කැනඩා සිහිනයක් පෙන්නා රුපියල් කෝටි හයක් (6) ගරලා

කැනඩා සිහිනයක් පෙන්නා රුපියල් කෝටි හයක් (6) ගරලා


කැනඩා සිහිනයක් පෙන්නා රුපියල් කෝටි හයක් (6) ගරලා

(26.01.2024 – lankadeepa.lk)

හොද වැටුපක් ලබා ගත හැකි කැනඩාවේ රැකියා ලබා දෙන පවසා නොයෙක් ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 14 දෙනකු රවටා රුපියල් කෝටි 06 ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් කාන්තාවක වත්තල සුපිරි නිවෙසකදී සැකපිට අත් අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.

ළමා වියේ සිටම ජත්‍යන්තර පාසැලක අධ්‍යාපනය ලබා ඇති 37 හැවිරදි සැකකාරිය සුපිරි ජීවිතයක් ගත කරමින් මෙම කුට ජාවාරමේ යෙදී ඇති බවත් කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා කුරුනෑගල, පොතුහැර, කොටහේන, මීගමුව සහ වත්තල ප්‍රදේශයන්හි කාන්තාවන් දෙදෙනකු (2) ඇතුලු පුද්ගලයන් 14 දෙනකු ගෙන් කොටස් වශයෙන් රුපියල් ලක්ෂ 20-75 අතර මුදල් ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව විමර්ශන කටයුතුවලදී හෙලිවු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන නිලධාරි කාර්යාලය සදහන් කරයි.

කැනඩාවේ රැකියා බලා පොරෙත්තුවෙන් ඇගේ බොරු පොරොන්දුවලට රැවටී ඇයට මුදල් ලබාදුන් කීපදෙනකු තමන් කරමින් සිටි රැකියාවලින්ද අයින් වී ඇති බව මෙහිදී වී හෙලිව ඇත.

සේවාදායකයින්ගේ විශ්වාසය දිනා ගැනීම සදහා ඇය විසින් කුට ලිප ලේඛනද සකස් කොට ඔවුන්ට ඉදිරිපත් කර ඇති අතර ඒවා අතර තානාපති කාර්යාලයෙන් නිකුත් කරණ ලේඛන මෙන්ම කැනඩාවේ ප්‍රසිද්ධ ආයතනවලින් ලැබුන බවට සදහන් ව්‍යාජ ලේඛනද අඩංගු බවද මෙහිදී හෙලිව ඇත.

සැකකාරිය වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴


කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළාට තුනක් (3) රිමාන්ඩ්

(26.01.2024 – lankadeepa.lk)

මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඊයේ (25) දින අත්අඩංගුවට ගත් මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිනිය ලබන 02 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් වූයේ මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාදිපතිනිය ‘දිනේෂා විරත්තනී’ නමැත්තියකි.

මෙම විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ සිටින අම්පාර ඩී.සේ. සේනානායක විදුහලේ කෘෂි විද්‍යා ගුරුවරයා සහ සහ කාර්යාල කාර්ය සහායකායද අද (26) අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ද ලබන 02 වැනි දා තෙක් රිමාන් බාරයට පත් කරනු ලබුවාය.

එසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ ‘දමින්ද ලක්මාල්’ නමැති ගුරුවරයා සහ ‘සුමුදු චින්තන’ යන දෙදෙනෙකි ෴


අධිවේගයේ අනතුරින් ඔස්ට්‍රියා ජාතිකයා මරුට

(26.01.2024 – lankadeepa.lk)

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත සහ කෙළවර පිටිය අතර කිලෝමීටර් 27.1 ප්‍රදේශයේදී ඔස්ට්‍රියා ජාතික එකම පවුලේ පිරිසක් ගමන් ගත් සුඛෝභෝගී වෑන් රථයක් ලොරියක ගැටීමෙන් 37 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි ‘අධිවේගී රථවාහන පොලිසිය’ කියයි.

මියගිය පුද්ගලයා Schusccr Woifgamg නැමැත්තෙකි.

ඔහුගේ මව බරපතල තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුලත් කර ඇත.

හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කරා යමින් සිටියදී ආපදාවට ලක්ව නවතා තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

වෑන් රථය පැද වූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

අධිවේගී අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය පරීක්ෂණ පවත්වයි ෴


ත්‍රිරෝදය හෙළට පෙරළී මවක් මරුට : පහක් (5) රෝහලට

(26.01.2024 – lankadeepa.lk)

කොස්ලන්ද වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බිබිලේවෙල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් කාන්තාවක මියගොස් කුඩා දරුවන් ඇතුලු පස්දෙනකු (5) තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලිසිය පවසයි .

රත්නපුර පොත්ගුල් විහාර මාවතේ පදිංචි එච්.පී. චම්පා නිලන්ති කරුණාරත්න (54) නැමති කාන්තාව මෙසේ මියගිය බවද පොලිසිය කීය.

අනතුරට සම්බන්ධ ත්‍රීරෝද රථය පැදවූ ත්‍රීරෝද රථ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සදහා මොණරාගල සිරිගල රෝහලට මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශයෙක් කීය .

මොවුන් එකම පවුලක පිරිසක් බවත්, රත්නපුර ප්‍රදේශයේ සිට කොස්ලන්ද ඌවමාවෙලගම හිවල්කදුර ප්‍රදේශයේ නෑදෑ නිවසකට යමින් සිටියදී මෙසේ ත්‍රීරෝද රථය අනතුරට පත්ව ඇතැයි පොලිසිය සදහන් කළේය ෴


දස (10) හැවිරිදි දැරියකට පන්සලේදී අතවර කළ තරුණයෙක් අත්අඩංගුවට

(27.01.2024 – 09:59 +0530 – hirunews.lk/sinhala)

කඩුවෙල ප්‍රධාන පෙළේ විහාරස්ථානයක බෝධීන්වහන්සේ අභියස බුදුන් වඳිමින් සිටි දස (10) හැවිරිදි දැරියකට අතවර කල බවට 20 හැවිරිදි තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබූ දුරකථනයේ නිරුවත් දර්ශන ඇතුළත්ව තිබූ බවද සඳහන් වෙනවා.

අදාළ දැරිය සිය මව සහ බාල සොහොයුරිය සමඟ විහාරස්ථානයට කරා පැමිණ සිටිය අවස්ථාවේදියි මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ.

අතවරයට ලක් වූ දැරිය බෝධින්වහන්සේ අභියස පුද පූජා සිදු කරමින් සිටින අවස්ථාවේදී නිරුවත් දර්ශන පෙන්වමින් ඇයව ස්පර්ශ කරන්නට ගිය අවස්ථාවේ ඇය කෑගසමින් මව අසලට ගොස් ඇති අතර සැකකරු වෑන් රථයකින් පළාගොස් තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ කඩුවෙල පොලිසිය අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴


මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට

(27.01.2024 – 18:41 +0530 – hirunews.lk/sinhala)

මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන ඇති බවට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

‘හිරු ප්‍රවෘත්ති’ අපකළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙරට කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු නැගෙනහිර අප්‍රිකානු මුහුදු තීරයේදී මෙලෙස එම ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු වී ඇති බවයි.

හලාවත, දික්ඕවිට ධීවර වරායෙන් පසුගිය 12 වනදා මුහුදු ගිය ‘ලොරෙන්සෝ පුතා 04’ නමැති බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 06 දෙනෙකු එලෙස සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක් වී තිබෙනවා.

එලෙස පැහැරගැනීමට ලක්වු ධීවරයින් මුදාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

+


රාජ්‍ය අමාත්‍යවරයා සමඟ අවසන් ගමන් ගිය පොලිස් සැරයන් අනුරාධ ජයකොඩිගේ අවසන් කටයුතු සිදුකෙරේ

(27.01.2024 – 17:57 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමඟ පසුගිය 25 වැනිදා සිදු වූ රිය අනතුරින් මිය ගිය ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් ජේ. ඒ. අනුරාධ ජයකොඩිගේ අවසන් කටයුතු අද (27) පස්වරුවේ සිදුකෙරුණා.

ඒ මහනුවර මරවනාගොඩ පොදු සුසාන භූමියේදීයි.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි පොලිස් සැරයන් නිලයට උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ (26) නිවේදනය කරනු ලැබුවා.

රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංක 22/93 පරිදි පශ්චාත් උසස්වීම් පදනම යටතේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එහිදී ඔහුව පොලිස් සැරයන් තනතුරට උසස් කර තිබෙන අතර, පවුලේ සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 15 ක මුදලක් එම නිවසේදී ලබාදීමට ද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පියවර ගෙන තිබුණා ෴


ග්‍රාම නිලධාරි විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි

(27.01.2024 – 15:39 +0530 – hirunews.lk/sinhala)

2023 වසරේ දෙසැම්බර් 02 වැනිදා පැවැත් වූ ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව ලබා දුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම්ලත් 4232 නාම ලේඛනය අද (27) නිකුත් කළ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සඳහන් කරනවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ http://moha.gov.lk නිළ වෙබ් අඩවියේ එම නාම ලේඛනය පළ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සඳහන් කළේ මෙම විභාග ප්‍රතිඵල අනුව ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2002 ක් සදහා බඳවා ගැනීමට නියමිතව ඇති අතර ඉතා කඩිනමින් ගැසට් නිවේදනයට අනුව සම්මුඛ පරීක්‍ෂණ පවත්වා ඔවුන් රාජ්‍ය සේවයට එක් කරගන්නා බවයි.

විභාග දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි විභාගය පවත්වා තිබෙනවා ෴


රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අවසන් කටයුතු හෙට (28)

(27.01.2024 – 14:04 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අවසන් කටයුතු හෙට රාජකදලු‍ව රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

මේ වනවිට රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පක්ෂ කාර්යාලයේ ඉදිකරනු ලැබූ තාවකාලික ශාලාවක තබා තිබෙනවා.

එමෙන්ම, දේහය ඊයේ (26) එම පරිශ්‍රයට රැගෙන ආ අවස්ථාවේ සිටම මේ දක්වා දේශපාලනඥයින්, නෑ හිතවතුන් මෙන්ම පාක්ෂිකයන් විශාල පිරිසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණෙමින් සිටින අයුරු දක්නට ලැබුණා.

මේ අතර මෙම රිය අනතුරෙන් මියගිය රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියාගේ අවසන් කටයුතු මහනුවර – හෑදෙණිය – මරවනාගොඩ පොදු සුසාන භූමියේදී අද (27) සිදුකිරීමට නියමිතයි.

‍එමෙන්ම, රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරුගේ දුරකථනය ද පරීක්ෂණ කටයුතු සදහා පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික ඊයේ (26) නියෝග කළා.

ඒ, රාගම රෝහලේ ප්‍රතිකාර ලබන ඔහු මහේස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි ෴


කටුනායක කොළඹ අධිවේගයේ ආලෝකකරණය කඩිනම් කරන්නැයි උපදෙස්

(27.01.2024 – 13:47 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ආලෝකකරණ කටයුතු කඩිනමින් අවසන් කරන බව මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (26) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර අධිවේගී මාර්ගවල සිදුවූ මාරක රිය අනතුරුවලින් ගතවූ දින 27 තුළ පමණක් හයදෙනෙකු (6) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ට මරු කැඳවූ රිය අනතුරත් සමඟයි.

එම අනතුර සිදුවී පැය 24 ක් තුළ කටුනායක අධිවේගී මාර්ගයේම කඩවත සහ කෙරවළපිටිය අතරදී වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් විදේශිකයෙකුට දිවි අහිමි වුණා.

කෙසේ වෙතත් අධිවේගී මාර්ගවල සහ අන්තර් හුවමාරු අතර සවිකර ඇති වීදි ලාම්පු බොහොමයක් ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එම ප්‍රදේශ අඳුරු ස්වභාවයක පැවතීමද අනතුරවලට අත වැනීමක් බව විශේෂඥයින් පෙන්වා දෙනවා.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ දෙපස පහන් කණුවල වයර් කපා තඹ කම්බි සොරකම් කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ‘හිරු සී.අයි.ඒ.’ පසුගිය වසරේ නොවැම්බර් 25 වැනිදා රට හමුවේ අනාවරණයක් සිදු කළේද එවන් පසුබිමකයි.

+


ගාලුමුවදොර මාර්ගය වසා දැමේ

(27.01.2024 – 12:34 +0530 – hirunews.lk/sinhala)

ගාලු පාර කොල්ලුපිටිය හන්දියේ සිට ගාලුමුවදොර දක්වා සහ සෙරමික් හන්දියේ සිට ගාලුමුවදොර දක්වා රථවාහන ගමනාගමනය සඳහා වසා තැබෙන බව පොලිසිය නිවේදනය කරනවා.

ජනවාරි 29 සිට පෙබරවාරි 02 දක්වා පෙ.ව. 06:00 සිට 08:30 දක්වා සහ පෙරවරු 11:00 සිට 12:30 දක්වා මෙසේ මාර්ගය වසා තැබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නැවතත් පෙබරවාරි 03 වැනිදා පස්වරු 02:00 සිට පෙබරවාරි 04 වැනිදා නිදහස් උත්සවය අවසන් වනතුරම මෙම මාර්ගය වසා තැබෙන බවද සඳහන් ෴


නාරම්මල – ගිරිඋල්ල මාර්ගයේ මාරක අනතුරක් තිදෙනෙක් (3) මරුට

(27.01.2024 – 10:18 +0530 – hirunews.lk/sinhala)

නාරම්මල – ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ කිවුල්ගල්ල වංගුව අසළ අද (27) උදෑසන සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයක ගමන් කළ තුන්දෙනෙකු (3) මියගොස් තවත් අයෙකු තුවාල ලැබුවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ත්‍රිරෝද රථයේ ගමන් ගත් අනෙක් පුද්ගලයාගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ගිරිඋල්ල ප්‍රදේශයේ සිට කුරුණෑගල ප්‍රදේශයට ගමන් ගත් ත්‍රිරෝද රථය ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ලොරි රථයේ ගැටී තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ හතරදෙනෙකු (4) ගමන් කර ඇති අතර මොවුන් කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් ගමන් කළ ත්‍රිරෝද රථයේ තිබී පූජා භාණ්ඩ කිහිපයක් සොයාගෙන ඇති අතර, ඒ නිසා මොවුන් කිසියම් ආගමික කටයුත්තක සඳහා යන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

ත්‍රිරෝද රථයේ රියදුරුට නින්දයෑම මෙම අනතුරට හේතුවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර, ලොරි රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ තංගනගර් විද්‍යාලය අසළදී ඊයේ (26) පස්වරුවේ වෑන් රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් වෑන් රථයේ රියදුරු සහ එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනකු (2) ඇතුලු තුන්දෙනෙකු (3) තුවාල ලැබුවා.

සිද්ධියෙන් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ රිය සහයකද සේරුනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම තඹුත්තේගම දෙස සිට ඔත්තප්පුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලුනුවැව ප්‍රදේශයේදී නවතා තිබූ ලොරි රථයක ගැටී ඊයේ (26) උදෑසන සිදුවූ අනතුරකින් 52 හැවිරිදි යතුරුපැදිකරු මියගියා ෴

++++++++

+


27-01-2024 11:00 AM +0530

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *