සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන වෛද්‍ය සමන් රත්නායකට සී.අයි.ඩීයෙන් වෙනත් දිනයක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන වෛද්‍ය සමන් රත්නායකට සී.අයි.ඩීයෙන් වෙනත් දිනයක්


සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන වෛද්‍ය සමන් රත්නායකට සී.අයි.ඩීයෙන් වෙනත් දිනයක්

(01.02.2024 – 12:56 +0530 – hirunews.lk/sinhala)

ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි 22,500 ක් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන වෛද්‍ය සමන් රත්නායක අද (01) දිනයේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණ ද ඒ සඳහා ඔහුට වෙනත් දිනයක් ලබාදී තිබෙනවා.

ඊයේ (31) ඔහු මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර එහිදී ඔහුගෙන් පැය 9 කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගැණුනා.

එමෙන්ම, මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද ඊයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ නමුත් තමාට ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහු දැනුම්දී තිබුණා.

ඒ කොළඹ මහාධිකරණයේ නඩුවකට අදාළව පෙනී සිටීමට සිදුවීම සහ ජනාධිපති කාර්යාලයේ පැවති රාජ්‍ය වියදම් කළමනාකරණ අමාත්‍ය අනු කමිටුවට සහභාගී වීම හේතුවෙන්.

මේ අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ආරම්භ කළ ‘කෙහෙළිය-ගෝ-ගම’ විරෝධතාව විසුරුවා හැරීමේ සිද්ධිය අතරතුර අත්අඩංගුවට ගනු ලැබූ 10 දෙනා අද (01) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව, ‘අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර, ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත ද සිටිනවා.

මේ අතර, ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි ගෙන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුලු 7 දෙනා අද (01) යළි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

++++++++

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක්

(01.02.2024 – 15:04 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ඔහුට හෙට (02) දිනයේ පෙරවරු 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසයි ෴

++++++++

හිටපු සෞඛ්‍ය ලේකම් ජානක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 6 ක් යළි රිමාන්ඩ්

(01.02.2024 – 18:07 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනොග්ලොබියුලින්’ ආනයනය කළැයි කියන සිද්ධියට සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ‘ජානක චන්ද්‍රගුප්ත’ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ පෙබරවාරි 15 වැනිදා දක්වා බවයි සඳහන් වන්නේ.

එමෙන්ම සැකකරුවන්ගෙන් එක් අයෙකු (1) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබෙනවා ෴


හෝටල් කාමරයක අබිරහස් මළ සිරුරක් (මානසික රෝගියෙකුගේ)

(01.02.2024 – 12:12 +0530 – hirunews.lk/sinhala)

= හෝටල් කාමරයක අබිරහස් මළ සිරුරක් =

හෝටල් කාමරයක් තුළින් අබිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වරාගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 ක තරුණයෙක් බවයි වාර්තා වෙන්නේ.

ඔහු ගාලුපාර, වෑවල ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති අතර ඊයේ (31) සිට ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොතිබූ නිසා ඒ පිළිබඳව හෝටලයේ කලමණාකාරිත්වය පොලිසියට දන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඔහු නවාතැන්ගෙන සිටි කාමරයේ ජනේලයක් විවෘතකර පරීක්ෂා කිරීමේදී ලේ විලක් මැද ඔහු වැටී සිටින ආකාරය දැක තිබෙනවා.

හික්කඩුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

+++++++

+


තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

(01.02.2024 – 11:55 +0530 – hirunews.lk/sinhala)

යාපනය චුන්නාකම් පොලිස් වසමේ තෙලිප්පලෙයි ප්‍රදේශයේදී ඊයේ (31) පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බව චුන්නාකම් පොලිසිය පවසනවා.

පුද්ගලයින් දෙදෙනෙකු (2) අතර ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් මෙසේ තියුණු ආයුධවලින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ පහරකෑමෙන් බරපතල කැපුම් තුවාල ලැබූ පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර පහරදීම සිදු කළ පුද්ගලයා පලා ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් චුන්නාකම් පොලිසිය විසින් මේ වන විට පලාගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.

පහරකෑමෙන් මිය ගොස් ඇත්තේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි චන්ද්‍රනාත් ගෝපිනාත් නැමැති පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතනය පවුල් දෙකක් (2) අතර වූ පුද්ගලික ආරවුලක් මත සිදුව ඇති බවට අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු 57 හැවිරිදි තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන් ෴


අලුත්වැඩියා කළ සුඛෝපභෝගි ලංගම බස් රථ 17 ක් යළි ධාවනයට

(01.02.2024 – 11:48 +0530 – hirunews.lk/sinhala)

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ධාවනයෙන් ඉවත් කර තිබූ සුඛෝපභෝගි බස් රථ 17 ක් ප්‍රතිසංස්කරණය කර නැවත ධාවනයට එක් කිරීම සිදුකර තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ එම බස් රථ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 10 කට වඩා අඩු මුදලක් වැය වී ඇති බවයි.

මේවා මෙරට අධිවේගී මාර්ග තුල ධාවනය කිරීම මගින් දිනකට රුපියල් ලක්ෂයකට අධික ආදායමක් උපයා ගත හැකි බව ද එම අමාත්‍යාංශය කියා සිටියා ෴


ඔන්ලයින් පනත අද (01) සිට බලාත්මකයි

(01.02.2024 – 10:36 +0530 – hirunews.lk/sinhala)

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත අද (01) සිට බලාත්මකයි.

ඒ එම පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය සටහන් කිරීමත් සමඟයි.

පසුගිය ජනවාරි මස 23 සහ 24 යන දින දෙකෙහි පාර්ලිමේන්තුවේ මෙම කෙටුම්පත විවාද කිරීමෙන් අනතුරුව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 108 ක් සහ විපක්ෂව ඡන්ද 62 ක් හිමිවුණා.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීම, රට තුල සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීමට මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩපැවැත්වීම ඇතුලු කරුණු රැසක් අන්තර්ගත වනවා.

+

+

+


නව ‘අස්වැසුම’ ප්‍රතිලාභීන් සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරී 10 වැනිදා

(01.02.2024 – 09:34 +0530 – hirunews.lk/sinhala)

නව ‘අස්වැසුම’ ප්‍රතිලාභීන් ලක්ෂ 4 ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම ලබන 10 වනදා ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේදී ඊයේ (31) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී විවිධ පාර්ශව වලින් ලද යෝජනා අනුව නිර්ණායක සංශෝධනය කිරීමට ද බලපොරොත්තු වන බවයි.

පවුල් තෝරා ගැනීමේ දී සිදුවු නිර්ණායක වලට බර තැබීමේ දී යමෙකුට මෙම වැඩපිළිවෙලට අයදුම් කිරීමට නොහැකි වූයේ නම්, මේ හරහා ඔවුන්ට ද අයදුම් කිරීමට හැකියාව හිමිවනවා ෴


මිල සංශෝධනයත් සමග බස් සංගම් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

(01.02.2024 – 09:32 +0530 – hirunews.lk/sinhala)

ලංකා සුදු ඩීසල් මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව බස් සංගම් ප්‍රකාශ කළා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අද (01) සාකච්ඡා කරන බවයි.

එමෙන්ම 10% ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ.

මේ අතර පාසල් වෑන් රථ ගාස්තු සම්බන්ධයෙන් දෙමාපියන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය තීරණ ගැනීමට සිය සාමාජිකයන්ට අවස්ථාව ලබා දී ඇති බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා ප්‍රකාශ කළේ.

එමෙන්ම ත්‍රිරෝද රථ සංගම් සදහන් කළේ, මෙම අවස්ථාවේ ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොකරන බවයි.

+


‘යුක්තියෙන්’ 878 ක් අත්අඩංගුවට

(01.02.2024 – 09:04 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 878 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 649 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 229 ක් සමගින් මුළු සැකකරුවන් 878 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 649 දෙනා අතරින් සැකකරුවන් 06 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 04 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවද සඳහන්.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 15 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 229 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 26 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 192 ක්ද සිටිනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 03 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 08 ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් :

  • හෙරොයින් 130 g
  • අයිස් 134 g
  • ගංජා 01 kg 200 g
  • මාවා 136 g
  • මදනමෝදක 01 kg 100 g
  • මත්පෙති 2,211

ගෙවුණු වසරේ අවුරුදු 18 ට වඩා අඩු ගැබිනියන් 167 ක්

(01.02.2024 – 07:15 +0530 – hirunews.lk/sinhala)

ගෙවී ගිය වසර තුළ අවුරුදු 18 ට වඩා අඩු ගැබිනියන් 167 ක් වාර්තා වී තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මේ පිළිබඳව සඳහන්කර සිටියා.

එමෙන්ම එම වර්ෂයේදී අවුරුදු 18 අඩු ළමා අපරාධ 1,502 ක්ද, කැමැත්ත ඇතිව ස්ත්‍රී දූෂණ 1,163 ක්ද, බලහත්කාරකම් ලෙස සිදු වූ ස්ත්‍රී දූෂණ 339 ක්ද වාර්තා වී ඇති බවයි අමාත්‍යවරිය සඳහන්කර සිටියේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශකර සිටියේ මෙවැනි අදහසක් :

“මැතක සිට අපේ රටේ කාන්තාවන්ට එරෙහිව දූෂණ සහ ඝාතන රැල්ලක් ඇති වෙමින් පවතිනවා. මෙය ඉතා භයානක තත්වයක්. මේ හේතුව නිසා කාන්තාවන් සහ දරුවන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. පසුගිය වර්ෂයේ දී අවුරුදු 18 ට අඩු ළමා අපරාධ 1502 ක් වාර්තා වී තිබෙනවා. එසේම 18 ට අඩු ස්ත්‍රී දූෂණ සිදුවීම් 1163 ක් වාර්තා වී තිබෙනවා. එහි භයානකම තත්වය අවුරුදු 18 ට අඩු ළමා ගැබ් ගැනීම් 167 ක් වාර්තා වී තිබීම” ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *