උසස් පෙළ අවසන් කරන සිසු සිසුවියන්ට ලබන මාසයේ සිට පාසලේදීම වෘත්තීය අධ්‍යාපනයක්

උසස් පෙළ අවසන් කරන සිසු සිසුවියන්ට ලබන මාසයේ සිට පාසලේදීම වෘත්තීය අධ්‍යාපනයක්


උසස් පෙළ අවසන් කරන සිසු සිසුවියන්ට ලබන මාසයේ සිට පාසලේදීම වෘත්තීය අධ්‍යාපනයක්

(22.01.2024 – 15:30 +0530 – hirunews.lk/sinhala)

තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිත වෘත්තිය අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහනක් ලබන මාසයේ සිට මෙවර උසස් පෙළ හදාරා අවසන් කරන පාසල් සිසු සිසුවියන්ට ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරන සිසු සිසුවියන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණින් එය ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ඔහු කියා සිටියේ.

දිවයිනේ තෝරාගත් පාසල් 299 ක දී මෙය ක්‍රියාවට නංවන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා ෴


සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම හෙට (23) සිට

(22.01.2024 – 12:04 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම හෙට (23) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙය පෙබරවාරි 15 දක්වා සිදු කරන බවයි සඳහන් වන්නේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අයදුම්පත් කැඳවීම ඔන්ලයින් මාර්ග ඔස්සේ සිදු කරන බවයි ෴


කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පහර දුන් කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාට ඇප

(22.01.2024 – 11:07 +0530 – hirunews.lk/sinhala)

කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇතිවූ ගැටුමට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරාට ඇප ලබා දී තිබෙනවා.

ඒ අද (22) ඔහු ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී.

පසුගිය 16 වනදා පැවති සෞඛ්‍ය වර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයින් සහභාගිවීම හේතුවෙන් වෛද්‍යවරයා සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර ආරවුලක් හටගෙන තිබූ අතර, එහිදී වෛද්‍යවරයා විසින් සේවකයෙකුට සහ සේවිකාවකට පහර දී තිබුණා.

ඒ අනුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශේෂඥ වෛද්‍යවරයා අද (22) ගාල්ල මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමටයි නියෝග කළේ.

නඩුව අද (22) කැඳ වූ අවස්ථාවේ දෙපාර්ශවය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සමථයට පත් කරගැනීමට කැමති බවයි.

ඒ අනුව සැකකාර වෛද්‍යවරයාට එරෙහි රාජකාරියට බාධා කිරීමේ චෝදනාව හැර ගොනුකර ඇති අනෙක් චෝදනා සමත මණ්ඩලයට යොමුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මින්පසු වෘත්තිය අයිතිවාසිකම් යටතේ සිදුකරන ක්‍රියාකාරකම්වලට බලපෑම් නොකරන ලෙසද ගාල්ල මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර, විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට අවවාද කර තිබෙනවා.

මීට පෙර අවස්ථාවේ සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ අධිකරණය හමුවේ පෙනී නොසිට රෝහල් ගතවීම නිසා බවත්, මහේස්ත්‍රාත්වරයා කියා සිටියා. වර්ජන කිරීම වෘත්තිය අයිතිවාසිකමක් බව පෙන්වාදුන් ගාල්ල මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර, වෛද්‍යවරුන්ට මෙන්ම සුළු සේවකයන්ටද එය, සමාන වෘත්තිය අයිතිවාසිකමක් බවයි පෙන්වා දුන්නේ.

එමෙන්ම වෘත්තීය අයිතිවාසිකම්වලට යටත්ව වර්ජන කළද රෝගීන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාකිරීම මානුෂිය ආචාර ධර්මයක් බවත්, සියලුදෙනා එය රැකිය යුතු බවත් මහේස්ත්‍රාත්වරයා එහිදී අවධාරණය කළා.

මින් ඉදිරියට අධිකරණ නියෝගවලට බලපෑම් කරමින් උද්ඝෝෂණ හෝ වර්ජනවල නිරතවුවහොත් තරාතිරම නොබලා එවැනි අය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන බව මහේස්ත්‍රාත්වරයා එහිදී සඳහන් කළා.

අධ්‍යාපනයෙන් හික්මීම ඇතිවන බවත්, එය කළ හැක්කේ අධ්‍යාපනයට පමණක් බවත් පැවසූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කර ලබන ජූනි 10 වනදා සමථ මණ්ඩල වාර්තාව සමග නඩුව යළි කැඳවීමටයි නියෝග කළේ.

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීම් පිළිබඳ තහවුරු වන තවත් ව්‍යාජ ලිපි කිහිපයක් පිළිබඳ විමර්ශන ආරම්භ කරන ලෙස ඉල්ලමින්.

දැනට ‘ඉමියුනොග්ලොබියුලින්’ එන්නත් සිද්ධිය පිළිබඳ විමර්ශන වෙනත් අතකට යොමු කිරීම එම ලිපිවල අරමුණ වී ඇත්ද නැතහොත් සැබවින්ම එවැනි වංචනික ගණුදෙනු සිදුව ඇත්ද යන්න පිළිබඳ සොයාබැලිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (22) දඹුල්ල ප්‍රදේශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

ඒ, වෛද්‍යවරුන්ට සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබාදෙන රුපියල් 35,000 ක දීමනා අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයින්ටද ලබාගැනීම සඳහා ක්‍රියාත්මක කරන දෙවන (2) අදියරයේ විරෝධතා ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහායි.

හෙට (23), කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටත්, 26 වනදා අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටත්, 30 වනදා කොළඹ ජාතික රෝහල ඉදිරිපිටත් විරෝධතා පැවැත්වීමට නියමිත බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි කියා සිටියා ෴


අධිවේගී මාර්ගයේ මෝටර් රථ අනතුරක්

(22.01.2024 – 17:54 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුවේදී මෝටර් රථයක් අනතුරට ලක් වීමෙන් තවත් මෝටර් රථ 2 කට හානි සිදු වී තිබෙනවා.

අද (22) පස්වරුවේ කටුනායක සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ මෙම මෝටර් රථයේ හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එය ගාස්තු ගෙවීම සඳහා නතර කරන අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ දී ඇති බව සඳහන් ෴


බෙලිඅත්ත සමූහ ඝාතනය ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 06 ක්

(22.01.2024 – 17:33 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත – කහවත්ත පිටවීම ආසන්නයේ අද (22) උදෑසන වෙඩි තබා අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුලු 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 06 ක් යොදවා තිබෙනවා.

මෙය සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් සිදු කර ඇති බවට සැක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සදහන් කළේ.

අද (22) උදෑසන සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක ගමන්ගත් පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාර එල්ල කෙරුණේ, කැබ් රථයකින් පැමිණි නාදුනන පිරිසක් බවට මුලින් ප්‍රකාශ වුණා.

කෙසේ වෙතත් වෙඩි තැබීම සිදු කර ඇත්තේ පෙජරෝ වර්ගයේ ජිප් රථයකින් පැමිණි පිරිසක් බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියා.

මිය ගිය පිරිස් පැමිණි ඩිෆෙන්ඩර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුලු කර ඇත්තේ කුරුදුගහ හැතැප්ම පිවිසුමෙන්. පසුව එය බෙලිඅත්තෙන් පිටවී තංගල්ල දෙසට ගමන් කර වෙළදසැලක් ඉදිරිපිට නවතා තිබියදී ජිප් රථයෙන් පැමිණි එක් අයෙකු (1) බැස වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.

තවත් පුද්ගලයෙකු ජීප් රථයේ තුළ සිට ඩිෆෙන්ඩර් රථයේ රියදුරුට වෙඩි තබනු ලැබුවා.

වෙඩි ප්‍රහාර හමුවේ ඩිෆෙන්ඩර් රථයේ සිටි පිරිස දිවි බේරා ගැනීමට ඉන් බැස පළා යාමට තැත් කළ ද, හතර දෙනෙකුම (4) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.

අනෙක් පුද්ගලයා මිය ගියේ තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

‘අපේ ජන බල පක්ෂයේ’ සභාපති ‘සමන් පෙරේරා’ට අමතරව මිය ගොස් ඇත්තේ කුරුණෑගල, ඉදුරුව, බෙන්තොට සහ දෙමටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

‘රෝයල් බීච් සමන්’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ‘සමන් පෙරේරා’ට බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වූ ‘ස්ටැන්ලි තාබෲ’ සහ ඔහුගේ පුතු ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා.

එමෙන්ම 2022 වසරේ ජුනි 05 වනදා තංගල්ල මොරකැටිආර ප්‍රදේශයේදී මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ඔත්තු ලබා දුන් බෝට්ටු ස්කිපර්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබා දීමේ චෝදනාවට මීට පෙර ඔහු රක්ෂිත බන්ධනාගාරගව සිටියා.

‘සමන් පෙරේරා’ අද (22) වෙඩි ප්‍රහාරයට ලක් වුණේ ඊට අදාළ නඩුවට පෙනී සිටීම සදහා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත යමින් සිටි අවස්ථාවේදීයි. ඔහුට අමතරව මිය ගිය අය අතර සිටි දෙදෙනෙකු (2) ද එම නඩුවේ සැකකරුවන් බව සඳහන්.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ 36 ක් ද සොයා ගත්තා.

+

+

+

+

+


කරාපිටිය රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ තිදෙනාට ඇප

(22.01.2024 – 17:28 +0530 – hirunews.lk/sinhala)

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 3 දෙනා ද අද (22) ඇප මත මුදා හැරුණා.

එහිදී ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කළේ, එක් අයෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදා හැරීමටයි.

එමෙන්ම කණිෂ්ඨ කාර්ය මණ්ලයේ සේවකයෙකුට හා සේවිකාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (21) රක්ෂිත බන්ධනාගාර ගත කළ විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා ද රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමටයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

නඩුව කැදවූ අවස්ථාවේ දෙපාර්ශවමය සිද්ධිය සමතයට පත් කිරීමට කැමැත්තෙන් පසුවන බව ප්‍රකාශ කළ අතර මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ වර්ජනය කිරීම වෘත්තීය අයිතිවාසිකමක් බැවින් එය වෛද්‍යවරුන්ට මෙන්ම සුලු සේවකයින්ගේ ද අයිතිවාසිකමක් බවයි.

කෙසේ වෙතත් වෘත්තීය අයිතිවාසිකම්වලට යටත්ව වර්ජන කළද රෝගීන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාකිරීම මානුෂිය ආචාර ධර්මයක් බවත්, සියලුදෙනා එය රැකිය යුතු බවයි මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ ෴


IIT Madras විශ්වවිද්‍යාලයේ ශාඛාවක් මහනුවරට

(22.01.2024 – 20:22 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ ඉහළම ශ්‍රේණිගත ඉංජිනේරු ආයතනයක් වන Indian Institute of Technology Madras (IIT Madras) හි ශාඛාවක් මේ වසරේ මහනුවරදී විවෘත කිරීමට සැලසුම් කරමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

මෙම පියවර IIT විදේශයන්හි සිදුකරන සිය ආයතනයේ ව්‍යාප්තියේ කොටසක් වන අතර, නව විශ්වවිද්‍යාලය සඳහා වන යෝජනාව පසුගිය නොවැම්බර් මාසයේදී 2024 අයවැයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සිය අමාත්‍යාංශයේ විද්වතුන් කණ්ඩායමක් මදුරාසියේ IIT වෙත යැවීමට සැලසුම් කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

විශ්වවිද්‍යාලය පිහිටුවීම පිළිබඳ සාකච්ඡා සඳහා IIT දූත පිරිසක් ලබන මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර, ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඉන්දියාවට යැවෙනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *