ලිංගික අල්ලසක් ඉල්ලූ ගණකාධිකාරී සහ මානව සම්පත් කළමණාකරු අල්ලස් දැලට

ලිංගික අල්ලසක් ඉල්ලූ ගණකාධිකාරී සහ මානව සම්පත් කළමණාකරු අල්ලස් දැලට


ලිංගික අල්ලසක් ඉල්ලූ ගණකාධිකාරී සහ මානව සම්පත් කළමණාකරු අල්ලස් දැලට

(26.01.2024 – 17:38 +0530 – hirunews.lk/sinhala)

2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හිමිවූ බලතල අනුව අද (26) දින සිදුකර තිබෙනවා.

ඒ අනුව, මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචිකාරියව විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව, පුද්ගලික හෝටලයක සේවය කරනු ලබන පැමිණිලිකාරියට දැනට ගෙවනු ලබන 75% ක සේවා ගාස්තු මුදල ගෙවීමට සහ සේවය ස්ථීර කිරීමට ලිංගික අල්ලසක් ඉල්ලා තිබෙනවා.

එහිදී ඇයට පුද්ගලික හෝටල් කාමරයක් කරා රැගෙන ගොස් ලිංගිකව හැසිරීමට ප්‍රවේශ වීම යන චෝදනා මත දඹුල්ල පුද්ගලික හෝටලයක ගණකාධිකාරී සහ මානව සම්පත් කළමනාකාරවරයෙකු අද (26) උදෑසන හබරණ ප්‍රදේශයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+


මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ට ඉන් මිදීමට දුරකථන අංකයක්

(26.01.2024 – 19:57 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ට ඉන් මිදීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තොරතුරු ලබා ගැනීමට විශේෂ ක්ෂණික දුරකතන අංකය හඳුන්වා දී තිබෙනවා. ඒ, 1927 නම් දුරකතන අංකය යි. මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීමේ කාර්ය සාධක බලකාය විසින් ෴


ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම විභාගය ඇරඹේ

(26.01.2024 – 19:57 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් 29 ක් අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත පංච (5) පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේයි.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු පාර්ශ්ව කිහිපයක් මේ වනවිට පෙත්සම් 29 ක් ගොනුකර ඇති අතර, එහි වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ, නීතිපතිවරයාවයි.

පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින්, ඒවා සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස මෙම පෙත්සම්වලින් ඉල්ලා තිබෙනවා.

මෙහිදී ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇති බවයි.

එහෙත් යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත තුළින් රජයට එරෙහිව සිදු කරනු ලබන සාමකාමී විරෝධතා ත්‍රස්ත ක්‍රියා ලෙස අර්ථකථනය කර ඇති අතර ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කර ඇති බවයි ඔහු සඳහන් කළේ ෴


කැල්ටෙක්ස් වෙතින් පහසුකමක්

(26.01.2024 – 19:51 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ලිහිසි තෙල් අංශය තුළ එක් ලිහිසි තෙල් හුවමාරුවකින් කිලෝමීටර් 10,000 ක් ධාවනය කිරීමේ සුවිශේෂි පහසුකමක් ශ්‍රී ලාංකිකයින්ට හිමි කර දීමට ‘කැල්ටෙක්ස් හැවොලින්’ කටයුතු කර තිබෙනවා.

ඒ එම සමාගම තම ‘ප්‍රෝ ඩී එස් ෆුලී සින්තටික් එකෝ සීරියස්’ ලිහිසි තෙල් ක්ෂේත්‍රය තුළ අත්හදා බලමින්.

තවද පාරිභෝගික අවශ්‍යතා සඳහා විසදුම් සෙවීම වෙනුවෙන් කැල්ටෙක්ස් හැවොලින් හී ආරක්ෂාවද මෙම ක්‍රියාකාරීත්වය තුළින් මනාව සහතික කරනු ලබනවා.

‘ඩිපෝසිට් ෂීල්ඩ්’ තාක්ෂණය සමග එන ‘කැල්ටෙක්ස් හැවොලින් ප්‍රෝ ඩී එස් ෆුලී සින්තටික් එකෝ’ එංජින් ලිහිසි තෙල්, එංජින්වල ඉහළ ක්‍රියාකාරීත්වය සඳහා වඩාත් සුදුසු වන අතර අවශ්‍ය සෑම මොහොතකම සුවිශේෂී ආරක්ෂාවක් මෙන්ම කාර්යක්ෂමතාවක් ලබා දෙනවා.

එසේම හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන කැල්ටෙක්ස් හැව්ලින්හී නිල සන්නාම තානාපතිවරයා ලෙස පත් කිරීමද විශේෂත්වයක් ෴


2024 කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියට චමරි අතපත්තු ගිවිසුම් ගතවෙයි

(26.01.2024 – 17:43 +0530 – hirunews.lk/sinhala)

2024 කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ‘චමරි අතපත්තු’ට හිමි වී තිබෙනවා.

UP Warriorz ශ්‍රී ලංකා නායිකාව සහ 2023 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වන චමරි අතපත්තු, ඉදිරි කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරඟාවලියෙන් ඉවත් වූ Lauren Bell වෙනුවට ඇයගේ මූලික මිල සඳහා අත්සන් කර තිබෙනවා.

ඒ ඉන්දීය රුපියල් මිලියන 3 සඳහා බවයි සඳහන් වන්නේ ෴


පාර්ලිමේන්තුව වාර අවසන් කෙරේ

(26.01.2024 – 16:35 +0530 – hirunews.lk/sinhala)

9 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි (4) සභාවාරය අද (26) මධ්‍යම රාත්‍රියේ දී වාර අවසාන කරනු ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එලෙස වාර අවසාන කෙරෙන පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් ලබන මස 07 වනදා පෙරවරු 10:30 ට ආරම්භ කරන බවත් එම නිවේදනයේ සඳහන් ෴


මිහින්තලේ හිමියන්ට මරණ තර්ජන එල්ල කළ සැකකරු ජනවාරි 31 දක්වා රිමාන්ඩ්

(26.01.2024 – 15:45 +0530 – hirunews.lk/sinhala)

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට මරණීය තර්ජන එල්ල කර රුපියල් කෝටියක් කප්පම් ගැනීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරු ජනවාරි 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (25) වන අතර, ඔහු මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක්.

ඔහු තම නිවසේ රැදී සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

2023 වසරේ ජුනි 01 වනදා රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා සැකකරු විසින් මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට නිර්ණාමික දුරකථන ඇමතුම් ලබා දී මරණීය තර්ජන එල්ල කර ඇති බවයි සඳහන් වන්නේ.

මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයකින් පසුවයි සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴


සෙල්ෆියක් ගැනීමට ගිය රුසියානු තරුණියක් දුම්රියෙන් ඇද වැටෙයි

(26.01.2024 – 15:20 +0530 – hirunews.lk/sinhala)

දෙමෝදර සිට ඇල්ල දක්වා දුම්රියෙන් ගමන් කරමින් සිටි රුසියානු ජාතික කාන්තාවක් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ඇද වැටී බරපතල තුවාල ලබා තිබෙනවා.

මෙම කාන්තාව අද (26) උදෑසන දෙමෝදර සිට ඇල්ල දෙසට පිහිටා ඇති බිංගෙය අසලදී මෙම ඡායාරූප ගැනීමට උත්සාහ දරා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

25 හැවිරිදි වියේ පසුවන මෙම තරුණිය දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවීම හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා ෴


ඌරගහ ගැටුමකින් පුද්ගලයෙකුගේ අතක් වෙන් වෙයි

(26.01.2024 – 14:43 +0530 – hirunews.lk/sinhala)

ඌරගහ ප්‍රදේශයේ යාබද නිවස දෙකක පුද්ගලයන් දෙදෙනෙකු (2) අතර කළක් තිස්සේ පැවති ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුගේ වම් අත වෙන්වන ලෙස කපා දමා තිබෙනවා.

අත වෙන් වී තුවාල ලැබු පුද්ගලයා 33 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව සඳහන් වෙනවා ෴


නාවික හමුදා සෙබළෙකුගේ ප්‍රහාරයෙන් නැන්දම්මා මරුට

(26.01.2024 – 13:32 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – වාහල්කඩ ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රීයේ සිය බිරිදගේ මවට උදැල්ලකින් පහරදී ඝාතනය කළ සැකකාර නාවික හමුදා සෙබළා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්වුණේ 54 හැවිරිදි කාන්තාවක් වන අතර, නාවික හමුදා සෙබලාගේ බිරිඳ සැකකරු සමඟ අමනාප වී මීට මාස කිහිපයකට පෙර ඇගේ මවගේ නිවසට පැමිණ ජීවත් වී තිබෙනවා.

ඊයේ (25) රාත්‍රියේ සැකකාර නාවික හමුදා සෙබළා නිවසට පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ ෴


කෙරවලපිටියේ අනතුරකින් විදේශිකයෙකු මරුට

(26.01.2024 – 10:09 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් විදේශිකයෙකු මියගොස් තිබෙනවා.

කඩවත දෙස සිට කෙරවලපිටිය දක්වා ධාවනය කරමින් තිබූ විදේශිකයන් පිරිසක් රැගත් වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් අද (26) උදෑසන මෙම අනතුර සිදුවූ අතර, මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් බවයි සඳහන් වන්නේ.

පොලිසිය සඳහන් කළේ සිද්ධියෙන් වෑන් රථයේ ගමන්ගත් තවත් විදේශිකයින් තුන්දෙනෙකු (3) තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ලොරි රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය එකවර නතර කිරීම නිසා මෙම අනතුර සිදුව තිබෙනවා ෴


යුක්තියෙන් අපරාධකරුවන් 871 ක් අත්අඩංගුවට

(26.01.2024 – 08:33 +0530 – hirunews.lk/sinhala)

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 871 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 626 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 245 ක් සමගින් මුළු සැකකරුවන් 871 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 626 දෙනා අතරින් සැකකරුවන් 09 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 05 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවද සඳහන්.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 14 ක්ද මේ අතර වෙනවා.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 245 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 10 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 226 ක්ද සිටිනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 02 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 07 ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමේ දී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් :

  • හෙරොයින් 231 g
  • අයිස් 129 g
  • ගංජා 26 kg 400 g
  • ගංජා පැල 89,165
  • මාවා 863 g
  • මදනමෝදක 248 g
  • මත්පෙති 222

විදුහල්පති දීමනාව රුපියල් 9000 කින් ඉහළ දමන ලෙසට නිර්දේශයක්

(26.01.2024 – 07:55 +0530 – hirunews.lk/sinhala)

විදුහල්පති දීමනාව රුපියල් 9000 කින් ඉහළ දමන ලෙස නිර්දේශ කර තිබෙනවා.

ඒ විදුහල්පති සේවයේ නොවිසදුණු ගැටලු‍‍ විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව මගින්.

එම වාර්තාව කමිටුව විසින් ඊයේ (25) අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබුවා.

මහාචාර්ය ගුණපාල නානායක්කාරගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම කමිටුවෙහි හිටපු ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන එම්.ඒ. ධර්මදාස, පද්මා සිරිවර්ධන හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත, විශ්‍රාමික ගණකාධිකාරී එස්.ඩබ්ලිව්. ගමගේ එහි සාමාජිකයන් ලෙස කටයුතු කළා.

ප්‍රධාන කරුණු හයක් (6) ඔස්සේ කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

16,000 කට අධික නිලධාරීන් පිරිසක් සිටින විදුහල්පති සේවයේ එක, දෙක, තුන ශ්‍රේණිවලට අයත් විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හා උප විදුහල්පතිවරුන්ගේ සේවා අභිවෘද්ධිය හා පාසල් පද්ධතියේ නව අවශ්‍යතා සලකා විදුහල්පති අධිශ්‍රේණියක් ඇති කිරීමට ද එමගින් නිර්දේශ කළා.

එමෙන්ම වැටුප් සංශෝධන හා වැටුප් විෂමතා ඉවත් කිරීම, විදුහල්පති දීමනාව රුපියල් 6,000 සේ සිට රුපියල් 15,000 දක්වා වැඩි කිරීම, රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ලැබෙන සන්නිවේදන ගමන් වියදම් වාහන නිවාස ඇතුළු ප්‍රතිලාභ රැසක් සඳහා සහන හා දුෂ්කර පළාත්වල විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාව ලබාදීම මෙම කමිටුවේ නිර්දේශයන් අතර වනවා.

මෙම කමිටු නිර්දේශ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මගින්ද සේවා ව්‍යවස්ථා සංශෝධනය මගින්ද අමාත්‍යාංශ චක්‍රලේඛ හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ද ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *