ආර්ථික අර්බුදයට හේතුව පාලකයින්ට නිවැරදි උපදෙස් ලබා නොදීම – මහ බැංකු අධිපති

ආර්ථික අර්බුදයට හේතුව පාලකයින්ට නිවැරදි උපදෙස් ලබා නොදීම – මහ බැංකු අධිපති


ආර්ථික අර්බුදයට හේතුව පාලකයින්ට නිවැරදි උපදෙස් ලබා නොදීම – මහ බැංකු අධිපති

(25.01.2024 – 21:03 +0530 – hirunews.lk/sinhala)

රට ආර්ථික අර්බුදයකට ලක් වූයේ අවශ්‍ය අවස්ථාවේදී පාලකයින්ට නිවැරදි උපදෙස් ලබා නොදීම හේතුවෙන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

රට ආර්ථික වශයෙන් බංකොළොත් වීමට හේතු සෙවීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කළ රට බංකොලොත් වීමට බලපෑ ප්‍රධාන කරුණු පහෙන් (5) තුනකටම (3) ශ්‍රී ලංකා මහ බැංකුව සෘජුව සම්බන්ධ බවයි ෴

++++++

+


මුහුදේ ගිලී පුද්ගලයෙක් (1) මරුට – තවත් අයෙක් (1) අතුරුදන්

(25.01.2024 – 17:38 +0530 – sinhala.adaderana.lk)

කුඩාවැල්ල මෝදරවත්ත මුහුදේ දියනෑමට ගිය පුද්ගලයින් තිදෙනෙකු (3) අද (25) දහවල් 02:30 ට පමණ රළ පහරට හසුවී ගසාගෙන ගොස් තිබේ.

ඉන් එක් (1) පුද්ගලයෙක් දිවි බේරාගෙන තිබූ අතර තවත් පුද්ගලයෙකුගේ (1) සිරුර හමුවී ඇත.

මෙලෙස සිරුර හමුවී ඇත්තේ ‘සම්පත් කුමාර’ නම් කළුතර පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකුගේය.

තවත් අයෙක් (1) අතුරුදන්ව ඇති අතර ඔහු 25 හැවිරිදි කඹුරුපිටියේ පදිංචි ‘උදාර පුෂ්පකුමාර’ නම් පුද්ගලයෙකි.

පස් දෙනෙකු (5) ගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණ ඇති අතර ඉන් තිදෙනෙකු (3) මුහුදේ දියනෑමට ගොස් අනතුර සිදුවී ඇත ෴


තවත් ඝාතන තැතක් අනූනවයෙන් ගිලිහෙයි

(25.01.2024 – 09:48 +0530 – sinhala.adaderana.lk)

මුල්ලේරියාව කැලණි නදී මාවත හන්දියේ ලේ පැල්ලම් සහිත කඩු කිහිපයක් සමග නවතා තිබූ සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කර සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ත්‍රීරෝද රථයේ තිබී කඩු තුනක් (3), යකඩ පොල්ලක්, මන්නයක් සහ ජීව අත්බෝම්බ දෙකක් (2) සමග මෙම සැකකරුවන් මුල්ලේරියාව පොලිස් භාරයට ගෙන ඇත.

මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) අදාළ ත්‍රීරෝද රථය පිළිබඳව සැකසිතී සිදුකළ පරීක්ෂාවේදී මෙම ආයුධ හමු වී ඇති අතර අදාළ ත්‍රීරෝද රථයෙහි පුද්ගලයින් හයදෙනෙකු (6) ගමන් කර තිබූ බවද පොලීසිය පවසයි.

එම පොලිස් නිලධාරීන් දෙදෙනා (2) විසින් අනෙකුත් පොලිස් නිලධාරීන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී ගෙන්වාගෙන සිදුකළ පරීක්ෂාවේදී සැකකරුවන්ගේ ශරීරයේ සඟවා ගෙන තිබූ ජීව අත් බෝම්බ සහ ජංගම දුරකථන හයක් (6) අත්අඩංගුවට ගත් බවද මුල්ලේරියාව පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පණිවිඩයක් අනුව අනාවරණය වී ඇත්තේ පිංතාලිය හන්දියේ බටකැටිය පටුමගේ නිවසකට අනවසරයෙන් පිරිසක් ඇතුළු වී ඇති බවටය.

එහිදී එම නිවසේ සිටි පුද්ගලයෙකු ඝාතනය කිරීමට ගොස් ඇති බවත් පසුව එම පුද්ගලයා නිවසේ නොසිටීම හේතුවෙන් ඔහුගේ පියාට බරපතළ තුවාල සිදුකර නිවසටද දැඩි හානි සිදුකර ඇති බව පොලීසියට අනාවරණය වී තිබේ.

තුවාල ලැබූ පුද්ගලයා මුල්ලේරියාව මුලික රෝහලට ඇතුළත් කර ඇති බව ද අනාවරණය වුණි.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ, කඩුවෙල දෙසට යෑමට පැමිණි බවත් පාර වැරදීමෙන් මුල්ලේරියාවට පැමිණි බවත්ය.

වැඩිදුර විමර්ශනයේ දී හෙළිවී ඇත්තේ, ඝාතනය සඳහා ඉලක්කය වු පුද්ගලයා මීට දින දෙකකට (2) පෙර බන්ධනාගාර ගතව සිට ඇප ලැබී පැමිණි පුද්ගලයකු වන බවය.

එම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමෙහි යෙදි සිට ඇති අතර, මොවුන් දෙපිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් ඇතිවූ ආරවුලක් මෙම සිද්ධියට මූලික වී ඇති බවද වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴


අමානුෂික පහර දීමකින් තරුණයෙකු ඔත්පලව වෙයි

(25.01.2024 – 23:27 +0530 – hirunews.lk/sinhala)

හික්කඩුව, වැල්ලවත්ත ප්‍රදේශයේ තරුණයෙක් අමානුෂික පහර දීමක් හේතුවෙන් මාස ගණනාවක් තිස්සේ කිසිවක් කරකියා ගත නොහැකිව ඔත්පලව සිටිනවා.

‘නවාංජන සඳකැලුම්’ 18 වියෙහි පසුවන තරුණයෙක්.

සංගීත සංදර්ශනයක දී ඇති වූ මතභේදයක් හේතුවෙන් යම් කිසි පිරිසක් පසුගිය වසරේ (2023) ඔක්තෝම්බර් 20 වැනිදා හික්කඩුව නගරයේ දී නවාංජනගේ හිසට මෙලෙස පහර දී තිබුණා.

පහරදීමෙන් නවාංජනගේ හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් ඔහු මේ වන විට කිසිවක් කරකියා ගත නොහැකිව දැඩි සේ රෝගී තත්ත්වයට පත්ව තිබෙනවා.

නවාංජනට ආහාර ලබා දෙන්නේ නළ මාර්ගයෙන් වන අතර, හුස්ම ගැනීමටද සිදුව ඇත්තේ නළ මාර්ගයෙන්.

මීට මාස තුනකට (3) පෙර නවාංජනට සිදුකළ සැත්කමකින් ඔහුගේ හිස්කබලේ කොටසක් ඉවත්කර ඇති අතර, එලෙස ඉවත් කළ හිස් කබලේ කොටස නැවත ශල්‍යකර්මයකින් සකස් කිරීමට වෛද්‍යවරු තීරණය කර ඇතත් ඔහුගේ ශරීරය දුර්වල තත්ත්වයේ පැවතීම හේතුවෙන් එය සිදුකිරීම ද අසීරු වී ඇතැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

නවාංජනගේ මව පවසන්නේ තරුණ වයසේ පසුවන තම පුතු මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවයි.

+


සමන් පෙරේරා ඝාතන කුමන්ත්‍රණයේ සැලසුම නාමල් කුමාරගේ ද? (26.01.2024)

+


26-01-2024 12:00 pm +0530

+


සනත් නිශාන්ත මාරක රිය අනතුර : දකුණෙන් ඉස්සර කළ කාර් එකේ වදී කියලා ජීප් එක වමට ගනිද්දී කන්ටේනරයේ වැදුණා

(26.01.2024 – dinamina.lk)

  • ජීප් එක වට කිහිපයක් කැරකුණා ඊට පස්සේ මොනවා වුණාද දන්නෙ නෑ – රාජ්‍ය ඇමැතිගේ රියැදුරු පොලිසිය හමුවේ කියයි
  • අනතුර සිදුවන විට ‍රාජ්‍ය ඇමැතිවරයා නින්දේ
  • ඊයේ (25) පාන්දර රිය අනතුරකින් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මියයයි
  • ආරක්ෂක නිලධාරියාත් මරුට – මියගිය ආරක්ෂක නිලධාරී කොස්තාපල් අනුරාධ ජයකොඩි

“අපේ වාහනයට ඉස්සරහින් කන්ටේනර් එකක් ගමන් කරමින් තිබුණා. අපේ වාහනය කන්ටේනරයට ඉස්සර කරන්න යනකොටම දකුණු පැත්තෙන් වේගයෙන් ආපු කාර් එකක් ඉස්සර කළා. අපේ වාහනයේ ඒ කාර් එක වැදෙයි කියා අපේ වාහනය මම වමට කැපුවා. ඒත් එක්කම අපේ වාහනය කන්ටේනර් එකේ ලොකු සද්දෙකුත් එක්ක වැදුණා. වාහනය කැරකෙනවා වගේ දැනුණා. ඊට පස්සෙ මොනව වුණාද කියල සිතා ගන්න බැරි වුණා” යැයි රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ කටුනායක අධිවේගි මාර්ගයේදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් එහි රියැදුරු ‘ප්‍රභාත් එරංග’ පවසයි. රාගම රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින ආරච්චිකට්ටුව, කැලේගම අදිප්පල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 29 හැවිරිදි ‘ප්‍රභාත් එරංග’ මෙසේ පවසා ඇත්තේ පොලිස් නිලධාරින් සහ ‘සනත් නිශාන්ත’ මහතාගේ සමීපතමයන් රෝහලට ගොස් සිදුවූයේ කුමක්දැයි විමසන අවස්ථාවලදීය.

මෙතෙක් මෙම රියැදුරාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන නැත. ඉදිරියේදී ඔහුගෙන් ප්‍රකාශයක් ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම අනතුරට වගකිවයුතු පුද්ගලයා ලෙස හඳුනාගෙන සිටින්නේ මෙම රියැදුරා බව ද එම නිලධාරියා කීය.

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගමන්ගත් ඩබ්ලිව්.පී.කේ.පී. 7684 වී-එයිට් වර්ගයේ ලෑන්ඩ් කෲෂර් ජීප් රථය මෙසේ අනතුරට ලක්ව තිබේ. ‘රියැදුරුගේ අපරික්ෂාකාරී රිය පැදවීම සහ අධික වේගය’ මෙම අනතුරට මුල්වී ඇතැයි පොලිසිය කියයි. රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් මෙම රථය මීගමුව දෙස සිට පැමිණ කටුනායක අධිවේගි මාර්ගයට ඇතුළු කර ඇත්තේ මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි පිවිසුමෙනි. වාහනය අධිවේගි මාර්ගයට ඇතුළු කර විනාඩි 10 – 15 කටත් වඩා අඩු කාලයක් තුළ මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසියට නිරීක්ෂණය වී ඇත. අධිවේගි මාර්ගයේ 11.1 කිලෝමීටර කණුව අසලදී අලුයම 01:55 ට පමණ මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන විට රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගමන් කරමින් සිට ඇත්තේ වාහනයේ රියැදුරු අසුනට යාබදව ඇති වම්පස අසුනේය. ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් ජයකොඩි ආරච්චිලාගේ අනුරාධ ජයකොඩි (43) ගමන් කරමින් සිට ඇත්තේ ඇමැතිවරයාට සමාන්තර පිටුපස අසුනේය. ඔහු මහව අටවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් ජීප් රථය ගැටී ඇත්තේ ජගත් එදිරිසිංහ සමාගමට අයත් බව කියවෙන ඩබ්ලිව්.පී.එල්.වයි. 1263 / ඩබ්ලිව්.පී.එල්. එක්ස් 1667 දරන කන්ටේනරයේ බඳේ පිටුපසය.

රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් ජීප් රථයේ වම්පස කොටස කන්ටේනරයේ පිටුපස දකුණුපස මුල්ලේ වැදී රථය කැරකී ගොස් අධිවේගි මාර්ගයේ වම්පස ඇති යකඩ වැටෙහි ගැටී තිබෙන බව මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අධිවේගි මාර්ග රථ වාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

මෙම අනතුරින් රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් ජීප් රථයේ එන්ජිම පිහිටි ඉදිරි කොටස සහ වාහනයේ වම්පස සුන්බුන් ගොඩක් බවට පත්ව තිබේ.

රාජ්‍ය ඇමැතිවරයාත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාත් වාහනයේ වම්පස අසුන්ගෙන සිටීම නිසා අනතුරෙන් ඔවුන්ට දැඩි ලෙස හානි සිදු වී ඇත. වාහනයේ සුන්බුන් අතර සිරවී සිටි රාජ්‍ය ඇමැතිවරයාව පිටතට ගැනීමට අධිවේගි මාර්ගයේ සේවකයන්ට සහ පොලිසියට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව තිබේ. ඒ වන විට මාරාන්තික තුවාල ලබා සිටි රාජ්‍ය ඇමැතිවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව රෝහලකට රැගෙන යෑමට මාර්ගයේ ගමන් කළ වාහනයක් නතර කර ගැනීමට පවා යම් ප්‍රමාදයක් සිදුව ඇති බව සඳහන් වේ. රාගම රෝහලට ඇතුළත් කරන විටදී රාජ්‍ය ඇමැතිවරයා සහ ආරක්ෂක නිලධාරියා මියගොස් සිටි බව වාර්තා වේ.

මෙම අනතුර සිදුවන විට රාජ්‍ය ඇමැතිවරයා ගමන් කරමින් තිබූ ජීප් රථය පැයට කිලෝමීටර 130 ට එහා වේගයකින් ගමන්කර ඇතැයි පෙනී යන්නේ යැයි මෙම නිලධාරියා සඳහන් කළේය.

අනතුර සිදු වන අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරයා තමන් වාඩි වී සිටි අසුන පිටුපසට නවාගෙන නිදාගෙන පැමිණ තිබෙන බව ද පොලිසියට අනාවරණය වී ඇත. කුරුණෑගල ඥාතියකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට බිරිය හා දරුවන් සමඟ සහභාගි වී ඔවුන්ව වෙනත් වාහනයක කොළඹ බලා පිටත් කළ ඇමැතිවරයා නැවත ආරච්චිකට්ටුවේ තවත් විවාහ උත්සවයකට ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පැවසේ. එම මංගල උත්සවයේ ඇමැතිවරයා සිට ඇත්තේ මිනිත්තු 15 ක පමණ කාලයක් බවද වාර්තා වෙයි. අනතුර සිදුව ඇත්තේ එතැන සිට කොළඹ බලා ආපසු එන ගමනේදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ඇමැතිවරයාගේ නිවෙසට ගිය අවස්ථවේදී ඒ මහතාගේ බිරිය ජනාධිපතිවරයා වෙත පැවසුවේ “ඥතියකු නිසා ෆැමිලි එක පිටින් යන්න ඕනෑ කියලා අපි ඔක්කොම ගියා. ගිහින් එතනින් අපිව වෙන වාහනයකට දැම්මා එන්න. එයා ගියා හලාවත වෙඩින් එකකට. ඒ ගිහින් එමින් ගමන් තමයි මේ…” යනුවෙනි.

මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට කන්ටේනර් රථයේ රියැදුරු පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය සඳහන් කළේය.

රාජ්‍ය ඇමැතිවරයා ගමන් ගත් රථය අනතුරට ලක්ව ඇත්තේ කන්ටේනර් රථයේ පිටුපස ගැටී බැවින් කන්ටේනර් රථයේ රියැදුරු මෙම අනතුරට වගකිව යුතු නැතත් මෙම අනතුර සංවේදී සිදුවීමක් හේතුකොටගෙන මෙම රියැදුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය. සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරයාගේ රියැදුරු ද මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද වැලිසර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

(ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ, කටුනායක – ටී.කේ.ජී. කපිල, පුත්තලම ප්‍රසාද් පුර්ණමාල්, හිරාන් ප්‍රියංකර, මාරවිල සමූහ – මිහිර විජේසේකර, ජා-ඇළ – ප්‍රසංග පෙරේරා)


ලාදුරු රෝගීන් ගැන භයානක හෙළිදරව්වක්

(26.01.2024 – dinamina.lk)

ලංකාවේ කුඩාම පළාත වුවද ජනගහණයෙන් 30% ක්ම වාසය කරන බස්නාහිර පළාතේ ජනගහණ ඝනත්වය වැඩිවීම සහ දේශගුණික හේතූන් මත අනෙක් වසංගත රෝග මෙන්ම ලාදුරු රෝගීන් විශාල සංඛ්‍යාවක් ව්‍යාප්ත වී ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පවසයි.

ඒ අනුව ලංකාවේ ලාදුරු රෝගීන් 1,550 ක් වාර්තා වන විට එයින් 599 ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත්, එනම් ලාදුරු රෝගී තත්ත්වයෙන් 40% ක්ම බස්නාහිර පළාතේ ඇති බවද වෛද්‍යවරිය සඳහන් කළාය.

කොළඹ දිස්ත්‍රික්කයේ 315 ක්ද, ගම්පහෙන් රෝගීන් 168 ක් සහ කලුතරින් 116 ක් වශයෙන් ලාදුරු රෝගීන් වාර්තා වී තිබේ.

එමෙන්ම ලංකාවෙන්ම වාර්තා වන ළමා ලාදුරු රෝගීන් 173 න් 69 දෙනෙකුම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත් ඇය සඳහන් පැවසුවාය.

කෙසේවෙතත් නිසි කලදී, එනම් මුල් අවස්ථාවේදී ප්‍රතිකාර වලට යොමු වීමෙන් රෝගය වැළැක්වීමටත් ඇතිවන සංකූලතා අවම කරගැනීමටත් හැකිවන බවද ඇය සදහන් කළාය.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය මේ බව පැවසුවේ ජනවාරි 28 ට යෙදෙන ‘ලෝක ලාදුරු දිනය’ට සමගාමීව ලාදුරු තුරන් කිරීමට නව මංපෙත් නමින් පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්ය.

නිසි කලදී එනම් මුල් අවස්ථාවේදී ප්‍රතිකාර වලට යොමු වීමෙන් රෝගය වැළැක්වීමටත් ඇතිවන සංකූලතා අවම කරගැනීමටත් හැකිවන බවද ඇය පැවසුවාය.

මේ වන විට බස්නාහිර පළාතේ ලාදුරු වැළැක්වීමට ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධීක්ෂණය යටතේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක බවද, ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙන කණ්ඩායම් පුහුණු කරන අතරම ගෙයින් ගෙට ගොස් ලාදුරු රෝගය හඳුනාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද සඳහන් කළාය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *