ස්ත්‍රී සහ පිරිමි ළමුන් දූෂණයට නීති දැඩි වෙයි

ස්ත්‍රී සහ පිරිමි ළමුන් දූෂණයට නීති දැඩි වෙයි


ස්ත්‍රී සහ පිරිමි ළමුන් දූෂණයට නීති දැඩි වෙයි

(25.01.2024 – 11:43 +0530 – hirunews.lk/sinhala)

දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය පිළිබඳව සහ පිරිමි ළමයින් දූෂණය කිරිම සම්බන්ධයෙන් නීති දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සහ පිරිමි ළමයින් දූෂණය කිරීම සාපරාධි ක්‍රියාවක් බවට පත් කරමින් සකස් කළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

ඒ සඳහා නීතිපතිවරයා නිෂ්කාශනය ලැබී ඇති අතර, එය ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති ෴


මැතිවරණ අල්ලස් දඩය රුපියල් මිලියනයක් (1,000,000) දක්වා ඉහළ දැමීමට යෝජනා

(25.01.2024 – 20:01 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද විමසීමක් අවස්ථාවේ අල්ලස් දීමේ වරදට අය කෙරන දඩ මුදල රුපියල් මිලියනයක් (1,000,000) දක්වා ඉහළ දැමීමට දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතෙන් යෝජනා කර තිබෙනවා.

විවිධ වැරදි සඳහා පනවා තිබූ දඩ මුදල් ඉහළ නැංවීමට අදාළව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී අවසන්.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවක් අනුව එම කෙටුම්පත මෙලෙස ඉදිරිපත් කෙරුණා.

එහිදී ඡන්ද විමසීමක් සම්බන්ධයෙන් සංග්‍රහ කිරීම් ආදියෙන් අල්ලස් ලබාදුන්නේ නම්, රුපියල් 200 ක්ව මෙතෙක් පැවති දඩ මුදල රුපියල් 750,000 ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

මහජන කරදරයක් සිදුකිරීම සහ යම් පුද්ගලයෙකුට ස්වේඡාවෙන් තුවාල සිදුකිරීම යන වරද සඳහා රුපියල් 50 ක් ලෙස නියම කර තිබූ දඩ මුදල රුපියල් 20,000 ක් දක්වා ඉහළ දැමෙනු ඇති.

එසේම, පුද්ගලයෙකුගේ පෞද්ගලික ආරක්ෂාවට බාධාවන අයුරින් යම් ක්‍රියාවක් සිදුකිරීමේ වරදට පනවා තිබූ රුපියල් 100 දඩ මුදල ද රුපියල් ලක්ෂය (100,000) දක්වා ඉහළ දැමිය යුතු බවයි එහි සඳහන් කර ඇත්තේ.

මේ අතර, යම් තැනැත්තෙකුට අයුතු ලෙස අවහිර කිරීමේ වරදට රුපියල් 50 ක්ව පැවති දඩ මුදල රුපියල් 50,000 දක්වාත් යම් අයෙකු අයුතු ලෙස සිර කර තැබීමේ වරදට රුපියල් දහසක් (1000) වූ දඩ මුදල රුපියල් ලක්ෂ 5 ක් දක්වාත් ඉහළ දැමෙනවා.

ත්‍රිවිධ හමුදා භටයෙකුගේ රාජකාරි ඇඳුමක් අවභාවිත කිරීමේ වරදට පනවා තිබූ රුපියල් 100 ක දඩමුදල රුපියල් 50,000 දක්වාත්, රාජ්‍ය සේවකයෙකුගේ ඇදුම් හෝ සලකුණු වංචනික ලෙස භාවිත කිරීමේ වරදට පැනවුණු රුපියල් 100 දඩ මුදල රුපියල් 25,000 දක්වාත් මෙමගින් සංශෝධනය කිරීමට යෝජිතයි.

පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, යම් ඖෂධයක ගුණාත්මකභාවය අඩුවන ලෙස අපමිශ්‍ර කිරීම සහ ඒ බව දැනුවත්ව එම ඖෂධය බෙහෙත් ශාලාවකින් නිකුත් කිරීම යන වැරදි සදහා රුපියල් සියයක්ව (100) පැවති දඩ මුදල රුපියල් ලක්ෂයක් (100,000) දක්වාත් ඉහළ දමා තිබෙනවා.

මේ අතර, ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සහ පිරිමි ළමයින් දූෂණය කිරීම සාපරාධි ක්‍රියාවක් බවට පත් කරමින් සකස් කළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

එසේම, අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරමින් සකස් කරන ලද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

චූදිතයින්ට බන්ධනාගාරයේ ගත කළ කාලය දණ්ඩන නියමය යටතේ බන්ධනාගාර ගත කළ යුතු කාලයෙන් අඩු කිරීම පිළිබදව සලකා බැලීමට හැකිවන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධනය කරමින් නව කෙටුම්පත සකස් කරනු ලැබුවා.

ඊට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති අතර එය ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ ෴


දරු තිදෙනා (3) නිවසෙහි සිරකර මව්පියන් වන්දනාවේ ගිහින්

(25.01.2024 – 10:29 +0530 – hirunews.lk/sinhala)

දරුවන් තිදෙනා (3) නිවසෙහි දමා භාරයක් ඔප්පු කිරීමට ශ්‍රීපාදයට ගිය මව්පිය යුවළක් කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දීගල්ල එලතලව ප්‍රදේශයේ මා පිය යුවලක්.

නිවසෙහි දමා ගොස් සිටි දරුවන් තිදෙනා (3) වයස අවුරුදු අටක (8), පහක (5) සහ තුන් (3) හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ.

පොලිස් හදිසි ඇමතුම් සේවයට ලද තොරතුරකට පොලිස් නිලධාරීන් විසින් දොරගුලු දමා තිබූ එම නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී උණ රෝගයෙන් පෙළෙමින් සිටියදී දරුවන් තිදෙනා (3) සොයාගෙන තිබෙනවා.

ඒ අනුව දරුවන් තිදෙනා (3) කඩිනමින් රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ පාන් බිස්කට් වර්ග ආදිය කෑමට නිවසේ තැන්පත් කර එම යුවල තවත් පිරිසක් සමගින් වන්දනාවේ ගොස් ඇති බවයි.

වන්දනාගමන නිම වී පැමිණි වහාම එම දෙමාපියන් අත්අඩංගුවට ගෙන ඇති අතර රෝහල් ගතව සිටින දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔවුන්ගේ මව රඳවා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ෴


ආනන්තරිය පාපකර්මයක් : ඉලඇට 22 ක් කැඩෙන්න පහර දී තම මව ඝාතනය කළ පුතා අත්අඩංගුවට

(25.01.2024 – 10:23 +0530 – hirunews.lk/sinhala)

ඉලඇට 22 ක් කැඩෙන තුරු තම වියපත් මවට පහර දුන් පුතෙක් නාවලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 67 ක කාන්තාවක් බවයි වාර්තා වෙන්නේ.

සැකකරු මීට පෙරද සිය පියාට පහර දී බරපතල තුවාල සිදුකර ඇති අතර වධ හිංසා ඉවසාගත නොහැකි පියා සිය වැඩිමහල් දියණියගේ නිවසේ පදිංචියට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඉන්පසු සැකකරු මව සමඟ නිවසේ සිට ඇති අතර වසරක (1) පමණ කාලයක සිට මව සමඟ මෙලෙස ආරවුල් ඇතිකරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය 20 වැනිදාත් ඔහු මවට පහර දී ඇති අතර මව නිවසේ දමා දොර අඟුළුදා නාවලපිටිය නගරයට ගොස් තිබෙනවා.

සවස නිවසට පැමිණ බලන විට මව මියගොස් ඇති බව දැක ඔහු ඒ පිළිබඳව අසල්වාසින්ට දන්වා ඇති අතර පසුව පොලිසියද දැනුවත්කර තිබෙනවා.

එහිදී සැකකරු සඳහන්කර සිටියේ මවගේ මරණය සම්බන්ධව කිසිදු සැකයක් නොපවතින බවයි.

නමුදු මරණය සම්බන්ධව සැකමතු වූ පොලිසිය ඒ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වා තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ පහර දීමක් නිසා මෙම මරණය් සිදුවී ඇති බවත් මෙම කාන්තාවගේ හකු ඇටයක් සහ ඉලඇට 22 ක් බිඳී ඇති බවයි.

පසුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු වරද පිළිගෙන ඇති අතර ඒ අනුවයි මෙලෙස ඔහු පොලිස් අත් අඩංගුවට පත්ව ඇත්තේ ෴


ආණමඩුවේ රිය අනතුරකින් එකම පවුලේ පියා සහ පුත්‍රයා ජීවිතක්ෂයට

(25.01.2024 – 09:36 +0530 – hirunews.lk/sinhala)

ආණමඩුව – නවගත්තේගම ප්‍රධාන මාර්ගයේ ලබුගල ප්‍රදේශයේදී අද (25) උදෑසන සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ පියා සහ පුත්‍රයා ජීවිතක්ෂයට පත්වී මව බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔවුන් ගමන් කළ යතුරු පැදිය නවතා තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

බරපතළ තුවාල ලැබූ මව මේ වන විට පුත්තලම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා ෴


ටිපර් රථ දෙකක් (2) සහ යතුරු පැදියක් ගැටී බිහිසුණු අනතුරක්

(25.01.2024 – 08:51 +0530 – hirunews.lk/sinhala)

යාපනය – මහනුවර A-9 මාර්ගයේ මාන්කුලම ප්‍රදේශයේදී ටිපර් රථ දෙකක් (2) මුහුණට මුහුණ ගැටුණු අනතුරට යතුරු පැදියක් මැදිවීම නිසා එහි ගමන් ගත් දෙදෙනෙකු (2) ඊයේ (24) බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා (2) මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වවුනියාව රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම අනතුරේදී බොරළු පටවා ගෙන ගිය ටිපර් රථය මහපාර මැද පෙරළී යාම නිසා A-9 මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වූ බවයි.

ටිපර් රථ දෙකම (2) අධික වේගයෙන් ගමන් කිරීම නිසා ඒවයෙහි වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම රථ දෙක (2) මුහුණට මුහුණ ගැටී ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අදාළ අනතුර සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴


ජල, විදුලි සහ සේවක පඩි ගෙවා ගැනීමට නොහැකිව හෝටල් රැසක් වැසේ

(25.01.2024 – 08:31 +0530 – hirunews.lk/sinhala)

හෝටල් ක්ෂේත්‍රය අද (25) වන විට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව හෝටල් සේවක මධ්‍යස්ථානය පවසනවා.

ජල සහ විදුලි බිල මෙන්ම සේවක පඩිනඩි ගෙවා ගැනීමට නොහැකිව හෝටල් රැසක් වසා දමා ඇති බවයි එම මධ්‍යස්ථානයේ සංවිධායක ජයතිලක රණසිංහ කොළඹ ඊයේ(24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේ ෴


බස්නාහිර ළමා ලාදුරු රෝගීන් ඉහළට

(25.01.2024 – 08:06 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ (2023) සිට මේ දක්වා වාර්තා වී ඇති ළමා ලාදුරු රෝගීන් 173 දෙනා අතරින් 69 දෙනෙකුම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

එමෙන්ම සමස්ත ලාදුරු රෝගීන්ගෙන් සියයට 40 කට වැඩි පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ.

පළාත තුළ ලාදුරු රෝගීන් ඉහළයාමට හේතු සම්බන්ධයෙන්ද ඇය මෙහිදී පැහැදිළි කළා.

ලෝක ලාදුරු දිනය ලබන 29 වනදාට යෙදී ඇති අතර ඊට සමගාමීව වැඩසටහන් රැසක් සෞඛ්‍ය අමාත්‍යංශය සංවිධානය කර තිබෙනවා ෴


ගත වූ පැය 24 තුළ 838 ක් අත්අඩංගුවට

(25.01.2024 – 07:38 +0530 – hirunews.lk/sinhala)

‘යුක්තිය මෙහෙයුම’ යටතේ ගතවූ පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 838 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 549 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 289 ක් සමගින් මුළු සැකකරුවන් 838 ක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 549 දෙනා අතරින් සැකකරුවන් 05 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 10 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 14 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 289 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 35 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 246 ක්ද සිටින බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් :

  • හෙරොයින් 211 g
  • අයිස් 78 g
  • ගංජා 16 kg 600 g
  • ගංජා පැල 9,974
  • මාවා 493 g
  • මදන මෝදක 36 g
  • මත්පෙති 1,192

සනත්ගේ මරණය ගැන අපහාසාත්මක post සහ comment දාන අයව සොයා බලයි

(25.01.2024 – 19:06 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මියයෑම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ලෙස මත පළ කරන පුද්ගලයින් පිළිබඳ සොයාබැලීමක් සිදුකළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු සඳහන් කළේ මරණයක් පිළිබඳ එවැනි ආකාරයේ මත පළ කිරීම් අනුමත කළ නොහැකි බවයි.

සනත් නිශාන්තගේ මරණය ගැන සමාජ මාධ්‍යවල ඉතාමත් නරක විදියට පළ කිරීම් සිදුකර තිබෙන බවත් ලැබුණු වාර්තා අනුව එක පක්ෂයකට සම්බන්ධ වෙච්ච පිරිසක් මෙය සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴

++++++++

+


බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයේ සැකකරුට 27 දක්වා රැඳවුම් නියෝගයක්

(25.01.2024 – 20:31 +0530 – sinhala.adaderana.lk)

බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අද (25) අධිකරණය අවසර දී තිබේ.

අදාළ සැකකරුව අද (25) දින දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී මේ මස 27 වන දින දක්වා සැකකරු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබාගෙන ඇත.

අකුරැස්ස, බංගම ප්‍රදේශයේදී ඊයේ (24) අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී තවත් වැදගත් කරුණු රැසක් අනාවරණ වී තිබේ.

එම පුද්ගලයා මෙම ප්‍රහාරය මෙහෙයවූ ප්‍රධානියා බවට සැකකෙරෙන අතර අප ඊයේ (24) රට හමුවේ අනාවරණ කළ සීසීටීවී දර්ශන පෙළෙහි හෝටලයකට ගොස් ආහාර ලබාගන්නේද මොහු බව පොලීසිය සඳහන් කළේය.

සමන් කුමාර නම් 55 හැවිරිදි සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු වලට අනුව යතුරුපැදියක් හා වෑන් රථයක් ද පොලීසිය සොයාගෙන ඇත.

ඒ මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ හක්මන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

පොලීසිය සැකකරන්නේ, ප්‍රහාරය සඳහා යොදාගත් ටී-56 වර්ගයේ ගිනි අවි දෙක (2) බැහැර කිරීමට අදාළ යතුරුපැදිය ‍යොදාගෙන ඇති බවය.

අපරාධයෙන් පසුව සැකකරුවන්ට සැඟවී ගමන් කිරීමට අදාළ වෑන් රථය සූදානම් කර තිබූ බව පොලීසිය සැකකරයි.

එමෙන්ම වෙඩික්කරුවන් පැමිණි ජීප් රථයේ සිටි එක් වෙඩික්කරුවෙක් අකුරැස්ස ප්‍රදේශයෙන් බස්සවා ඇති අතර තවත් වෙඩික්කරුවෙකු කඹුරුපිටිය ප්‍රදේශයෙන් බස්සවා ඇති බවට පොලීසිය කරුණු අනාවරණ කරගෙන ඇත.

ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදුන් ඩුබායිහි සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු විසින් අනෙක් වෙඩික්කරුවන් තමාට සම්බන්ධ කළ බවත්, තංගල්ල අධිකරණය අසලදී ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම්කර තිබූ බවත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණ කර තිබේ.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ ‘රෝයල් බීච් සමන්’ ඇතුළු කණ්ඩායම පිළිබඳව තවත් අයෙකු ඝාතකයන්ට ජංගම දුරකථනයකින් තොරතුරු සපයා තිබීම හේතුවෙන් ජංගම දුරකථන විශ්ලේෂණයක් සිදුකිරීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරියෙකු ‘අද දෙරණ’ට සඳහන් කළේය.

එමෙන්ම සැකකරුගේ බැංකු ගිණුම්ද පරීක්ෂා කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකව පවතී ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *