මෙරට යාචකයින්ගේ ශීඝ්‍ර වර්ධනයක්

මෙරට යාචකයින්ගේ ශීඝ්‍ර වර්ධනයක්


මෙරට යාචකයින්ගේ ශීඝ්‍ර වර්ධනයක්

(30.01.2024 – 16:13 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදයත් සමඟ යාචකයින් (හිඟන්නන්) බිහිවීම නාගරික සමාජය තුළ ද ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව ආර්ථික හා සමාජ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් යාචකයින් පිළිබඳ නිසි සංගණනයක් අදටත් නොමැතිවීම හේතුවෙන් ඔවුන් විධිමත් වැඩපිළිවෙළක් හරහා ජාතික ආර්ථිකයට එක්කර ගැනීම පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකයි.

2020 වසරේ මතු වූ ගෝලීය කොවිඩ් 19 වසංගතයේ සිට මේ දක්වා ආර්ථික අර්බුද රැළි ගණනාවකට මෙරට සමාජය මුහුණ දී තිබෙනවා.

එහි බලපෑම යාචක සමාජ කණ්ඩායම්වලට ප්‍රබලව දැනුණු බව නොරහසක්.

2019 වසරට සාපේක්ෂව 2023 වර්ෂය වනවිට නාගරික සමාජය තුළ යාචකයින් බිහිවීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන්නේ එවැනි පසුබිමකයි.

සමාජ පිළිසරණක් අවැසි සැබෑ යාචකයින්ට මුවා වී මුදල් උපයාගන්නා කූට ව්‍යාපාරවල සාමාජිකයින් ද යාචකයින් ලෙස පෙනී සිටින බව ආර්ථික හා සමාජීය කරුණු පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාර්ථීන් යළි යළිත් සනාථ කරගෙන තිබෙනවා.

2023 වර්ෂයේදී සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් මෙරට යාචකයින් පිළිබඳ අධ්‍යයනයක් හා සංගණනයක් සිදුකර ඇතත් එහි වාර්තාව මෙතෙක් නිකුත් කර නොමැත.

එම නිසා මෙරට තුළ යාචකයින් කොපමණ ප්‍රමාණයක් සිටිනවා ද යන්න පිළිබඳව ඇත්තේ අවිනිශ්චිතභාවයක්.

එමෙන්ම මෙරට තුළ යාචකයින් පුනරුත්ථාපනය කිරීම සඳහා ඇත්තේ එකම මධ්‍යස්ථානයක් පමණයි.

රිදියගම පිහිටි එම මධ්‍යස්ථානයේ යාචකයින් 600 කට ආසන්න පිරිසක් සිටිනවා.

සමාජය තුළ සිටින සැබෑ අවශ්‍යතා සහිත යාචකයින් නිවැරදිව හඳුනා නොගැනීම මෙම සමාජ ගැටලුවට විසඳුම් සෙවීමට ඇති මූලිකම බාධකයයි.

+


ළිඳක තිබී තරුණියකගේ මළ සිරුරක් හමුවෙයි

(30.01.2024 – 15:53 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව, කුරුමන්කාඩු, කාලි කෝවිල වීදිය ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක තිබී කාන්තා මළ සිරුරක් අද (30) සොයා ගෙන තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් වන එක් දරු මවක්.

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදේශගතව සිටින බවයි වාර්තා වී ඇත්තේ.

අප වාර්තාකරු පැවසුවේ අදාළ කාන්තාව ස්වාමිපුරුෂයාගේ ඥාතීන් ද සමඟ ඔවුන්ගේ නිවසේ ජිවත් ව සිට ඇති බවයි.

මියගිය කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව එය පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴


සමාජ ක්‍රියාකාරි පියත් නිකේෂල රිමාන්ඩ්

(30.01.2024 – 15:04 +0530 – hirunews.lk/sinhala)

සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල හෙට (31) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද (30) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමඟ පුද්ගලයෙකු සිදුකළ සාකච්ඡාවක් යූ ටියුබ් නාලිකාවක් මගින් ප්‍රචාරය කර තිබුණා.

+


යතුරුපැදි ධාවනය කරමින් TikTok විඩීයෝ කළ තරුණයින් දෙදෙනෙකු (2) අනතුරට

(30.01.2024 – 14:28 +0530 – hirunews.lk/sinhala)

හොරණ ප්‍රදේශයේ දී යතුරුපැදි ධාවනය කරමින් දුරකථනයෙන් TikTok විඩීයෝවක් විඩියෝ කරමින් ගිය තරුණයින් දෙදෙනෙකු (2) මෝටර් රථයක ගැටී අනතුරකට ලක්ව තිබෙනවා.

යතුරුපැදි තුනක් (3) අධික වේගයෙන් ගමන් ගන්නා අයුරු ඒවාට ඉදිරියෙන් තවත් යතුරුපැදියක ගමන්ගත් දෙදෙනෙකු (2) ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් යතුරුපැදිය ධාවනය කරමින් සිටිය දී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබුවන් වෑතර දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති බව‍යි වාර්තා වන්නේ.

යතුරුපැදි තුනක් (3) සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (2) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් එක් (1) පුද්ගලයෙකු යතුරුපැදියත් සමඟ පලා ගොස් ඇති බව සඳහන් වෙනවා ෴


අපයෝජනයකට අදාළව පාර්ලිමේන්තු කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 03 ක් අත්අඩංගුවට

(30.01.2024 – 13:01 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කාන්තාවන් දෙදෙනෙකු (2) අපයෝජනය ලක් කිරීමේ සිද්ධියට අදාළව එහි කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් ළමා හා කාන්තා කාර්යංශය විසින්.

මොවුන් 3 දෙනා අද (30) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

UPDATE : කාන්තා කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු අපයෝජනය කළ බවට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට (3) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කර තිබෙනවා ෴


ඊලාම් සිතියමේ හැඩය ගත් සරුංගලයක් යැවූ තරුණයෙකු අත්අඩංගුවට

(30.01.2024 – 10:37 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් මුහුදු වෙරළේ පැවති සරුංගල් තරගයේදී ඊලාම් සිතියමේ හැඩයෙන් සකසන ලද සරුංගලයක් යැවූ තරුණයෙකු මුලතිව් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (29) අත්අඩංගුවට ගත් මෙම තරුණයාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තවත් පිරිසක් සමග එක්ව මෙය සකස් කළ බවයි.

මොහු පිට පළාතක සිට මුලතිව් දිස්ත්‍රික්කයට පැමිණි අයෙකු බව පොලිසිය සඳහන් කළා.

ප්‍රකාශ සටහන් කර ගෙන ඔහුව නිදහස් කර ඇති අතර මුලතිව් පොලිසිය සඳහන් කළේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත මෙම තරුණයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි ෴


‘වැට්’ ලියාපදිංචි සහතිකය ප්‍රදර්ශනය අනිවාර්යයි

(30.01.2024 – 09:19 +0530 – hirunews.lk/sinhala)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ව්‍යාපාර ආයතනවලට නිකුත්කර ඇති ‘වැට්’ ලියාපදිංචි සහතිකය ව්‍යාපාර ආයතනය තුළ පැහැදිලිව පෙනෙන ලෙස ප්‍රදර්ශනය කර තිබීම අනිවාර්ය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ යම් ආයතනයක ප්‍රාදේශීය ශාඛාවලද එම සහතිකයේ ඡායා පිටපතක් ප්‍රදර්ශනය කළ යුතු බවයි.

එමෙන්ම ලියාපදිංචි වී ඇති සෑම නිෂ්පාදකයෙකුම, ආනයනකරුවෙකුම, සේවා සපයන්නෙකු සහ ටෙන්ඩර් ගිවිසුම් යටතේ භාණ්ඩ සැපයුම් සිදුකරන්නෙකුම සිය ලියාපදිංචි අංකය සැපයුම් ලදුපතේ පැහැදිලිව පෙනෙන සේ සටහන් කළ යුතු වනවා ෴


බෝට්ටුවක සිට කෑ ගැසූ කුඩා ළමයින් දෙදෙනෙකු (2) නාවික හමුදාවෙන් බේරා ගනියි

(30.01.2024 – 09:14 +0530 – hirunews.lk/sinhala)

යාපනය, මයිලිට්ටි මුහුදේ බෝට්ටුවක් මත සිට කෑ ගැසූ වයස අවුරුදු 02 ක හා 07 ක ළමයින් දෙදෙනෙකු (2) හා තවත් අයෙකු (1) නාවික හමුදා හට පිරිසක් විසින් ඊයේ (29) බේරාගත් බව අප වාර්තාකරු පවසනවා.

ඔහු සඳහන් කළේ අධික ලෙස මත්පැන් පානය කළ පුද්ගලයෙකු සිය දරුවන් දෙදෙනා (2) බෝට්ටුවක නංවාගෙන මුහුදේ ගමන් කරමින් සිටියදී බෝට්ටුව අනතුරකට පත්වීමට ගිය අවස්ථාවේදී ළමයින් දෙදෙනා (2) බියට පත්ව කෑ ගසා තිබෙනවා.

එහිදී වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදා නිලධාරීන් පිරිසක් බෝට්ටුවකින් එම බෝට්ටුව වෙත හඹා ගොස් ළමයින් දෙදෙනා (2) හා අනෙකුත් පුද්ගලයා (1) ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.

අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ බීමත් පුද්ගලයාට බෝට්ටු පැදවීමට නොහැකි බවත් ඔහුට බෝට්ටුවක් පවා නොමැති බවයි.

ඔහු අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් පසුව සිය ළමයින් දෙදෙනා (2) කැටුව මුහුදු වෙරළට ගොස් වෙරළේ නවතා තිබූ බෝට්ටුවක ළමයින් දෙදෙනා (2) නංවාගෙන බෝට්ටුවෙන් මුහුද මැදට ගොස් තිබෙනවා.

ඔහුට නිසිලෙස බෝට්ටු පැදවීමට නොහැකි නිසා බෝට්ටුව මුහුදේ විශාල රළ පහරකට හසුවූ අවස්ථාවේදී බෝට්ටුව අනතුරකට පත් වීමට යාමේදී ළමුන් බියට පත්ව කෑ ගසා තිබෙනවා ෴


කොළඹ විශ්වවිද්‍යාලයෙන් වයසට යෑම වළක්වන බෙහෙතක්

(30.01.2024 – 07:46 +0530 – hirunews.lk/sinhala)

වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බවත්, එය නොබෝ දිනකින් ජනතාව අතට පත්කළ හැකිවෙතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් පවසනවා.

මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ස්වභාවික ශාඛසාර ආශ්‍රයෙන් බවත්, එම ඖෂධයේ ක්‍රියාකාරීත්වය වනුයේ වයසට යාම වැළැක්වීම හෙවත්, කෙනකුගේ අංකමය වශයෙන් පෙනෙන වයසට වඩා අඩුවෙන් තරුණ බවට පත්වීම බවයි ඔහු පැවසුවේ.

ඔහු සඳහන් කළේ මෙම ඖෂධය නිෂ්පාදනය සහ අත්හදා බැලීම් සඳහා තමා ඇතුළු කණ්ඩායමට වසර හතරකට (4) වැඩි කාලයක් ගත වූ බවත්, මේ වන විට එම ඖෂධයේ නිෂ්පාදන කටයුතු සියයට අනූ නමයක්ම අවසන්ව ඇති බවයි.

එමෙන්ම, ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ගැනීම් ආදිය සිදු කිරීමටද නියමිත බවයි සඳහන් ෴

+++++++++

+

https://fadnals.lk/

+


‘යුක්තිය’ ඔස්සේ තවත් 868 ක් අත්අඩංගුවට

(30.01.2024 – 07:39 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 536 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 332 ක් සමගින් මුළු සැකකරුවන් 868 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 536 දෙනා අතරින් සැකකරුවන් 03 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 05 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 27 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 332 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 36 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 279 ක්ද සිටන බවයි වාර්තා වෙන්නේ.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 09 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 08 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍යය ප්‍රමාණයන් පහතින් :

  • හෙරොයින් 120 g
  • අයිස් 98 g
  • ගංජා 123 kg 600 g
  • ගංජා පැල 9,708
  • මාවා 249 g
  • මදනමෝදක 137 g
  • මත්පෙති 31,611

රන් මාල කොල්ලකෑ ‘රත්මලානේ උක්කුවා’ අත්අඩංගුවට

(30.01.2024 – 07:09 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 08 කට ආසන්න රන් භාණ්ඩ කොල්ලකෑම් හා ගොඩනැඟිලි ද්‍රව්‍ය සොරා ගත් ‘රත්මලානේ උක්කුවා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අයෙකු පසුගිය 28 දා රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැලිගම පදිංචිකරුවෙකු වන දැනට රත්මලාන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින 31 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා විසින් මහ මඟ ගමන් කරමින් සිටි කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් පැමිණිලි 02 ක් හා රුපියල් ලක්ෂ 02 ක පමණ වටිනාකමකිත් යුත් ටයිල් තොගයක් හා දොර පියන් ඇතුළු ගොඩනැඟිලි ද්‍රව්‍ය සොරා ගැනීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ අනුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී රත්මලාන ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබූ රන්මාල දෙක හා පෙන්ඩනයද, විවිධ පුද්ගලයින්ට සුළු මුදලකට විකුණා තිබූ ටයිල් තොගය හා දොර පියන් තුනක්ද, ජල නල 21 ක් හා උළුවහු එකක් ද සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *