නිවසක් කොල්ලකෑමට ගිය පුද්ගලයෙක් පහරදීමෙන් ජීවිතක්ෂයට

නිවසක් කොල්ලකෑමට ගිය පුද්ගලයෙක් පහරදීමෙන් ජීවිතක්ෂයට


නිවසක් කොල්ලකෑමට ගිය පුද්ගලයෙක් පහරදීමෙන් ජීවිතක්ෂයට

(11.02.2024 – 10:21 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ – යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයන් තුන්දෙනෙකුට (3) සිදුකළ පහරදීමකින් එක් (1) අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසීය සඳහන් කළේ, අද (11) අලුයම කොල්ලකරුවන් අදාල නිවසේ ප්‍රධාන දොර කඩා නිවසට ඇතුලුවී ඇති බවයි.

එම අවස්ථාවේ නිවසේ බිරිඳ පමණක් සිට ඇති අතර, ස්වාමි පුරුෂයා ව්‍යාපාරික කටයුත්තක් සඳහා නිවසින් පිටව ගොස් තිබුණා.

කොල්ලකරුවන් කාන්තාව සිටි කාමරයේ දොර විවෘත කරන ලෙස පවසා ඇති අතර, එම අවස්ථාවේ අසල්වැසි නිවසකට දුරකථනයෙන් ඇමතූ කාන්තාව නිවසට පිරිසක් බලහත්කාරයෙන් ඇතුලුවී ඇති බවට දැනුම් දී තිබුණා.

එහිදී අසල්වැසි නිවසේ පිරිමි පුද්ගලයා එම ස්ථානයට පැමිණ කොල්ලකරුවන්ට මෙලෙස පහරදී ඇති බවයි වාර්තාවන්නේ.

+

බූස්ස බන්ධනාගාරය තුළ සඟවා තිබු ජංගම දුරකථන සහ උපාංග කිහිපයක් සොයාගැනේ

(11.02.2024 – 14:11 +0530 – hirunews.lk/sinhala)

අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කර තිබෙන බූස්ස බන්ධනාගාරය තුළ සූක්ෂම ලෙස සඟවා තිබු ජංගම දුරකථන සහ උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම බන්ධනාගාරයේ A සහ D වාට්ටුවල පොළොව හාරා සූක්ෂම ලෙස එම උපාංග සඟවා තිබු බවයි.

ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් මෙම බන්ධනාගාරයේ රඳවා සිටින අතර, මීට පෙරද එම බන්ධනාගාරයේ සඟවා තිබු ජංගම දුරකථන කිහිපයක් සොයා ගැනුණා ෴

+


10.02.2024

පොලිස් අවිය උදුරාගෙන පොලීසියටම වෙඩිතබයි

(10.02.2024 – 22:06 +0530 – sinhala.adaderana.lk)

රාත්‍රී මුර සංචාරය අතරතුර ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමට ගිය මල්වතුහිරිපිටිය පොලීසියේ පොලිස් සැරයන්වරයෙකුට එහි රියදුරා වෙඩිතබා තිබේ.

පොලීසිය පැවසුවේ සැරයන්වරයාගේ රාජකාරි ගිනිඅවිය උදුරාගත් ත්‍රීරෝද රථ රියදුරු ඉන් ඔහුට වෙඩිතබා ගිනිඅවියද රැගෙන පළාගොස් ඇති බවය.

මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ අද (10) අලුයම් කාලයේදීය.

පොලීසිය පැවසුවේ, ප්‍රදේශයේ පිහිටි බැංකුවක දොරක් විවෘත කර තිබෙන බවට දුටු පොලිස් නිලධාරීන් එහි කළමනාකරුට ඒ පිළිබඳව දැනුම්දීමෙන් පසුව ඔහු පැමිණෙන තෙක් අදාළ ස්ථානයේ රැඳී සිට ඇති බවය.

එහිදී පැමිණි සැක කටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

එම අවස්ථාවේදී අදාළ ත්‍රීරෝද රථයේ සිට ඇත්තේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පොලිස් සැරයන්වරයාගේ සහෝදරිය සමග මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මඟහරිමින් සිටි ගම්පහ පදිංචි පුද්ගලයෙකි.

පසුව ඔහුව ජීප් රථයට නංවාගෙන පොලිස් ස්ථානයට රැගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේදී අදාළ සැරයන්වරයාගේ රාජකාරී රිවෝල්වරය උදුරාගෙන වෙඩි ප්‍රහාර දෙකක් (2) එල්ල කර ඇති බව පොලීසිය පැවසීය.

ඉන් අනතුරුව සැකකරු පොලිස් සැරයන්වරයාගේ රිවෝල්වරයද රැගෙන පළාගොස් තිබේ.

අදාළ පොලිස් සැරයන්වරයාගේ වම් ඇස ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහුව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

https://www.youtube.com/watch?v=r2nIeCQtIp8

+++++++

+


අවිස්සාවේල්ල පෙන්රිත් වතුයායේ ජල පිරිපහදුවෙන් කාන්දුවන ක්ලෝරීන් වායුව නිසා ප්‍රදේශවාසීන්ට ශ්වසන අපහසුතා

(11.02.2024 – 15:14 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල පෙන්රිත් වතුයායේ ජල පිරිපහදුවෙන් ක්ලෝරීන් වායුව වරින් වර කාන්දු වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ශ්වසන අපහසුතාවලට මුහුණ පා සිටිනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ පසුගිය 05 වැනිදා රාත්‍රියේ ද එම පිරිපහදුවෙන් ක්ලොරීන් වායුව කාන්දු වූ බවයි.

අවිස්සාවේල්ල පෙන්රිත් වතුයායේ පහළ කොටසේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ඉදිකර ඇති ජල පිරිපහදුවේ ක්ලෝරීන් වායුව වරින් වර කාන්දු වීම හේතුවෙන් පවුල් 47 ක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා.

2013 වසරේදී ද ක්ලෝරීන් වායුව කාන්දුවීම හේතුවෙන් හටගත් ශ්වසන අපහසුතා මත පුද්ගලයන් 347 දෙනෙකු අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට ද සිදුව තිබුණා.

ඉන් පසු වරින් වර අවස්ථා 5 කදී පමණ මෙවැනි සිද්ධීන් වාර්තා වී ඇති අතර එහි ආසන්නතම සිදුවීම පසුගිය 05 වැනිදා රාත්‍රියේ වාර්තා වූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

පිරිපහදුව ආශ්‍රිතව වරින් වර ඇතිවන මෙම තත්ත්වය හේතුවෙන් වතුයායේ පදිංචිකරුවන්ට පදිංචි වීම සඳහා රජය මගින් අක්කර 5 ක පමණ වෙනත් භූමි භාගයක් වෙන් කළත් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට බලධාරීන් මේ දක්වා පියවර ගෙන නොමැති බව ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මහරගම ඉංජිනේරු කාර්යාලයෙන් අප කළ විමසීමකදී එම කලාපය භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ ක්ලෝරීන් වායුව කාන්දුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි ෴


බහාලුම් පර්යන්තවල අනාරක්ෂිත ලෙස ගබඩා කර තිබෙන ආනයනය කළ ඖෂධ තොග රැසක්

(11.02.2024 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් මිලියන ගණනක් වැය කරමින් ආනයනය කළ ඖෂධ තොග රැසක් බහාලුම් පර්යන්තවල අනාරක්ෂිත ලෙස ගබඩා කර තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් විදේශ සමාගම් හරහා මෙම ඖෂධ මෙරටට ගෙන්වා තිබෙනවා.

මේ වන විට මෙම ඖෂධ වැලිසර, වත්තල සහ කැලණිය යන ප්‍රදේශවල බහාලුම් පර්යන්තවල ගබඩා කර ඇති අතර මෙහි ‘මෙරපෙනම්’ (Merapenum) වැනි ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ විශාල ප්‍රමාණයක් ගබඩා කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ඖෂධ ගබඩා කර ඇති ආකාරය වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා.

මෙලෙස බහාලුම් පර්යන්තවල ඖෂධ අනාරක්ෂිත ලෙස තැබීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් කරුණු විමසා ඇති බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් කරුණු විමසා තිබෙනවා.

බහාලුම් පර්යන්තවල ඖෂධ අනාරක්ෂිත ලෙස තැබීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් කරුණු විමසා තිබෙනවා ෴


‘යුක්තිය’ ඔස්සේ අපරාධකරුවන් 667 ක් අත්අඩංගුවට

(11.02.2024 – 11:08 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 564 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 103 ක් සමගින් මුළු සැකකරුවන් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 564 දෙනා අතරින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 07 ක්ද සිටින බවයි වාර්තා වෙන්නේ.

එසේම රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන සැකකරුවන් 09 ක් සිටින බව සඳහන්.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 103 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 08 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 92 ක්ද සිටින බවයි වාර්තා වෙන්නේ.

එම මෙහෙයුම්වලදී අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ :

  • හෙරොයින් 153 g 655 mg
  • අයිස් 88 g 255 mg
  • ගංජා 06 kg 462 g
  • ගංජා පැල 4,688
  • මාවා 113 g
  • මත්පෙති 180
  • මදන මෝදක 147 g

08.02.2024

+


බම්බලපිටියේ බස් රථ දෙකක් (2) ගැටී බිහිසුණු අනතුරක්

(11.02.2024 – 15:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් (2) එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඒ බම්බලපිටිය හින්දු විද්‍යාලය ආසන්නයේදීයි.

කොලඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ බම්බලපිටිය හින්දු විද්‍යාලය අසලදී මාර්ගය අයිනේ නවතා තිබූ කුඩා ලොරි රථයක් එක්වරම මාර්ගයට ඇතුල් කර ඇති අතර එවිට අනතුරක් සිදු වීම වලක්වා ගැනීම සදහා ගල්කිස්ස – පිටකොටුව බස්‍ රථය එක්වරම තිරිංග යෙදීමේදි ඊට පිටුපසින් පැමිණි අලුත්ගම – කොලඹ බස් රථය, ගල්කිස්ස බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

රියැදුරන්ගේ නොසැලකිලිමත් භාවය නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරින් කිසිවෙකුට හානියක් සිදුව නැති අතර බස්‍ රථ දෙකට දැඩි හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.

බම්බලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

++++++++


කුලී පදනම මත වාහන ලබා ගෙන කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක සුළමුල හෙළි වෙයි

(11.02.2024 – 16:00 +0530 – hirunews.lk/sinhala)

කුලී පදනම මත වාහන ලබා ගෙන ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ ගම්පහ කොට්ඨාස දූෂණ විමර්ශන අංශය විසින් සිදු කළ වැටලීමකට අනුවයි.

නිට්ටඹුව ප්‍රදේශයේ නිවසක වාහන කොටස් කරමින් සිටින බවට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එහිදී රුපියල් ලක්ෂ 50 ක් වටිනා මෝටර් රථයක් කොටස් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව අනාවරණය වී ඇත්තේ ඔවුන් කුලී පදනම මත වාහන ලබා ගෙන ඒවා කොටස් කර අලෙවි කරන බවයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කුලී පදනම මත වාහන ලබා ගෙන ඒවා කොටස් කර අලෙවි කර ඇති බවටයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නෙලුම්දෙණිය සහ නයිවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *