සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය සඳහන් කළා ෴


‘අස්වැසුම’ දෙවන (2) අදියරට අයදුම්පත් භාර ගැනීම අද (15) ඇරඹේ

(15.02.2024 – 11:49 +0530 – hirunews.lk/sinhala)

‘අස්වැසුම’ දෙවන (2) අදියර සඳහා අයදුම්පත් භාර ගැනීම අද (15) සිට ආරම්භ කෙරුණා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කළේ, මාසයක (1) කාලයක් අයදුම්පත් භාරගන්නා බවයි.

පළමු (1) අදිරය යටතේ ලක්ෂ 20 ක් සදහා ‘අස්වැසුම’ සුභසාධන දීමනා ලබා දුන් අතර දෙවන (2) අදියර යටතේ එය ලක්ෂ 24 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ෴


නව පාසල් වාරයේ ආරම්භය ගැන විශේෂ දැනුම්දීමක්

(15.02.2024 – 11:29 +0530 – hirunews.lk/sinhala)

2023 වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වාරය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ, අධ්‍යාපන අමාත්‍යාංශය විසින්.

ඒ අනුව, තෙවන (3) පාසල් වාරය 2024 පෙබරවාරි 16 වන සිකුරාදා දිනයෙන් අවසන්වන බවයි එම නිවේදනයේ සඳහන්වෙන්නේ.

එමෙන්ම 2023 වසරේ තුන්වන (3) පාසල් වාරය හෙටින් (16) අවසන් වනවා.

ඒ අනුව, 2024 වසරේ නව පාසල් වාරයේ පළමු (1) අදියර ලබන 19 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

කෙසේ වෙතත්, 2023 ට අදාළ සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි සහ ජුනි මාසවලදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (14) කොළඹ පැවති වැඩසටහනකදී කියා සිටියා.

එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන බවයි ෴


කාන්තාවක් සිය සැමියා ලවා පැරණි පෙම්වතාගේ කකුල් කඩලා නිරුවත් කරලා

(15.02.2024 – 09:47 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවක සිය සැමියා ලවා පැරණි පෙම්වතා නිරුවත් කර කකුල් දෙකම කඩා දැමීමේ පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මීට වසර දහයකට (10) පමණ පෙර ගාල්ල කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටිය දී ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වී ඇති අතර කාර්මික විදුහල් අධ්‍යාපනයෙන් පසුව අදාළ තරුණිය එම සම්බන්ධතාවය නවත්වා වෙනත් විවාහයක් කර ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ පැරණි පෙම්වතා ඇය සමඟ දුරකථනයෙන් සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇති අතර නිතරම ඔහු දුරකථන ඇමතුම් දීම සමහර අවස්ථාවල ඇයට කරදරයක් වී ඇති බවයි.

මෙම සිදුවීම ඇය සිය සැමියාට පවසා ඇති අතර ඔහු පැරණි පෙම්වතාව දඩල්ල මුහුදු වෙරළට එක්කරගෙන එන ලෙස බිරිඳට පවසා තිබෙනවා.

ඒ අනුව 39 වැනි වියේ පසුවන අවිවාහක පෙම්වතා සිය පැරණි පෙම්වතිය හමුවීමට දඩල්ල මුහුදු වෙරළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පළමු පෙම්වතිය සමඟ කතා කිරීමට පැමිණි ඔහු පෙම්වතිය වෙත ගිය අවස්ථාවේ දී සැඟව සිටි ඇයගේ සැමියා එක් වරම යකඩ පොල්ලකින් පහර දී ඔහුගේ පාද දෙකම කඩා දමා සම්පූර්ණයෙන්ම නිරුවත් කර ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඒ සමගම ඇය බස් රථයක නැගී ගොස් ඇති අතර සැමියා ද තවත් අයෙකු සමඟ යතුරුපැදියේ නැගී පලා ගොස් තිබෙනවා.

මුහුදු වෙරළට පැමිණි පුද්ගලයකු තුවාල ලබා සිටි මෙම නිරුවත් පුද්ගලයා දැක පොලිසියට දැනුම් දී ඔහුව රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ ෴


15 කට මරු කැඳවූ බස් රථ රියදුරෙකු වසර 14 කට පසු අත්අඩංගුවට

(15.02.2024 – 09:04 +0530 – hirunews.lk/sinhala)

මීට වසර 14 කට පෙර පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ සෙවනපිටිය දුම්රිය හරස් මාර්ගයේ සිදු වූ අනතුරට මරණ දඬුවම නියමව සැඟව සිටි බස් රථ රියදුරු පොලිසිය විසින් ඊයේ (14) වැලිකන්ද මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ අනතුරින් කුඩා දරුවන් ඇතුලු 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 40 දෙනෙකුට තුවාල ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් විභාග වූ නඩුවේ තීන්දුව පසුගිය වසරේ (2023) ප්‍රකාශයට පත්වූ අතර එහි දී පොළොන්නරුව මහධිකරණය විත්තිකරුට මරණ දඩුවම නියම කළා.

කෙසේ වෙතත් තීන්දුව ප්‍රකාශ කිරීමට වසරක (1) පමණ සිට මෙම පුද්ගලයා අධිකරණය මගහැර සිටි අතර පොලිසිය සිදු කළ රහසිගත මෙහෙයුමකින් අනතුරුවයි විත්තිකරු ඊයේ (14) අත්අඩංගුවට ගැනුනේ ෴


ඉහළ ගිය කැරට් මිල පහළට

(15.02.2024 – 08:36 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනවල රුපියල් 2500 ක් දක්වා ඉහළ ගොස් තිබූ කැරට් කිලෝවක සිල්ලර මිල ඊයේ (14) වන විට රුපියල් 600 ක් දක්වා අඩු වී තිබෙනවා.

බොහෝ එළවළුවල මිල ගණන් සහ සහල්වල මිල ගණන් ද පසුගිය දිනවලට සාපේක්ෂව අඩු වී ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම සම්බා හා කීරි සම්බා සහල් හිඟයක් ඇති වී තිබෙන අතර ඒ හේතුවෙන් කීරි සම්බා කිලෝ 05 ක පැකට්ටුවක් රුපියල් 1800 දක්වා මිල ඉහළ ගොස් ඇති බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

නාඩු කිලෝවක් රුපියල් 96 කට ද, සුදු සහල් කිලෝවක් රුපියල් 90 කට ද, රතු කැකුලු කිලෝවක් රුපියල් 170 ක් දක්වා ද මිල පහළ වැටී තිබෙනවා.

පසුගිය දිනවල මෙම සහල් වර්ගවල කිලෝවක් අළෙවි කරනු ලැබුවේ රුපියල් 200 ක් හෝ ඊට වඩා වැඩි මිලකටයි.

එමෙන්ම එළවළු මිල ගණන් යටතේ බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 800 දක්වාත්, ලීස් කිලෝවක සිල්ලර මිල රුපියල් 350 දක්වාත් ගෝවා හා බීට් රූටි කිලෝවක සිල්ලර මිල රුපියල් 400 දක්වාත් පහළ වැටී තිබෙනවා.

කරවිල, පතෝල, වැටකොළු කිලෝවක මිල රුපියල් 400 ක් 350 ත් අතර මිලකට පහළ ගොස් ඇති අතර දඹල, මෑ කරල්, වට්ටක්කා කිලෝවක් රුපියල් 300 ත් 350 ත් අතර මිලකට අළෙවි වෙනවා ෴


මෙරට ළමා පිළිකා රෝගීන් 1000 ඉක්මවයි

(15.02.2024 – 07:51 +0530 – hirunews.lk/sinhala)

2021 වර්ෂයේ දී ළමා පිළිකා රෝගීන් 1032 වාර්තා වී ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා පවසනවා.

මේ අතර පිරිමි දරුවන් 578 සහ ගැහැනු දරුවන් 454 දෙනෙකු සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වෛද්‍යවරයා සඳහන් කළේ 2021 වසරේදී ලියුකේමියාව වැළඳුණු දරුවන් 341 දෙනෙකු ද, ලියුපෝමාව වැළඳුණු දරුවන් 148 දෙනෙකු ද, අස්ථි සම්බන්ධ පිළිකා වැළඳුණු දරුවන් 92 දෙනෙකු ද, මොළය ආශ්‍රිත පිළිකා වැළඳුණු දරුවන් 98 දෙනෙකු ද ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2015 වසරේදී ළමා පිළිකා හේතුවෙන් 224 ක් මිය ගොස් ඇති බවයි ඔහු පැවසුවේ.

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සුරාජ් පෙරේරා :

“පසුගිය අවුරුදු 15 ක 17 ක කාලයේ තමයි මේ 500 ක තිබුණු ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය 1000 ක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. මේක ක්‍ෂණිකව අවුරුද්දකින් දෙකකින් වැඩිවීමක් නෙවෙයි. පසුගිය අවුරුදු 17 ක කාලය තුළ ක්‍රමානුකූලව ළමා පිළිකා රෝගීන් වර්ධනය වෙලා තියෙනවා. අනිත් රටවල්වලත් මේ වේගයෙන් තමයි ළමා පිළිකා රෝගීන් වර්ධනය වෙලා තියෙන්නේ. ලංකාවේ බහුලවම වාර්තාවන පිළිකාව වන්නේ ලියුකේමියාවයි.”

+


මිද්දෙණියේ කෝටිපතියෙක් CID අත්අඩංගුවට

(15.02.2024 – 19:19 +0530 – sinhala.adaderana.lk)

නීතිවිරෝධීව වත්කම් උපයා ගත් බවට සැකපිට මිද්දෙණිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඊයේ (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ විමර්ශන අංක 01 හි නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබූ රුපියල් කෝටි තුනක් (3) පමණ වටිනා මෝටර් රථ 02 ක්, මීගස්ආර ප්‍රදේශයේ සැකකරු විසින් ඉදිකොට ඇති වායු සමීකරණය කරන ලද තෙමහල් නිවසක් සහ මිද්දෙණිය නගරයේ ඇති දෙමහල් ගොඩනැගිල්ලක් එහිදී නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.

පොලීසිය සඳහන් කරන්නේ වසර දහයක (10) පමණ කාලයක සිට සැකකරු තණමල්විල ප්‍රදේශයේ කංසා වගා කරමින් ඒවා බෙදාහැරීමේ ජාවාරමක යෙදී ඇති බවය.

ඉන් උපයා ගත් මුදලින් පොලිස් භාරයට ගත් දේපළ උපයාගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

සැකකරුට අයත් බව සැලකෙන වත්කම්වල වටිනාකම රුපියල් කෝටි 12 ක් පමණ වන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

+


Onmax DT ලොක්කන්ට අධිකරණය ඉදිරිපිටදී ලොකු විරෝධයක්

(15.02.2024 – 19:11 +0530 – sinhala.adaderana.lk)

නීති විරෝධී පිරමීඩ ගනුදෙනු සිදුකර තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කළ බවට චෝදනාලත් Onmax DT පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ඇප ලබාගැනීමෙන් පසු රහසිගතව විදේශගතව ඇති බවට විමර්ශන නිලධාරීන් අද (15) අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අදාළ සමාගමට එරෙහි නීති කෘත්‍ය අද (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

නඩුවේ 6 වන සැකකරු වන Onmax DT පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ‘ධනංජය ජයාන් චාමර’ නැමැත්තා ඇප ලබාගැනීමෙන් පසුව මෙලෙස රහසිගතව විදේශගතව ඇති බවත් ඔහු පිළිබඳ තොරතුරු සෙවීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව විමර්ශන ආරම්භ කර ඇති බවත් විමර්ශන නිලධාරීන් පෙන්වාදී තිබේ.

මේ අතර Onmax DT ගනුදෙනුකරුවන් අද (15) අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වෙමින් සිටියේය.

චෝදනා ලත් අධ්‍යක්ෂවරුන් අධිකරණයෙන් පිටව යද්දී ගනුදෙනුකරුවන් පැමිණ ඔවුන් ගමන්කරමින් සිටි මෝටර් රථයේ මග හරස් කර විරෝධය පළකළේය.

පසුව පොලිස් නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්තේය.

නීතිවිරෝධී පිරමීඩ ගනුදෙනු සිදුකර තැම්පත්කරුවන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා ලත් Onmax DT පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් 6 දෙනෙකුට එරෙහි නඩුව අද (15) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සමාගම් අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්ත මහතා කරුණු දක්වමින් පෙන්වා දුන්නේ විමර්ශන නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි අධිකරණය විසින් අදාළ අධ්‍යක්ෂවරුන්ට අයත් බැංකු ගිණුම් 58 ක් අත්හිටුවා ඇති බැවින් තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවා නිමකිරීමට නොහැකිව ඇති බවය.

එමෙන්ම මෙම අධ්‍යක්ෂවරුන්ගේ දේපොළ අන්සතු කිරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති නමුත් එවැනි නියෝගයක් නිකුත් කළ හැක්කේ මහාධිකරණයට පමණක් වන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පැවසූවේ විමර්ශන පවතින අවස්ථාවක විමර්ශන නිලධාරීන් ඉල්ලීමක් කරන්නේනම් විමර්ශන සඳහා සහාය වීමට දේපොළ හෝ බැංකු ගිණුම් තහනම් කිරීමේ හැකියාව තම අධිකරණයට පවතින බවය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්.ඒ.පී. රණවක මහතා අධිකරණය හමුවේ පෙන්වාදුන්නේ අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට අයත් දේපොළවලින් සුළු කොටසකට පමණක් තහනම් නියෝග ලබාගෙන ඇති බවත් විමර්ශනයට ලක් නොවූ තවත් රුපියල් කෝටි ගණනක දේපොළ අධ්‍යක්ෂවරුන් සතුව පවතින බවත්ය.

එවන් තවත් දේපොළ පිළිබඳ ලියවිල්ලක් එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කරමින් එකී දේපොළ තහනම් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම කරුණු සළකා බලා අදාළ දේපොළ තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අනතුරුව නඩුව මැයි මස 02 වනදා දක්වා කල්තැබීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *