ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 3% ක් අධ්‍යාපනය අතහරී

ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 3% ක් අධ්‍යාපනය අතහරී


ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 3% ක් අධ්‍යාපනය අතහරී

(14.02.2024 – 20:37 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 3 ක් අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් නතර කර ඇති බවට ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණ කර තිබෙනවා.

ඔවුන්ගේ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ ආර්ථික අර්බුදය පාසල් දරුවන්ගෙන් සියයට 54.9 කට බලපෑම් එල්ල වී ඇති බවයි.

මින් අඩකටත් වඩා වැඩි පිරිසක් එනම් සියයට 53.2 ක් අලු‍තින් පාසල් උපකරණ මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර සියයට 44 ක් අලු‍තින් නිල ඇදුම්වලට වියදම් කිරීම කපා හැර හෝ අඩුකර තිබෙනවා.

එසේම සියයට 40.6 ක් අමතර පන්තිවලට සහභාගි වීම නතර කර හෝ අඩු කර ඇති අතර එම දරුවන්ගෙන් සියයට 28.1 ක් උපකාරක පංතිවලට සහභාගි වීමේ දී මාර්ගගත ක්‍රමය භාවිතයට යොමුව ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මේ අතර, පොළොන්නරුව – දිඹුලාගල – දළුකාන ආදිවාසි ගම්මානයේ පිහිටි මලියදේව ප්‍රාථමික විද්‍යාලය වැසීයාමේ අවදානමකට පත්ව තිබෙනවා.

පාසලට විදුහල්පතිවරයෙකු පවා නොමැති බවයි දෙමාපියන් මෙන්ම එහි ඉගෙනුම ලබන සිසුන් ප්‍රකාශ කළේ.

මේ අතර එළඹෙන උත්සව සමයට පෙර සියලු‍ම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අඩු කර ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කෙරුණු බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (14) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දැනට වෙළෙඳපොලේ ඉහළ මට්ටමක පවතින පොල්තෙල් මිල අඩු කිරීමට ද මෙහිදී අවධානය යොමුවූ බවයි.

+


දෙමටගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ ගින්නක්

(14.02.2024 – 20:16 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ දුම්රිය ස්ථානයට යාබද හිස් ඉඩමක මේ මොහොතේ ගින්නක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.

එහිදී එම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 06 ක් යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම ගින්නෙන් මෙතෙක් ජිවිත හානි කිසිවක් හෝ ගින්න ඇති වීමට හේතුවක් අනාවරණය වී නැහැ ෴


සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය හෙට (15) උදෑසනින් අවසන්

(14.02.2024 – 20:02 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය හෙට (15) උදෑසන 06:30 ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000 ක ඩැට් දීමනාවට සාපේක්ෂව තමන්ටත් දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලා වෘත්තිය සමිති මෙම අඛණ්ඩ වර්ජනය ආරම්භ කළේ ඊයේ (13) පෙරවරු 06:30 යි.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමකයි මෙම වර්ජනය ක්‍රියාත්මක වූයේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්ය මණ්ඩලයද වර්ජනයට සහය පළ කරමින් දහවල් කෑම පැයේ විරෝධතාවක නිරත වුණා.

මේ අතර තම දීමනා ලබා දීමට කටයුතු නොකළ හොත් ඉදිරියේදී වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි මහරගම අපේක්ෂා රෝහලේ සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයින් සඳහන් කළේ.

එමෙන්ම දීමනා සහ නිල ඇදුම් ගැටලුවට සාධනීය පිළිතුරුක් ලබා දෙන්නැයි ඉල්ලා සමස්ත ලංකා හෙද සංගමය අද (14) කොළඹ ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පා ගමනින් පැමිණ විරෝධතාවක නිරත වුණා.

වර්ජනය හේතුවෙන් ඖෂධ ලබා ගැනීම සඳහා රාජ්‍ය ඔසුසල් අසල දිගු පොලීම් දක්නට ලැබුණා.

කෙසේ වෙතත් බාධාවකින් තොරව රෝහල් සේවා පවත්වා ගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,400 කට වැඩි පිරිසක් අදත් රෝහල් රැසක් වෙත අනුයුක්ත කිරීමටයි පියවර ගෙන තිබුණේ.

+


දික්කසාදවීම් ඉහළට

(14.02.2024 – 19:16 +0530 – hirunews.lk/sinhala)

රටේ විවාහ බිඳ වැටීම්වලද ඉහළ ගොස් ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අනාවරණය කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ 2022 වසරේදී පමණක් දික්කසාද නඩු 48,391 ක් අධිකරණයේ විභාග වී ඇති බවයි.

එමෙන් ම බස්නාහිර පළාතේ අධිකරණ මගින් ප්‍රජා විශෝධනයට යොමු කළ පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් අද (14) විශේෂ වැඩසටහනක් දෙහිවල සත්වෝද්‍යානයේදී පැවැත්වුණා.

‘මම මට ආදරෙයි’ යන තේමාවෙන් එය සංවිධානය කර තිබුණේ බස්නාහිර පළාත් ප්‍රජා විශෝධක කාර්යාලයයි.

ආදරවන්තයන්ගේ දිනය ළං වෙත්ම රට පුරා ආදරය ප්‍රකාශ කිරීම වෙනුවෙන් රක්ත වර්ණයෙන් සැදී මල් ,මල් පොකුරු මෙන්ම මතක සටහන් අලෙවි වනු දැකිය හැකියි.

මෙවර ආදර වන්තයන්ගේ දිනයේදී ද ඒවා අලෙවියේ වෙනසක් නොමැති බවයි වෙළඳුන් පවසන්නේ.

+


නාකොලගනේ අලිවැටක් ඉවත් කිරීමට අධිකරණයෙන් දුන් නියෝගය

(14.02.2024 – 18:53 +0530 – hirunews.lk/sinhala)

නාකොලගනේ වන රක්ෂිතය ආශ්‍රිතව ඉදිකර තිබෙන අනාරක්ෂිත අලි වැටවල් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියෝග කර තිබුණා.

නාකොලගනේ රජමහා විහාරයේ විහාරාධිපති වලත්වැවේ රාහුල හිමියන් විසින් එම ප්‍රදේශයේ වනාන්තර එළිපෙහෙළි කරමින් සිදු කරනු ලබන නීතිවිරෝධී ක්‍රියා අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (14) කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ.

විහාරාධිපති හිමියන් විසින් වනාන්තර එළිකොට වගා කටයුතු සිදු කර තිබෙන ප්‍රදේශවල අනතුරුදායක අලි වැටවල් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබූණා.

එහෙත් එම නියෝගය නිසි පරිදි ක්‍රියාත්මක කර නොමැති බවට පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ කරුණු ඉදිරිපත් කළා.

ඒ සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ට දැඩි දෝෂාරෝපණ එල්ල කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ ප්‍රදේශයේ පිහිටා තිබෙන සතුන්ට හා මිනිසුන්ට අනතුරුදායක අලි වැටවල් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස වනජීවී දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය, පොලිස්පතිවරයා සහ පූජ්‍ය නාකොලගනේ රාහුල හිමියන් යන පාර්ශ්වයන්ට නියෝග කලා.

ඉන් අනතුරුව මෙම පෙත්සම මැයි මස 20 වනදා යළි කැඳවන ලෙසත් නියෝග කෙරුණා ෴


‘හරක්කටා’ගේ පළා යෑමේ සැලසුමට අදාළට CID ඉහළ පුටු සම්බන්ධයෙන් විමර්ශන අරඹයි

(14.02.2024 – 17:00 +0530 – hirunews.lk/sinhala)

‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ පැන්නීමට තැත් කිරීම සම්බන්ධයෙන් CID හිටපු නියෝජ්‍ය පොලිස්පති, අධ්‍යක්ෂ, ස්ථානාධිපති සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දැනට ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ ආරක්ෂාව යටතේ රඳවා ප්‍රශ්න කරමින් සිටින මත්කඩු ජාවාරමේ යෙදුණු පාතාලයේ ප්‍රබයෙක් වන ‘හරක්කටා’ සහ ‘කුඩු සළිදු’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට සැළසුම් කළ සිද්ධිය සම්බන්ධයෙන් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, අධ්‍යක්ෂකවරයා සහ මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් 34 දෙනෙක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණයේ ප්‍රගතිය ඊයේ (13) ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ දැනුම් දුන් බවයි වාර්තා වෙන්නේ.

මේ වනවිටත් මේ අය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් ඇතැම් අයගේ බැංකු ගිණුම් සහ දුරකතන වාර්තා ලබා ගෙන ඇති බවත් අධිකරණයට දැනුම් දුන් ‘ත්‍රස්ත විමර්ශණ ඒකකයේ’ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර ඇතුළු නිලධාරි මඩුල්ල අධිකරණයට දන්වා සිටියේ පොලිස්පතිවරයාගේ උපදෙස් ප්‍රකාරව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, අධ්‍යක්ෂකවරයා සහ මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගේ බැංකු ගිණුම් වාර්තා සහ දුරකතන වාර්තා ලබා ගැනීමට ඉදිරි දිනකදී අධිකරණ නියෝග ඉල්ලා සිටින බවයි.

නඩුව කැඳවූ අවස්ථාවේදී එහි සේවය කළ නිළධාරින් 34 දෙනා සම්බන්ධයෙන් බැංකු ගිණුම් සහ දුරකතන වාර්තා ලබා ගෙන ඇති බවත් එම විමර්ශණයට අදාළ සැකයට තුඩු දෙන ගනුදෙනු සිදුව නැති බවට අනාරවරණය වූ බවත් ඔවුන් වෙනත් ආකාරයෙන් මුදල් උපයා ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන බවත් ‘ත්‍රස්ත විමර්ශණන ඒකකය’ අධිකරණයට දන්වා සිටි බවයි ‘හිරු අධිකරණ වාර්තාකරු’ සඳහන්කර සිටියේ.

+

මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ සහ ‘සළිදු මල්ෂික ගුණරත්න’ හෙවත් ‘කුඩු සළිදු’ නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (14) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

එහිදී මහේස්ත්‍රාත්වරයා මිනිත්තු 40 ක් පමණ ඔවුන් නිරීක්ෂණය කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

එහිදී සැකකරුවන් රඳවා සිටින සිර කුටි පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා, අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් ලෙස සලසා තිබේද යන්න පිළිබඳව සොයා බලා තිබෙනවා ෴


උප්පාරු කළපුවේ ඔරුවක් පෙරලී දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට

(14.02.2024 – 15:41 +0530 – hirunews.lk/sinhala)

කින්නියා – උප්පාරු කළපුවේ ඔරුවක් පෙරළීයාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ මහවැලි ගඟේ අතු ගංගාවක පිහිටි මෙම කළපුවේ ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 17 ක සහ 35 ක් වන දෙදෙනෙකු (2) බවයි.

මියගිය පුද්ගලයින් දෙදෙනා (2) ගෙන් එක් අයෙකුගේ සිරුර සොයා ගෙන ඇති අතර, අනෙක් පුද්ගලයාගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි ෴


වන සතුන් දඩයමේ ගිය පුද්ගලයෙකු ගිණි අවිය පත්තුවීමෙන් ජීවිතක්ෂයට

(14.02.2024 – 15:26 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් කුමුලමුනේ තන්නිමුරුප්පු කැළයේ වන සතුන් දඩයමේ ගිය පුද්ගලයෙකුගේ ගිණි අවිය පත්තුවීමෙන් අද (14) දහවල් එම ස්ථානයේදිම මියගොස් තිබෙනවා.

එම ගිණි අවිය ‘දේශීය වශයෙන් නිපදවන ලද නීති විරෝධී ගිණි අවියක්’ බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

මෙසේ මියගොස් ඇත්තේ ආරුමුගදන් කුලම් ගම්මානයේ පදිංචිව සිටි 48 හැවිරිදි දුරෙයිරාසා ආනන්දරාසා නැමති අයෙක්.

මේ පුද්ගලයා තවත් දෙදෙනෙකු (2) සමග දඩයමේ ගිය අවස්ථාවේදී වල් ඌරෙකු දැක කලබල වී වල් ඌරාට වෙඩි තැබීමට සූදානම් වූ අවස්ථාවේදී වෙඩිල්ලක් ක්‍රියාත්මක වීමෙන් පසුව ඔහුට වෙඩි වැදී තිබෙනවා.

වෙඩිල්ල පත්තු වීමත් සමගම ඔහුගේ ගිණි අවියද කැබලි කීපයකට කැඩී ඇති අතර එම කැඩී ගීය කැබලිද ඔහුගේ සිරුරේ තැනින් තැන වැදුණු බව ඔහු සමග දඩයමේ ගිය පිරිස පොලිසියට ප්‍රකාශ කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

වෙඩි වැදී මියගිය පුද්ගලයාගේ මළ සිරුර ඔහු සමග දඩයමේ ගිය අනෙක් දෙදෙනා (2) ලී වලින් මැස්සක් තනා ඒ මත තබාගෙන සැතපුම් 13 ක් දුර ගෙවා ගෙන ඔවුන්ගේ ගම්මනය වෙත පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

සිද්ධිය පිළිබදව මුලතිව් පොලීසියට දැණුම් දීමෙන් පසුව මියගිය අයගේ මළ සිරුර මුලතිව් රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

මුලතිව් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


ආර්ථික අර්බුදයේ බලපෑමෙන් ආයතන 263,000 ක් වැසී යයි

(14.02.2024 – 14:49 +0530 – hirunews.lk/sinhala)

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතන 263,000 ක ප්‍රමාණයක් වසර 5 ක් තුල වසා දමා ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව 2023 වසරේදී මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය අදාළ ව්‍යාපාර සඳහා බලපා ඇති ආකාරය නිරීක්ෂණය කිරීම සඳහායි.

2018 වසරේදී සක්‍රියව පැවති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතනවල දත්ත මේ සඳහා යොදා ගෙන තිබෙනවා.

+


සාමාන්‍ය පෙළ හා උසස්පෙළ පැවත්වෙන දින ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

(14.02.2024 – 13:18 +0530 – hirunews.lk/sinhala)

2023 වසරේ සාමාන්‍ය පෙළ විභාගය මැයි – ජුනි මාස වලදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයේ අද (14) පැවති පාසල් පෙළ පොත් බෙදාදීමේ ජාතික උත්සවයට එක්වෙමින්.

එමෙන්ම උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත්, 2025 වසරේ නව පාසල් වාරය ජනවාරි දෙවනදාත් (02) අරඹන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රැකියා බිහි කිරීම සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ආරම්භ කළ යුතු බවයි ෴

2023 උසස් පෙළ විභාගයට අදාළව නර්තනය, සංගීතය, නාට්‍ය හා රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යා විෂයන් වෙනුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව නර්තනය සහ සංගීතය යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස (2024-02) 20 වනදා සිට 29 වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

නාට්‍ය හා රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යා විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ මේ මස (2024-02) 27 වනදා සිට මාර්තු 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *