සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් හෙට (01) සංකේත වැඩ වර්ජනයක
(31.01.2024 – 14:35 +0530 – hirunews.lk/sinhala)
රුපියල් 35,000 කින් ඉහළ දැමීමට තීරණය කළ වෛද්‍යවරුන්ගේ ‘රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා’ හෙවත් ‘ඩැට්’ දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් හෙට (01) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි.
මේ අතර ප්‍රශ්නගත ඖෂධ ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සදහා හිටපු සෞඛය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
එම සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බවද වාර්තා වනවා.
රුපියල් 35,000 කින් ඉහළ දැමුණු වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා හෙවත් ‘ඩැට්’ දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් ඊයේ (30) දහවල්ද වෘත්තී සමිති කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
එවැනි පසුබිමක තවමත් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දීමනාවක් ලබා දීම කෙරෙහි රජය හෝ මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් සාධනීය මැදිහත් වීමක් නොමැතිවීම හේතුවෙන් හෙට (01) දිනයේ සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධව වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙනවා ෴
ජනපතිගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියේ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
(31.01.2024 – 15:05 +0530 – hirunews.lk/sinhala)
ජනාධිපති රනිල් වික්‍රමසිංහට අයත් කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියේ සී.සී.ටී.වී. සහ වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (31) නියෝග කළා.
එහිදී සිද්ධියට අදාළව ඇප මත මුදා හැර ඇති අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් 4 දෙනෙකුට වරෙන්තු ද නිකුත් කෙරුණා.
පසුගිය වසරේ ජුලි මස 09 වනදා ගිනි තබනු ලැබූ ජනාධිපතිවරයාගේ නිවසේ ගින්න මැඩපැවැත්වීමට සදහා පැමිණි රථයකට බාධා කරමින් රජයේ සේවකයින්ට අයුතු අවහිරයක් සිදුකළ බවට චෝදනා එල්ල වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. රංගා ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ ෴
කැලණිය සරසවියේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත වෙයි
(31.01.2024 – 14:32 +0530 – hirunews.lk/sinhala)
කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (31) විවෘත කෙරුණා.
ඒ එම විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ජනාධිපතිවරයාගේ පැමිණීමට එරෙහිව ඊයේ (30)සහ පෙරේදා (29) විරෝධතාවල නිරත වූ පසු බිමකයි.
අනතුරුව සිසුන් විශ්ව විද්‍යාල පාලන අධිකාරිය සමග ඊයේ (30) පස්වරුවේ සාකච්ඡාවක්ද පැවති අතර එය නිම වීමෙන් පසු සිසු සංගම්වල නියොජිතයින් ප්‍රකාශ කළේ, අදාළ සාකච්ඡාව අසාර්ථක බවයි.
කෙසේ වෙතත් කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පරිබාහිරව, එනම් කැළණිය ප්‍රාදේශීය සභාව ආසන්නයේ පිහිටි අදාළ පශ්චාත් උපාධි ආයතනය වෙත පැමිණි ජනාධිපතිවරයා නව ගොඩනැගිල්ල විවෘත කළා.
එම ස්ථානයේ මෙන්ම කැළණිය විශ්වවිද්‍යාලය අවට ආරක්ෂාව තර කර තිබූ බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.
+
නිල්වලා ගඟේ පැරණී වැලි බාධකය ඉවත් කරන්නැයි උපදෙස්
(31.01.2024 – 14:22 +0530 – hirunews.lk/sinhala)
නිල්වලා ගඟ ආශ්‍රිතව ඇති වන ගංවතුර අවම කිරීම සඳහා කොටසක් පමණක් ඉවත් කර ඇති පැරණි වැලි බාධකය වහාම සම්පූර්ණයෙන් ඉවත් කරන්නැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා.
ඒ පාර්ලිමේන්තුවේදී එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.
සාකච්ඡාව සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, දකුණු පලාත් ජල සම්පාදන මණ්ඩලය, යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහ මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ද කැඳවා තිබුණා.
නිල්වලා ගඟ ආශ්රිත ගංවතුර තත්ත්වය නිල්වලා නිම්නයේ ස්වභාවික තත්ත්වයක් ද, නොඑසේ නම් ඇති කරන ලද ලවණ බාධකය නිසා සිදුවූ තත්ත්වයක් ද යන්න මෙහිදී කාරක සභාව විමසා සිටියා.
ජනතාව නගන චෝදනා සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙතෙක් ගෙන ඇති පියවර ගැන ද මෙහිදී කාරක සභාව ප්‍රශ්න කළා.
එහිදී හෙළිදරව් වූයේ පැරණි වැලි බාධකය ලවණ බාධකයටත් වඩා මෙම ගංවතුර තත්ත්වයට බලපා ඇති බවයි.
ඒ අනුව, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය සහ අදාළ ආයතන සමග එක්ව අප්‍රේල් මාසයට පෙර වැලි බාධකය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවටයි කාරක සභාව උපදෙස් ලබා දුන්නේ ෴
පාලමක් අසළ බිළිඳු මළ සිරුරක්
(31.01.2024 – 14:04 +0530 – hirunews.lk/sinhala)
පාලමක් අසළ තිබී අද (31) උදෑසන බිළිඳු මළ සිරුරක් හමුවී තිබෙනවා.
රාජගිරිය මාදින්නාගොඩ පාලම අසල තිබී මෙම බිළිඳු මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මළසිරුර තිබූ ස්ථානයේ නවතා තිබුණු කාර් රථයක ලේ පැල්ලම් කිහිපයක්ද දක්නට ලැබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴
ටෙලිකොම් කොටස් ගන්න ඉන්දීයාවේ අම්බානි සහ චීන සමාගමක් තරගයට
(31.01.2024 – 13:52 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා ටෙලිකොම්හි රජය සතු බහුතර කොටස් ලබා ගැනීම සඳහා සමාගම් දෙකක් (2) මූලික සුදුසුකම් ලබා ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරනවා.
එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, ඉන්දියාවේ සමාගමක් සහ චීනයේ සමාගමක් එලෙස සුදුසුකම් ලබා ඇති බවයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු පාලන බලතල හිමි 50.23% ක කොටස් විකිණීමේ අවසන් අදියරට චීන සහ ඉන්දීය සමාගම් 2 ක් තෝරාගෙන ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කළා.
රජය, ශ්‍රී ලංකා ටෙලිකොම්හි කොටස් බෙදා හැරීම සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් කරන්නැයි ඉල්ලා තිබූ අතර, එම යෝජනා ඉදිරිපත් කිරීමේ කාලය පසුගිය 12 වැනිදා පස්වරු 02 න් අවසන් වුණා.
ඒ සඳහා ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ‘මුකේෂ් අම්බානි’ගේ ‘රිලායන්ස්’ ව්‍යාපාරයට අයත් ‘ජියෝ ප්ලැට්ෆෝර්ම්’ සමාගමත්, චීනයේ ‘ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින්ග්ස්’ සමාගම ඉදිරිපත් ව සිටියා.
ඒ අනුව, ලැබුණු මිල ගණන් ඉල්ලීම් ඇගයීමට ලක් කර ඇත්තේ පසුගිය වසරේ ජූලි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද රජය සතු ව්‍යවසායන් බෙදා හැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශ මත පදනම්වයි.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටු 2 ක් විසින් කළ එම ඇගයීමේ දී ලංසුකරුවන් දෙදෙනෙකු (2) පූර්ව සුදුසුකම් ලබා තිබෙනවා.
එලෙස තෝරාගෙන ඇත්තේ, ඉන්දියාවේ ‘ජියෝ ප්ලැට්ෆෝර්ම්’ සමාගම සහ චීනයේ ‘ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින්ග්ස්’ සමාගම යන සමාගම් 2 යි.
ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ‘මුකේෂ් අම්බානි’ගේ ‘රිලායන්ස්’ ව්‍යාපාරයට අයත් ඉන්දියාවේ ‘ජියෝ ප්ලැට්ෆෝර්ම්’ සමාගම සතුව මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 107 ක වත්කම් පවතින බව සඳහන්.
‘ෆෝබ්ස්’ ව්‍යාපාරික වෙබ් අඩවියට අනුව, ‘මුකේෂ් අම්බානි’ ලොව ධනවත්ම ව්‍යාපාරිකයින්ගේ ලැයිස්තුවේ පසු වන්නේ, 11 වැනි ස්ථානයේයි.
සුදුසුකම් ලැබූ අනෙක් සමාගම වන චීනයේ ‘ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින්ග්ස්’ සමාගම චීනයේ දකුණුදිග කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ‘ග්වැන්ග්ඩොන්ග්’ පළාතෙන් පිටත පිහිටි පෞද්ගලික කොටස් සමාගමක්.
ශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු කොටස් විකිණීමේ විශේෂ උපදේශක ආයතනය ලෙස කටයුතු කරන්නේ ‘ලෝක බැංකුව’ට අනුබද්ධ ‘ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව’යි ෴
පොලිසියේදී තරුණයෙක් අබිරහස් ලෙස මියයයි
(31.01.2024 – 13:43 +0530 – hirunews.lk/sinhala)
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණයෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
පොලීසියට රැගෙන යනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයක සිටි ඔහුගේ මරණය සැකසහිත බවටයි ඥාතීන් චෝදනා කරන්නේ.
21 හැවිරිදි ‘සනුක ගිහාන්’ අනුරාධපුර දෙවන පියවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
‘සනුක’ගේ මව විදෙස්ගතව සිටින අතර පියා කොළඹ රැකියාවක නිරත වනවා. එම නිසා ‘සනුක’ සිටින්නේ සිය නැන්දනිය භාරයේයි.
ඊයේ (30) උදෑසන 09:15 ට පමණ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ විශේෂ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට ‘සනුක’ සමඟ තවත් තරුණයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව පස්වරු 03:00 ට පමණ පොලිසිය ඥාතීන්ට පවසා ඇත්තේ සනුක මියගිය බවයි.
අනුරාධපුර පොලීසිය පවසන්නේ සිරමැදිරිය තුළ සිටියදී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම තරුණයා මියගිය බවයි.
කෙසේ වෙතත් මෙම හදිසි මරණය සැක සහිත බවයි තරුණයාගේ ඥාතීන් පවසන්නේ.
+
තරුණියක් කෙලෙසූ සිව් (4) දෙනෙකු අත්අඩංගුවට
(31.01.2024 – 12:38 +0530 – hirunews.lk/sinhala)
තැපල් සේවකයින් සිව් (4) දෙනෙකු විසින් අවුරුදු 26 ක තරුණියක් දූෂණය කළ බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ රුවන්වැල්ල ප්‍රදේශයෙන්.
මෙම තරුණිය සිය මව සමඟ රුවන්වැල්ල ප්‍රදේශයේ පිහිටි තැපල් කාර්යාලයට ගොස් ඇති අතර එහිදී අවුරුදු 27 ක තරුණයෙකු සමඟ සුහද වී තිබෙනවා.
එහිදී තරුණයා මෙම තරුණියට දුරකථන අංකය ලබා දී ඇත්තේ උපකාරයක් අවශ්‍යය වුවහොත් දැනුම්දෙන්න යනුවෙන් පවසමින්.
පසුව ඔවුන් දෙන්නා දුරකථනය ඔස්සේ හිතවත්කමක් ඇතිකරගෙන ඇති අතර තරුණිය කන්නන්තොට පිහිටි නිවස වෙත ගෙන්වා ගෙන මෙලෙස දූෂණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
අදාල තරුණයා මේ සඳහා රුවන්වැල්ල සහ ඉබුලාන තැපැල් කාර්යාලවල සේවය කරන සිය මිතුරන් තිදෙනෙකු (3) ද සහභාගී කරගෙන ඇති අතර ඔවුන් සිව් (4) දෙනා මෙලෙස තරුණිය දූෂණය කර ඇති බවයි සඳහන් වූයේ.
මේ වනවිට තරුණිය ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත්කර ඇති අතර අදාළ තරුණයින් සිව් (4) දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වූයේ.
+
බරපතල ප්‍රතිවිපාකවලට සැරසෙන්න.. මද්දුම බණ්ඩාර, හර්ෂ, එරාන්, කබීර් මා සමගයි.. – ෆොන්සේකා SJB මෙහෙයුම් අරඹයි..
(01.02.2024 – 00:02 +0530 – lankacnews.com)
හිටපු හමුදාපති දයා රත්නායක මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් නොකරන්නේ නම් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව පක්ෂයේ සභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
ඒ අනුව තමන් මෙම ඉල්ලීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් කරන ලද බවත් හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් තමන් පක්ෂය හැර නොයන නමුත් එම පත් පත් කිරීමට එරෙහිව කටයුතු කිරීමට සිදුවන බවද ඔහු අවධාරණය කරයි.
දයා රත්නායක මහතා පක්ෂයට එක්කර ගැනීම සම්බන්ධයෙන් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවා එකඟතාවයක් නැති බවද ඔහු සඳහන් කරයි.
හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම මේ පිලිබදව අප්‍රසාදය තමන් හා සඳහන් කළ බවද ෆොන්සේකා මහතා තවදුරටත් කියා සිටියේය.
පක්ෂයට කැමති ඕනෑම අයෙකු පිළිගැනීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය හිස් චෙක් පතක් නායකයාට ලබා දී නැති බවත් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම පැවසුවේය.
+
සූර්ය පැනල සවි කිරීමෙන් විදුලි ඒකක මිලියන 630 ක් ජාතික පද්ධතියට
(31.01.2024 – 11:32 +0530 – hirunews.lk/sinhala)
පියැසි මත සූර්ය පැනල සවි කිරීමේ ක්‍රමවේදය යටතේ පසුගිය 2023 වසරේදී පමණක් විදුලි ඒකක මිලියන 630 ක් ජාතික පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
සාම්ප්‍රදායික විදුලිය භාවිත කිරීමේ ක්‍රමයෙන් බැහැරව නව තාක්ෂණික අත්දැකීම් ලබා ගනිමින් ජාතික පද්ධතියට විදුලිය අලෙවි කිරීමට පාරිභෝගිකයින් යොමුව තිබීම අගය කළ යුතු බවයි එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
මෙවැනි පරිසර හිතකාමී ව්‍යාපෘති හේතුවෙන් රටේ පුනර්ජනනීය බලශක්ති භාවිතය වර්ධනය වන බව ද ඔවුන් පෙන්වා දෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴