බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයට තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයට තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට


බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයට තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(26.01.2024 – 08:23 +0530 – sinhala.adaderana.lk)

බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගයින් දෙදෙනා (2) හෙරොයින් සමග ගාල්ල වංචාවල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්වී ඇත.

‘අපේ ජනබල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ නොහොත් ‘රෝයල් බීච් සමන්’ ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු (5) මෙම වෙඩිතැබීමෙන් ඝාතනයට ලක්වුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක් සහ 35 ක් වන පුද්ගලයින් දෙදෙනෙකි (2).

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 09 යි මිලි ග්‍රෑම් 300 ක්, යතුරුපැදියක්, ජංගම දුරකථන 03 ක් සහ උල් පිහියක් තිබී සොයාගෙන ඇත.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල වරාය පොලිස් ස්ථානයට භාරදී ඇත.

2024.01.22 වන දින ‘සමන් පෙරේරා’ (රෝයල් බීච් සමන්) ඇතුළු පුද්ගලයින් පස්දෙනා (5)වෙඩිතබා ඝාතනය කිරීම සඳහා සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍ර‍ව්‍ය ජාවරම්කරුවකු වන ‘ඌරගහ මයිකල්’ නමැත්තා සමග තංගල්ල අධිකරණය අසලදී ප්‍ර‍හාරයක් එල්ල කිරීමට මෙම සැකකරුවන් ද අදාළ සැලසුම් සකස් කළ බවත්, ‘කොස්ගොඩ සුජී’ නමැත්තා විසින් මෙම ‘මයිකල්’ නැමැත්තා හට ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවටත් මෙම සැකකරුවන් මගින් ද තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

+

බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනය සමඟ එළියට ආ අලුත්ම චරිතය

(26.01.2024 – 20:12 +0530 – sinhala.adaderana.lk)

බෙලිඅත්ත පංච (5) ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන තවත් දෙදෙනෙකු (2) විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

සැකකරුවන් පවසා ඇත්තේ, විදෙස්ගත ව සැඟ ව සිටින ‘ඌරගහ මයිකල්’ නැමැති අපරාධකරුගේ උපදෙස් මත තංගල්ල අධිකරණය අසල දී ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කළ බවයි.

බෙලිඅත්තේ දී සිදු වූ පංච (5) පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන දෙදෙනෙකු (2) ගාල්ල, මාගාල්ල ප්‍රදේශයේ දී හා ගාල්ල, වංචාවල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක අංක එක (1) මගින් ඊයේ (25) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබිණි.

ඒ, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සිදු කළ විමර්ශනයක දී ය.

සැකකරුවන් අවුරුදු 25 සහ 35 යන වයස්වල පසු වන අතර, ඔවුන් හෙරොයින් ජාවාරම්කරුවන් බව වාර්තා වේ.

ඔවුන් සතු ව තිබී හෙරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 300 ක්, යතුරුපැදියක්, ජංගම දුරකතන 03 ක් සහ උල්පිහියක් ද සොයාගෙන තිබේ.

‘කොස්ගොඩ සුජී’ගේ සමීපතමයෙකු වන අපරාධ කල්ලි සාමාජික ‘ඌරගහ මයිකල්’ නැමැත්තාගේ උපදෙස් මත ‘රෝයල් බීච් සමන්’ ඇතුළු පිරිස ඝාතනයට සැලසුම් කළ බව සැකකරුවන් පවසා ඇති බව වාර්තා වේ.

‘ඌරගහ මයිකල්’ නැමැත්තා ඩුබායිහි සිට තමන් අමතා ‘වැගන් ආර්’ වර්ගයේ මෝටර් රථයක් හෝ යතුරුපැදියක් සොයාගන්නා ලෙස පවසා, ඝාතනය සිදු වූ දින තංගල්ල අධිකරණය අසලට යන ලෙස උපදෙස් ලබාදුන් බවත් සැකකරුවන් හෙළි කර තිබේ.

නමුත් තමන් දෙදෙනාට (2) මෝටර් රථයක් සොයාගැනීමට නොහැකි වීම නිසා, යතුරුපැදියකින් තංගල්ල අධිකරණය අසලට ගොස් සිටි බව සැකකරුවන් පැවසූ බව විමර්ශන නිලධාරිහු පවසති.

ඝාතනයට ලක් වූවන් එදින අධිකරණයට පැමිණෙන වේලාව හා පිටව යන වේලාව බලා හිඳ ඝාතකයන්ට ඔත්තු සැපයීම ඔවුන්ට පවරා තිබූ බවට සැකකරුවන් පැවසූවේ යැයි විමර්ශකයෝ සඳහන් කරති.

‘රෝයල් බීච් සමන්’ තංගල්ල අධිකරණයෙන් පිටතට පැමිණි පසු ඝාතනය කිරීමට සූදානම් කර තිබූ බවත් සැකකරුවන් පවසා තිබේ.

එම ඔත්තුව වෙනුවෙන්, තමන්ට අලෙවි කර ගැනීම සඳහා ‘ඌරගහ මයිකල්’ හෙරොයින් ලබාදුන් බව සැකකරුවන් හෙළි කළ බව විමර්ශකයෝ සඳහන් කරති.

එමෙන්ම සැකකරුවන් පවසා ඇත්තේ, ‘රෝයල් බීච් සමන්’ ඝාතනය කිරීම සඳහා ‘ඌරගහ මයිකල්’ නැමැත්තාට කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ‘කොස්ගොඩ සුජී’ බවයි.

මේ අතර, අදාළ සිද්ධියට සැකපිට මින් පෙර අත්අඩංගුවට ගත් ‘සමන් කුමාර’ නැමැත්තා දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (25) ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 27 වැනි දා තෙක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබේ.


දියේ ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

(26.01.2024 – 18:01 +0530 – sinhala.adaderana.lk)

මාතලේ – රත්තොට – බණ්ඩරපොළ – සේරුගොල්ල ඔයේ දිය නෑමට ගොස් සිටි වයස අවුරුදු 16 ක පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

මිය ගොස් ඇත්තේ, මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ව සිටි සිසුවෙකු.

ඔහු මාතලේ කවුඩුපැළැල්ල – ගල්වඩුකුබුර ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු වන අතර, සිසුවා යහළුවන් සමඟ දිය නෑමට ගොස් මෙසේ ජීවිතක්ෂයට පත් ව ඇති බව මාතලේ – කන්දේනුවර පොලීසිය පවසයි ෴


කට නිසා වැඩ වරද්දා ගත් විශ්ව බුද්ධ

(26.01.2024 – 19:13 +0530 – sinhala.adaderana.lk)

බුදු දහමට අපහාසවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘විශ්ව බුද්ධ’ නමින් පෙනී සිටින තැනැත්තා අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශ මත මනෝවෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (26) අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය, සැකකරු පෙබරවාරි 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ බුදුදහමට අපහාසවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘විශ්ව බුද්ධ’ නමින් පෙනී සිටින සැකකරුගේ ඇප කොන්දේසි කඩකිරීමේ නඩුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවනු ලැබීය.

එහිදී අධිකරණයේ දී කරුණු ඉදිරිපත් කළ දිලීප පීරිස් මහතා :

“ස්වාමිනි, සැකකරු ඇප මත මුදාහැර සිටියදී යළි YOUTUBE සම්මුඛ සාකච්ඡාවකදී බුදුදහමට අපහාසවන අයුරින් ප්‍රකාශ සිදුකරලා තියෙනවා. ස්වාමිනි ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු මෙහෙයවා ඇති එම සම්මුඛ සාකච්ඡාව අන්තර්ජාලය ඔස්සේ දින 08 ක් තුළ පරිශීලකයන් 879,000 ක් නරඹලා තියෙනවා. අප ඒ ගැන එම මාධ්‍යවේදියාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. ඔහු පවසන්නේ සැකකරුගේ නඩුවට ICCPR පනත අදාළ කරලා නොතිබුණු බැවින්, ආගමික මතගැටුම් සාකච්ඡා නොකර නඩුවට පාදක වී ඇති සියලු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.”

කෙසේ වෙතත් අදාළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු භික්ෂුවක් ලෙස පෙනී සිටිමින් බෞද්ධ දර්ශනය විකෘතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

“ස්වාමිනි, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය මකුලෑවේ විමලාභිධාන නාහිමියන් විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට කළ ලිඛිත දැනුම්දීමකට අනුව 2024.01.12 මෙම සැකකාර චීවරධාරියාගේ භික්ෂුභාවය අහෝසි කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මුලස්ථානයේ අධිකරණ නායක පුජ්‍ය අත්තංගනේ රතනපාල නාහිමියන්ගෙන් සටහන් කරගත් ප්‍රකාශයේ මෙහෙම සඳහන්වෙනවා…”

උපුටාගැනීම :

“මෙම චීවරධාරියා විසින් බෞද්ධ දර්ශනය සම්පුරණයෙන්ම විකෘති වන ආකාරයේ අපහාසවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරනවා. මොහු විටක චීවරයක් දරා සිටියත්, විටක රතු පැහැති කැප් එකක් දමා ටී ෂර්ටයක් සහ කලිසමක් ඇඳ කාන්තාවන් සමඟ සිටින වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනවා. තවත් විටක වාහන පදවන වීඩියෝ සහ මත්ද්‍රව්‍ය භාවිත කරන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයේ තිබෙනවා. මේ සියලු ක්‍රියා භික්ෂුවකට අකැප සේම එම හැසිරීම් ශාසනයට විශාල හානියක් සිදුකරනවා…”

උපුටාගැනීම අවසන්.

එමෙන්ම චීවරධාරියාගේ භික්ෂුභාවය අහෝසි කිරීම සම්බන්ධයෙන් ද මහානායක හිමිවරුන් ඉලක්කර කර අන්තර්ජාලයට උඩුගත කර ඇති වීඩියෝවේ උපුටා ගැනීමක්ද දිලීප පීරිස් මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.

උපුටාගැනීම :

“සංඝයා වහන්සේලා එකතුවෙලා මාව නිකායෙන් නෙරපලා උපසම්පදාව අවලංගු කරලා කියලා නිව්ස් එකකුත් දැක්කා. හරි තමුන්වහන්සේලාට කරන්න පුළුවන් උපරිම දේයනේ ඔය කළේ. මට තමුන්වහන්සේලා එක්ක ගනුදෙනුවක් නැහැ. මල්වත්තේ වෙන්න පුළුවන්, රාමඤ නිකායේ වෙන්න පුළුවන්, බුදුහාමුදුරුවෝ නෙමෙයිනේ. අයිඩෙන්ටිය තහනම් කළා කියලා, පාස්පෝට් එක තහනම් කරයි කියලා මම දණගහන්නේ නෑ. මම විශ්ව බුද්ධ.”

උපුටාගැනීම අවසන්.

ඒ අනුව ඉදිරිපත් විමර්ශන තුළින් අනාවරණය වී ඇති කරුණු අනුව සැකකරුට ඇප ලබාදුනහොත් මහජන කැලඹිමක් සිදුවිය හැකි බැවින් සැකකරු ඇප මත මුදා නොහරින ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම පාදක කරගනිමින් සැකකරු යළි පෙබරවාරි 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

+


තියුණු ආයුධවලින් පහරදී මහමඟදී මුදල් කොල්ලකයි

(26.01.2024 – 10:44 +0530 – sinhala.adaderana.lk)

පමුණුගම දෑලතුර ඇලබැම්ම ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනකුට (3) තියුණු ආයුධවලින් පහරදී ඔවුන්ගේ මුදල් හා දේපළ කොල්ලකා ති‌බේ.

අන්තර්ජාලය ඔස්සේ පළ කර තිබු වෙළෙඳ දැන්වීමක් අනුව යතුරුපැදියක් මිලදී ගැනීම සඳහා ලොරි රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකුට (3) අදාළ පහරදීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

මාර්ගයේ සැඟව සිටි පුද්ගලයින් සිව්දෙනෙකු (4) විසින් මෙම පහරදීම සිදුකර රුපියල් 132,000 ක මුදලක්, ජංගම දුරකථන 5 ක්, රන්මාලයක් සහ අත්පළඳනාවක් කොල්ලකා පළාගොස් ඇත.

පහරකෑමෙන් තුවාල ලැබුවන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර කොල්ලකෑම සිදුකළ සැකකරුවන් පමුණුගම පොලීසිය විසින් හඳුනාගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි ෴


රාජ්‍ය අමාත්‍ය ‘සනත් නිශාන්ත’ගේ රියදුරා රිමාන්ඩ්

(26.01.2024 – 20:30 +0530 – hirunews.lk/sinhala)

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ‘සනත් නිශාන්ත’ සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට මරු කැඳවූ අනතුර වන අවස්ථාවේදී V-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවූ රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරා රක්ෂිත බන්ධනාගාරගත කර කන්ටේනර් රථයේ රියදුරා ඇප මත මුදා හැරීමට අද (26) වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන නියෝගකර තිබෙනවා.

කන්ටේනර් රථයේ රියදුරා රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි කඳාන පොලිසිය සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රුපියල් ලක්‍ෂ 05 ක ඇපකරුවකුගේ බැඳුම්කරයක් මත ඔහුව මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ රියදුරු බලපත්‍රයද තාවකාලිකව මුදා හැරීමට නියමකළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍යවරයා සුඛෝපභෝගී ජීප් රථය අනතුරට ලක්වූ කන්ටේනර් රථයේ රියදුරා වශයෙන් කටයුතු කළ ජයන්ත නිරෝෂන් දසනායක නමැත්තා මෙලෙස මුදා හරින ලද අතර, රාජ්‍ය අමාත්‍යවරයාගේ V-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයෙහි රියදුරා වශයෙන් කටයුතු කළ ආරච්චිකට්ටුව කැලේගම පදිංචි ‘සුරියහෙට්ටි අධිකාරී මුදියන්සේලාගේ ප්‍රභාත් එරංග ඩිල්නේෂා’ නමැත්තා රිමාන්ඩ් භාරයට පත්කළා ෴


මීරිගම රෝහලට මරණයක ගැටලුවක්

(26.01.2024 – 21:37 +0530 – hirunews.lk/sinhala)

මීරිගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියා තත්ත්වයකින් මිය ගිය කාන්තාවකගේ දේහය ආදාහනය සදහා සූදානම් කරමින් සිටියදී පොලිසිය පැමිණ රැගෙන ගිය පුවතක් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට වාර්තා වුණා.

ඒ 81 හැවිරිදි අදාල මියගිය කාන්තාවගේ මරණය සැක සහිත බවට ලද ඇමතුමක් හේතුවෙන්.

මීරිගම තවලම්පිටිය ප්‍රදේශයේ වැඩිහිටි නිවසක සිටි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව රෝගාතුර සිට මීරිගම රෝහලේ දී මියගොස් ඇති අතර භාරකරුවන්ට වැඩිහිටි නිවාසයේ පාලකයන් ඒ පිළිබඳ දැනුම් දීමක් කර තිබෙනවා.

එහෙත් ඔවුන් දේහය බාරගෙන නොමැති බැවින් සිරුර අදාහනය කිරීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

කෙසේ වෙතත් මිය කාන්තාවගේ සහෝදරියක් මරණය සැක සහිත බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට කළ දැනුම් දීමක් මත දේහය යලි වතුපිටිවල මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහායි ෴


‘අල් කයිඩා’ ත්‍රස්තයන්ට සහය වූ ලාංකිකයින් 4 දෙනෙකුට එරෙහිව රතු වරෙන්තු

(26.01.2024 – 22:48 +0530 – hirunews.lk/sinhala)

‘අල් කයිඩා’ ත්‍රස්ත සංවිධානය සඳහා ආධාර අනුබල ලබා දී දැනට විදේශගතව සිටිනවා යැයි කියන සැකකරුවන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් ‘රතු වරෙන්තුවක්’ නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ අද (26) නියෝග කර තිබෙනවා.

එහිදී ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් අනුව මෙම රතු වරෙන්තු නිකුත් කළේ ඕස්ට්‍රේලියාවේ සහ සිරියාවේ පදිංචි යැයි සඳහන්වන අහමඩ් කලිල් ලුක්මාන් තලීබ්, අහමන් ලුක්මාන්ඩ් හලීන්, අබ්දුල් බාහින් මොහොමඩ් ලෙබ්බේ සහ මොහොමඩ්පාහීර් රිපන් නමැති පුද්ගලයින් සිව්දෙනා (4) ටයි.

මෙම පුද්ගලයින් සිව්දෙනා (4) මෙරට කල්එළිය සහ කලගෙඩිහේන යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය මඟින් ‘අල් කයිඩා’ සංවිධානයට ආධාර උපකාර කළ බවට චෝදනා ලද සැකකරුවන් 16 දෙනෙකුට 2021 වසරේදී නඩු පවරා ඇති අතර, එම සැකකරුවන් අතරින් සිව්දෙනෙකු (4) ටද මෙසේ රතු වරෙන්තු නිකුත්කරනු ලැබ තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *