බෙලිඅත්තේ ඝාතනයට ඇල්ලූ කාන්තාවන් ඇතුළු තුන්දෙනෙකු (3) රඳවාගෙන ප්‍රශ්න කෙරේ

බෙලිඅත්තේ ඝාතනයට ඇල්ලූ කාන්තාවන් ඇතුළු තුන්දෙනෙකු (3) රඳවාගෙන ප්‍රශ්න කෙරේ


බෙලිඅත්තේ ඝාතනයට ඇල්ලූ කාන්තාවන් ඇතුළු තුන්දෙනෙකු (3) රඳවාගෙන ප්‍රශ්න කෙරේ

(31.01.2024 – 11:12 +0530 – hirunews.lk/sinhala)

බෙලිඅත්ත දක්ෂිණ අධිවේගි මාර්ග පිවිසුම ආසන්නයේදී ‘අපේ ජනබල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ඇතුලු පස්දෙනෙකුට (5) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා (2) ඇතුලු තුන්දෙනා (3) අද (31) දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.

ඒ, මොවුන් තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර හමුවට ඊයේ (30) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම කාන්තාවන් දෙදෙනා (2) වෙඩි තැබීමේ සිද්ධියට යොදාගත් ගිනි අවි දෙක (2) ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ට සහය දැක්වීමේ චෝදනාව මතයි අනෙක් පුද්ගලයා (1) අත්අඩංගුවට ගනු ලැබුවේ.

මේ සඳහා සහය දැක්වූ මීගමුව ප්‍රදේශයේ තවත් තරුණයෙකු (1) ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම වෙඩි තැබීමේ සිද්ධියට මේ වනවිට 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත – කහවත්ත පිටවීම ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමෙන්, ‘අපේ ජනබල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ඇතුලු පස්දෙනෙකු (5) ජීවිතක්ෂයට පත් වුණේ පසුගිය 22 වනදායි ෴


පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට (2) පහරදී මංකොල්ල කාලා

(31.01.2024 – 10:58 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ මනිපායී පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට (2) පහර දි ඔවුන් සතුව තිබූ මුදල් යතුරු පැදියක යතුරක් හා හිස්වැසුම් දෙකක් (2) ඇතුළු භාණ්ඩ රැසක් කොල්ල කෑම සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු (5) ඊයේ (30) මනිපායී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් දෙදෙනා (2) රාජකාරී කටයුත්තක් යමින් සිටිය දී අදාළ පිරිස මත්පැන් පානය කරමින් සිට ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනා (2) යතුරු පැදිය නවතා ඔවුන්ට අවවාද කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම පිරිස විසින් පොලිස් නිලධාරීන් දෙදෙනාට (2) පහර දී ඔවුන් සතු දේවල් මංකොල්ල කා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ පසුව පොලිස් නිලධාරීන් දෙදෙනා (2) මේ පිළිබදව මනිපායී පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිස් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට පැමිණ ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනා (2) බේරා ගෙන ඇති බවයි.

ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනා (2) යාපනයේ සංගානෙයි රෝහල වෙත ඇතුළත් කර අති බවද සඳහන්.

පසුව එම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකින් පසුව සැකකරුවන් පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පහර දීමේ හා මංකොල්ල කෑමේ සිද්ධියට පුද්ගලයින් 9 දෙනෙකු සම්බන්ධ බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මනිපායී පොලීසියේ රඳවා ගෙන ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන්ව යාපනය මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ආබාධිත ප්‍රජාවටත් මැතිවරණවලදී සම අවස්ථාව

(31.01.2024 – 10:52 +0530 – hirunews.lk/sinhala)

ආබාධිත ප්‍රජාවටද ඉදිරි මැතිවරණවලදී සම අවස්ථාවක් ලබාදීමේ අරමුණෙන් ශ්‍රවණාබාධිතයින් සඳහාම සංඥා 325 කින් යුත් මැතිවරණ ශබ්ද කෝෂයක් ඉදිරි මැතිවරණ සඳහා සකස් කර තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (30) පැවති පූර්ණ ආබාධිත තැනැත්තන් සඳහා හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහනට එක්වෙමින්.

එසේම සංඳා භාෂාව පිළිබඳව දැනුමැති නිලධාරීන්ද ඉදිරි මැතිවරණවලදී ජන්ද මධ්‍යස්ථානවල සේවයට යෙදවීමට සැලසුම් කර ඇති බවද ඔහු කියා සිටියා.

මැතිවරණයකදී ආබාධිතභාවයක් බල නොපාන අතර, ආබාධිත මෙන්ම ආබාධිත නොවන සෑම පුද්ගලයෙකුගේම ජන්දයට එක හා සමාන වටිනාකමක් පවතින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කළේ ෴


මාලදිවයින් – ශ්‍රී ලංකා ගිලන් ගුවන් ප්‍රවාහන සේවය මාර්තු පළමුවනදා (01) ඇරඹේ

(31.01.2024 – 09:58 +0530 – hirunews.lk/sinhala)

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගිලන් ගුවන් ප්‍රවාහන සේවාව මාර්තු මස 01 වනදා සිට ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මාලදිවයිනේ ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් සහ විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර ඊයේ (30) පැවති සාකච්ඡාවකදීයි මේ සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණ ඇත්තේ.

මාලදිවයිනේ වෙසෙන ජනතාවට සිදුවන හදිසි අනතුරු සහ රෝගාබාධ වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට කඩිනමින් පැමිණීමට අවස්ථාව ලබාදීම මෙම ගිලන් ගුවන් සේවාව ආරම්භ කිරීමට හේතුවයි. මාලදිවයින් ගුවන් සේවා අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ, මේ දක්වා සිය වැසියන් හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඉන්දියාවට රැගෙන ගියත්, මෙරට හදිසි ප්‍රතිකාර කටයුතු වල පවතින ගුණාත්මකභාවය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි ෴


‘යුක්තිය’ ඔස්සේ තවත් 729 ක් අත්අඩංගුවට

(31.01.2024 – 09:44 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිදුකළ ‘යුක්තිය’ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 499 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 230 ක් සමගින් මුළු සැකකරුවන් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 499 දෙනා අතරින් සැකකරුවන් 03 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 04 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 03 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 230 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 19 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 204 ක්ද සිටින බවයි වාර්තා වෙන්නේ.

මෙහෙයුම යටතේ අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වෙයි.

  • හෙරොයින් 146 g
  • අයිස් 119 g
  • ගංජා 945 g
  • ගංජා පැල 6,241
  • ඈෂ් 308 g
  • මාවා 614 g
  • මදනමෝදක 254 g

සනත් නිශාන්තගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය ජගත් ප්‍රියංකරට

(31.01.2024 – 08:55 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අභාවයෙන් පුරප්පාඩු වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ‘ජගත් ප්‍රියංකර’ පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසන 5 ක් හිමි වූ අතර එහිදී මනාප 80,082 ලබා ගනිමින් ‘සනත් නිශාන්ත’ එම දිස්ත්‍රික්කයේ පළමුවැනියා බවට පත්වූවා.

ප්‍රියන්කර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත අනෙක් ආසන හතර (4) හිමි කර ගැනීමට සමත් වුණා.

එම ලැයිස්තුවේ හයවැනි (6) ස්ථානය ‘ජගත් ප්‍රියංකර’ට හිමි කරගත් අතර ඔහුට ලැබුණු මනාප සංඛ්‍යාව 40,527 ක්.

ඒ අනුව ‘සනත් නිශාන්ත’ ගෙන් පසු හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැයිස්තුව අනුව පත් වීමට නියමිතව තිබූ ‘ජගත් ප්‍රියංකර’ට මෙම මන්ත්‍රී ධුරය හිමිවූ බවයි වාර්තා වෙන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (30) නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(2) වන වගන්තිය අනුව මෙම පත් කිරීම සිදු කර ඇති බවයි ෴


කරුවලගස්වැව තවත් වෙඩි තැබීමක්

(31.01.2024 – 08:36 +0530 – hirunews.lk/sinhala)

කරුවලගස්වැව පොලිස් වසමේ බුද්ධි ධීවර ගම්මානය ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් හේතුකොට ගෙන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඊයේ (30) රාත්‍රියේ වෙඩි තැබීම සිදුව ඇති අතර ඉන් තුවාල ලැබූ පුද්ගලයෙක් මේ වනවිට පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

මෙසේ තුවාල ලබා ඇත්තේ අවුරුදු 40 ක් වූ පාවට්ටාමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වෙන්නේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


පියාගේ බැනුම් හමුවේ පුතා සියදිවි නසාගෙන

(31.01.2024 – 07:42 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ වඩමරච්චි තුන්නාලේ ප්‍රදේශයේ අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යයෙකු අමුතු මෝස්තරයකට කොණ්ඩය කැපීම සම්බන්ධයෙන් පියා ඔහුට බැන වැදීම නිසා ඔහු ගෙළ වැළලාගෙන ඊයේ (30) සිය දිවි හානිකරගෙන තිබෙනවා.

දිනේෂ් ආදවන් නැමති මෙම සිසුවා කොණ්ඩය කපන ස්ථානයකින් කොණ්ඩය කපා ගෙන නිවසට පමිණි පසුව එම කොණ්ඩා මෝස්තරය පාසල් සිසුවෙකුට නොගැලපෙන නිසා වහාම ගොස් යළි නිසි ලෙස කොණ්ඩය කපාගෙන එන ලෙස පවසමින් සිසුවාගේ පියා ඔහුට බැන වැදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහු කොණ්ඩය කපන්නට යන මුවාවෙන් නිවසින් එළියට ගොස් ලණුවක් ගෙළෙහි බැද අසල ගසක අත්තක එල්ලී සිය දිවි හානි කරගෙන තිබෙනවා.

වහාම ඔහුව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇතත් පසුව ඔහු මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

නෙල්ලි අඩි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබනවා ෴


අධිවේගී මාර්ග භාවිත කිරීමේදී නව නීති රීති මාලාවක්

(31.01.2024 – 07:01 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ග භාවිත කිරීමේදී නව නීති රීති මාලාවක් ඇතුළත් නව ගැසට්ටුවක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව පවතිනවා.

අවම වේග සීමාව ඇතුළත් කරමින් නව ගැසට් නිවේදනය තවත් සති දෙකකින් (2) ප්‍රකාශයට පත්කරන බවයි වාර්තා වෙන්නේ.

මේ බව සඳහන්කර සිටියේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (30) කොළඹදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අතරතුරදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන්කර සිටියේ මෙවැනි අදහසක් :

“අධිවේගී මාර්ගයන්හි ගමන් ගන්නා පුද්ගලයන්ගේ පුද්ගල විශේෂතාවලින් තොරව ජීවිත ආරක්ෂාව සඳහාත් ශරීරාංග ආරක්ෂා කිරීමතට නව විධිවිධාංග ඇතුළත් ගැසට් පත්‍රයක් සති දෙකකින් (2) නිකුත් කිරීමට කටයුතු කරනවා. මේ ගැන අදාළ පාර්ශ්ව සියල්ල සමග සාකච්ඡාවක් කළා. කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ අනතුරුවලට හේතුව අධික වේගයෙන් රිය ධාවනය. ඒ වගේම අවශ්‍ය වේගයට වඩා අඩු වේගයෙන් ගමන් කරන වාහන ඉස්සර කිරීමට යාමේදී සිදුවන අනතුරු, මෙන්ම බීමත්ව රිය පැදවීම වැනි කරුණු ඉදිරිපත් වුණා. ඒ අනුව පුද්ගල භේදයකින් තොරව සැමට පොදුවන දැඩිව ක්‍රියාත්මක කරන රීති නීති පද්ධතියක් ඉතා කෙටිකාලයක් තුළදි ප්‍රකාශයට පත්කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *