වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන්නොත් නඩු පවරන බව අල්ලස් කොමිසම කියයි

වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන්නොත් නඩු පවරන බව අල්ලස් කොමිසම කියයි


වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන්නොත් නඩු පවරන බව අල්ලස් කොමිසම කියයි

(15.06.2026 – 16:37 +0530 – sinhala.adaderana.lk)

ජුනි මස 30 වෙනිදාට රාජ්‍ය නිලධාරින් සිය වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා කියාසිටියේ, එදිනට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකර අය අනිවාර්යයෙන්ම දඩ මුදලකට යටත් වන බවය.

එම දඩ මුදල දරාගත නොහැකි ප්‍රමාණයක් වනු ඇති බව ද ඔහු අවධාරණය කළේය.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 80(1) වගන්තිය යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පුද්ගලයින් අදාළ වර්ෂයේ ජුනි මස 30 දිනට එම ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.

එය ප්‍රමාදවීම දඩයකට හා අධිකරණ ක්‍රියාමාර්ගයකට ලක්විය හැකි බව ද අධ්‍යක්ෂවරයා අනතුරු ඇඟවීමක් සිදු කළේය.

අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා පමණක් යොමු කළ යුතුය.

මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය 2026 වසරේ මාර්තු මස 31 වෙනිදා එළිදක්වනු ලැබීය.

එමෙන්ම මෙම ප්‍රකාශ ලබාගැනීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කාර්යයක් හෝ වගකීමක් නොවන බවත් මෙය පුරවැසි වගකීමක් බවත් ඔහු අවධාරණය කළේය.

2023 දූෂණ විරෝධී පනතට අනුව වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ යුතු නව නිලධාරින් පිරිසක් ඇතුළත්ව සිටින බව ද රංග දිසානායක මහතා කීය.

ඒ අනුව රේගු ආඥා පනතේ 115 වගන්තිය අනුව බලපත්‍රලාභී අනු නියෝජිතයන් හෙවත් වාප්පු ලිපිකරුවන් වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු පිරිසක් ලෙස සලකනු ලැබේ.

තවද වෘත්තීය සමිතිවල විධායක නිලධාරින්, පුවත්පත් ප්‍රවෘත්ති ආඥා පනතේ දෙවෙනි වගන්තිය යටතේ ලියාපදිංචි පුවත්පත් ආයතනවල හිමිකරුවන්, කර්තෘවරුන්, කර්තෘ මණ්ඩල සාමාජිකයන්, බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩල සාමාජිකයන්, ක්‍රීඩා පනත අනුව පිහිටුවනු ලැබූ ක්‍රීඩා සංගම්වල නිලධරයන් එමෙන්ම රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම මාණ්ඩලික ශ්‍රේණි නිලධරයන් මෙම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 කෙටි දුරකතන අංකයට ඇමතුමක් ලබාදීමෙන් තොරතුරු ලබාගත හැකිය.

+


ගලගොඩඅත්තේ හිමි සී.අයි.ඩී.යට (15.06.2026)

+


සලේ සිටි සිරමැදිරිය නිරීක්ෂණය කරයි – නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු අඩුපාඩු රැසක්

(16.06.2026 – 07:05 +0530 – sinhala.adaderana.lk)

රැඳවුම් භාරයේ සිටින හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අද (16) දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුවන බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේ මහතාව විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ඔහුගේ ඥාතීන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

අදාළ පැමිණිල්ලට අනුව සුරේෂ් සලේ මහතා රඳවා සිටි සිරමැදිරිය පිළිබඳව විශේෂ පරීක්ෂාවක් සිදුකර ඇති බවද වාර්තා වෙයි.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සිරමැදිරියක රඳවා තබා සිට ඇති අතර එම සිරමැදිරිය තුළට නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු පොදු මූලික අඩුපාඩු රැසක් නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුවත් කිරීමටද මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

සුරේෂ් සලේ මහතා රඳවා තිබු සිරමැදිරිය ආසන්නයේ සිටි තවත් රැඳවූවන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

තවදුරටත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත අතර මේ වනවිට රෝහල්ගත කර සිටින සුරේෂ් සලේ මහතාට ලැබෙන වෛද්‍ය පහසුකම් පිළිබඳවද අවධානය යොමුකර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි ෴

+++

ශානි කියන්නේ ඩයස්පෝරාවේ සල්ලිවලට රට පාවලා දෙන දේශද්‍රෝහියෙක් (16.06.2026)

+++

සුරේෂ් සලේගේ බිරිඳ මානව හිමිකම් කොමිසමට – මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන (16.06.2026)

+++

සලේට ඇත්තටම වද දීලා? ඇතුළේ සිද්ධි එළියට!සීඅයිඩී සිරමැදිරිය ඇතුළේ සලේ හිටියේ මෙහෙම! (16.06.2026)

+


අධිවේගයේ ආසන පටි නීතිය 20 වෙනිදා සිට බලාත්මක කෙරේ

(16.06.2026 – 06:44 +0530 – sinhala.adaderana.lk)

එළැඹෙන 20වෙනිදා සිට ආසන පටි නීතිය බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසයි.

එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල ආසන පටි පැළදීම අනිවාර්ය බවය.

රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මගීන්ට ද ආසන පටි පැළඳවීම අනිවාර්ය කිරීමට රජය පියවර ගනු ලැබීය.

එම නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබා දී තිබූ අතර එම කාලය ලබන 19 වන දිනෙන් අවසන් වේ.

ඒ අනුව ජුනි මස 20 වන දින සිට මෙම නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ‍ය ෴


ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ රටටම අනතුරු අඟවයි (16.06.2026)

+


රට වටා රන්මාල කොල්ලකෑ අයෙක් කඩුවක් සහ රන්ගුලි 9 ක් එක්ක අත්අඩංගුවට

(16.06.2026 – hirunews.lk)

කටාන පොලිස් වසමට අයත් කටුවැල්ලේගම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ද සමඟින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු, දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ මහා පරිමාණ රන්මාල කොල්ලකෑම් සහ දේපළ සොරකම් රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු බවට හෙළිවූ බව කටාන පොලිසිය පවසනවා.

කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් 10 වැනිදා සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 ක් සහ මිලිග්‍රෑම් 210 ක් ද සමඟින්.

අනතුරුව සැකකරු මීගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා ජූනි 16 වැනිදා (අද) දක්වා රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබුණා.

අත්අඩංගුවට පත් සැකකරු මීරිගම, කිතුල්වල ඉහල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.

රැඳවුම් නියෝග මත ඔහුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු කාලයක සිට පොලිස් වසම් රැසක භීෂණයක් මවමින් රන්මාල සහ දේපළ කොල්ලකෑම් සිදු කළ අයෙක් බවයි.

පූගොඩ, කිරිඳිවැල, කොස්ගම, වීරඹුගෙදර, නාරම්මල සහ පොල්ගහවෙල, පාදුක්ක, කටුනායක සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල මෙම සැකකරු සෙලෙස රන්මාල කොල්ලකා ඇතැයි තොරතුරු අනාවරණය වී තිබුණා.

මෙම අපරාධ රැල්ල සඳහා සැකකරු විසින් භාවිත කරන ලද යතුරුපැදියක්, කඩුවක් සහ කොල්ලකන ලද රන්මාල උණුකර සකස් කරන ලද රන්ගුලි 09ක් ද සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු අද (16) යළි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.

+++

ගිනි මද්දහනේ කඩුවක් පෙන්නලා රන් මාලයක් කොල්ලකෑ පුද්ගලයා සතුව තිබී රු. ලක්ෂ පනහකට (50) අධික රත්තරං සොයාගනී (16.06.2026)

+


“හැකරුන්ගේ වීඩියෝ එළියට දැම්මොත් හර්ෂව සභාපතිකමෙන් අයින් කරනවා!” ආණ්ඩු පක්ෂයෙන් තර්ජන එල්ල වූ බව අජිත් පී. පෙරේරා හෙළි කරයි

(16.06.2026 – hirunews.lk)

රජයේ මුදල් කාරක සභාව තුළ ක්‍රියාත්මක වූ හැකරුන් පිළිබඳ පරීක්ෂණවලට අදාළ වීඩියෝ පට මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කළහොත්, එම කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වාව එම ධුරයෙන් ඉවත් කරන බවට ආණ්ඩු පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරුන් විසින් තර්ජනය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.

මහජන මුදල් කාරක සභාවේ සාකච්ඡා වීඩියෝ පට මාධ්‍ය වෙත නිකුත් නොවීම පිළිබඳව ඊයේ (15) පැවැති ‘හිරු සලකුණ’ දේශපාලන වැඩසටහනේ මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

මහා භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා කැඳවා මූල්‍ය වංචා හා ඩොලර් අර්බුද පිළිබඳව සාකච්ඡා කළ පාර්ලිමේන්තු මහජන මුදල් කාරක සභාවේ අවසන් රැස්වීම් දෙකෙහි වීඩියෝ පට මාධ්‍ය වෙත මුදාහැරීම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ බරපතල බලපෑම මත මෙලෙස නතර කර ඇති බවයි එම වැඩසටහනේදී හිටපු මන්ත්‍රීවරයා අනාවරණය කළේ.

මුදල් කාරක සභාවේ සාකච්ඡා මෙතෙක් කල් ජනතාවට විනිවිදභාවයෙන් යුතුව දැනගැනීමට සැලැස්වූවද, ආණ්ඩු පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම වීඩියෝ පට මුදාහැරීම වළක්වන ලෙස ඉල්ලා දැඩි බලපෑමක් සිදු කර ඇතැයි එහිදී හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

මීට පෙර 2023 වසරේදී ද ගල්අඟුරු වංචාව එළිදරව් කරමින් නිර්දේශ ඉදිරිපත් කළ අවස්ථාවේදී හර්ෂ ද සිල්වාගේ සභාපතිකම අහෝසි කිරීමට එවකට කටයුතු කර තිබූ බවයි හෙතෙම සඳහන් කළේ.

මෙම අවස්ථාවේදී ද “එසේ නම් තමන්ව සභාපතිකමෙන් අස් කරන ලෙස” පවසමින් හර්ෂ ද සිල්වා සෘජුව අභියෝග කර ඇති අතර, රටේ සිදුවන මූල්‍ය කළමනාකරණ ගැටලුවලට වගකිවයුත්තන් කවුදැයි දැනගැනීමට පුරවැසියන්ට අයිතියක් ඇති බැවින් වෙනදා මෙන් මෙම වීඩියෝ පට ද වහාම මුදාහරින ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් බලකර සිටි බවයි හෙතෙම පැවසුවේ.

මේ අතර, මෑතකදී පාර්ලිමේන්තුවට පැමිණි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ චීන මුදල් ද ඇතුළුව දැනට පවතින ඇමරිකානු ඩොලර් බිලියන 0.8 ක විදේශ විනිමය ප්‍රමාණය යම් තරමකට ප්‍රමාණවත් වුවද, ඉදිරි වසරවල ඉලක්ක සපුරා ගැනීමට රජය මෙම අරමුදල් තවදුරටත් වැඩිදියුණු කරගත යුතු බවයි හෙතෙම සඳහන් කළේ.

මෙරට සමාගම් රැසක් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් කිසිදු භාණ්ඩයක් නොගෙන්වා නීතිවිරෝධී ලෙස රටින් ඩොලර් පිටකිරීමේ මහා පරිමාණ ජාවාරමක් ශ්‍රී ලංකා පොලිසිය සහ රේගුව මඟින් අනාවරණය කරගෙන තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

එහිදී ‘නෙක්ස්ට් ජෙන්’ (Next Gen Private Limited) නැමති සමාගමක් පමණක් අවස්ථා 953 කදී රුපියල් කෝටි 1,289 ක මුදලක් විදේශ රටවල් 26 ක සමාගම් වෙත හුවමාරු කරමින් ඩොලර් මිලියන 42.7 ක් රටින් පිටකර ඇති බවට වාර්තා වන බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම ජාතික සංවර්ධන බැංකුවේ (NDB) රුපියල් බිලියන 13.2 ක (කෝටි 1,300 ක) මූල්‍ය වංචාවට අදාළ මුදල් ද මෙම ක්‍රමයටම කෙටි කාලයක් තුළ විදේශ රටවලට යවා ඇති අතර, ඒ හරහා තවත් ඩොලර් මිලියන 43 ක් රටින් පිටව ගොස් ඇත. වංචාකරුවන් විසින් මහ බැංකු නිලධාරීන්ව රවටා ඇති බව මහ බැංකු අධිපතිවරයා පැවසුවද, මෙවැනි බිලියන ගණනක මුදල් වංචා වසර ගණනාවක් තිස්සේ සිදුවන තෙක් වැළැක්වීමට නොහැකි වීමෙන් මහ බැංකුවේ අධීක්ෂණ ක්‍රියාවලිය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කරනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *