තෙලිජ්ජවිල වැරදුණු ඉලක්කය ගැන දිවි බේරුණු වෙළඳසැල් හිමියාගෙන් පොලිසියට චෝදනාවක්

තෙලිජ්ජවිල වැරදුණු ඉලක්කය ගැන දිවි බේරුණු වෙළඳසැල් හිමියාගෙන් පොලිසියට චෝදනාවක්


තෙලිජ්ජවිල වැරදුණු ඉලක්කය ගැන දිවි බේරුණු වෙළඳසැල් හිමියාගෙන් පොලිසියට චෝදනාවක්

(21.01.2024 – 22:30 +0530 – hirunews.lk/sinhala)

මාතර – තෙලිජ්ජවිල – මාලිම්බඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩ්ක්කරුවන්ගේ ඉලක්කය බවට පත්ව වූ ජංගම දුරකථන අලෙවිසැලේ හිමිකරු පොලිසියට චෝදනාවක් එල්ල කරනවා.

ඒ, පොලිසිය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට තමන්ට සැකයක් පවතින බවට පවසමින්.

කෙසේ වෙතත් අදාළ ජංගම දුරකථන අලෙවිසැලේ හිමිකරුට පොලිසියට මේ වන විට ආරක්ෂාව ලබාදී තිබෙනවා.

ඒ සිද්ධිය වූ ස්ථානය පරීක්ෂාවට ලක් කළ මහේස්ත්‍රාත්වරයාගේ වාචික නියෝගයකට අනුවයි.

මේ අතර වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය මාතර – බණ්ඩත්තර වේල්ල අසළ රක්ෂිතයක දමාගොස් තිබියදි පොලිසිය අද (21) දහවල් සොයාගත්තා.

මාතර – තෙලිජ්ජවිල – මාලිම්බඩ ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවිසැලක ඊයේ (20) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබූ අතර පසුව අනාවරණ වූයේ ඉලක්කය වැරදි වෙඩිකරුවන් විසින් අදාළ තරුණයාට වෙඩි තබා ඇති බවටයි.

වෙඩික්කරුවන් පැමිණෙන අවස්ථාවේ මියගිය තරුණයා අලෙවිසැල් හිමිකරුගේ අසුනේ වාඩිවී සිට තිබෙනවා.

එහිදී අලෙවිසැලේ හිමිකරු සිට ඇත්තේ වෙළදසැළෙන් පිටතයි.

කෙසේ වෙතත් වෙඩික්කරුවන් හිමිකරු අසුනේ සිටි පුද්ගලයාට වෙඩි තබා ඇත්තේ හිමිකරු ඔහු බවට නිගමනය කිරීම හේතුවෙන්.

මෙහිදී මියගියේ 21 හැවිරිදි වැලිපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

ඔහු ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවය කරන අතර සේවය නිමවා යළි නිවස බලා යන අතරතුරයි ඔහුගේ මිතුරාගේ ජංගම දුරකථන අලෙවිසැලට ගොස් ඇත්තේ.

එහිදී සිය ජංගම දුරකථනය ආරෝපණය කිරීම සදහා අලෙවිසැලේ හිමිකරුගේ ආසනයේ අසුන්ගත් අවස්ථාවේ ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණා.

මියගිය තරුණයා තවත් මාස කිහිපයකින් විදෙස්ගත රැකියාවක් සඳහාද යාමට අපේක්ෂාවෙන් සිටි අයෙක්.

කෙසේ වෙතත් ‘මෙම වෙඩි තැබීම සිදුකළේ පොලිසියෙන්’ බවට වෙඩික්කරුවන්ගේ ඉලක්කය බවට පත්ව ඇති බවට සැකකෙරෙන ජංගම දුරකථන අලෙවිසැලේ හිමිකරු චෝදනා කරනවා.

මෙම ජංගම දුරකථන අලෙවිසැලේ හිමිකරු මීට පෙර සුරාසැළක් බිඳ එහි සේප්පුවේ තිබු රුපියල් ලක්ෂ විසි එකකට (21,00,000) ආසන්න මුදලක් සොරාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ අයෙක්.

කෙසේ වෙතත් ඔහු ඒ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනුකර ඇත්තේ පොලිස් නිලධාරින් එම අවස්ථාවේදී තමන්ට පහරදුන් බවට පවසමින්.

එහිදී පෙත්සම ගොනුකිරීමෙන් පසු තමන්ට පොලිසියෙන් අවස්ථා කිහිපයකදී තර්ජනාත්මක ඇමතුම් කිහිපයක් ලැබුණු බවද ඔහු ප්‍රකාශ කළා.

+


මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ආගමික නායකයින් එරෙහිවීම අවාසනාවක්

(21.01.2024 – 19:51 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී ඊට එරෙහිව විවිධ ආගමික නායකයින්ද හඬනැගීම අවාසනාවන්ත තත්ත්වයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, කොළඹ පැවැති උත්සවයක් අමතමින්.

ප්‍රජා පොලිස් පිහිටුවීමේ පස්වන අදියර ලෙස කොළඹ මධ්‍යම කොට්ඨාසයේ ප්‍රජා පොලිස් සාමාජිකයින් දැනුවත් කිරීමේ උත්සවයක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයගේ ප්‍රධානත්වයෙන් මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා ෴

+++++++

+


‘විශ්ව බුද්ධ මුනි’ භික්ෂූත්වයෙන් නෙරපයි

(21.01.2024 – 18:51 +0530 – hirunews.lk/sinhala)

බුදු දහමට අපහාස සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (21) නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළ රත්නපුරේ විමල බුද්ධි හෙවත් ‘විශ්ව බුද්ධ මුනි’ නැමැත්තා සාමණේරභාවයෙන් නෙරපීමට රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල නා හිමි විසින් මේ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දැනුම්දී තිබෙනවා.

එහිදී පසුගිය දෙසැම්බර් මස 15 වනදා පැවති රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන්.

ඒ අනුව රත්නපුරේ විමල බුද්ධි හෙවත් ‘විශ්ව බුද්ධ මුනි’ නැමැත්තාගේ සාමණේර ලේඛනයත් උපසම්පදා ලේඛනයත් එම තීරණයත් සමග අවලංගු වෙනවා.

එසේම අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශාසනයට සිදුකරන ලද අති විශාල හානිය පදනම් කරගනිමින් ‘රත්නපුරේ විමලබුද්ධි’ නැමැත්තා රාමඤ්ඤ නිකායෙන් නෙරපීමට තීරණය කළ බවයි.

++++++++

(චමුදිතයාට මක් වෙයි ද?)

+


පොලීසියෙන් ලබාදුන් මුදල ගැන රොෂාන්ගේ බිරිඳ කී කතාව

(21.01.2024 – 21:45 +0530 – sinhala.adaderana.lk)

නාරම්මලදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ ‘රොෂාන් කුමාරතිලක’ වෙනුවෙන් පොලීසියෙන් ලබාදුන් වන්දි මුදල පිළිබඳව පවුලේ සාමාජිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

වෙඩි වැදීමෙන් මියගිය ‘රොෂාන් කුමාරතිලක’ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (21) එම නිවසට පැමිණි අවස්ථාවේ දී පොලීසියෙන් ලබාදුන් රුපියල් මිලියනයක (10,00,000) වන්දිය පිළිබඳ මියගිය රොෂාන්ගේ බිරිඳ ද මෙලෙස සිය විරෝධය පළ කර ඇත.

ඇය පවසා ඇත්තේ සිය සැමියා වෙනුවෙන් සාධාරණයක් ඉටු කරනවා නම් එය ලිඛිතව තමාට ලබා දිය යුතු බවය.

සිය සැමියාගේ ජීවිතය මිල කළ නොහැකි බවත් සිය දරුවන් වෙනුවෙන් හෝ සාධාරණයක් ඉටු කරන ලෙසටද ඇය එහිදී ඉල්ලා සිට ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට විරෝධය පළ කරමින් පිරිසක් අද (21) පෙරවරුව් නාරම්ල නගරයේදී විරෝධතාවක නිරත විය.

නාරම්මල, රන්මුතුගලදී ලොරි රථය පරීක්ෂා කළ පොලිස් නිලධාරියාගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් තිදරු පියෙකු වූ 41 හැවිරිදි රොෂාන් කුමාරතිලක ට දිවි අහිමිවුයේ පසුගිය 18 වනදාය.

රොෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකළේය.

ඒ වෑත්තෑවකන්ද පොදු සුසාන භූමියේදීය.

මේ අතර ඊයේ පැවති වැඩසටහනක් අතරතුර වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නාරම්මල සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

ඔහු පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කරන බවත් එවැනි සිදුවීම් යළි සිදුනොවීමට වග බලාගන්නා බවත්ය.

https://www.youtube.com/watch?v=x9ZcFsgkKHY

+


කුඩු සළිඳුගේ බෙදුම් ජාලයේ සැප වාහන 79 ක්

(22.01.2024 – mawbima.lk)

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘පානදුරේ සළිඳු’ හෙවත් ‘කුඩු සළිඳු’ නමැත්තා සතුව සුඛෝපභෝගී වාහන 79 ක් ඇති බවත් අංක තහඩු වෙනස් කරමින් ඔහු එම වාහන යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ජාලයේ නිරත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.

විසිහය (26) හැවිරිදි මේ පුද්ගලයා එක එක අයගේ නම්වලින් බැංකු ගිණුම් 48 ක් පවත්වාගෙන ගොස් ඇති බවද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අවධාරණය කළේය. වසර තුනක් (3) ඇතුළත මෙම ගිණුම් හතළිස් අටේ (48) රුපියල් මිලියන 1,059 ක මුදල් සංසරණය වී ඇති බවද ඔහු පැවැසීය.

ලංකාවේ කුඩු ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයන් 4500 ක ලැයිස්තුවක් බුද්ධි අංශ සහ මත්ද්‍රව්‍ය කාර්යාංශය පිළියෙල කොට ඒ ඒ ප්‍රදේශවල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට භාර දී ඇති බවත් සඳහන්ය.

හෙතෙම ව්‍යාපාරිකයන්ට තර්ජනය කරමින් කප්පම් ඉල්ලා ටී-56 හිසට තබා මරණ සංස්කෘතිය අවසන් කළ යුතු බවද තෙන්නකෝන් මහතා පැවසුවේය.

රට පැනලා ඉන්න අපරාධකරුවන් බුරුතු පිටින් ලංකාවට ගෙනත් ලංකාවේ නීතිය අනුව ඔවුන්ට දඬුවම් දීමේ වැඩපිළිවෙළක් තමන් සතුව ඇති බවත් ඉදිරි මාස කිහිපය තුළදී එහි ප්‍රතිඵල දැකිය හැකි බවත් හෙතෙම කීවේය.

එමෙන්ම කුඩුකාරයන් සහ පාතාලයන් සතුටු කරවන කිසිදු පොලිස් නිලධාරියකුට පොලිසිවල ඉන්නට ඉඩ නොදෙන බවද තෙන්නකෝන් මහතා අවධාරණය කළේය ෴


අපස්මාරයට දෙන ‘සෝඩියම් වැල්පරේට්’ පෙත්තටත් හොර සහතිකයක් !

(22.01.2024 – mawbima.lk)

අපස්මාර රෝගීන්ට ලබාදෙන ‘සෝඩියම් වැල්පරේට් මිලිග්‍රෑම් 100’ නමැති ඖෂධයද මෙරට නිෂ්පාදනය කර ව්‍යාජ ලියාපදිංචි සහතිකයක් හරහා වෛද්‍ය සැපයුම් ඒකකයට ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.

ආන්දෝලනයට තුඩුදී ඇති ‘ඉමියුනෝග්ලොබියුලින්’ ගනුදෙනුව සම්බන්ධව විමර්ශන කටයුතු කරන නිලධාරීන් විසින් වෛද්‍ය සැපයුම් ඒකකය සතු ලිපි ලේඛන පරික්ෂා කිරීමේදී මෙම ව්‍යාජ ලේඛනයද හෙළි කරගෙන තිබේ.

පන්නල පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගමකට ‘සෝඩියම් වැලපරේට්’ නිපදවීමට අවසර දෙමින් මෙම සහතිකය නිකුත් කර ඇතැයි දැක්වෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ද සිල්වාගේ බව පැවැසෙන අස්සනකින් හා ඔහුගේ නිල මුද්‍රාවෙනි.

එම සහතිකය ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් නිකුත් කරන ලද්දක් නොවන බව මේ වන විට තහවුරු වී ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ වන විටත් මෙම ලිපිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන ලද සමාගම මීට පෙර ශ්‍රී ලංකාවට තත්ත්වයෙන් බාල පිළිකා ඖෂධ ආනයනය කිරීම නිසා අසාධු ලේඛනගත වූ සමාගමක් බවත් එම සමාගම මේ වන විට වෙනත් නමකින් ඖෂධ නිෂ්පාදන කටයුතු කරන බවත් සෞබ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකාවේ පන්නල ප්‍රදේශයේ පිහිටි මෙම ඖෂධ නිෂ්පාදන සමාගම දැනට ඖෂධ වර්ග ගණනාවක් මෙරට වෙළෙඳපොළට නිකුත් කරන අතර මීට පෙර වෙනත් ඖෂධ නිෂ්පාදනය කිරීමට ලබාදෙන ලද ලියාපදිංචි සහතිකවල අංක මෙම ව්‍යාජ ලිපිය තුළ අඩංගු වී ඇති බවද අනාවරණය වී ඇතැයි පැවැසේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *