අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
(16.06.2026 – 13:38 +0530 – sinhala.adaderana.lk)
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය දැඩිව හෙළා දැක තිබේ.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහිව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ පැහැදිලිවම දේශපාලන මර්දන උත්සාහයක් බව එම සංවිධානය පෙන්වා දෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට (6) එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) කොටුව මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබුණි.
එහිදී විමර්ශන නිලධාරින් කියා සිටියේ, රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධාවන අන්දමේ ප්‍රකාශ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිකුත් කිරීම සම්බන්ධයෙන් එම පිරිසට චෝදනා ඉදිරිපත් කර ඇති බවය.
මේ සිද්ධිය හෙළා දකිමින් ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, දේශපාලන පක්ෂ නායකයින් පස් දෙනෙකුට (5) එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් එකම නඩුවක් යටතේ මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීම අතිශය දුර්ලභ කටයුත්තක් බවය.
2024 අංක 8 දරණ අධිකරණයට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ, ස්වාධීන අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පැවරීමට හෝ එය පවත්වාගෙන යාමට පොලීසියට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
එසේ තිබියදීත්, දේශපාලනඥයින් නිහඬ කිරීම සඳහා මෙලෙස පොලිස් බලය අවභාවිත කිරීම ශිෂ්ඨ සම්පන්න සමාජයක සිදු නොවිය යුත්තක් බව එම සංවිධානය අවධාරණය කරයි.
වත්මන් පාලක පක්ෂය බලයට පත් කිරීම සඳහා තමන් ක්‍රියාකාරීව දායක වූ බව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමකින් පිළිගත් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු, කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවාගෙන ඇති බව එම සංවිධානය පවසයි.
ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත් කර, අතීතයට බලපාන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයට ද උසස් කර ඇති බව ඔවුහු පෙන්වා දෙති.
රජය විවේචනය කරන සෑම තරාතිරමකම පුද්ගලයින් අපහසුතාවයට පත් කර මෙල්ල කර ගැනීම සඳහා, රජය මෙවැනි දේශපාලනීකරණය වූ විශ්‍රාමික පොලිස් නිලධාරීන් ලවා විවිධ උපක්‍රම යොදාගනිමින් සිටින බවට ද ෆ්‍රී ලෝයර්ස් සංවිධානය චෝදනා කරයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තිය මඟින් අදහස් ප්‍රකාශ කිරීමේ සහ භාෂණයේ නිදහසත්, 10 වැනි වගන්තිය මඟින් සිතීමේ, විමසීමේ සහ හෘද සාක්ෂියේ නිදහසත් තහවුරු කර ඇත.
එබැවින් දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ ක්‍රියාකාරීන්ගේ මෙම මූලික අයිතිවාසිකම් විනාශ කිරීමට දේශපාලනීකරණය වූ පොලිස් සේවයට කිසිදු හැකියාවක් හෝ අයිතියක් නොමැති බව එම නිවේදනයේ සඳහන් වේ.
දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ ක්‍රියාකාරීන්ගේ නිදහස් අදහස් දැක්වීම් වැලැක්වීමට පොලිස් දෙපාර්තමේන්තුව දරන මෙම ඒකාධිපති උත්සාහය සමස්ත සමාජයම එක්ව පරාජය කළ යුතු බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර සිටියි ෴
පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලීසියේ වැඩ ‘දිනන දකුණ’ හෙළාදකී
(16.06.2026 – 14:07 +0530 – sinhala.adaderana.lk)
අධිකරණ අපහාසයට මුවාවී පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලීසියේ දේශපාලන මැදිහත්වීම් දැඩි සේ හෙළා දකින බව ‘දිනන දකුණු සාමුහිකය’ පවසයි.

එම සාමුහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව වෙනුවෙන් ශිරාල් ලක්තිලක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති පුරවැසියාගේ භාෂණයේ නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බරපතළ ලෙස සීමා කරන්නට, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරන, අසංක නවරත්න, සුගීශ්වර බණ්ඩාර යන පුරවැසි භාෂකයන්ට එරෙහිව පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය පිළිබඳව දිනන දකුණ සාමූහිකය තම දැඩි පිළිකුල සහ විරෝධය ප්‍රකාශ කර සිටින බවය.
= උපුටා ගැනීම =
2024 අංක 8 දරණ අධිකරණයට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ පොලීසියට, ස්වාධීන අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පැවරීමට හෝ පවත්වාගෙන යාමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව අප සාමූහිකය අවධාරණය කර සිටී.
මහජන මතය මර්දනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම විශේෂිත පනත සක්‍රීයව භාවිතා කරමින්, සාපරාධී විමර්ශනයක් ආරම්භ කිරීම, නීතිමය දෘෂ්ටිකෝණයකින් බලන කළ, නීතිය ඉතා පැහැදිලිව විකෘති කිරීමක් සහ අවභාවිත කිරීමකි.
මෙහිදී සිදුවෙමින් ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා සකස් කරන ලද නීතිමය යාන්ත්‍රණයක්, පොලිස් වාරණය සඳහා ආයුධයක් ලෙස නීතිවිරෝධී ලෙස පරිවර්තනය කරගැනීමකි.
විශේෂයෙන්ම, මෑතකාලීනව දේශපාලන බලපෑම් මත ක්‍රියාත්මක වන ස්වරූපයක් පෙන්නුම් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ක්‍රියාකලාපය විවේචනය කරන සහ ඒ පිළිබඳ තමන්ගේ අදහස් දක්වන සිවිල් පුරවැසියන්, ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් “අධිකරණයට අපහාස කිරීම” වැනි චෝදනා අවභාවිත කරමින් සිදුකරන මර්දනකාරී ක්‍රියාවලිය වහාම නතර කළ යුතු බවට අප සාමූහිකය අවධාරනණය කොට සිටී.
එවැනි චෝදනා නඟමින් නිදහස් මතධාරීන් බියවැද්දීමට පොලීසිය දරණ උත්සාහය කිසිසේත්ම ශිෂ්ට සම්පන්න සමාජයකට නොගැලපෙන, පොලිස් සංකල්පයට සහ ඒ මත ගොඩනැගුන පොලිස් නිල ඇඳුමට නොතරම් හැසිරීමකි.
CID ය විසින් මෙහිදී කරමින් සිටින්නේ ආන්දෝලනාත්මක රාජ්‍ය නිලධාරියෙකු වන CID යෙහි ප්‍රධානියා කෙරෙහි එල්ල වන මහජන විවේචන වැළැක්වීම සඳහා අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීමට පවතින නීතියක් පලිහක් කර ගැනීමකි.
මෙවැනි ක්‍රියා සුදුසු වන්නේ පොලිස් රාජ්‍යයකට මිස ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක් තුළ නොවේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති පුරවැසියාගේ භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස CIDයේ මෙම ක්‍රියාව මඟින් බරපතළ ලෙස සීමා කරන්නට හේතුවන බව අප සාමූහිකයේ මතය වන්නේය.
එම නිසා පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුරවැසියාගේ අදහස් දැක්වීම් දඩමීමා කරමින් කටයුතු කරන ආකාරය පිළිබඳව දිනන දකුණ සාමූහිකය තම දැඩි පිළිකුල සහ විරෝධය ප්‍රකාශ කර සිටියි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තිය මඟින් සෑම පුරවැසියෙකුටම භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දී ඇති අතර, 10 වැනි වගන්තිය මඟින් සිතීමේ, විමසීමේ සහ හෘද සාක්ෂියේ නිදහස තහවුරු කර ඇත.
රජයේ ආයතන හෝ නීතිය බලාත්මක කරන ආයතන දේශපාලනීකරණය වන විට, ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට සහ තම මතය සමාජගත කිරීමට පුරවැසියාට පරමාධිපත්‍ය බලයක් තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුව, පාලකයින්ගේ වුවමනාවන් වෙනුවෙන් පුරවැසි අයිතීන් පාගා දමන මෙවලමක් බවට පත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමක් සනිටුහන් කරන්නකි.
නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු අතර, දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීම සඳහා පොලිස් බලය අවභාවිතා කිරීම, සිවිල් සමාජයක් ලෙස අප කිසිසේත් අනුමත නොකරමු.
එබැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි පුරවැසියන්ගේ භාෂණයේ නිදහස සහ හෘද සාක්ෂියේ අයිතිය සුරක්ෂිත කරන ලෙසත්, දේශපාලන අවශ්‍යතා මත සිදුකරන මෙවැනි අත්තනෝමතික පොලිස් මර්දනයන් නතර කරන ලෙසත් දිනන දකුණ සාමූහිකය බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සියලුම බලවේගයන් මෙම මර්දනයට එරෙහිව එක පෙළට සිටගත යුතු මොහොත එළඹ ඇත.
‘දිනන දකුණ සාමූහිකය’ වෙනුවෙන්,
නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.
මාධ්‍ය ප්‍රකාශනය
2026.06.16
= උපුටා ගැනීම අවසන් =
උණ ගැනී පැය 48 න් ළමයින්ගේ ලේ පරීක්ෂා කරන්නැයි දැනුම්දීමක්
(16.06.2026 – hirunews.lk)
ඩෙංගු අවධානම ඉහළ ගොස් ඇති නිසා උණ රෝගය වැළඳී පැය 48 කට පසු ළමයින්ගේ රුධිර පරීක්ෂාවක් සිදුකළ යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය විරාජ් ජයසිංහ පවසනවා.
කොළඹ අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
මේ අතර දැනට සිදුකර ඇති පරීක්‍ෂාවන්ට අනුව පාසල් පද්ධතිය ආශ්‍රිතව ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩි වශයෙන් වාර්තා වි ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද එක්වෙමින් කියා සිටියා.
එමෙන්ම ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව දිවයිනේ සියලු පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන ඉලක්ක කරගනිමින් අනිද්දා (18) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
+++
ඩෙංගු ගැන ඇඟ හිරිවැටෙන අනාවරණය – අන්තිම වෙලා රෝහලට ගෙන්න එපා (16.06.2026)
+
පෞරාණික වටිනාකමක් ඇති පාෂාණයක් රු.කෝටි 2 කට විකුණන්න ගිය 5 ක් පුල්මුඩේදී අත්අඩංගුවට
(16.06.2026 – hirunews.lk)
පෞරාණික වටිනාකමකින් යුක්ත බවට සැක කෙරෙන සුවිශේෂී පාෂාණයක් රුපියල් කෝටි දෙකක (මිලියන 20 ක) මුදලකට අලෙවි කිරීමට සූදානමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු (5) පුල්මුඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුල්මුඩේ පොලිස් වසමේ තෙන්නමරම් ප්‍රදේශයේදී පෞරාණික භාණ්ඩ ජාවාරමක් සිදු වන බවට පොලිස් නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ඊයේ (15) සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට පත්ව ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29 ත් 57 ත් අතර වයස්වල පසුවන පුලියන්කුලම, ඊච්චලම්පත්තුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩය වශයෙන් තබාගත් පාෂාණය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පුල්මුඩේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴
වයෝවෘද්ධ මවකගේ අත්පා ගැට ගසා කොල්ල කෑ අයෙක් ගම්මු අල්ලයි
(16.06.2026 – hirunews.lk)
නිවසකට පැන වයෝවෘද්ධ කාන්තාවකගේ අත්පා ගැට ගසා නිවසේ තිබූ වටිනා දෑ කොල්ලකා පලා යෑමට උත්සාහ කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී තිබෙනවා.
මිල්ලනිය පොලිස් වසමේ හල්තොට පොන්සේකා හන්දිය ප්‍රදේශයේ අසූ වියැති වයවෘද්ධ කාන්තාවක් වෙසෙන නිවසකට අද (16) පෙරවරුවේ හොර රහසේ ඇතුලු වූ පුද්ගලයෙකු නිවසේ සිටි වයෝවෘද්ධ කාන්තාව ඇඳකට දමා අත් පා ගැට ගසා නිවසේ තිබූ වටිනා දේවල් රැගෙන පලා යාමට උත්සාහ කර ඇති බවයි වර්තා වන්නේ.
එම අවස්ථාවේදී වයෝවෘද්ධ කාන්තාව බැලීමට ඇයගේ මිණිබිරියක් පැමිණ ඇති අතර නාඳුනන අයෙකු අත්තම්මාගේ නිවෙසේ සිට පැන දුවන අයුරු ඇය දැක ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමෙන් පසු සැකකරු මහත් පරිශ්‍රමයක් දරා අල්ලා ගසක ගැටගසා මිල්ලනිය පොලිසියට භාරදී තිබෙනවා ෴
පාතාල කල්ලි සාමාජික ‘සමන් කොල්ලා’ගේ මත්කුඩු ජාවාරම මෙහෙයවූ 15 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට
(16.06.2026 – 19:18 +0530 – sinhala.adaderana.lk)
ප්‍රබල පාතාල සාමාජිකයෙකු බව කියන ‘සමන් කොල්ලා’ නැමැත්තාගේ මත්කුඩු ජාවාරම මෙහෙයවූ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර පාසල් සිසුවා ඊයේ (15) රාත්‍රියේදී අම්බලන්ගොඩ මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සතුව එම අවස්ථාවේදී රු. ලක්ෂ 5 ක පමණ වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකාර සිසුවාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ‘සමන් කොල්ලා’ නැමැත්තා සමග කළ සංවාද සහ ඔහු මීට පෙර ලබා දුන් උපදෙස් පරිදී මත් ද්‍රව්‍ය පැකට් සැඟවූ ස්ථාන රැසක් සම්බන්ධ ගමන් මාර්ග නිරීක්ෂණය වූ බව පොලීසිය සඳහන් කළේය.
පොලීසියට ලද නිර්ණාමිත තොරතුරකට අනුව මෙම පාසල් සිසුවා පරීක්ෂාවට ලක් කළ බවද පොලීසිය පැවසීය.
සැකකාර සිසුවා මෙම මත්ද්‍රව්‍ය තොගය තමා සන්තකයේ තබා ගෙන ‘සමන් කොල්ලා’ නැමැත්තාගේ උපදෙස් පරිදි ජංගම දුරකථනය ලැබෙන ගමන් මාර්ග ඔස්සේ මත් කුඩු සඟවා ඇති බවටද පොලීසියට අනාවරණය වී තිබේ.
පොලීසිය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකාර සිසුවා අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසලක 10 වසරේ ඉගෙනුම ලබන බවය.
ඔහු අද (16) දහවල් බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධව ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ෂන සිදුකරති ෴
ගාල්ල ජාතික රෝහල් භූමියේ පිහිටි ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්
(16.06.2026 – 13:10 +0530 – sinhala.adaderana.lk)
ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකය පිහිටි භූමියේ පැවති ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හටගෙන තිබේ.
‘අද දෙරණ වාර්තාකරු’ සඳහන් කළේ රෝහල් බලධාරීන්, ගාල්ල මහනගර සභාවේ නාගරික ගිනිනිවීම් ඒකකය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබූ බවය.
ගින්න හේතුවෙන් ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකයේ විදුලියද විසන්ධි වී තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
+++
+
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
(16.06.2026 – 12:36 +0530 – sinhala.adaderana.lk)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන නම් කර තිබේ.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴