රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය කොළඹට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය කොළඹට


රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය කොළඹට

(25.01.2024 – 12:56 +0530 – hirunews.lk/sinhala)

කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය ඥාතීන් වෙත භාරදීමෙන් අනතුරුව කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන ඒමට නියමිතයි.

එහි අද (25) පස්වරුවේ තැන්පත් කිරීමෙන් අනතුරුව දේහය හෙට (26) උදෑසන ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත රැගෙන යනු ඇති.

අරගලය සමයේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවස ගිනිතැබීමට ලක්වුණා.

අද (25) අලු‍යම 2 ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට දිවෙන මංතීරුවේ 11 වන කිලෝමීටර කණුව අසල දීයි.

කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කළ ජිප් රථය ඉදිරියෙන් කන්ටේනර් රථයක් සහ ඊට පිටුපසින් මෝටර් රථයක් ගමන් කර තිබෙනවා.

එම මෝටර් රථය කන්ටේනර් රථය පසු කිරීමට යාමේදී ඊට පිටුපසින් පැමිණි ජිප් රථය එම මෝටර් රථයේ ගැටීම වලක්වා ගැනීම සදහා එය කන්ටේනර් රථය දෙසට හරවා ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

එම අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් ජීප් රථය, කන්ටේනර් රථයේ පිටුපස ගැටී අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටී ඇති බව සඳහන්.

තම රථයේ වේගයට (100 kmph) අනුරූපව තම රථයත් ඉදිරියෙන් යන රථයත් අතර සෑමවිටම තබාගතයුතු දුර ප්‍රමාණය තබා නොගැනීම නිසා මෙම අනතුර සිදුවී ඇති බව පෙනේ.
.
තම රථයට පසුපසින් එන රථයේ රියැදුරු මෙම වැරැද්ද කරමින් සිටී නම් තම රථය පසුකර යෑමට වහාම ඔහුට ඉඩ දෙන්න.
.
තම රථයේ වේගය වැඩිකිරීම නිසා අනතුරක් වළක්වා ගැනීමේ තමාට තිබෙන හැකියාව අඩුවේ.
.
සෑම රියැදුරෙක්ම මතක තබා ගන්න ! – අමරසර

එහිදී ජීප් රථයේ වම්පස අසුනේ ගමන් කළ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පසු පස අසුනේ සිටි ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරෙන් ජීප් රථයේ රියදුරු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු පොලිස් භාරය යටතේ ප්‍රතිකාර ලබනවා.

අනතුරෙන් පසු ජීප් රථයේ සිටි රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඉන් පිටතට ගැනීමට ආරක්ෂක අංශවලට දැඩි වෙහෙසක් දැරීමට සිදුවුණා.

අනතුරෙන් පසු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා රාගම ශික්ෂණ රෝහල වෙත රැගෙන එන විටත් මියගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ.

ඊයේ (24) රාත්‍රියේ හලාවත – බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වී යලි කොළඹ බලා යමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (25) පෙරවරුවේ රාගම ශික්ෂණ රෝහලේ දී පැවැත්වුණේ, වැලිසර ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික උඩුවේ විදානගේ ප්‍රධානත්වයෙන්.

අනතුර සැලවීමත් සමග රාජ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් සහ දේශපාලඥයින් ඇතුළු පිරිසක් රාගම ශික්ෂණ රෝහල වෙත පැමිණියා.

1975 මැයි මස 03 වැනි දා හලාවත දී උපත ලැබූ සනත් නිශාන්ත පෙරේරා හලාවත ශාන්ත මරියා පිරිමි විද්‍යාලයේ ආදි සිසු‍වෙක්. 1997 වසරේ දී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළත් ඔහුට ජයග්‍රහණය කිරීමට නොහැකි වුණා.

කෙසේ වෙතත්, එවකට එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ සරත් හේමචන්ද්‍රගේ ඝාතනයෙන් අනතුරුව සනත් නිශාන්ත සභිකයෙකු ලෙස ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට පත් වුණා.

අනතුරුව 2004 වසරේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කරන ඔහු 2009 වසරේ පැවති පළාත් සභා මැතිවරණය ද ජය ගත්තා.

එහි ධීවර, අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සනත් නිශාන්ත 2015 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී මනාප ඡන්ද 80,082 ක් ලබා ගනිමින් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

‍ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ධීවර රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් වන අතර, අනතුරුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයා වන්නේ ද සනත් නිශාන්තයි.

මිය යන විට ඔහු ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කළා.

+

+

+


රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන ඉරිදා (28)

(25.01.2024 – 13:36 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරකින් අද (25) අලුයම ජිවිතක්ෂයට පත්වූ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා ආරච්චිකට්ටුවේදී සිදු කිරීමට නියමිතයි.

දේහය අද (25) පස්වරු 6 සිට හෙට දහවල් 12 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

අනතුරුව දේහය හෙට ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත රැගෙන යාමට නියමිත අතර දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන ඉරිදා ආරච්චිකට්ටුව – රාජකදලුව කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴


මීනගයා දුම්රියේ ආපනශාලාව තාවකාලිකව මුද්‍රා තබයි

(25.01.2024 – 16:58 +0530 – hirunews.lk/sinhala)

මීනගයා දුම්රියේ ආපනශාලාව තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අධිකරණ නියෝගයක් මත සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මීනගයා දුම්රියේ ආපනශාලාවේ සිදුකළ නිරීක්ෂණයක දී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිය කර ඇති බවට අනාවරණය වී ඇති බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධිකරණයට කරුණු වාර්තා කර, එම ආපනශාලාව තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබෙනවා ෴


බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයට යොදාගත් යතුරුපැදියක් සහ වෑන් රථයක් හමුවෙයි

(25.01.2024 – 16:10 +0530 – hirunews.lk/sinhala)

බෙලිඅත්ත – දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම අසල දී වෙඩි තබා පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට යොදාගත් යතුරුපැදියක් සහ වෑන් රථයක් හක්මන පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අදාළ යතුරුපැදිය ඝාතනයට යොදාගත් ටී-56 වර්ගයේ ගිනි අවි දෙක (2) බැහැර කිරීමට යොදාගෙන ඇති බවයි.

වෑන් රථය සඟවා තිබිය දී සොයාගෙන ඇති අතර, අපරාධයෙන් පසු සැකකරුවන්ට ගමන් කිරීමට එය මෙලෙස සඟවා තබන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

පොලිසිය සඳහන් කළේ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි ජිප් රථය පෙරේදා (23) රාත්‍රීයේ ගාල්ල විද්‍යාලෝක පිරිවෙන ඉදිරිපිට රථගාලේ නවතා තිබිය දී සොයා ගත් අතර, අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන ‘සමන් කුමාර’ නැමැත්තාගේ රැදවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන බවයි ෴


පවතින තත්ත්වය හමුවේ කන්ටේනර් ගාස්‍තු ඉහළ දැමීමේ සූදානමක්

(25.01.2024 – 16:00 +0530 – hirunews.lk/sinhala)

පෙබරවාරි පළමු වැනිදා (01) ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු වුවහොත් ඊට සමගාමීව බහලුම් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දමන බව බහලුම් ප්‍රවාහන රථ සංගම් සඳහන් කරනවා.

ඉන්ධන මිල වැඩි වීමක් සිදු නොවන්නේ නම් බොහෝ දුරට ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමක් සිදු නොවන බවයි තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම බහලුම් ප්‍රවාහන රථ සංගම් පවසන්නේ එකතු කළ අගය මත බද්ද හෙවත් VAT ඉහළ යාම නිසා වාහන අමතර කොටස් මිල ද ඉහළ ගොස් ඇති බැවින් මේ වන විට අර්බුදකාරී තත්ත්වයටකට ඔවුන් මුහුණ දී ඇති බවයි ෴


Women’s ODI Cricketer of the Year ලෙස චමරි අතපත්තු නම් කෙරේ

(25.01.2024 – 14:54 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද ‘වසරේ එක් දින ක්‍රිකට් ක්‍රීඩිකාව’ ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා ‘චමරි අතපත්තු’ නම් කර තිබෙනවා.

ඇය පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ වසරේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස ද නම් කර තිබුණා.

33 හැවිරිදි ‘චමරි අතපත්තු’ ශ්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා එක් දින තරග 98 කට සහ 20-20 තරග 122 කට ක්‍රීඩා කර තිබෙනවා ෴


මිහින්තලේ හිමියන්ට මරණ තර්ජන කළ සැකකරු CID අත්අඩංගුවට

(25.01.2024 – 14:35 +0530 – hirunews.lk/sinhala)

මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට පසුගිය වසරේ රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා මරණ තර්ජන එල්ල කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (25) උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක්.

ඔහු තම නිවසේ රැදී සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

2023 වසරේ ජුනි 01 වනදා රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා සැකකරු විසින් මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට නිර්ණාමික දුරකථන ඇමතුම් ලබා දී මරණීය තර්ජන එල්ල කර තිබුණා.

මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයකින් පසුවයි සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴


රූපලාවන්‍ය ශිල්පිනියකට පිහියෙන් ඇන රන් මාලය කඩාගෙන

(25.01.2024 – 13:59 +0530 – hirunews.lk/sinhala)

ගෝනපොළ පලන්නෝරුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පිනියකට පිහියකින් ඇන ඇගේ ගෙලබැඳි රුපියල් 3,50,000 ක් වටිනා රන් මාලය පැහරගෙන ගිය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තාවෙනවා.

පිහි ඇණුමට ලක් වූ කාන්තාවගේ රූපලාවන්‍යය ආයතනයට පැමිණි තවත් කාන්තාවක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම කාන්තාව තරුණයෙකු සමඟ රූපලාවන්‍යය ආයතනයට පැමිණ ඇත්තේ රූපලාවන්‍යය කටයුත්තක් සිදුකර ගැනීමට අවශ්‍ය බව පවසමින්.

එහිදී මෙම සැකකාර කාන්තාව රූපලාවණ්‍ය ශිල්පිනියට පිහියකින් ඇන ඇගේ ගෙලබැඳි රන් මාලය කඩාගෙන පලා ගොස් තිබෙනවා.

අදාළ කාන්තාව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


විහාරස්ථානයක වෙඩි තැබීමක්

(25.01.2024 – 13:04 +0530 – hirunews.lk/sinhala)

විහාරස්ථානයකට ඊයේ (24) රාත්‍රියේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

දොඩම්ගස්ලන්ද – උඩත්තාපොළ පුරාණ විහාරස්ථානයටයි මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

එම අවස්ථාවේදී විහාරස්ථානයේ හිමිනමගේ ආවාසගෙයි කාමරයක ජනලේයකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර එම අවස්ථාවේදී හිමිනම ආවාසගෙයි නොසිටි බවයි වාර්තා වෙන්නේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අත‍ර මදුරාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


උපාධිධාරීන්ට ඉදිරියේදී ගුරුපත්වීම්

(25.01.2024 – 12:33 +0530 – hirunews.lk/sinhala)

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණවේදය හා විශේෂ භාෂා යන විෂයන් සඳහා ගැසට් නිවේදන නිකුත් කර විභාග පවත්වා පන්දාස් පන්සීයක (5500) පමණ ගුරුවරුන් සංඛ්‍යාවක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවාගැනීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

එසේ ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන නියෝග අනුව දැනටමත් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් විසිදෙදහසකට (22,000) ඉදිරියේ දී ගුරුපත්වීම් ලබා දීමට හැකි වන බවයි අමාත්‍යවරයා සඳහන්කර සිටියේ.

එමෙන් ම පළාත් සභා මගින් ද දහතුන්දහස (13,000) ඉක්මවූ ගුරුවරුන් සංඛ්‍යාවක් බඳවාගැනීම උසාවි නියෝග මත ක්‍රියාත්මක කරන බවත් ලබන පෙබරවාරි මස අග වන විට මෙම සියලු‍ ගුරු පත්වීම් ලබා දී ගුරු පුරප්පාඩු පුරවා ගුරු හිඟය පූර්ණ වශයෙන් ම මගහරවා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *