පරුෂ වචනයෙන් බැන පොලිස් නිලධාරිනියකට පහරදුන් කාන්තාවක් අත්අඩංගුවට

පරුෂ වචනයෙන් බැන පොලිස් නිලධාරිනියකට පහරදුන් කාන්තාවක් අත්අඩංගුවට


පරුෂ වචනයෙන් බැන පොලිස් නිලධාරිනියකට පහරදුන් කාන්තාවක් අත්අඩංගුවට

(29.01.2024 – 18:12 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැනවැදී පොලිස් නිලධාරිනියකට පහරදීමේ චෝදනාව යටතේ කාන්තාවක් ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප කළ විමසීමකදී ගන්දර පොලිසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් බවයි.

පොලිසිය සඳහන් කළ පරිදි මාතර, දෙවිනුවර ඔරලෝසු කනුව ආසන්නයේදී ත්‍රිරෝද රථයක ගමන්කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සිය රථයේ ගමන්මගට බාධා කළ බව පවසමින් එම කාන්තාව ඇය ගමන්ගත් වාහනය නවතා පොලිස් නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැනවැදී තිබෙනවා.

එහිදී අදාල නිලධාරියා විසින් කළ දැනුම්දීමකට අනුව ගන්දර පොලිස් ස්ථානය ආසන්නයේදී අදාළ කාන්තාව ගමන්කරමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය පොලිස් නිලධාරීන් විසින් නවත්වාගෙන තිබෙනවා.

එහිදී ඇතිවූ බහින්බස් වීමක් අතරතුරදී අදාළ සැකකාර කාන්තාව විසින් පොලිස් නිලධාරිනියකගේ පපු ප්‍රදේශයට සිය වැළමිටෙන් සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ නිලධාරිනිය රෝහල්ගතකර තිබෙනවා.

ඉන් අනතුරුව ගන්දර පොලිසිය විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන අදාළ ජීප් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

+


නිදහස් උත්සවයට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක්

(29.01.2024 – 15:28 +0530 – hirunews.lk/sinhala)

76 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු පැවැත්වීමට නියමිත 30, 31, 01, 02, 03 යන දිනයන්වලත් නිදහස් උත්සවය පැවැත්වෙන දිනයේත් ක්‍රියාත්මකවන රථවාහන සැලැස්ම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, මාර්ග වසා තැබීම් හා විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳ එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව නිදහස් සමරු උත්සවයේ පෙරහුරු පුහුණුවීම් කටයුතු සඳහා පෙරවරු 06:00 සිට දහවල් 12 දක්වාද නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් පෙබරවාරි 03 වැනි දින පස්වරු 02:00 සිට නිදහස් උත්සවය අවසන් වනතුරු ක්‍රියාත්මක රථවාහන සැලැස්ම පහත පරිදි වේ.


අතුරුදහන්ව සිටි හමුදා සෙබලෙකුගේ මළ සිරුර කඳවුරේ පොකුණකින් හමුවෙයි

(29.01.2024 – 15:25 +0530 – hirunews.lk/sinhala)

හොරණ, දොඹගොඩ යුධහමුදා කඳවුරේ සේවය කරමින් සිටිය දී අතුරුදහන්ව සිටි යුද හමුදා සෙබලෙකුගේ මළ සිරුරක් එම හමුදා කඳවුරේම පොකුණක තිබී අද (29) උදෑසන හමුවී ඇති බව අඟුරුවාතොට පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි 07 වන යුධහමුදා යුධෝපකරණ බළකායේ සාමාන්‍ය සෙබළ W.M.T. ලක්ෂ්මන් නමැති අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇති සෙබළා ඊයේ (28) පැවති ශාරීරික අභ්‍යාස පෙළපාළියට සහභාගී නොවූ බැවින් ඔහු පිළිබඳව කඳවුරේ සෙබලුන් විසින් ඊයේ (28) දිනය පුරා සොයාබලා ඇතත් හමුවී නැහැ.

අනතුරුව අද (29) උදෑසන ඔහුගේ දේහය එම කඳවුරේ තිබූ පොකුණක තිබී හමුවී ඇති අතර, මරණයට හේතුව මෙතක් අනාවරණය වී නොමැති බවයි යුධහමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

++++++++

+


ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය සමඟ එක්වෙයි

(29.01.2024 – 14:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.

අද (29) දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවකදී ඔහු සමගි ජන බලවේගය සමඟ එක් වී ඇති අතර එහිදී ජෙනරාල් දයා රත්නායක ‘සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු’ ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළ බවයි වාර්තා වෙන්නේ.

දශක 3 ක රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමට නායකත්වය ලබා දුන් යුද නායකයකු වූ ජෙනරාල් දයා රත්නායක වසර 35 කට (1980-2015) අධික කාලයක් යුද හමුදාවේ පාබල සේනාංකයට නායකත්වය ලබා දෙමින් කටයුතු කළ අතර අවසන් යුද්ධයේදී එතුමන් ලබා දුන් දායකත්වයද සුවිශේෂී වෙනවා.

1980 දී කැඩෙට් නිලධාරියෙකු ලෙස සිය හමුදා ජීවිතය ආරම්භ කළ ඔහු ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ මූලික පුහුණුව ලබා 1981 දී ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන ලුතිනන්වරයකු ලෙස පත්ව තිබෙනවා.

යුද්ධය වෙනුවෙන් එතුමා දැක්වූ සුවිශේෂී දායකත්වය හේතුකර ගෙන වීර වික්‍රම විභූෂණය, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, උත්තම සේවා පදක්කම, දේශ පුත්‍ර පදක්කම ආදී සම්මාන රාශියකින් පිදුම් ලැබීමටද ජෙනරාල් දයා රත්නායක සමත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.


‘රත්නපුරේ විමල බුද්ධියා’ යළි රිමාන්ඩ්

(29.01.2024 – 14:50 +0530 – hirunews.lk/sinhala)

= විශ්ව බුද්ධ යළි රිමාන්ඩ් =

‘රත්නපුරේ විමල බුද්ධි’ හෙවත් ‘විශ්ව බුද්ධ’ නැමැත්තා පසුගිය 16 වනදා යූ ටියුබ් නාලිකාවක් සමඟ සිදුකළ සාකච්ඡාවේ දී බෞද්ධ ධර්මයට අපහාස සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු අද (29) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුගේ පැවිදි භාවය අහෝසි කරමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය විසින් නියෝගයක් ද, නිකුත් කර ඇති බව එහිදී පැමිණිල්ල වෙනුවෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා.

+


ක්‍රිකට් දූෂිතයින් ඉවත් කිරීමට පියවර ගන්න – රොෂාන් රණසිංහ

(29.01.2024 – 13:10 +0530 – hirunews.lk/sinhala)

විගණන වාර්තාවෙන් හෙළි වූ කරුණු අනුව ක්‍රිකට් පරිපාලනයෙන් දූෂිතයින් ඉවත් කිරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා වහාම කටයුතු කළ යුතු බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ‘දූෂණය නවතමු – මව්බිම ගොඩනගමු’ යන මැයෙන් හෙට (30) ආරම්භ කිරීමට නියමිත මෙහෙයුම් කාර්යාලය පිළිබඳව දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයී ෴


වැල්ලම්පිටියේ වෙඩි තැබීමක සැකකරුවන් අත්අඩංගුවට

(29.01.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala)

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පසුගිය දෙසැම්බර් මාසයේ සිදු කළ වෙඩි තැබීමකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු (2) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වෙඩි තැබීමට භාවිත කළ ගිනි අවිය සහ ජීව උණ්ඩ 3 ක් ද සමගයි.

වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේදි ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා ‘සෙල්ලයියා සම්මුගන්’ හෙවත් ‘තම්බි රාජා’ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් (2) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීම සඳහා යතුරුපැදිය ධාවනය කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනි අවිය සඟවා ගෙන සිටි අනෙක් සැකකරු ද අත්අඩංගුවට ගත්තා.

ඔහු සන්තකයේ තිබි එම ගිනි අවිය සඳහා යොදාගන්නා මැගසිනයක් සහ ජීව උණ්ඩ තුනක් (3) ද සොයාගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට පත් වුණේ කඹුරුපිටියේ ප්‍රදේශයේ පදිංචි යසස් උදාර මධුසංක නමැති අවුරුදු 23 ක් වයසැති පුද්ගලයෙක් සහ වැල්ලම්පිටිය ජයමාවත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි ‘මොහොමඩ් රිස්වාන් මොහොමඩ් ඉජාස්’ හෙවත් ‘සුද්දා’ යන අනවර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක්.

වෙඩි තැබීම සඳහා යොදා ගත් යතුරුපැදිය ද සොරාගත් එකක් බවට අනාවරණ වූ අතර, වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් ත්‍රිරෝද රථයකින් පැමිණ, ඉන් බැස මාර්ගයේ ඇවිද යන අයුරු ද ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණා.

මේ අතර, ආදුරුප්පුවීදිය ජින්තුපිටිය ප්‍රදේශයේ දි පසුගිය විසිහතර (24) වැනිදා කළ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් කළ ‘ධනුෂ් රාජ්’ නමැති පුද්ගලයා මියගොස් තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් (2) වෙඩි සිදුකර තිබු අතර, වෙඩි තැබීමෙන් අනතුරුව පළා ගිය සැකකරුවෙක් අල්ලා ගැනීමට ද ප්‍රදේශවාසීන් සමත් වුණා.

මේ අතර යුක්තිය මෙහෙයුමට සමගාමීව යාල රක්ෂිතයේ 3 වන කලාපයේ අක්කර පහමාරක (5½) භූමියක සූක්ෂමව වගා කළ ගංජා හේනක් වැටලීමට විශේෂ කාර්ය බළකාය සමත් වුණා.

එහිදී සොයා ගැනුණු ගංජා ගස් සංඛ්‍යාව ලක්ෂ 9 කට අධිකයි.

මෙම වැටලීම සඳහා ඩ්‍රෝන යානා යොදාගෙන තිබූ අතර ගංජා පැළ තොගය විනාශ කිරීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *