බෙලිඅත්තේ වෙඩි තැබීමකින් ‘අපේ ජන බල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ඇතුළු 05 දෙනෙකු මරුට

බෙලිඅත්තේ වෙඩි තැබීමකින් ‘අපේ ජන බල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ඇතුළු 05 දෙනෙකු මරුට


බෙලිඅත්තේ වෙඩි තැබීමකින් ‘අපේ ජන බල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ඇතුළු 05 දෙනෙකු මරුට

(22.01.2024 – 09:40 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී අද (22) උදෑසන 08:40 ට පමණ පුද්ගලයින් 04 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඉන් බරපතළ තුවාල ලැබූ එක් (01) අයෙක් රෝහල ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඩිෆෙන්ඩර් රථයක ගමන්කරමින් සිටි පුද්ගලයන් 04 දෙනෙකු මෙලෙස ඝාතනය කර ඇති අතර වෙඩි තැබූ ඝාතකයින් පැමිණ ඇත්තේ කොළ පැහැති කැබ් රථයකින් බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස වෙඩි වැදීමෙන් මියගිය පිරිස දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් බවටද. තොරතුරු වාර්තා වන බව අප වාර්තාකරු සඳහන් කරනවා.

වෙඩි තැබීම සඳහා T-56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් හා අතුරලියේ රතන හිමියන් සාමාජිකත්වය දැරූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ද වෙඩි වැදීමට ලක් වූ අදාළ වාහනයේ ගමන් කර ඇති බව වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරනවා.

+

යාවත්කාලීන කිරීම (09:55 A.M.): වෙඩි වැදීමෙන් තංගල්ල රෝහලට ඇතුලත් කර සිටි පුද්ගලයාද ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව, මෙම වෙඩි තැබීමෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන්කළ පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා ෴

++++++++

‘අපේ ජන බල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’

++++++++

++++++++

වෙඩි කෑ අපේ ජනබල පක්ෂ නායකයාගේ ඝාතන නඩුවක සම්බන්ධයක් හෙළිවේ

(22.01.2024 – 11:11 +0530 – hirunews.lk/sinhala)

අද (22) උදෑසන බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසලදී කොළ පැහැති කැබ් රථයකින් පැමිණ ඩිෆෙන්ඩර් රථයක සිටි පිරිසකට එල්ල කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

එහිදී වෙඩිවැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ ‘අපේ ජනබල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ නඩු කටයුත්තකට සහභාගී වීමට යන අතරතුරදීයි මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

වෙඩි වැදීමෙන් මියගිය සමන් පෙරේරා 2022 වසරේ ජූනි 05 වැනිදා තංගල්ලේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකුට රැකවරණය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම වසරේදී අගෝස්තු 24 වැනිදා පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සහ වෙඩිතැබීම අතර සම්බන්ධයක් පවතීද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

[ සේයාරූ ]

++++++++

+++++++++

+++++++

බෙලිඅත්ත සමූහ ඝාතනය ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 06 ක්

(22.01.2024 – 17:33 +0530 – hirunews.lk/sinhala)

අද (22) බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු (5) වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 06 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴


ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට සජබයෙන් පෙත්සමක්

(22.01.2024 – 14:26 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) හෝ ජනමත විචාරණයකින් සම්මත කරන නියෝගයක් ඉල්ලා ඔහු මෙම පෙත්සම ගොනුකර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන්කර සිටියේ.

මෙම පනත් කෙටුම්පතට අදාළව ජාතික ජනබලවේගයද පෙත්සම් ඉදිරිපත්කර තිබුණා ෴


හිටපු ජනපති මෛත්‍රීගේ දියණියගේ නිවසට හොරු පැනලා

(22.01.2024 – 14:03 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන පදිංචි බත්තරමුල්ල, වික්‍රමසිංහපුර පිහිටි දෙමහල් නිවස කඩා රුපියල් ලක්ෂ 30 කට ආසන්න දේපළ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි තලංගම පොලිසිය පවසනවා.

මෙලෙස සොරාගෙන ගොස් තිබූ දේපළ අතර නිවසේ අල්මාරියේ තිබූ රුපියල් 150,000 ක මුදලක්, රන් ආලේපිත ඔටුවෙකුගේ පිළිමයක්, ස්මාර්ට් අත් ඔරලෝසුවක්, රන් ආලේපිත සිංගප්පූරු කාසි 8 ක්, වියලි ආහාර ද්‍රව්‍ය හා පාසල් පොත් බෑගයක් ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණියගේ සැමියා කොළඹ නිවසට පැමිණි අවස්ථාවේදී නිවස සොරුන් විසින් කඩා ඇති බව දැක
තලංගම පොලිසියට ඒ බව පැමිණිලි කර තිබෙනවා.

නිවසට ඇතුළු යම් පුද්ගලයකු හෝ කීප දෙනෙකු මුලුතැන්ගෙයි වීදුරු දොර කඩා ඇතුළු වී නිවසේ තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බවට ඇයගේ සැමියා පොලිසියට පැමිණිලි කර තිබෙනවා ෴


මැති සබයේ කෝටි 7 ක හා ශිරන්ති රාජපක්ෂගේ නමට රුපියල් 9ක විදුලි බිල් හිඟ

(22.01.2024 – 13:50 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව විසින් රුපියල් කෝටි 07 කට අධික බිලක් විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් චෝදනා කළා.

ඔහු මේ බව සඳහන් කළේ අද (22) පැවති අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තවද, ශිරන්ති රාජපක්ෂගේ නමට රුපියල් ලක්ෂ 9 ක බිලක් තියෙන බව ඔහු පවසනවා.

“ශිරන්ති රාජපක්ෂගේ නමට රුපියල් ලක්ෂ 9 ක බිලක් තියෙනවා. අගොස්තු මාසයේ ඉඳලා මේ දක්වා ගෙවලා නෑ. අපි කංචනට කියනවා ශිරන්ති රාජපක්ෂගේ බිල කපලා එන්න ජනතාවගේ බිල කපන්න.”

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් හා සේවකයින් පිරිසක් විදුලිබල මණ්ඩලය ඉදිරිපිට අද (22) උදෑසන අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් සංවිධාන කර තිබුණා.

ඒ, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම, විදුලිබල පනත හා පසුගියදා පැවති උද්ඝෝෂණයකට සහභාගි වූ විදුලි සේවකයින් පිරිසකගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළකරමින්.

මෙම අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනට බැංකු, වරාය, තැපැල්, දුම්රිය, ටෙලිකොම් හා ගුරු සංගම් ඇතුළු වෘත්තීය සමිති රැසක නායකයින් එක්ව සිටියා.

මේ අතර, විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (22) රැස්වීමට නියමිතයි.

ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දෙනු ලැබුවා.

එහිදී ‍යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර, මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ඊට උපයෝගීතා කොමිසමද සිය අදහස් එක් කරනු ඇති.

මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ අනතුරුව සති 03 කින් පසු එම යෝජනාවලිය ජනතාවට ප්‍රසිද්ධ කිරීමට නියමිත බවයි.

+

+


කොළඹ මාර්ග නීති කඩ කරන රියදුරන් අල්ලන්න අද සිට යළිත් CCTV

(22.01.2024 – 09:06 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරය තුළ මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් හඹා යෑම සඳහා පොලිසිය ක්‍රියාත්මක කරන නව CCTV නිරීක්ෂණ ක්‍රමවේදය අද (22) සිට සක්‍රිය කෙරෙනවා.

ඒ අනුව කොළඹට ඇතුළු වාහන CCTV කැමරා 108 කින් නිරීක්ෂණයට ලක් කෙරෙනු ඇති.

දුර බැහැර සිට කොළඹට පැමිණෙන යම් රියැදුරෙකු මාර්ග නීති උල්ලංඝණය කර හසුවුවහොත් ඊට අදාළ දඩ පත්‍රිකාව ඔහු පදිංචි ප්‍රදේශයේම පොලිසිය හරහා නිකුත් කිරීමත් මෙම නව ක්‍රමවේදය යටතේ සිදුවනවා.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවට රියැදුරන්ට කල්තියා දැනුම්වත් වීම සඳහා කොළඹට ඇතුළු වන ස්ථාන 9 ක දැනුම්වත් කිරීමේ පුවරුද සවිකර තිබෙනවා.

නව CCTV නිරීක්ෂණ ක්‍රමවේදයට අනුව දිනකට මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන් 100 කට අධික සංඛ්‍යාවක් කොටුකර ගැනීමට හැකි වනු ඇති බව පොලිසිය ප්‍රකාශ කළා ෴

කොළඹ නගරය තුළ සී.සී.ටී.වී. මගින් රථ වාහන වැරදි නීරීක්ෂණයට අදාළ දඩ පත්‍රිකා පෙබරවාරි මස 01 වනදා සිට නිකුත් කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව අද (22) සිට සතියක කාලයක් රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ඊට අදාළ උපදෙස් පත්‍රිකාවක් යොමු කරන බවයි ඔහු සඳහන් කළේ.

මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන් හඹා යෑම සඳහා පොලිසිය ක්‍රියාත්මක කරන නව සී.සී.ටී.වී. නිරීක්ෂණ ක්‍රමවේදය අද (22) දියත් කෙරුණු අවස්ථාවට එක් වෙමින් වැඩ බලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද එක්ව සිටියා.

+


ගතවූ පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 910 ක් අල්ලයි

(22.01.2024 – 08:18 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුමේදී ගතවූ පැය 24 තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 676 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 234 ක් සමඟින් මුළු සැකකරුවන් 910 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 676 දෙනා අතරින් සැකකරුවන් 17 කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නීති විරෝධී වත්කම් විමර්ශන 01 ක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 02 ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබෙනවා.

එමෙන්ම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය සහ පොලිස් විශේෂ කාර්‍යාංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 19 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 234 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 35 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 191 ක්ද සිටිනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 01 ක් සහ අපරාධවලට අවශ්‍යකරන සැකකරුවන් 07 ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම එම මෙහෙයුම්වලදී හෙරොයින් 65kg යි 300g, අයිස් 136g,ගංජා 12kg යි 600g,ගංජා පැල 51,146, මාවා 661g ක්ද, මදන මෝදක 157g සහ මත්පෙති 254 ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා ෴


අපරාධ කල්ලි සමග සබඳතා පැවැත්වූ යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට

(22.01.2024 – 07:20 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සබඳතා පැවැත්වූ යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කහතුඩුව – උස්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඊයේ (21) අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ මත්ද්‍රව්‍ය සහ යුද හමුදා නිල ඇඳුම් කොටස් මෙන්ම එම ආයිත්තම්ද තිබී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

37 හැවිරිදි සක්‍රිය සේවයේ යෙදී සිටින මෙම සෙබළා පසුගිය වසරේ ජූනි මස 21 වනදා කොස්ගොඩ ප්‍රදේශයේදී විජිත මහේන්ද්‍රන් සිල්වා හෙවත් රන් මල්ලි ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම පසුගිය 18 වනදා බලපිටිය ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සඳහා සැළසුම් කර අත්අඩංගුවට පත්වූ සනත් නැමැත්තා සමග මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී යන අය සමග මොහු සමීප සබඳතා පවත්වා තිබෙනවා.

ඉදිරි විමර්ශන සඳහා සැකකරු කහතුඩුව පොලිසිය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

+


නීති විරෝධි වත්කම් ඉපයිම් සම්බන්ධව සැකකාරියක් අත්අඩංගුවට

(22.01.2024 – 07:13 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධි වත්කම් ඉපයිම් සම්බන්ධව යතුරුපැදියක් සහ ලොරි රථයක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයෙන් කරන ලද පැමිණිල්ලක් මත නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සිදුකළ විමර්ශනයක් මතයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වසය අවුරුදු 39 ක අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ මේ පිළිබඳව නීති විරෝධි වත්කම් කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *