අනුරාධපුර නගරයේ ගණිතය වැඩමුළුවක් මගහරින ලද ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙකුට එරෙහිව පැමිණිල්ලක්

අනුරාධපුර නගරයේ ගණිතය වැඩමුළුවක් මගහරින ලද ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙකුට එරෙහිව පැමිණිල්ලක්


අනුරාධපුර නගරයේ ගණිතය වැඩමුළුවක් මගහරින ලද ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙකුට එරෙහිව පැමිණිල්ලක්

(28.01.2024 – 21:44 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර නගරයේ ගණිතය වැඩමුළුවක් පවත්වන බව පවසා රුපියල් පන්දහසේ (5000) සිට රුපියල් දහඅටදහස (8000) දක්වා මුදල් සිය බැංකු ගිණුමෙහි තැන්පත් කරවා ගෙන වැඩමුළුව මගහැරි ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙකුට එරෙහිව මව්පියන් පිරිසක් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මෙම වැඩමුළුවට අනුරාධපුර ,මාතර, අම්පාර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිසුන් ද සමඟ මව්පියන් පැමිණ සිටි අතර මේ හේතුවෙන් ඔවුන් පත්වුණේ දැඩි අසීරුතාවයකටයි ෴


අයාලේ යන ‘යාල’ ගැන ‘හිරු CIA’ හෙළිදරව්වක්

(28.01.2024 – 21:06 +0530 – hirunews.lk/sinhala)

සංචාරක ක්ෂේත්‍රයෙන් ආදායම් ඉපයිය හැකි නව මානයන් සොයා යන අතරම පවතින සංචාරක මර්මස්ථාන වැඩි දියුණු කිරීමටත් බලධාරීන්ගේ ඇස් යොමු විය යුතු කාලයක් මේ.

සංචාරක මර්මස්ථානයක් වන යාල ජාතික වනෝද්‍යානයට සංචාරකයින්ගේ පැමිණීම අධෛර්යමත් කරවන ආකාරයේ තත්ත්වයක් පිළිබඳවයි ‘හිරු CIA’ අද (28) අවධානය.

මෙරට ස්වාභාවික වනෝද්‍යාන අතර දෙවන විශාලම වනෝද්‍යානය යාල ජාතික වනෝද්‍යානයයි.

දෙස් විදෙස් සංචාරකයින් මගනොහරින සංචාරක ස්ථානයක් වන මෙම වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබාදීමෙන් රටට ඩොලර් විශාල ආදායමක් ලැබෙන බව නොරහසක්.

නමුත් වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට එහි අසිරිය මනාව විඳගැනීමට අවශ්‍ය පහසුකම් වනෝද්‍යානයේ පාලන අධිකාරිය විසින් සපයා තිබේද යන්න මේ වනවිට ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

‘හිරු CIA’ යාල වනෝද්‍යානය තුළ කළ සංචාරයකදී දැකගත හැකි වුණේ වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ග සෆාරි ජීප් රථයක් හෝ ධාවනය කිරීමට සුදුසු තත්ත්වයක නොමැති බවයි.

වනජීවි සහ වෘක්ෂලතා ආඥා පනතට අනුව වනෝද්‍යාන මැද මාර්ග තාර දමා පිළිසකර කිරීමට අවසරයක් නොලැබුණත්, එම ස්වාභාවික මාර්ග නිසි ලෙස නඩත්තු කිරීම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙන වගකීමක්.

සාමාන්‍යයෙන් සෆාරි ජීප් රථයකින් සංචාරකයින් දස දෙනෙකු (10) එකවර රැගෙන යා හැකි වුවත්, මෙම මාර්ගවල තත්ත්වය හේතුවෙන් අද වනවිට එක් සෆාරි රථයකින් රැගෙන යන සංචාරකයින් ගණන තිදෙනෙකුට හෝ සිව්දෙනෙකුට (3-4) සීමා වී තිබෙනවා.

සෆාරි ජීප් රථ රියැදුරන් පෙන්වා දෙන්නේ ඒ හරහා සැලකිය යුතු ආදායමක් වනෝද්‍යානයට අහිමි වනවා මෙන්ම විදෙස් සංචාරකයින් ද ඒ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත් වන බවයි.

“සාමාන්‍යයෙන් 4 දෙනෙක්, තුන් දෙනෙක් (3) වගේ තමයි යන්න පුළුවන්; මොකද අපේ වාහනවල රිපෙයාර් වැඩි වෙනවා.

කරඹලගස්වැව මැද පාරේ තියෙන කළුවර බොක්ක පල්ලෙහා වළක් තියෙනවා.

තව කොටිසියඹලේ යන්න බැරි පාරක් තියෙනවා. ඒකෙත් ජීප් එකේ මේ දොරවල් දෙක වැදීගෙන යන ප්‍රමාණයට ආර බැහැලා තියෙන්නේ යටට.

මොකද ඇත්තටම සත්තු ඉන්නේ අතුරු පාරවල්වල ප්‍රධාන පාරවල්වල සත්තු නැහැ. ගොඩක් අය ප්‍රධාන පාරේ ගිහින් එන්නේ. එතකොට ‘ගෙස්ට්’ලා ‘කම්ප්ලේන්’ කරනවා.

සංචාරකයින් පැමිණීම ඉතා ඉහළ මට්ටමක පවතින මෙම සමයේ යාල වනෝද්‍යානයේ දෛනික ආදායම ද පවතින්නේ ඉහළ අගයකයි.

දවසේ ආදායම රු. ලක්ෂ 60 ක් 70 ක් වගේ ආදායමක් රජයට දෙනවා. නිකන්ම කැළෙන් එන සල්ලිනේ.”

ඩොලර් උපයන ආකරයක් බඳු මෙම වනෝද්‍යානයේ මාර්ග පද්ධතිය සංචාරකයින් වැඩි ප්‍රමාණයකට අසිරිය විඳගැනීමට හැකි වන අයුරින් නඩත්තු කිරීමට වනෝද්‍යානය භාර බලධාරීන් මැලිකමක් දක්වන්නේ කුමන හේතුවක් නිසාද?

ආදායම් ඉපයිය හැකි සංචාරක ක්ෂේත්‍රයේ නව මානයන් සොයා යන අතරම පවතින සංචාරක මර්මස්ථාන ආරක්ෂා කිරීම සහා වැඩි දියුණු කිරීම කෙරෙහිත් සංචාරක කර්මාන්තය භාර බලධාරීන්ගේ ඇස් යොමු විය යුතු කාලයයි මේ.

සංචාරකයින් අධෛර්යමත් කරවන මෙවැනි ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් නිසි අවධානය යොමු කර පිළියම් යොදනතුරු ‘හිරු CIA’ අවධානයෙන්.

+


කතරගම අනතුරකින් අයෙක් (1) මරුට; පහක් (5) රෝහලට

(28.01.2024 – lankadeepa.lk)

කතරගම, සෙල්ල කතරගම මාර්ගයේ පස්සරයාය හංදිය ප්‍රදේශයේදී අද (28) රාත්‍රී වෑන් රථයක් මාර්ගය අසල නවතා තිබූ යතුරු පැදියක, ගස් දෙකක(2) හා ‘බූම් ට්‍රක් රථයක’ ගැටී සිදුවූ අනතුරින් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයකු (1) මියගොස් තවත් පස් දෙනකු (5) තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කළ බව කතරගම පොලිසිය පවසයි.

වෑන් රථයේ ගමන් කළ හය දෙනෙකු (6) කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් (1) පුද්ගලයකු මිය ගොස් තිබේ.

එම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 25 ක කතරගම නව නගරය ප්‍රදේශයේ පදිංචි කරුවකු බව පොලිසිය පවසයි.

සිදුවූ අනතුරින් වෑන් රථයට බරපතල හානි සිදුවී තිබූ අතර අසල්වාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා වෑන් රථය තුළ සිරවී සිටි පුද්ගලයන් එළියට ගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කතරගම රෝහලේ තැන්පත් කර ඇති අතර තුවාල ලැබූවන් පස්දෙනා (5) වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි ෴

+++++++

Photos from dasathalankanews.com :


කේරලා ගංජා සමග පිම්මේ ගිය කැබ් රථය අත්අඩංගුවට.. ජාවාරම් කරුවන් දෙදෙනෙක් (2) පලා යයි.. අයෙක් අත්අඩංගුවට..

(28.01.2024 – 17:30 +0530 – lankacnews.com)

කිලිනොච්චිය මුරුකන්ඩි වසන්තනගර් ප්‍රදේශයේදී කේරලා ගංජා ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසා සිටියි.

කෙරෙල ගංජා ප්‍රවාහනය කරන බවට කිලිනොච්චිය යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඒ පිළිබඳව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායට දැනුම් දී ඇත.

එහිදී පොලිසි විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් වසන්තනගර් ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසියේදී අදාල කැබ්රථය අධික වේගයකින් ධාවනය වීමෙන් තිබියදී නැවත්වීමට පියවර ගන්නා ලදී.

කැබ් රථය නවත්වන අවස්ථාවේදී කැබ් රථය තුළ තිදෙ‌නෙකු (3) සිට ඇති අතර ඉන් දෙදෙනෙකු (2) පලාගොස් ඇති අතර කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකා නිධාරීන් සමත් විය.

පසුව කැබ් රථය පරිස්සා කිරීමේදී කැප රථය තුළ සඟවා තිබූ පාර්සල් දෙකක් (2) හමු වී ඇති අතර ඒහි කේරල ගංජා කිලෝ ග්‍රෑම් 04 ක ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර පලාගිය සැකකරුවන් දෙදෙනාද (2) අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු සහ කේරල ගංජා තොගය කිලිනොච්චිය පොලීසිය භාර දීමට පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගනු ලැබීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)


නවක වදය ලබා දුන් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් හය දෙනෙකු (6) අත්අඩංගුවට

(29.01.2024 – 06:20 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් මෙම මස 14 වන දින පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත සමනලවැව පොලිස් ස්ථානය විමර්ශනයක් සිදුකර නවක වදය ලබාදීම සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා භාෂා අධ්‍යයන පීඨයේ හතරවන (4) වසරේ සිසුන් හය දෙනෙකු (6) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම සිසුන් හය දෙනා (6) පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු ඊයේ (28) අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23, 24 හා 25 වන වයස්වල අය බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

+


මාවනැල්ල බස් නැවතුම් පොළ පිටුපස තාවකාලික වෙළෙඳසැල් 30 ක් ගින්නෙන් විනාශ වේ

(29.01.2024 – 06:43 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල බස් නැවතුම් පොළ පිටුපස තාවකාලිකව ඉදිකර ඇති වෙළඳසැල් කිහිපයක ඊයේ (28) රත්‍රීයේ ගින්නක් හටගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම ගින්නෙන් වෙළෙඳසැල් 30 ක් විනාශ වී ඇති බවයි.

වහාම ක්‍රියාත්මක වී ඇති පොලිසිය, ගිනි නිවීමේ ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මාවනැල්ල පොලිසිය පැවසුවේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි ෴

+++++++++

ගින්නෙන් පලතුරු, රෙදිපිළි සහ ප්ලාස්ටික් භාණ්ඩ තිබූ කඩ රැසක් විනාශ වී තිබේ.

++++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *