‘ඩැට්’ නොදුන්නොත් අනිද්දා (01) සිට සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් යළි වර්ජන සහ විරෝධතා
‘ඩැට්’ නොදුන්නොත් අනිද්දා (01) සිට සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් යළි වර්ජන සහ විරෝධතා
(30.01.2024 – 20:13 +0530 – hirunews.lk/sinhala)
රුපියල් 35,000 කින් ඉහළ දැමීමට තීරණය කළ වෛද්‍යවරුන්ගේ ‘රාජකාරි බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා’ හෙවත් ‘ඩැට්’ දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අදත් (30) විරෝධතාවල නිරත වුණා.
ඒ කොළඹ ජාතික රෝහල සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී.
පසුව විරෝධතාවයේ නිරත පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ එම ස්ථානයේ ද උද්ඝෝෂණයේ නිරත වුණා.
මේ අතර, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් ද යොමුකරමින් පවසන්නේ ඩැට් දීමනාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදීමට අපහොසත් වන්නේ නම් සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධව අනිද්දා (01) සිට වර්ජන ක්‍රියාමාර්ග සහ විරෝධතා ආරම්භ කරන බවයි ෴
ගම්පොළ උඩ පළාතේ ප්‍රාදේශිය ලේකම් මාරුවට; කළු කොඩි එසවෙයි (30.01.2024)
+
ගණිකා වෘත්තිය නීති විරෝධී නැහැ | නීතීඥ චානක අබේවික්‍රම (29.01.2024)
+
කොන්ක්‍රීට් කණුවක් හිසමතට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
(29.01.2024 – 23:18 +0530 – hirunews.lk/sinhala)
දොඹගහවෙල පොලිස් වසමට අයත් මහරාව හංදිය අසල නිවසක වැරන්ඩාවේ සිටුවා තිබූ කොන්ක්‍රීට් කණුවක් හිසමතට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්තොට රිදීගම පදිංචි වයස අවුරුදු 10 ක දරුවෙක්.
ළමයා එම නිවසේ වැරන්ඩාවේ සිටුවා තිබූ කොන්ක්‍රීට් කණු දෙකක් (2) අතර ඔන්චිල්ලාවක් ආකාරයෙන් බැඳි තංගුස් දැලක වාඩිවී තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ එය පදිමින් සිටියදී එකවරම එක් කොන්ක්‍රීට් කණුවක් ගැලවී දරුවාගේ හිස මතට වැටී තිබෙනවා.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ දරුවා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා ෴
විදුලි බිල්පත් ගෙවීමට පහසු ක්‍රම රැසක්
(30.01.2024 – 21:11 +0530 – hirunews.lk/sinhala)
තාක්ෂණයට අනුගත වෙමින් විදුලි පාරිභෝගිකයන්ට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් හතක් විදුලිබල මණ්ඩලය මේ වන විට හඳුන්වාදී තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ ඒ අනුව CEB care ජංගම දුරකථන යෙදවුම, මාර්ගගත බැංකු සේවා මගින්, ලංවිම වෙබ් අඩවිය, තැපැල් කාර්යාල මගින්, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර මගින්, කාගිල්ස් කීල්ස් ආදී සුපිරි වෙළෙඳසැල් මගින් සහ mCash මගින් බිල්පත් ගෙවිම් කළ හැකි බවයි.
විදුලි බිල්පත් පිළිබඳ ගැටලු ඇත්නම් ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1987 වෙත යොමු කරන මෙන් ඔහු පාරිභෝගිකයන්ට දන්වනවා ෴
තරුණියන් තිදෙනෙකු (3) සමඟ විනෝද චාරිකාවේ ගිය දුසිල් මහණෙකුට විහාරස්ථානය අහිමි වෙයි
(30.01.2024 – 20:31 +0530 – hirunews.lk/sinhala)
රූමත් තරුණ කතුන් තුන්දෙනෙකු (3) සමඟ ‘ගිහි ඇඳුමෙන්’ විනෝද චාරිකාවක් ගිය අලුත්ගම වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති දුසිල් මහණාට ගම්වාසී දායකයින්ගේ විරෝධය හේතුවෙන් එම විහාරස්ථානය අතහැර යෑමට සිදුව තිබෙනවා.
ගිහි ඇඳුමකින් සැරසී අදාළ කාන්තාවන් සමඟ මෙම දුසිල් මහණා කතරගම, ලුණුගම්වෙහෙර – තිස්සමහාරාම ආදී ප්‍රදේශවල විනෝද චාරිකාවක් ගොස් ඇති අතර, එම ප්‍රදේශයේ වෙනත් චාරිකාවක එක්ව සිටි ගම්වාසීන් කිහිපදෙනෙකු එය දැක අදාළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව සඳහන්.
ඒ අනුව චාරිකාව නිම කර විහාරස්ථානයට පැමිණෙන අවස්ථාවේ දායකයන් මෙම දුසිල් මහණාට විරෝධය පළ කර ඇති අතර, ඊයේ (29) රාත්‍රියේම දුසිල් මහණා විහාරස්ථානය අතහැර ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා ෴
උපකාරක පංතියට ගෙවීමට මුදල් නැති නිසා සිසුවියක් සියදිවි හානි කර ගනී
(30.01.2024 – 20:09 +0530 – hirunews.lk/sinhala)
උපකාරක පංතියට ගෙවීම සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් සියදිවි හානි කර ගත් 16 හැවිරිදි සිසුවියක් පිළිබඳව බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
සිද්ධියෙන් මියගියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක්.
බදුල්ල, පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ‘අයීෂා පරවීන්’ දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත් වූ පවුලක වැඩිමහළු දරුවායි.
ඇයගේ පියාට ස්ථිර රැකියාවක් නොමැතිවීමද ඊට ප්‍රධාන හේතුවක් වී තිබුණා.
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අයිෂාට, තම පවුලේ ආර්ථික පසුබිම හමුවේ ඉගෙනීමේ කටයුතු පවා නිසියාකාරව කර ගැනීමට හැකිව ලැබුණේ නැහැ.
පසුගිය දිනක ගණිත විෂයය සඳහා උපකාරක පන්තියට යාමට අවශ්‍ය බව අයීෂා තම මවුපියන්ට දන්වා තිබෙනවා.
නමුත් දැඩි දුශ්කරතා හමුවේ ජීවත් වන නිසා මව ඇයට පවසා ඇත්තේ උපකාරක පන්ති යෑමට මුදල් දීමට නොහැකි බවයි.
මවගේ එම ප්‍රකාශයත් සමඟ අයීෂාගේ ඊළඟ පියවර වී තිබුණේ තම ජීවිතය අහිමි කර ගැනීමයි.
ඒ අනුව ඇය වැසිකිළිය තුළදී තම මිත්තනියට ලබාදෙන යම් ඖෂධ වර්ගයක් පානය කර ඇති අතර ඉන් පසුව ඥාතින් විසින් කඩිනමින් ඇය බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඇයගේ ජිවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවන්නේ නැහැ.
+
නිදහස් දින පෙරහුරුවේදී පැරෂුට්වලින් වැටුණු හමුදා භටයින් තුන්දෙනෙකුගේ අස්ථි බිඳෙයි
(30.01.2024 – 19:44 +0530 – hirunews.lk/sinhala)
76 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ගාලු මුවදොර අද (30) ආරම්භ කෙරුණු පෙරහුරුව අතරතුර පැරෂුටයෙන් ඇද වැටුණු හමුදා භටයන් හතරදෙනා (4) ගෙන් තුන්දෙනෙකුගේ (3) අස්ථි බිඳීම් සිදුව තිබෙනවා.
ගුවන් හමුදා භටයන් දෙදෙනෙකු (2) සහ යුද හමුදා භටයන් දෙදෙනෙකු (2) මෙහිදී තුවාල ලැබූ අතර, එක් (1) ගුවන් හමුදා භටයෙකුගේ පාදයක අස්ථියක් බිඳී ඇති අතර අනෙක් (1) භටයාගේ උකුල් ඇටයට හානි සිදුව ඇති බව සඳහන්.
ඔවුන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධියෙන් තුවාල ලැබූ යුධ හමුදා පැරෂුට් භටයින් දෙදෙනා (2) නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබනවා.
හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර සඳහන් කළේ එම එක් පැරෂුට් භටයෙකුගේද පාදයක අස්ථි බිඳීමක් සිදුව ඇති බවයි.
ඔවුන් අඩි අට දහසත් – දස දහසත් (8,000-10,000) අතර ඉහළ අහසේ සිට පැරෂුට් රැගෙන බිමට පැන ඇති අතර, එක් භටයෙකුගේ පැරෂුටය තවත් හමුදා භටයෙකුගේ පැරෂුටයක පැටලීමෙන් ඔවුන් දෙදෙනා (2) ඇද වැටුණේ ගාලු මුවදොර පිහිටි තරු පහේ හෝටලයක ගොඩනැගිල්ලක වහලය මතටයි.
අනෙක් පැරෂුට් භටයින් දෙදෙනා (2) ගාලු මුවදොරපිටියට ඇද වැටුණා. අනතුරුව ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීමටයි අසළ සිටි භට පිරිස් පියවර ගත්තේ.
+
ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මාරක අනතුරක් – විදේශිකයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට
(30.01.2024 – 18:55 +0530 – hirunews.lk/sinhala)
ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා.
යතුරුපැදියක් හා බස් රථයක් ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය පැවසුවේ මෙම අනතුර හේතුවෙන් විදේශිකයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
+
අමාත්‍යාංශ සඳහා වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
(30.01.2024 – 18:39 +0530 – hirunews.lk/sinhala)
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වාහන ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
විදේශ විනිමය වෙළෙඳපොළේ පීඩනය ලිහිල් කිරීමේ පියවරක් ලෙස ඉදිකිරීම් වාහන සහ ගිලන් රථ හැර මෝටර් රථ ආනයනය රජය විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, වාහන ආනයනය සඳහා වරාය, නාවික හා ගුවන් සේවා සහ අධ්‍යාපන අමාත්‍යාංශ මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ ඉල්ලීම්වලට පසුගිය වසරේ (2023) දෙසැම්බර් මාසයේදී කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවද සඳහන්.
ඒ අනුව පහත සඳහන් වාහන ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා බෑවුම් සහිත වාහන 3 ක්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් පරිත්‍යාග කරන ලද ජංගම මාතෘ ඒකක 3 ක් හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් සපයන ලද ද්විත්ව කැබ් රථ 21 ක් ඒ අතර වෙනවා.
එමෙන්ම රැකියා බලපත්‍ර ක්‍රමය ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ඇතිකරගත් ගිවිසුම යටතේ කොරියානු අරමුදල් ව්‍යාපෘතිය සඳහා වාහනයක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ආසියානු සංවර්ධන බැංකුව මගින් අරමුදල් සපයන විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා බස් රථ 2 ක් ද ඊට ඇතුළත් ෴
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් රෝහල්ගත කෙරේ
(30.01.2024 – 17:11 +0530 – hirunews.lk/sinhala)
කොළඹ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ‘මුජිබර් රහුමාන්’ ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සමගි ජන බලවේගය මාලිගාවත්ත මුස්ලිම් කනත්ත අසල සිට අද (30) පස්වරුවේ දියත් කළ ‘මේ දුෂ්ට ආණ්ඩුව එළවමු’ විරෝධතාවයට මීට මොහොතකට පෙර කොළඹ ධර්මපාල මාවතේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකරනු ලැබුවා.
ඒ, මෙම විරෝධතාවයට එරෙහිව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝගයක් පනවා තිබූ පසුබිමකයි.
කෙසේ වෙතත් මෙම විරෝධතාව අතරතුර තුවාල ලැබූ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
UPDATE: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ‘මුජිබර් රහුමාන්’ මේ වන විට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ෴
පරණ යකඩ බඩු ගන්න එන මුවාවෙන් සොරකමේ යන කල්ලියක් ගැන තොරතුරු එළියට
(30.01.2024 – 17:01 +0530 – hirunews.lk/sinhala)
පිරිමි පුද්ගලයින් නොමැති අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් නිවෙස්වලට පැමිණ පරණ යකඩ බඩු මිලට ගන්නා මුවාවෙන් නිවෙස්වල වටිනා භාණ්ඩ සොරාගන්නා පිරිසක් සම්බන්ධයෙන් මාතලේ ගම්මාන රැසකින් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
දහවල් කාලයේ බෝතල්, යකඩ, කාඩ්බෝඩ් වැනි නිවෙස්වලින් ඉවත් කරන භාණ්ඩ මිලදී ගන්නා බව හඟවමින් මෙම පිරිස් නිවෙස්වලට ඇතුළු වී ඉතා සූක්ෂමව නිවෙස්වල පවතින වටිනා භාණ්ඩ සොරාගන්නා බවයි වාර්තා වන්නේ.
සිද්ධින්ට මුහුණ දුන් බොහෝ කාන්තාවන් කියා සිටියේ කිහිප දෙනෙකු අබලි භාණ්ඩ එක්රැස් කරන අතර තවත් පිරිසක් නිවෙස් වටා ඇවිද යමින් සෙසු වටිනා භාණ්ඩ ඉතා සූක්ෂම අන්දමට එක්කාසුකරගෙන සිය රථවලට පටවා ගන්නා බවයි.
සිද්ධියට මුහුණ දුන් නාඋල ප්‍රදේශයේ කාන්තාවක් කියා සිටියේ සිය නිවසේ අබලි ද්‍රව්‍ය එක්රැස් කරන අතරතුර පැමිණි පිරිසෙන් පුද්ගලයෙකු බීමට ජලය ඉල්ලා සිටි බවත් තමන් ජලය රැගෙන ඉදිරියට එන විට අදාළ පිරිස නිවසෙන් පිටවී ගොස් ඇති බවත් ය.
පසුව සිදු කළ සොයා බැලිමේදී සාලයේ තිබු පිත්තල පහනක් නැතිවී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත් පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථානවලින් සිදුකළ විමසීම්වල දී එහි ප්‍රකාශකයින් පැවසුවේ නොහඳුනන පුද්ගලයින් නිවෙස්වලට කැඳවාගැනීම හෝ සැකකටයුතු පිරිස් නිවෙස්වලට සම්බන්ධ කර ගැනීමට පෙර වඩාත් විමසිලිවන්ත විය යුතු බවයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴