‘රත්නපුරේ විමල බුද්ධි’ වේසිපුත්‍රයා යලිත් CID අත්අඩංගුවට

‘රත්නපුරේ විමල බුද්ධි’ වේසිපුත්‍රයා යලිත් CID අත්අඩංගුවට


‘රත්නපුරේ විමල බුද්ධි’ වේසිපුත්‍රයා යලිත් CID අත්අඩංගුවට

(21.01.2024 – 11:28 +0530 – hirunews.lk/sinhala)

= ‘විශ්ව බුද්ධ’ යලිත් CID අත්අඩංගුවට =

බෞද්ධයන්ට හා බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කර ඒවා අන්තර් ජාලයට මුදාහැරි බවට චෝදනා එල්ලවූ ‘රත්නපුරේ විමල බුද්ධි’ හෙවත් ‘විශ්ව බුද්ධ’ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට පෙරද මෙම චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර පසුව ඇප මත මුදා හැරුණා.

කෙසේ වෙතත් සැකකරු අධිකරණ නියෝග නොතකමින් දිිගින් දිගටම බුදු දහමට අපහාස වන ආකාරයේ ක්‍රියාවල නිරතවෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් යළි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

33 හැවිරිදි සැකකරු අද (21) පස්වරුවේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

මෙම චිවරධාරියා මීට පෙර අත්අඩංගුවට ගත් අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තාකරමින් සඳහන් කළේ බාහිර පාර්ශවයක් මගින් රුපියල් ලක්ෂ 25ක මුදලක් සැකකරුගේ ගිණුමකට යොමුකර ඇති බවයි.

විටෙක චීවරධාරියෙකු ලෙස මෙන්ම ඇතැම් අවස්ථාවන්හිදී සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසද පෙනී සිට ඇති බවට එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කළා.

එමෙන්ම කිසියම් සංවිධානාත්මක පිරිසක් මෙම පුද්ගලයා පිටුපස සිටින බවට තොරතුරු හෙළිව ඇති බවද අනාවරණ කළ එම දෙපාර්තමේන්තුව මීට පෙර අත්අඩංගුවට ගත් අවස්ථාවේ වැඩිදුරටත් අනාවරණ කළේ මෙම සැකකාර චීවරධාරියා වාහන භාවිත කරමින් කාන්තාවන් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවයි.

++++++++

++++++++

++++++++

‘ඇමරිකන් රූකඩ රජයක්’ ශ්‍රී ලංකාවේ පිහිටුවීමට බුද්ධිමත් බෞද්ධයන්ගේ ජන්දය ‘ජනතා විමුක්ති පෙරමුණ’ට ලැ‌බෙන්නේ නැත !

+


ආණමඩුව ප්‍රදේශයේ මහමඟ කාණුවක තිබී පුද්ගල මළසිරුරක් සොයාගැනේ

(21.01.2024 – 16:20 +0530 – hirunews.lk/sinhala)

ආණමඩුව ගම් උදාව මාර්ගයේ කාණුවක තිබී අභිරහස් අන්දමින් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් අද (21) පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

64 හැවිරිදි ආණමඩුව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික බැංකු නිලධාරියෙකු මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු ඊයේ (20) රාත්‍රියේ ආණමඩුව ප්‍රදේශයේ උත්සවයට සහභාගී වී යළි නිවෙස වෙත නොපැමිණීම හේතුවෙන් ඔහුගේ ඥාතීන් විසින් පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා ෴


මුදල් වංචාවක් සම්බන්ධයෙන් සය දෙනෙකු (6) අත්අඩංගුවට

(20.01.2024 – 08:41 +0530 – sinhala.adaderana.lk)

මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු (3) සහ සැකකාරියන් තිදෙනෙකු (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැණික් ගල් 15 ක් ලබාගෙන ඒ සඳහා ලබා දිය යුතු මුදල් රුපියල් 28,750,000 ක් සඳහා මුදල් නොමැති ගිණුම්වලින් චෙක්පත් ලබා දී මෙම මුදල් වංචාව සිදු කර ඇත.

මුදල් වංචාවට සම්බන්ධ සැකකරුවෙකු (1) ඊයේ (19) කොටුව පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සඳහා අධාර අනුබල දුන් අනෙක් සැකකරුන් දෙදෙනා (2) සහ සැකකාරීන් තිදෙනා (3) යාපනය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24, 30 හා 36 යන වයස්වල පසු වන බේරුවල හා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 25, 43, හා 53 යන වයස්වල පසු වන යාපනය ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බව පොලීසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴


ඔංචිල්ලාවේ ලණුව සිරවීමෙන් දස (10) හැවිරිදි දරුවෙකු මියයයි

(21.01.2024 – 15:39 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් – සෙම්මලෙයි ප්‍රදේශයේ දී ඔංචිල්ලාවක ගෙළ සිරවීමෙන් වයස අවුරුදු 10 ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (20) පස්වරුවේ මෙම දරුවා ඔංචිලි පදිමින් සිටි අවස්ථාවේ ලණුව ගෙලේ සිර වීමෙන් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දරුවා කඩිනමින් මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒවන විටත් දරුවා මියගොස් තිබූ බවයි පොලිසිය කියා සිටියේ ෴


තෙලිජ්ජවිල වෙඩි තැබීමේ සිද්ධියේ අලෙවිසැල් හිමිකරුට පොලිස් ආරක්ෂාව – සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයාගනී

(21.01.2024 – 13:21 +0530 – hirunews.lk/sinhala)

මාතර – තෙලිජ්ජවිල – මාලිම්බඩ ප්‍රදේශයේ වෙඩි තැබීම සිදුවූ ජංගම දුරකථන අලෙවිසැලේ හිමිකරුට පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනවා.

ඒ සිද්ධිය වූ ස්ථානය පරීක්ෂාවට ලක් කළ මහේස්ත්‍රාත්වරයාගේ වාචික නියෝගයකට අනුවයි.

ඒ අනුව එම අලෙවිසැල් හිමිකරු මේ වනවිට මාතර අපරාධ කොට්ඨාසයට කැඳවා ආරක්ෂාව ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම මේ දක්වා සිදුකළ පරීක්ෂණවලට අනුව අලෙවිසැල් හිමිකරු යැයි වැරදීමකින් සිදුවූ වෙඩි තැබීමකින් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ බවට සැක මතුකළ හැකි සාධක ලැබී ඇති බව සඳහන්.

ඊයේ (20) රාත්‍රී 7 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.

වෙඩික්කරුවන් පැමිණෙන අවස්ථාවේ මියගිය තරුණයා අලෙවිසැල් හිමිකරුගේ අසුනේ වාඩිවී සිට ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වුණේ.

මෙහිදී මියගියේ 22 හැවිරිදි වැලිපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති අතර, ඒ සඳහා උණ්ඩ 04 ක් යොදාගෙන තිබුණා.

මෙම ජංගම දුරකථන අලෙවිසැලේ හිමිකරු මීට පෙර සුරාසැළක් බිඳ එහි සේප්පුවේ තිබු රුපියල් ලක්ෂ විසි එකකට (21,00,000) ආසන්න මුදලක් සොරාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔහු ඒ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනුකර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද විභාගවෙමින් පවතින බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මාලිම්බඩ පොලිසියේ කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මාතර අපරාධ විමර්ශන කොට්ඨාසයෙන්ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

මාතර – තෙලිජ්ජවිල – මාලිම්බඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

ඒ, මාතර – බණ්ඩත්තර වේල්ල අසළ දමාගොස් තිබියදියි.

ඊයේ (20) රාත්‍රී 7 ට පමණ ජංගම දුරකථන අලෙවිසැලකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.

වෙඩික්කරුවන් පැමිණෙන අවස්ථාවේ මියගිය තරුණයා අලෙවිසැල් හිමිකරුගේ අසුනේ වාඩිවී සිට ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වුණේ ෴

තෙලිජ්ජවිලදි වෙඩික්කරුවන් අහිංසක ජීවිතයක් බිලිගත්තාද?

(21.01.2024 – 12:39 +0530 – hirunews.lk/sinhala)

මාතර තෙලිජ්ජවිල මංසන්ධියේ දුරකථන උපාංග අලෙවි සැලක් තුල ඊයේ (20) රාත්‍රි සිදු කළ වෙඩි තැබිමකින් 22 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත් වුණා.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඡායාපිටපත් ලබා ගැනිමට අවශ්‍ය බව පවසමින් දුරකථන උපාංග අලෙවිසැල තුළට ගොස් මෙම වෙඩිතැබිම සිදු කොට පලා ගොස් ඇති බවයි පොලිසිය සිදුකළ මුලික පරික්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

මෙම වෙඩිතැබිමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ දෙනිපිටිය මුණමල්පේ ප්‍රදේශයේ පදිංචි ‘මින්දික අලූත්ගමගේ’ නැමති 22 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු සිය මිතුරාගේ දුරකථන උපාංග අලෙවි සැලට පැමිණ සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

මෙම වෙඩි තැබිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දුරකථන උපාංග අලෙවිසැලේ හිමිකරු ඉලක්ක කොට සිදු කළ වෙඩි තැබිමක් ඉලක්කය වැරදී මෙම තරුණයාට වැදී ඇති බවට පොලිසිය සැක කරනවා.

යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයින් අවස්ථා දෙකකදි (2) මෙම වෙළදසැල තුළට පැමිණ ඇති අතර මුල් අවස්ථාවේදි පැමිණ ඡායාපිටපත් ලබා ගැනිමට අවශ්‍ය බවට පවසා ඇති බවත් ඡායාපිටපත් ලබාගැනිමට නොහැකි බවට පැවසිමෙන් අනතුරුව වෙළදසැලෙන් නික්ම ගොස් දෙවන (2) අවස්ථාවේදි පැමිණ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 4 ක් තබා ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සිදුකළ පරික්ෂණවලදී හඳුනාගෙන ඇත්තේ වෙඩි තැබිම සිදු කරනු ලබන අවස්ථාවේ වෙළදසැලේ හිමිකරු වෙළදසැල ඉදිරියේ සිට ඇති අත‍ර වෙඩි වැදි ජිවිතක්ෂයට පත් වූ තරුණයා හිමිකරුගේ පුටුවේ අසුන්ගෙන සිට ඇති බවයි.

වෙඩික්කරුවන් වෙළදසැලට ඇතුල්විම හා වෙඩි තබා පලා යන දර්ශන මෙම වෙළදසැලෙහි පිහිටි ගොඩනැගිල්ලේ ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇති අතර ඊයේ (20) රාත්‍රී වෙඩි තැබිම සිදුවු ස්ථානයට පැමිණි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කොට වැඩිදුර පරික්ෂණ සදහා දේහය මාතර මහා රෝහලට යොමු කර තිබෙනවා.

වෙඩිතැබිම සම්බන්ධයෙන් කණ්ඩායම් තුනක් (3) යොදවා වැඩිදුර පරික්ෂණ සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.


මධ්‍යම පළාතේ පාසල්වල උත්සව සීමා කරමින් චක්‍රලේඛයක්

(21.01.2024 – 13:35 +0530 – hirunews.lk/sinhala)

පාසල් මගින් සංවිධාන කරන විවිධ උත්සව සීමා කරන ලෙස දන්වමින් මධ්‍යම රජය හා පළාත් සභාව යටතේ පාලනය වන මධ්‍යම පළාතේ සියලු‍ පාසල්වලට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ දෙමව්පියන්ගෙන් ලද පැමිණිලි සැළකිල්ලට ගනිමින්.

ආගමික උත්සව සහ චක්‍රලේඛය මගින් අවසර ලබා දී තිබෙන උත්සවත් හැරුණු විට වෙනත් උත්සවයක් පවත්වන්නේ නම් විදුහල්පතිවරු අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතු බවයි එහි දැක්වෙන්නේ.

ඒ අනුව පළමු (1) වාරයේ දී උත්සව තුනක් (3) ද දෙවන (2) හා තුන්වන (3) වාර වලදී උත්සව හතරක් (4) ද ලෙස වසර පුරාම උත්සව 07 ක් පමණක් පැවැත්වීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී තිබෙනවා ෴


කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරයාට පහරදුන් සේවකයින් රක්ෂිත බන්ධනාගාරයට

(21.01.2024 – 10:17 +0530 – hirunews.lk/sinhala)

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෙද්‍යවරයාට පහරදුන් බව කියන සෞඛ්‍ය කාර්ය සහයක සේවිකාවක් ඇතුලු තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෛද්‍යවරයා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි.

ඒ අනුව ගාල්ල – කොට්ටවගම සහ අකුරැස්ස – දියලපේ ප්‍රදේශයේ පදිංචි සුලු සේවකයින් තුන්දෙනෙකු (3) මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් විසින් පසුගිය 16 වනදා පැවති සෞඛ්‍ය වර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයින් සහභාගිවීම හේතුවෙන් වෛද්‍යවරයා සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර ආරවුලක් හටගෙන තිබූ අතර, එහිදී වෛද්‍යවරයා විසින් සේවකයෙකුට සහ සේවිකාවකට පහරදී තිබුණා.

ඒ අනුව පසුගිය 18 වනදා අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

මේ අතර අදාළ විශේෂඥ වෛද්‍යවරයාට සහය පළ කරමින් සහ ඔහුට විශ්‍රාම නොයන ලෙස ඉල්ලමින් රෝහල ඉදිරිපිට අද (21) විරෝධතාවක් පවත්වා තිබෙනවා.

ඒ, වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයින් ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරික ප්‍රජාව එක්වයි.

පෙරේදා (19) දිනයේ වෛද්‍යවරයාට සහය පළ කරමින් රෝහල ඉදිරිපිට නිහඬ විරෝධතාවක්ද සංවිධාන කර තිබුණා.

යාවත්කාලීන කිරීම : කරාපිටිය රෝහලේ ජ්‍යෙෂ්ඨ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා (3) ජනවාරි 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි අප වාර්තාකරු පවසන්නේ ෴


‘යුක්තියෙන්’ අපරාධකරුවන් 987 ක් අල්ලයි

(21.01.2024 – 08:49 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 987 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 663 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 324 ක් සමඟින් මුළු සැකකරුවන් 987 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 663 දෙනා අතරින් සැකකරුවන් 12 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, වත්කම් විමර්ශන 05 ක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 14 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවද සඳහන්.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 14 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 324 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 90 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 222 ක්ද සිටින බවයි වාර්තා වන්නේ.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 11 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 1 ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම්වලදී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් :

  • හෙරොයින් 270 g
  • අයිස් 140 g
  • ගංජා 18 kg 358 g
  • ගංජා පැල 27,242
  • මාවා 552 g
  • මදන මෝදක 175 g
  • තූල් 52 g
  • මත්පෙති 1,080

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *